රාජ්‍ය ප්‍රවාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගමය රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාදීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරයි. එහෙත් ගෙවීගිය දශක දෙක තුනක කාලයක සිට ලංගමය නඩත්තු කිරීමට රජය නිසි ලෙස මැදිහත් නොවීම හේතුවෙන් ලංගමය දිනෙන් දිනම කඩාවැටෙන බව ලංගම වෘත්තීය සමිති හා ජනතාව නියෝජනය කරන සිවිල් සංවිධාන සඳහන් කරන කාරණයකි.
එහෙත් ජාතික තලයේ මැතිවරණවලදී දේශපාලන පක්ෂ හා දේශපාලඥයන් ලංගමය ශක්තිමත් කරන බවට පොරොන්දු ලබාදෙන බවද එම පිරිස් පෙන්වා දෙති. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිට මෙම පොරොන්දු ලබාදුන් බවත්, එහෙත් අයවැය තුළින් මුදල් වෙන්කිරීමේදී ලංගමයට සැලකිය යුතු මුදලක් වෙන්කර නොමැති බවද එම වෘත්තීය සමිති සඳහන් කරයි. මේ හේතුවෙන් ලබන වසර තුළදී ලංගමය දැඩි අර්බුදයකට ලක්වන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ පිළිබඳව 'අද' සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සමග කතාබහක නිරතවිය.
ලංගම නඩත්තුවට මුදල් වෙන්වීම
ලබන වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය තුළින් සමස්ත ප්‍රවාහන අමාත්‍යාංශයටම වෙන්කරල තියෙන්නෙ රුපියල් කෝටි 6,500ක්. මේ මුදල ලංගමයට, පෞද්ගලික බස්වල කටයුතු සඳහා, ඒ කියන්නෙ ජාතික ගමනාගමන කොමිසමට, දුම්රිය දෙපාර්තමේන්තුවට, මෝටර් රථ දෙපාර්තමේන්තුව යන ආයතනවලට එහෙම බැලුවම මේක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන මුදලක් නොවෙයි. ලබන වසරේදී ශ්‍රී ලංගමයට විතරක් රුපියල් කෝටි 1,900ක් අවශ්‍යයි. ඒත් වෙන්කර තිබෙන මුදලට සාපේක්ෂව ලංගමයට මෙම මුදල කිසිසේත්ම ලැබෙන්නෙ නැහැ. මීට පෙර මුදල් වෙන්කිරීමේදී ලංගමයට ලබාදුන්නෙ කුඩම්මාගේ සැලකිල්ලක්. මේ නිසා ලංගමය බොහෝම නරක විදිහට පහළට ඇද වැටුණා. ඒත් මෙවර වෙන්කර තිබෙන මුදලට සාපේක්ෂව මුදල් වෙන්වීමේදී ලංගමය දැඩි අර්බුදයකට ලක්වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ තත්ත්වය ලබන වසර මැද සිට ආරම්භ වෙන්න පුළුවන්. මේනිසා වසර මැද ලංගම සේවකයන් දැවැන්ත අරගලයකට තල්ලු වෙන්න පුළුවන්.
ලංගම බස් රථ ආදායම
මුලින්ම කියන්න ඕන ලංගමය කියන්නෙ ලාභ ලබන ආයතනයක් නොවෙයි. මේක සේවාවක්. ලංගමය ජනතාවට සේවය සපයනවා. ඒ වෙනුවෙන් ජනතාව බදු මුදල් ගෙවනවා. ඒ වගේම ජනතාවට සේවය සැපයීමේදී පාසල් දරු දැරියන්ට, රාජකාරිවල නිරත වන අයට සහන රැසක් ලබාදීලා තියෙනවා. ලංගමය ගත්තොත් දිනකට කිලෝ මීටර් 14,000ක් ධාවනය කරනවා. මෙතැනදී රුපියල් කෝටි 08ක මුදලක් සේවා වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මෙතැනදී මහාභාණ්ඩාගාරයෙන් ලංගමයට ලැබෙන්නෙ රුපියල් කෝටි 03ක මුදලක්. ඒ වගේම කියන්න ඕන බස් එකට නිසි ආදායමක් නැතිවුණත් ජනතාව ගැන හිතලා මධ්‍යම රාත්‍රි‘යේ ගමන්සේවා පවත්වාගෙන යනවා. ඒ වගේම උදේ පාන්දර ගමන්වාර පවත්වාගෙන යනවා. වැඩිය මගීන් නැති මාර්ගවල සේවා පවත්වාගෙන යනවා. ඒ දේවල් ලංගමය කරන්නෙ සේවාවක් වශයෙන්. මේ නිසා ලංගම ආදායමෙන් පමණක් ලංගමය නඩත්තු කරන්න බැහැ.
සේවක අතිරික්තය
බොහෝ දෙනෙක් කියන්නෙ බස් රථයකින් යැපීමට සේවකයන් 6ක්, 7ක් ඉන්නවා කියලා. ඒ හරහා ලංගමය කඩා වැටෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. 1977 වසර වනවිට ලංගමයට හිටියා සේවකයන් 65,000ක්. බස් රථ 9500ක් තිබුණා. එතකොට කවුරුවත් ඔය වගේ චෝදනා කළේ නැහැ.
1958 ඉඳලා 1977 දක්වා තත්ත්වය මේකයි. මේ රටේ ජනතාව ඒ ගැන කතා කළේ නැහැ. 1977දී එක්සත් ජාතික පක්ෂය බලය ලබාගන්න කොට තමයි මේ සේවක සංඛ්‍යාව හිටියේ. එදා ඉඳලා මේ රට පාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කණ්ඩායම හා එක්සත් ජාතික පක්ෂය දිගට හරහට ලංගමය වළපල්ලට යන තැනට කටයුතු කළා. එහෙම කරපු නිසා 2015 වසර වනවිට ලංගම බස් රථ ප්‍රමාණය 4,500කට අඩුවුණා. සේවක ප්‍රමාණය 35,000කට අඩුවුණා. හැබැයි හැම ආණ්ඩුවක්ම කළේ මේක දියකර හැරීම. ලංගමයට සේවකයන් වැඩි නෑ. මේක රාජ්‍ය ප්‍රවාහන සේවය. අවශ්‍ය වෙන්නෙ සේවකයන් ගැන කතාකිරීම නොවෙයි, ලංගමයට බස් දෙන එක ගැන. තව බස් දෙන්න එතකොට ප්රශ්නය ඉවරයි.
ලංගමයට බස් රථ ගැනීමට පෞද්ගලික බස් සේවා විරෝධය දැක්වීම
ලංගමයට අලුතින් බස් රථ ගන්න එපා කියලා මේ රටේ ජනතාව කියන්නෙ නැහැ. සේවකයො කියන්නෙ නැහැ. ඔය කතාව කියන්නෙ පෞද්ගලික බස් රථ මාෆියාව. ලංගමයට බස්රථ ගන්න එපා කියලා හොර රහසේ පෞද්ගලික බස් රථවලට බලපත්‍ර ලබාදෙනවා. සංගමයක් ලෙස අපිට කියන්න තියෙන්නෙ දැනට තියෙන ක්‍රමවේදයට අනුව ලංගමයට බස් රථ 7,500ක් ධාවනය කරන්න බලපත්‍ර තියෙනවා. දැනට එම බලපත්‍රවලින් භාවිත කරන්නෙ බලපත්‍ර 4,500ක් වගේ ප්‍රමාණයක්. මේ අනුව අලුතින් තවත් බස් රථ 3,000ක් යෙදවීමට නීත්‍යානුකූලවම බලපත්‍ර තියෙනවා.
ඒ වගේම කියන්න ඕන මාර්ග බලපත්‍ර සංශෝධනයක් කළොත් ලංගමයට තව මාර්ග බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. එහෙම තියෙද්දී පෞද්ගලික අංශයට ලංගමය ගැන කතාකරන්න බැහැ. මොකද මේක රටේ ජනතාවගේ ප්‍රවාහන සේවය. ඒත් පෞද්ගලික බස් කියන්නෙ සේවාවක් නොවෙයි. ලාභ ඉපැයීම සඳහා සිදුකරන දෙයක්. 2013 වසරේදී බස් රථ 3,000ක් ලංගමයට අලුතින් ගෙන ඒමේදී පෞද්ගලික බස් මාෆියාව විරෝධය දැක්වුවා. ඉදිරියේදී ලංගමයට තවත් බස් රථ 1,000ක් ලැබෙනවා. එය ලැබීම වැළැක්වීම සඳහා තමයි ඔය කතා කියන්නෙ. ලංගමයට බස් ගන්න කාගෙන්වත් අවසර ඕන නැහැ. එහෙම අවසර ගන්නවා නම් ප්‍රවාහනයට ඇමති කෙනෙක් ඕනත් නැහැ. මේ නිසා රජය කොන්ද කෙළින් තියන් තීරණ ගන්න ඕන.
මාර්ග තදබදය ලංගමයට බලපාන ආකාරය
ලංගමය කියන්නෙ ජනතාවට ගුණාත්මක කඩිනම් සේවාවක් ලබාදෙන තැනක්. ඒත් නගර ආශ්‍රිතව තියෙන මාර්ග තදබදය මගීන්ට කලට වේලාවට ගමනක් යෑමට බාධා එල්ල කරලා තියෙනවා. මේ නිසා මාර්ග තදබදය අවම කරන්න ජාතික වැඩපිළිවෙළක් විධිමත් ආකාරයට ක්‍රියාත්මක කරන්න ඕන. විශේෂයෙන් කියනවා නම් කාර්යබහුල වේලාවක් තුළදී නගරයට පැමිණෙන පෞද්ගලික වාහන සීමා කරලා පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ වගේම නගරය පසුකර ගෙන යන්න එන පෞද්ගලික වාහන සඳහා විකල්ප මාර්ග හඳුන්වා දෙන්න ඕන. මේ දේවල් හරි පරිස්සමට කරන්න ඕන දේවල්. මොකද සිදුකරන කිසිම වැඩපිළිවෙළකින් ජනතාව අපහසුතාවන්ට පත්වෙන්න බැහැ. මොකද එහෙම වුණොත් විරෝධතා එල්ල වෙනවා.
ඒකාබද්ධ කාලසටහන්වලට විරෝධය දැක්වීම
අපි ඒකාබද්ධ කාලසටහන් ක්‍රම‘වේදයට අකමැති නැහැ. අපි විරෝධය දක්වන්නෙ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන ආකාරයට අපට බස් රථ නොමැති වීමට. මොකද ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කරන්න හදන්නෙ පෞද්ගලික බස් රථ 25,000කට ලංගම බස් රථ 4,500ක් තියාගෙන.
මේ නිසා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න නම් ලංගමයට බස් රථ 16,000කට වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි රටේ ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක සේවාවක් ලබාදෙන්න හැකියාව තියෙන්නෙ. අපි කිසි වේලාවකවත් පෞද්ගලික අංශය කඩාවැටෙන දේවල් කරන්නෙ නැහැ. මේ සඳහා මුලින්ම පෞද්ගලික බස් රථවලට බලපත්‍ර ලබාදීම සීමා කරන්න ඕන. ඊට පස්සෙ ලංගමයට තවත් බස් රථ එකතු කරලා රාජ්‍ය ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුතුයි. එහෙම වුණාම අපි මේකට එකඟයි.
ඩිපෝ ප්‍රමාණය අඩුකිරීම හා සේවකයන් විශ්‍රාම ගැන්වීම
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන ප්රතිව්යූහ ගතකිරීමේ ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නෙ. මෙම ක්‍රියාවලියට අනුව ලංකාව පුරා තියෙන ඩිපෝ 118ක ප්‍රමාණය 59ක් දක්වා අඩුකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ. ඒ වගේම 35,000ක් වන සේවක ප්‍රමාණය 14,000ක් දක්වා අඩුකිරීමටත් සැලසුම් කරලා තියෙන්නෙ. හැබැයි මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වුණේ රාජ්‍ය ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා කියලා. හැබැයි මේ කරන වැඩෙන් වෙන්නෙ ලංගමය වළපල්ලට යන එක. මේ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වා මෙම ක්‍රියාව තුළින් ලංගමය විනාශ වෙන නිසා මේවා නවත්වලා දාන්න කියලා. ඒ වගේම නැතිවුණොත් මේක විනාශ වෙලා යාවි. මොකද මේක හවුල් ආණ්ඩුවක් කිව්වට තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. එක්සත් ජාතික පක්ෂය බලයට ආපු හැම මොහොතකම සිදුවුණේ මේ වගේ දේවල්.
සේවක වැටුප් ප්‍රමාදය
පසුගිය කාලයේදී සේවක වැටුප් ලැබුණෙ වාරික ක්‍රමයට. සමහර වෙලාවට මේ මාසේ වැටුප තවත් මාස දෙක තුනක් ගිහිල්ලත් ලැබුණා. ඒත් සංගමයක් ලෙස අරගල කරලා මේ වනවිට බොහෝ ස්ථානවල නියමිත ලෙස වැටුප් ලබාදෙනවා. ඒත් සමහර ස්ථානවල වැටුප දෙන්න සතිය දෙක පරක්කු වෙනවා. හැබැයි ලබන වසරට මුදල් වෙන්කරලා තියෙන ආකාරයට වසර මැද වනවිට වැටුප් ගෙවීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දැන්ම ඉඳලා කියන්නෙ ලංගමයට අවශ්‍ය රුපියල් කෝටි 1,900 එකවර වෙන් කරන්න කියලා.
දඩ මුදල් ඉහළ දැමීම
දඩ මුදල් ඉහළ දැමීමට අපි තරයේ විරුද්ධයි. මේ තුළින් ලංගම රියදුරන් වගේම පොදුවේ සමස්ත රියදුරන්ම පීඩාවට පත්වෙනවා. මේ නිසා දඩ මුදල් ඉහළ දැමීම නවතා දමන ලෙස රටේ නායකයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. දඩ මුදල් ඉහළ දැමීම තුළින් පමණක් යහපත් රියදුරන් බිහි කරන්න බැහැ. මොකද ඒ සඳහා රට තුළ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. මොකද දඩ මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීම තුළින් සිදුවන්නෙ මාසයකට රුපියල් 35,000ක වැටුපක් ගන්න රියදුරෙකු සුළු හෝ වරදක් කළොත් ඒ මුදලින් ආණ්ඩුවට රුපියල් 25,000ක් දීලා දරු පවුල නඩත්තු කරන්න රුපියල් 10,000ක් ගෙදර අරන් යන්න වෙන එක.
ලංගමය ශක්තිමත් කිරීම
2013 වසර වෙනකම් ලංගමයට බස් රථ ලබාදුන්නෙ රජය මගින්. 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලංගමයට බස් රථ 2,200ක් ලබාදුන්නෙ ගිනිපොළියකට. මේ නිසා මෙම ක්‍රමය ඉවත් කරලා රජය මැදිහත් වෙලා ලංගමයට බස් රථ ලබාදෙන්න ඕන. මීට අමතරව සෑම ඩිපෝවක්ම පිහිටලා තියෙන්නෙ ප්‍රධාන මාර්ගයට ආසන්න ජනාකීර්ණ ප්‍ර‘දේශවල. මේ නිසා දිස්ත්‍රික්කයට එක් ඩිපෝව බැගින් තෝරාගෙන ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කරලා ඒ හරහා ආදායමක් උපයා ගත යුතුයි. රියදුරු පුහුණු පාසල් ඇති කරලා ආදායමක් ලබාගැනීමට හැකි ක්‍රම ඇතිකිරීම, දුම් සහතික නිකුත් කිරීම, ලංගමය හරහා සිදුකිරීම වැනි කටයුතුවලින් ලංගමයට අමතර ආදායම් උපයා ගත හැකියි.