රජය වගා සංග්‍රාමයකට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සකස් කර අවසානය. එය යහපත් ආරම්භයක් වුවද, පවත්වාගෙන යෑමේදී වනසතුන්ගෙන් සිදුවන හානිය පිළිබඳ මැසිවිලි ජනතාව අධෛර්ය කරවන සාධකයක් බවට පත්ව තිබේ.
තැනක රිළවුන්ගේ හා වඳුරන්ගේ කරදරයකි. තවත් තැනක දඬුලේනුන්ගේ කරදරයකි. පොල් වගාවට එය බලවත් තර්ජනයක් වී ඇතැයි වගාකරුවෝ පෙන්වා දෙති. ඌරාද එවැනිම හානිකර සතෙකි. ඉත්තෑවෝද ගම්මාන මට්ටමෙන් භෝග වගාවන්ට හානි කරති^යි මැසිවිල්ලකි.
පවතින වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත් අනුව මෙම සතුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වගාකරුවන්ට ඇත්තේ ගැටලු රැසකි. පවතින ඇතැම් නෛතික සීමා නිසා සතුන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා ගත හැකි විකල්ප මොනවා දැයි යන්න ක්ෂේත්‍ර අධ්‍යයනවලදී ඇසෙන මැසිවිල්ලකි.එනිසාම මේ සම්බන්ධයෙන් අප වනජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයෙන් විමසුවෙමු.
රිළවුන්ගේ සහ වඳුරන්ගේ කරදරය
රිළවා යනු වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව උපලේඛන අංක 01හි ඇතුළත් ආරක්ෂිත නොවන සත්ත්ව විශේෂයකි. මොවුන් සතුව ඇති අධික ප්‍රජනන හැකියාවත්, කෘෂිභෝග පළිබෝධකයන් ලෙස ක්‍රියා කිරීමත් යන හේතු මත ආරක්ෂිත නොවන සත්ත්ව ලේඛනයට ඇතුළත් කර ඇත. එබැවින් මෙම සතුන් රක්ෂිත භූමිවලින් පිටත ස්ථානවලදී වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත සතුන් ලෙස නොසැලකෙයි.
කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධකයෙකු වශයෙන් සැලකෙන මෙවැනි සතුන් පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් ඉහත පැවසූ ආඥා පනතේ රෙගුලාසි සමග ගැටුමක් ඇති නොවේ. මෙලෙස රිළවුන්, වඳුරන් රංචු වශයෙන් අල්ලා වනාන්තරවලට රැගෙන යෑමේදී එම සතුන්ගෙන් ඉතා විශාල ප්‍රතිශතයක් ජීවිතක්ෂයට පත්වන බව අප විසින් කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත.
එසේම පසු ආහාර සපයා ගැනීමේ ක්‍රමවේදයකට හුරු වූ මෙම සතුන් වනාන්තරයේ සිට නැවත එවැනි ස්ථානවලට පැමිණෙති. එමෙන්ම එක් රංචුවක් අල්ලා ඉවත් කළද, එම ප්‍රදේශයේ ආහාර සුලබව වෙනත් රංචුවක් විසින් එම ස්ථානය ආක්‍රමණය කිරීම අනිවාර්යයෙන්ම සිදුවන්නෙකි. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී සතුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට අතහැරීම නිෂ්ඵල වු කරුණක් බව පෙනීගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම ප්‍රවීණ සත්ත්ව විද්‍යාඥයන්ගේ උපදෙස්වලට අනුව සතුන් අල්ලා ප්‍රවාහනය කිරීම නිෂ්ඵල බව පෙන්වා දී තිබේ. තවද රිළවුන්ගේ ගහනය වර්ධනයට ඔවුන්ගේ වටපිටාවේ ඇති ආහාරවල සුලබතාව ඍජු ලෙස බලපායි. එනිසා ඉවතලන ආහාර ද්‍රව්‍ය නිසි කළමනාකරණය යටතේ බඳුන් තුළ දමා රිළවුන්ට විවෘත කළ නොහැකි අයුරින් රැඳවීම එක් විකල්පයකි. රිළවුන් ගමන් ගන්නා මාර්ගයේ ඇති ගස්වල අතු ඉවත් කිරීම මගින් ප්‍රධාන ගමන්මග ඇහිරීම මේ සඳහා කළ හැකි විසඳුමක් බවද වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එනිසා මෙම සතුන්ට මිනිසුන් විසින් ආහාර සැපයීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය. ඉවත දමන ආහාර පවා සතුන්ට පරිභෝජනයට ගත නොහැකි වන පරිදි ක්‍රමවත්ව ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ජනතාවගේ පැත්තෙන් සකස් කළ යුතුව තිබේ.
වල්ඌරා
වල්ඌරා වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ පළමු වැනි උපලේඛනයට අයත් සතෙකි. එම සත්ත්වයා ආරක්ෂිත නොවන සත්ත්ව විශේෂයකි. එහෙයින් එම සතුන්ගේ අනිසි ක්‍රියාකාරකම් පාලනය කිරීමට යොදා ගන්නා ක්‍රමවේද පරිදි එය සිදුවිය යුතුය. එහිදී ආරක්ෂිත කලාපයකින් පිටත හෝ ප්‍රසිද්ධ මංමාවත්වලින් පිටත හෝ තහනම් මාර්ගයකින් පිටත හෝ එවැන්නක් සිදුවන්නේ එය තහනම් ක්‍රියාවක් නොවේ.
දඬුලේනා හා ඉත්තෑවා
දඬුලේනා හා ඉත්තෑවා යනු වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත සත්ත්ව කෙට්ඨාසයකි. එනිසා හිංසනයට පත්කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඔවුන් ඇල්ලීම සඳහා %උගුල්කූඩු යාන්ත්‍රණයක්^ ක්‍රියාත්මක කළ හැකිය. මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
දෙපාර්තමේන්තුව එසේ පවසන විට ජනතාවගේ වගකීම කුමක්ද? මෙවැනි සතුන්ගෙන් සිදුවන පාඩු අවම කරගැනීම සඳහා ජනතාවගේ පැත්තෙන්ද ප්‍රජා සහභාගිත්වය යටතේ කළ හැකි ක්‍රියාකාරකම් මොනවා දැයි සාකචඡා කිරීම කාලීන අවශ්‍යතාවකි. ජනතාව රජයට වගකීම පැවරීමත්, රජය ජනතාව දෙසා බලා සිටීමත් වෙනුවට ආයතන සහ ප්‍රජාව අතර ඇතිවන අවබෝධය තුළ මෙම හානිය අවම කරගැනීමේ ක්රමෝපායන් සම්පාදනය කිරීම වඩා ඵලදායී වනු ඇත.
එහිලා ගම්මානයේ ක්‍රියාත්මක කුඩා කණ්ඩායම් පරිසර සමිති හෝ වෙනත් ස්වේච්ඡා සංවිධානවලට ඇති අවකාශයද යොදාගත හැකිය.