නව වසරක් මෙන්ම මසක්, සතියක්, දිනයක් ආරම්භ කිරීමේදීද අපි අරමුණු බලාපොරොත්තු නිර්මාණය කරගනිමු. ඒ අතර, ආර්ථිකයට මූලික තැනක් හිමිවෙයි. ඒ අපගේ ආර්ථිකය හදන වාස්තු විද්‍යානුකූලව කතා කිරීමට අප සමග එක්වූයේ ජ්‍යෝතීර්වේදී වාස්තු විද්‍යාඥ කැළුම් ගුණතිලකය.
Q තමන්ගේ ආර්ථිකය යහපත් මට්ටමක පවත්වාගැනීම ගැන වාස්තු විද්‍යාත්මක ප්රවේශයකින් කතා කළොත්?
නව වසරක් ලැබුවාම හැමදෙනාගේම බලාපොරොත්තුවක් වෙන්නේ මේ වසර පසුගිය වසරට වඩා ඉදිරියට යන්න. ප්රගමනයක් බලාපොරොත්තු වෙනවා. ආර්ථිකමය ලෙස ඉහළ යෑමේ හැකියාවක් මිනිසුන් බලාපොරොත්තු වෙනවා. එයට ජ්‍යෝතිෂමය අවධානය යොමුකරද්දී තමන්ගේ ග්‍රහයාට එසේත් නැත්නම් තමන්ගේ ලග්නයට අනුව නව වසරේ පලාපල, අයවැය කෙලෙසද යන්න විමසිලිමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහිදී ප්‍රධාන හුවමාරු පිළිබඳව අවධානය යොමුකරනවා. ඒ වගේම ආර්ථිකයේ සමබරතාවය පවතින කාලය, ආර්ථික වර්ධනයක් පවතින කාලය, ආර්ථිකය අඩුවන කාලය ගැන විග්රහ කිරීමක් පැහැදිලිවම සිදුකරනවා.
මේ ජ්‍යෝතිෂය සිද්ධාන්තකූලවම සිදුකරන විග්‍රහයක්. සමහර පුද්ගලයන්ට එලෙසම ලැබෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් මෙම මස 26 වැනිදා සෙනසුරුගේ මාරුවක් සිදුවෙනවා. වෘශ්චික රාශියේ සිටින සෙනසුරු ධනු රාශියට ප්රවිශ්ට වෙනවා. මේ ග්රහමාරුව සමග වසර දෙකහමාරකට වැඩි කාලයක් ලග්නාෂ්ඨක ඒරාෂ්ටක යන ප්‍රතිඵල විදපු මේෂ ලග්නයෙන් උපන් අයට එම ඒරාෂ්ටක පීඩාව ඉවත්ව ජීවිතයේ ඒ පීඩාකාරී මානසිකත්වය ඉවත්ව තමන්ගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය දියුණු විය යුතුයි. ලංකාවේ සිටින සෑම මේෂ ලග්න හිමියෙකුගේම තත්ත්වය මෙලෙසම වෙනස් වෙනවාද? එහෙම වෙන්නේ නැහැ. එලෙස නොවෙන්න හේතු කිහිපයක් තිබෙනවා. ඔහුගේ පෞද්ගලික කේන්ද්‍ර සටහනේ තිබෙන බල දුබලතාත් එයට බලපානවා.
ඇතැම් අය ප්‍රබල ජන්ම පත්‍ර හිමි අය ඉන්නවා. පවතින ග්‍රහ තත්ත්වයන් ඉතාම හොඳ අය ඉන්නවා. ඇතැම්විට පංච මහා පුරුෂ යෝග, ප්‍රබල ධනයෝග පවතිනවා. ව්‍යාපාර කටයුතුවලට ඉතාම යෝග්‍යයි. නමුත් ඇතැම් විට මේ ප්‍රතිඵලය නොවෙයි ප්‍රායෝගිකව පවතින්නේ. ඒ පුද්ගලයා ඉතා ප්‍රබල ධනවත් පුද්ගලයෙක් බවට පත්විය යුතුයි. නමුත් ඒ ග්රහමාරුත් එක්ක එම ශක්තිය පුද්ගලයන්ට නිසි පරිදි ලැබෙන්නෙ නැහැ.
Q එලෙස නොලැබෙන්න තිබෙන හේතු කාරණා මොනවාද?
පුද්ගලයා ජීවත් වෙන පරිසරය වාසස්ථානය නියම වාස්තුවිද්‍යානුකූල පරිසරයක් නොවීම. අපි යමක් එකතුකර ගන්නවා නම් භාජනයකට ඒ භාජනය නිසි ලෙස සැකසී නොමැති නම් තිබෙන දේවල් විනාශ වී යනවා. උදාහරණයක් කිව්වොත් ඉඩෝර කාලයක් තිබෙනවා. එක් එක් පුද්ගලයා අතෙහි විවිධ භාජන තිබෙනවා කියලා හිතමු. ඉඩෝර කාලය නිමවී වැසි ලැබෙන්න පටන් ගන්නකොට හැමදෙනාම මේ වැස්සට තමන්ගේ අතේ භාජනය පිරෙයි කියලා බලන් ඉන්නවා. ස්වාභාවිකව පිරිය යුතුයි. නමුත් තමන්ගේ භාජනයේ හිල් තිබෙනවා නම් පළුදු තිබෙනවා නම් භාජනය අනෙක්පසට හරවා තිබෙනවා නම් එයට කවදාවත් වතුර පිරෙන්නේ නැහැ.
මෙලෙස පුද්ගලයාගේ කේන්ද්‍ර සටහන කොතරම් ප්‍රබල වුණත් ඒ පුද්ගලයා ජීවත් වන භූමිය නිවැරදිව වාස්තු විද්‍යානුකූලව සකස්කරගෙන නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහරවිට පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉතාම හොඳින් ධනය ලැබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව 10%ක, 20%ක වැටුප් වැඩිවීමක් ලැබිය හැකියි. අලුත් ව්‍යාපාරයක් ආරම්භකර නිවසකට ලැබෙන ධන ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්. වසරේ අවසානය දෙස හැරී බැලුවාම ඉතිරිය නැතිවී තිබෙනවා.
එලෙස වෙන්නේ ලැබෙන මුදල ලැබෙන ආර්ථික තත්ත්වය නිසි පරිදි කළමනාකරණය, නිසි පරිදි රැඳෙන නිවසක් නොමැති වීම හේතු කරගෙන. පුද්ගලයන් ජීවත් වෙද්දී වර්ෂය මුල ජන්ම පත්‍රය පරීක්ෂාකර ගන්නවා වගේම තමන් නිවසක් මිලදී ගැනීමේදී, අලුත්වැඩියා කිරීමේදී වාස්තු පිළිබඳ අවධානය යොමුකිරීම වඩා වැදගත් වෙනවා.
නිවසක් ඉදිකරන විට උතුර, ඊසාන සහ නැගෙනහිර යන ප්‍රදේශවලට වාස්තු භූමියේ වැඩි ඉඩක් තිබිය යුතුයි. නිවස නිර්මාණය කිරීමේදී නිවසේ මිදුල උතුර, ඊසාන, නැගෙනහිර කියන දිශාවලට වැටෙන්න ඕන. සෙසු දිශාවලට අඩුවෙන්න ඕන. දකුණ, නිරිත, බස්නාහිර පැත්තට වෙන්න නිවස ඉදිකර උතුර, ඊසාන, නැගෙනහිර යන පැතිවල ඉඩ තබාගත යුතුයි. එවැනි නිවසක ධනය ලැබෙන්නත්, ධනය රැඳෙන්නත් පටන් ගන්නවා. එවැනි නිවසක ඉන්න කෙනෙකුගේ ආර්ථික මට්ටම දියුණු වෙනවා. උසස් රැකියා සඳහා යොමු වීමේ වාසනාව හිමිවෙනවා. උසස් පුද්ගලයන් ඇසුරුමට අවස්ථාව ලැබෙනවා.
ජලබැස්ම විවිධ පැතිවලට තිබෙන භූමි සොයාගත හැකියි. මෙන්න මේ භූමිවලදී උතුරට, ඊසානට, නැගෙනහිර දෙසට ජලබැස්ම පැවතීම තමයි වඩා නිවැරදි. දකුණු, බස්නාහිර, නිරිත වැනි දිශාවලට උස්විය යුතුයි. එවැනි භූමිවල අයගේ ධන ශක්තිය, ඉතිරිය වර්ධනය වෙයි. දිනෙන් දින දියුණු වෙයි. නව ආයෝජන අවස්ථාවලට රැකී රක්ෂා ලාභ ව්‍යාපාරික ලාභ මිතුරු සමාගම් ඇතිව සමාජය තුළ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්වී මේ වාසනාව උදාකරයි. නව නිවෙස් විවිධ අලංකාර ක්‍රමවේද භාවිත කරමින් කොටස් අඩුවැඩි කරනවා. කිසියම් පුද්ගලයෙකුගේ නිවසේ ඊසාන දිග කොටසේ අඩුවක් පවතී නම් ඒ නිවසේ දරුවන්ගේ අඩාළවීමක් ඇති වීමේ ඉඩකඩ වැඩියි.
ඒ අඩාළ වීම මුල්කරගෙන ගෙවල්වල ඉන්න පිරිස් තමන්ගේ දරුවන් වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියපැහැදම් කරන්න පෙළඹෙයි. ඒ හරහා ආර්ථිකයට යම් ආකාරයක අශුභකාරී බලපෑමක් ඇති කරනවා. (අත්තිවාරමේ හතරැස් ගතියෙන් යම් ප්‍රමාණයකට ඊසාන දිශාව අඩු වූ විට)
නිවසක් නිර්මාණය කරන විට බිත්තිවල වහල තුළ හැඩතල නිර්මාණය කිරීම වරදක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් අත්තිවාරම තුළ හතරැස් හැඩයක් ලබාගැනීම වඩා යෝග්‍යයි. ආර්ථික ක්‍රමවේද, රැකියා ක්‍රමවේද වර්ධනය කරගන්න නව ව්‍යාපාරික වැඩ කිරීමට, වෙළහෙළදාම් කටයුතු දියුණු කරගැනීමට නම් අප සිටින භූමිය සාර්ථක භූමියක්ද යන්න තෝරාගත යුතුයි.
දොර පිහිටීමත් එලෙසමයි. ඉදිරියේ දොරෙන් බලනවිට පිටුපස දොර පෙනෙයි නම් එයද අසාර්ථකයි. ව්‍යාපාරික ස්ථානවලත් එවැනි දෝෂ බහුලව දකින්න ලැබෙනවා. ඉන්දීය, යුරෝපීය සහ ඊජිප්තු ක්‍රමවේද භාවිත කර අවශ්‍ය නම් පිරිමීඩ වැනි තාක්ෂණික උපකරණ මෙවලම් භාවිත කරලත් එවැනි වාස්තු දෝෂ නිවාරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. කාමරවල පිහිටීම, ප්‍රධාන ගෘහ මූලිකයා නිදාගන්නා ස්ථානය, මුළුතැන්ගේ පිහිටි ස්ථානය, වැසිකිළි කැසිකිළි පිහිටා ඇති ස්ථාන මේවා නිසි පරිදි ස්ථානගත කරන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, යුරෝපයේ හැම රටකම එකම ක්‍රමවේද අනුගමනය කරන්නේ. මේ වාස්තු සංකල්පය බටහිර සහ පෙරදිග ලෙස ක්‍රම දෙකක් නෙමෙයි එකම ක්‍රමවේදයක් දකින්න ලැබෙන්නේ. පෙරදිග, අපරදිග දෙකොටසම වාස්තුවලට විශාල බරක් තබා තිබෙනවා. බටහිර ජාතීන් වාස්තුවලට වැඩි බරක් තබනවා.
ඒ වගේම නිවසක මධ්‍ය ලක්ෂය බලන්න ඕන. සමහර ගෙවල්වල පියගැටපෙළක්, බිත්තියක්, වැසිකිළියක් පිහිටා තිබෙනවා. මෙවැනි පිහිටීම් ගෘහ මූලිකයාගේ සෞඛ්‍යය පිරිහීමටත්, ආර්ථික පිරිහීමටත් හේතුවක් බවට පත්වෙනවා. ජනෙල් දොරවල් පිහිටා තිබෙන්නේ ඔත්තේ, ඉරට්ටේ සංඛ්‍යා වලටද කියන කාරණා බොහෝදුරට වැදගත් වෙනවා.
මුළුතැන්ගේ ලිප තිබෙන ස්ථානය බලන්න අවශ්‍යයයි. ගෘහනිය ගිනි දැල්වීම සිදුකරන්නේ නිවස දෙස බලාගෙන නම්, එවිට තරංගමය සහ චිත්තමය ශක්තියක් දිගින් දිගටම මුල්කරගෙන නිවස තුළ තිබෙන බොහෝ දේ දැවී පිච්චී යන සංකල්පයක් ජ්‍යෝතිෂ්‍ය තුළ පවතිනවා. කිසිම දිනක තමන්ගේ නිවස දෙස බලාගෙන ගිනි දැල්වීම නොකළ යුතුයි.
Q මේ ගැන පොරොන්දම් පරීක්ෂාවේදී අවධානය යොමු කරන්නේ කෙලෙසකද?
ඒක දස පොරොන්දමෙන්, එසේත් නැත්නම් එකළොස්වෙනි පොරොන්දමෙන් බැලෙනවා. මෙම පොරොන්දමේදී තමයි අයවැය බලන්නේ. අය පොරොන්දම වැඩි වී වැය පොරොන්දම අඩුවී ආයුෂ පොරොන්දම උසස් මට්ටමක පැවතීමත් වඩා වැදගත් වෙනවා. නිවසේ අයගේ අයපාර්ශ්වය වැඩි විය යුතුයි. ඒත් එක්කම නිවසක පිරිසුදුකමත් වැදගත් වෙනවා.
අප අවම ලෙස පැය 18ක් අවදිව සිටිනවා. හැමවිටම නිදාගන්නා ඇද යට කිසිවක් තැබිය යුතු වෙන්නේ නැහැ. පිරිසුදුව නිදන ඇද පවත්වාගන්න හැකි නම් ප්‍රබෝධමත් දවසක් ලෙස දිනය ආරම්භ කළ හැකියි.