Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් 'සයිටම්' සම්බන්ධයෙන් මෙම සතිය තුළ රට තුළ දැවැන්ත ලෙස කතාබහට ලක්විය. එමෙන්ම විවිධ කරුණු කාරණා මුල්කර ගනිමින් දැවැන්ත උද්ඝෝෂණ, වැඩ වර්ජන කිහිපයක්ම මෙම සතිය තුළ පැවැත්විණි.
කෙසේ වුවද කුමන තත්ත්වයක් යටතේ හෝ සයිටම් ජනසතු නොකරන බවත්, සිදුකරන්නේ ප්‍රමිතිගත කිරීමක් බවත් මෙවර කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටියේය.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමග නිල සාකච්ඡාවක් නොකළ බවද ඔහු කීවේය.
මේක හොර සාකච්ඡාවක්
මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති සයිටම් සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කෙරුණේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසුවය.
එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොටස් වෙළෙඳ පොළට ඇතුළත් නොකර භාරයක් මගින් පාලනය කළ යුතු බවයි.
එයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රී පැවසුවේ,
''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගෙත් එක්ක පැවැත්වූ සාකච්ඡාව නිල නොවන සාකච්ඡාවක්. අපේ නිලධාරීන්ට බලපෑම් කරලා තමයි සාකච්ඡාව ලබාගත්තෙ. සාකච්ඡාව ආරම්භයේදීම මම කිව්වා මේක නිල නොවන සාකච්ඡාවක් බව. මේක හොර සාකච්ඡාවක් කියලා මම එයලාට කිව්වා.
මේ සාකච්ඡාවේ ඡායාරූපවත්, ලිඛිත සාක්ෂිවත් නැහැ.
ඔවුන්ට මම කිව්වේ සයිටම් අර්බුදය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කඩිනමින් ප්‍රකාශයට පත්කරන්න අපි කටයුතු කරනවා කියලා. නිල සාකච්ඡාවක් නොතිබුණු නිසා සාකච්ඡාව පිළිබඳ මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. අඟහරුවාදා එක්තරා පත්තරයක මුල් පිටුවේ තිබූ ප්‍රවෘත්තියත් වැරදියි.
මගේ ලේකම් පී.බී. අබේකෝන් රජයේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වුවේ නැහැ. ඔහු අසනීප තත්ත්වයෙන් සිටියේ. මගේ අතිරේක ලේකම්වරු හෝ වෙනත් ලේකම්වරු මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුවේ නැහැ. මේ ප්රශ්නය ගැන මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කළා. මීට වඩා සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ'' යනුවෙනි.
එවිට අදහස් දැක්වූ චම්පික රණවක කියා සිටියේ,
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි වෘත්තීය සමිති සමග මෙවැනි කාරණා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීම වැදගත් බව ඔහු කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ සිටි සියලුම අමාත්‍යවරුන් එම අදහස අනුමත කර සිටි අතර, මෙහිදී අදහස් දැක්වූ ඇමති රාජිත සේනාරත්න සඳහන් කළේ පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා පැවැත්වූ බවයි.
''එහිදී ඔවුන් වෛද්‍ය සිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලබලය සිදූවූ දින රූපරාමුවලින් තමයි එම සිසුන් අත්අඩංගුවට ගන්නෙ. පීඨාධිපතිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරන බව මම ඔවුන්ට දැනුම් දුන්නා'' යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම කලබලය පිටුපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය බවත්, එම බලවේගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අමාත්‍යවරුන්ගේ වගකීම බවත්ය.
කවුරුවත් දුරකථන ගෙනත් නැහැ
කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගන්නා කැබිනට් පත්‍රිකා පිළිබඳ අමාත්‍යවරුන් දක්වන අවධානය අඩු බවට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එයට හේතුව ජංගම දුරකථන බවත්, ඒ නිසාවෙන් මීළඟ සතියේ සිය දුරකථන ගෙන නොඑන ලෙසත් ජනාධිපතිවරයා ඇමතිවරුන්ට තරමක් දැඩි ස්වරයෙන් කියන්නට විය.
කෙසේ හෝ මෙවර කැබිනට් මණ්ඩලය සහභාගි වූ අමාත්‍යවරුන් ජංගම දුරකථන නොමැතිව කැබිනට් මණ්ඩලයට සහභාගි වූ අතර සියලු දෙනා මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාද සතුටු විය.
හැම දෙයකටම මම යන්න ඕන නැහැ
මෙවර කැබිනට් රැස්වීම ආරම්භ වූයේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ දැනුවත් කිරීමත් සමගය. 28 වැනි බදාදා දින උද්ඝෝෂණයක් පවත්වමින් ජනතාව මෙම ව්‍යාපෘතියට විරෝධය පළකරන බව හරීන් ප්‍රනාන්දු කියා සිටියේය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමසා සිටියේ,
ඒකට ඔබතුමා යෝජනා කරන විසඳුම මොකක්ද? යන්නය. මෙම ව්‍යාපෘතිය නතර කළ යුතු බව හරීන් ප්‍රනාන්දු පිළිතුරු ලෙස සඳහන් කළේය.
එවිට ජනාධිපතිවරයා පවසා සිටියේ,
''ව්‍යාපෘතියේ කටයුතු සියයට 75කටත් වඩා අවසන් වෙලා තියෙන්නෙ. පසුගිය රජය උමා ඔය ආරම්භ කළේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් නැතුව'' යනුවෙනි. එවිට හරීන් ප්‍රනාන්දු පැවසුවේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස ඉරිතලා ගොස් ඇති බවත්, බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවී ඇති බවත්ය.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණ මේ පිළිබඳව නිරීක්ෂණය කර තීන්දුවක් ලබාදෙන්නේ නම්, එය වඩා යහපත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.
එයට සවන් දුන් ජනාධිපතිවරයා ''හැම එකටම මම යන්න ඕනේ නැහැ'' යැයි පවසා සිටියේය.
එවිට කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන් සඳහන් කර සිටියේ, ''ඔබතුමා හැම දේකටම යන්න එපා. එහෙම නම් ඇතැම් වෘත්තීය සමිතිත් සමග සාකච්ඡා පැවැත්වීමත් නතර කළ යුතුයි'' කියාය.
මෙම සාකච්ඡාවට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, බණ්ඩාරවෙල නගර වැසියන් පානීය ජල අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ඊට පිළියම් යෙදිය යුතු බවත්ය.
අවසානයේ මහින්ද අමරවීර, විජිතමුණි සොයිසා සහ චම්පික රණවක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා විසඳුම් සෙවීමට කමිටුවක් පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් මෙයට විසඳුම් සෙවීමේ වගකීම කැබිනට් මණ්ඩලයේදී පැවරිණි.
තව කල් බලාගෙන ඉන්න බැහැ
ගිං, නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳවද කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කරන ලදී. එහිදී ඇමති රාජිත සේනාරත්න පැවසුවේ මෙම ව්‍යාපෘතියේ මුදල් 2015 ජනවාරි 08 දින චෙක්පතක් මගින් ලබාගෙන ඇති බවයි. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි.
රාජපක්ෂලාගේ කොමිස් ගෙවන්න තමයි මෙම මුදල් ලබාගෙන තිබෙන්නෙ. ඩුබායි බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ පවත්වන අය මට ප්‍රකාශ කළා ගිං, නිල්වලා ව්‍යාපෘතියේ මුදල්ද ඩුබායි බැංකු ගිණුමකට බැරකර තිබෙනවා කියලා. මේ පිළිබඳව තවදූරටත් සොයා බැලීම අත්‍යවශ්‍යයි.
මෙම සිද්ධිවලට සම්බන්ධ උදයංග වීරතුංග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපතිවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව රතු නිවේදනද නිකුත් කර ඇතත්, ඔහු රටින් රටට මාරුවෙමින් සිටින බවයි. එවිට ඇමති මංගල සමරවීර කියා සිටියේ, රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය පසුගිය ඉරිදා තහනම් කළ බවයි.
''රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයෙකුගේ රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය තහනම් කිරීමට පෙරේදා වෙනකන් බලාගෙන හිටියා. තවකල් බලාගෙන ඉන්න බැහැ. හිටපු ජනාධිපතිවරයා යනයන තැන්වල ඔහු ගමන් කරනවා'' යැයි මංගල සමරවීර පැවසීය.
ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රය 2015 ජනවාරි 08න් පසු වලංගු නොවන බව ඇමති රාජිත සේනාරත්න අවධාරණය කර සිටියේය.
අපට මේ ලෙඩේ බෝ කළේ පතිරාජ
ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ දෙවැනි සුසමාදර්ශය නම් වූ ආචාර්ය ධර්මසේන ජතිරාජයන් සිනමාව වෙනුවෙන් පනස් වසරක් පුරාවට ඉටුකළ සේවය අගය කිරීමේ උලෙළ 'පතිට පනහයි' නමින් චිත්‍රපටි සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
උපහාර පුදකිරීමේ උත්සවයට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙන්ම, මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
උත්සව සභාවේදී ප්‍රවීණ කලා ශිල්පි ධර්මසිරි බණ්ඩාරනායකයන් රහසක් හෙළි කළේය. ඒ පිළිබඳව ඔහු පැවසුවේ මෙවැන්නකි.
පතිරාජයන් 'අහස් ගව්ව' හදපු නිසා තමයි ධර්මසිරි 'හංස විලක්' හැදුවේ. මම හැමදාම ඒ කතා කියනවා. එතුමා 1974 හදපු ප්‍රථම චිත්‍රපටය 'අහස් ගව්ව'. අපි පාසල් යන කාලයේදී පුදුම ආසාවෙන් බැලුවේ.
'අහස් ගව්ව' කොච්චර අපේ තරුණ ජීවිතවලට සමීප වුණාද කිව්වොත් අමරසිරි කළංසූරිය වගේ අපි කොණ්ඩේ පීරන්නෙ නැතුව හිටියා. තාම මම කිසිම දවසක කමිසයේ උඩ බොත්තම දාන්නේ නැහැ. මම බොත්තම දැම්මේ නැත්තේ අමරසිරි නිසයි. 'අහස් ගව්වේ' රඟපාන කොට අමරසිරි මම හිතන්නේ කලිසම හෝදන්නේ නැහැ. අපිත් කලිසම් හෝදන්නෙ නැතුව හිටියා. ඒ තමයි පතී අපට කරපු උදව්ව. 'අහස් ගව්ව' නිසා තමයි අපටත් චිත්‍රපටි කරන්න පුළුවන් කියන විශ්වාසය තැබුවේ.
'පළගැටියෝ' චිත්‍රපටියේ රඟපාපු මට ජාතික චිත්‍රපට උලෙළේදී සම්මානයක් ප්රදානය කළා. ඊට පස්සේ මම පුවත්පතක දැක්කා එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කියලා තියෙනවා අඩුම ගාණෙ ෂර්ට් එකක් ඇඳපුවාම බොත්තමක්වත් දාන්න බැරි නළු නිළියෝ තමයි මෙතැන සම්මාන ගන්නේ කියලා. මගේ නම සඳහන් කරලා කියලා තිබුණා.
ජයවර්ධන මහත්තයා ජීවතුන් අතර නැති නිසායි මම මේ කියන්නෙ. එතුමා ජීවතුන් අතර හිටිය නම්, එතුමා නැතිවෙනකම් ඉඳලා මම මේක කියනවා. එතුමා දැනගෙන හිටියේ නැහැ අපට මේ ලෙඩේ බෝ කළේ පතිරාජ කියලා.''
සොරකමට වැට
පසුගිය සතියේ දිනයක ඇමති සජිත් ප්‍රේමදාස සිය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා නැගුවේ බරපතළ චෝදනාවලියකි.
''ඔය හැම ආයතනයකටම මම වෙස්වලා ගත් කණ්ඩායම් යවල තියෙන්නෙ. ඒ අය මට හැම දෙයක්ම වාර්තා කරනවා. වාහනේකට ලීටර් 120ක් තෙල් ගැහුවා කියල බිලක් ගෙනාවට ගහන්නෙ ලීටර් 85යි. ලීටර් 35ක සල්ලි සාක්කුවේ.
පිරවුම් හල්වලින්මයි මට මේ ආරංචිය එන්නෙ. මේ වගේ අක්‍රමිකතා කරන අය සම්බන්ධව දැඩි පියවර ගන්න, ඒ අයට එරෙහිව විනයානුකූල පියවර ගන්න.
මම මගේ නිල නිවස, වාහන, වැටුප්, දීමනා, වරප්‍රසාද නොගෙන සේවය කරද්දී මේ හොරු ආයතන කාබාසිනියා කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් මගේ කාලේ බෑ. ඒක හොඳින් මතක තියාගන්න'' සජිත් කතා කළේ කෝපයෙනි.
ඇමති සජිත්ගේ ප්‍රකාශය අසා සිටි එම නිලධාරීන් මුහුණට මුහුණ බලාගත්තේ විමතියෙනි.
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ත්‍රිකුණාමලයේ
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සතියේ වැඩි අවධානයක් යොමුකර තිබුණේ ජූලි 03දා ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන රැලිය සාර්ථක කර ගැනීමේ කටයුතු වලටය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා පැවැති කුඩා රැස්වීම් ඇමතීමට මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සහභාගී වූහ.
තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, නාමල් රාජපක්ෂ, පද්ම උදය ශාන්ත ගුණසේකර, ප්‍රසන්න රණවීර, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ත්‍රිකුණාමලයේ නතරවී කුඩා රැස්වීම්වලට සහභාගී වූහ. මොරවැව පැවති කුඩා රැස්වීම්වලට විමලවීර දිසානායක සමග පද්ම උදය ශාන්ත, සනත් නිශාන්ත එක්විය.
තඹලගමුව පැවති කුඩා රැස්වීම්වලට ඉන්දික අනුරුද්ධ සමග තාරක බාලසූරිය එක්විය. මුස්ලිම් හා දෙමළ ජනතාව වැඩි වශයෙන් සිටින ත්‍රිකුණාමලයේ ජනමතය මේ වන විට ඒකාබද්ධ විපක්ෂය දෙසට තල්ලු වී ඇතැයි කුඩා රැස්වීම් අවසානයේ මන්ත්‍රීවරුන් සිදුකළ සාකච්ඡාවේදී එකිනෙකා පවසන්නට විය. ජූලි 03දා පැවැත්වෙන ප්‍රධාන රැලියේ සංවිධාන කටයුතු බාරව සිටින විමලවීර මෙහිදී කීවේ,
''කලින් තිබුණු මහින්ද රාජපක්ෂ විරෝධය මුස්ලිම් ජනතාවගෙන් පහව ගොස් තිබෙනවා.‘ ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් මෙම රැලියට සහභාගි වේවි කියලා අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද රැස්වීම්වලට ආපු මුස්ලිම්, දෙමළ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා'' ‘යනුවෙනි.
එක ගෙදර අය සයිටම් සටනේ
සයිටම් ආයතනයට විරුද්ධ කණ්ඩායමේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණද සිටියි. පසුගිය කාලය පුරා පැවැති විරෝධතාවලදී ඔවුන්ගේ දායකත්වය දැකිය හැකි විය. ඔවුන්ගේ පැරණි මිතුරුකම් යළිත් අලුත්කර ගැනීමටද සයිටම් සටන උපකාරයක් වී තිබේ. දෙමාපිය සංසදයේ සභාපතිවරයාගේ මුල් දේශපාලනයද ජවිපෙ විය.
සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය විසින් විහාර මහා දේවි උද්‍යනය අසල සිට කොටුව දුම්රියපළ දක්වා පසුගිය බදාදා පාගමනක් සංවිධානය කර තිබුණි. විරසරකව සිටින පැරණි මිතුරන්ට යළි සුහදත්වයක් ඇතිකර ගැනීමට මෙම පාගමන ද දායක විය.
පාගමන අවසානයේදී දෙමව්පියන් සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර, ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස ඇතුළුව දේශපාලඥයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
'සයිටම් සටනේ සිටින සියලුදෙනාගේ මහගෙදර බලද්දී ජවිපෙ තමයි' ජයන්ත සමරවීර මෙහිදී කිවේය. ජයන්ත සහ පුබුදු අතීතයේ ජවිපෙ කලා සංගමයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරමින් සිටියදී අවට සිටි අය කීවේ 'දෙන්නා ඉතිං යාළුවෝ නේද' කියාය.
''ඇයි නලින්ද කතාබහක් නැත්තේ.. මොකද?'' කියා ජයන්ත මෙහිදී විමසීය.
''මං නලින්දට කතා කළා.. ඒත් එයා කතා කළේ නෑ..''‘ එවිට පුබුදු කීවේය.
''නලින්ද අපිත් එක්ක එකට වාඩි වෙලා ඉන්න එක ගැන සතුටුයි... පුබුදු ඇයි ජනිපෙ පටන් ගන්නකොට අපිත් එක්ක ආවෙ නැත්තේ? අපි මේ සටනේ දිගටම හිටියා.. .සයිටම් ජනසතු වෙන්න ඕන කියන මතයෙන් අපි බැහැරවෙලා නෑ... හැබැයි හූ කියනව නම්, බාධා කරනව නම්, අපිව මග ඇරලා යනව නම් එක වේදිකාවක් තුළ අපිට එකතුවෙන්න බැරිවෙන්න ඇති'' ‘ජයන්ත අනතුරුව පැවසුවේය.
මෙම සත්‍යග්‍රහයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබුණු අතර, එම අවස්ථාවට සහභාගී වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට උද්ඝෝෂකයන්ගෙන් විරෝධය පළවූහ. ජනතාව වාසුදේවට හූ කියමින් එම විරෝධය පළකරන ආකාරය දැකිය හැකි විය. ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උමා ඔය ගැන දවල් 12ට පිළිනොගත් ජනපති පොරොන්දුව සවස 5ට පිළි අරන්
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව පසුගිය බදාදා බණ්ඩාරවෙල නගරයේදී පැවති හර්තාලය සහ උද්ඝෝෂණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැඩි දායකත්වයක් ලබාදී තිබුණි.
එජාපය වෙනුවෙන් චමින්ද විජේසිරිද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සමන්ත විද්‍යාරත්නද එම උද්ඝෝෂණයට එක්ව සිටියහ. උද්ඝෝෂණයක් පවත්වා බණ්ඩාරවෙල නගරයේ සියලු කටයුතු ඇනහිට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනගන්නට ලැබුණු විට ඔහු හරීන් ප්‍රනාන්දුගෙන් ඒ ගැන විමසීය.
''ඔව් සර් සෙනඟ ගොඩක් නගරයේ ඉන්නවා... ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න වේවි'' කියා හරීන් පැවසීය.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මේ පිළිබඳව සැළ කළ අතර, කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කීවේය. එසේනම් සිකුරාදා සවස පහට තමාගේ නිවසේ සාකච්ඡාවක් ලබාදිය හැකි බව මෛත්‍රී පැවසුවේය. අනතුරුව උද්ඝෝෂණ භූමියේ සිටි චමින්ද විජේසිරිට දුරකථන ඇමතුමක් ගත් අගමැති රනිල් කීවේ සිකුරාදා සාකච්ඡාවකට ජනාධිපති එකඟ වූ බවයි.
උද්ඝෝෂකයන්ට ඒ ගැන කියන්නැයි අගමැති රනිල් කීවේය. හරීන් ප්‍රනාන්දුද චමින්ද විජේසිරිට මේ බව දන්වා සිටියේය. අගමැති රනිල් නැවත වරක් දුරකථන ඇමතුමක් ගෙන චමින්ද විජේසිරිට කීවේ ජනතාව සන්සුන් කර කරුණු පැහැදිලි කර දෙන ලෙසයි.
දහවල් 12ට පමණ චමින්ද විජේසිරි ජනාධිපතිවරයාගේ සාකච්ඡාව සම්බන්ධ ලියවිල්ල ෆැක්ස් මාර්ගයෙන් ගෙන්වා ගෙන ජනතාවට පෙන්නුවද ඔවුන් උදඝෝෂණය අත්හැරීමට සූදානම් නොවීය.
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය උද්ඝෝෂකයන්ට දැනුම්දීමට චමින්ද විජේසිරි දැඩි උත්සාහයක් ගත්තද සමන්ත විද්‍යාරත්න කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලැබෙනතුරු උද්ඝෝෂණය අත්නොහරින බවයි.
කෙසේ වෙතත් සවස 5 ට පමණ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයෙකු විසින් ජනාධිපතිවරයාගේ ලිඛිත පොරොන්දුව කියවීමෙන් පසුව උද්ඝෝෂණය අත්හැරීමට තීරණය විය.
නාමල් මෛත්‍රී හමුවෙයි
ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මේ වන විට කටයුතු කරන්නේ ගොවි ජනතාවගේ ගොවි නායකයා ලෙසිනි. පසුගිය කාලයේ වී ගොවියන්ගේ ගැටලුවට, සහල් පාරිභෝගිකයන්ගේ ගැටලුවලට, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ගැටලුවලට, පොහොර සහනාධාරය නොලැබීමේ ගැටලුවට, නියං සහනාධාර ලබානොදීමේ ගැටලුවට, කිරි ගොවියන්ගේ ගැටලුවටද හෙතෙම මැදිහත් වූවේය. නාමල් කරුණාරත්න ජාතික සංවිධායක ධුරය දරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම සියලු කටයුතු සඳහා මැදිහත් විය.
හම්බන්තොට, මොණරාගල, මීරිගම ගොවියන් පමණක් නොව මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් ගොවියන් පවා නාමල් කරුණාරත්නට එම දිස්ත්‍රික්කවලට පැමිණෙන ලෙස ආරාධනා කළ බව නාමල් කරුණාරත්න වරෙක පැවසීය.
මෙම ආරාධනා සියල්ලටම ප්‍රතිචාර දැක්වීමට නොහැකි වුවත් නාමල් කරුණාරත්න හැකි ආකාරයෙන් එම දිස්ත්‍රික්කවලට ගොස් ගොවි ජනතාව සමග ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමටත්, පාලකයන්ගේ අවධානය එම ගැටලූ වෙත යොමු කිරීමටත් කටයුතු කරමින් සිටින බව ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළේය.
”අපි ඔබතුමා ටීවී එකෙන් විතරයි දැකලා තිබුණේ. අපේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉන්නේ ඔබතුමා විතරයි. අපිව බලන්න ආපු එක ලොකු පිනක්” පසුගියදා මුලතිව් ප්‍රදේශයට ගිය නාමල් කරුණාරත්නට එම ප්‍රදේශයේ ජනතාව කියා තිබුණි.
මේ අතර කිරි ගොවියන්ගේ ගැටලු ගණනාවක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරවීම සඳහා පසුගිය විසිපස් වෙනිදා දඹුල්ලේදී කිරිගොවියන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමග ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැත්වීය. එයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා විසින් 29 වෙනිදා පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට සාකච්ඡාවක් ලබාදුන්නේය. නාමල් මෛත්‍රී හමුවූයේ එලෙසිනි.
ඔබතුමාලට මොනවද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාය.
පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවා තිබිණි. එහිදී ප්‍රධාන සාකච්ඡාව බවට පත් වූයේ කෘමි සතුන් නොවන වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි නිසා ගොවිජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවය.
''මොනරුන්, ඌරන්, ලේනුන් ඇතුළු සත්ත්වයන්ගෙන් වී ගොවිතැනට, ධාන්‍ය වගාවන්ට, කෙසෙල්, මඤඤොක්කා ඇතුළු වගාවන්ට සිදුවන හානි වැළැක්වීමට මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශය පවා විසඳුමක් දීලා නැහැ.
ගොවියන්ගෙන් පැමිණිලි එනවා මේවා ගැන. නියඟයෙන්, පොහොර සහනාධාර නැතුව බැට කන ගොවියට මේකත් විශාල ප්‍රශ්නයක්. ඔබතුමාලට මොනවද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම්''
විජිත හේරත් කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ''වඳුරන්ට වෙඩි තියන්න වායු රයිෆල් දෙනවා. සත්තු එලවන්න ගොවියෝ එක එක දේවල් කරනවා. ඒත් මේකට නිශ්චිත විසඳුමක් නැහැ මන්ත්‍රීතුමා'' නිලධාරීහු කියා සිටියහ.
''මේක ලොකු ගැටලූවක් වෙලා තියෙන්නේ. ඒ නිසා විසඳුමක් හදන්න වෙනවා. ඒ නිසා ඔබතුමාලා මේකට හරියන විසඳුමක් යෝජනා කරලා නිර්දේශ සහිත වාර්තාවක් හදන්න. අපි ඊළඟ රැස්වීමේදී මේක සාකච්ඡා කරමු'' විජිත හේරත් කියා සිටියේය.
මේ අතර කාරක සභාවේ සාමාජිකයෙකු වන රතන ස්වාමින් වහන්සේ විසින් ග්ලයිෆොසෙට් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ලියවිල්ලක් ගැනද කාරක සභාවේ අවධානය යොමු විය. මේ ගල්යිෆොසෙට් ගැටලුව ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ලබන මස 06 වෙනිදා දින යොදාගත් අතර, එදිනට වැවිලි කර්මාන්ත ඇමතිවරයාද කාරක සභාවට කැඳවීමට තීරණය විය.
අතපසු වු දෙයක් කරු මතක් කරයි
පාර්ලිමේන්තුව නියෝජනය කළ අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් පිළිබඳව ශෝක යේජනා ඉදිරිපත් කිරීම දිගු කලක් අතපසු වෙමින් තිබූ අතර, එම ශෝක යෝජනා කඩිනමින් ගෙන ඒම රටට විශාල සේවයක් කළ එම දේශපාලන නායකයන්ට ඉටු කරනු ලබන ගෞරවනීය යුතුකමක් බව කථානායක කරු ජයසුරිය අවධාරණය කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු න්යායපත්රයේ පුළුල් ඉඩකඩක් ඒ වෙනුවෙන් වෙන් කිරීමද ආරම්භ කළේය. ජූනි මස පාර්ලිමේන්තුවේ අවසන් සතිය නිමා වූයේද එම කෘතවේදී කාර්යය සඳහා පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා ගෙන ඒමෙනි.
ඒ අනුව ඒ.එම්.එස් අධිකාරී, ආරියරත්න ජයතිලක, චන්ද්‍රා රණතුංග, මෛත්‍රීපාල හේරත් යන ජ්‍යේෂ්ඨ ජන නායකයන් පිළිබඳව කෘතවේදී ගුණානුස්මරණයන් සිදුවිය.
විශේෂයෙන්ම තම ඥාතීන්ගේ ජාතික සේවය පිළිබඳව පාර්ලිමේන්තුව යළි සිහිපත් කළ එම වැදගත් දිනයෙහි ඒ ඒ පවුල්වල වත්මන් සාමාජිකයෝ පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේ කථානායකවරයාගේ ඇරයුමිනි. එම පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමූ කථානායකවරයා වෙන වෙනම ඒ ඒ පවුල්වල සාමාජිකයන් වෙත ගොස් පෞද්ගලිකවම සුව දුක් විචාළේය.
රාජ්‍ය අංශයේ සියලු ගිනුම්කරණ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයන්ට අනුව යාවත්කාලීන කිරීම සහ එකම ජාලයක් බවට පත් කරමින් සියලු අංශවලට තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව රාජ්‍ය ගිනුම් කාරක සභාවේ විශේෂ වැඩමුළුවද මීගමුවේදී පැවැත්වුණේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී මහජන මුදල් අවසන් සතිය දක්වාම විනිවිදභාවයකින් යුතුව රටට උපරිම ඵලදායකත්වයක් ලැබෙන ලෙස යෙදවීමේ වගකීමෙන් දේශපාලඥයන්ට මෙන්ම රජයේ නිලධාරීන්ටද මිදිය නොහැකි බව කරු ජයසූරිය මහතා දැඩිව කියා සිටියේය.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd