කිසියම් රටක පැවැත්ම රඳා පවතින්නේ ධනය හා බලයෙන්ම පමණක් නොව, රටේ මිනිසුන්ගේ සුභදායී සෞඛ්‍ය තත්ත්වයද ඒ සඳහා තීරණාත්මක බලපෑමක් සිදුකරයි. ලෝකයේ බොහෝ රටවලට බලපාන පානීය ජල හිඟය ශ්‍රී ලාංකිකයන්ට විශාල වශයෙන් බලපාන ගැටලුවක් නොවූවද, අපගේ පානීය ජල සම්පත කෘෂි රසායන, බැරලෝහ සහ මල අපද්‍රව්‍ය යනාදියෙන් දූෂණයට බඳුන් වීම අද වන විට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.
මෙම කරුණු කාරණා මෙන්ම ඒ සඳහා විසඳුම් සෙවීමට ආරම්භ කර ඇති පරීක්ෂණ පිළිබඳ පසුගියදා ලෝක ජල දිනය වෙනුවෙන් ජාතික විද්‍යා පර්යේෂණ සභාවේදී පැවති මාධ්‍ය හමුවේදී පර්යේෂණ කණ්ඩායම් දැක්වූවේ මෙවන් අදහසකි.
භූජනන සම්භවයක් ඇති ෆ්ලෝරයිඩ්, නයිට්රේට්, මැන්ගනීස්, ආසනික් සහ කැල්සියම් මගින් ජල මූලාශ්‍ර දූෂිත වූ ප්‍රදේශයන් කිහිපයක්ද මේ වන විට අප රට තුළ හඳුනාගෙන තිබේ. මෙකී පසුබිම තුළ නාගරික ජනගහනයෙන් 90%කට ආරක්ෂිත නළ ජලය නොලැබෙන අතර, ග්‍රාමීය ජනගහනයෙන් 60%ක් පිරිසුදු ළිං ජලය මගින් තමන්ගේ ජල අවශ්‍යතා සපුරා ගනියි. නමුත් මෙසේ ජලය ලබා නොගන්නා ජනතාව කිසිදු ආරක්ෂක පියවරක් හෝ අධීක්ෂණයකින් තොරව නළ ළිං හෝ වෙනත් භූගත ජල මූලාශ්රයන්ගෙන් තමන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කර ගනියි. මේ හේතුවෙන් භූගත සම්භවයක් ඇති ඇතැම් අමුද්‍රව්‍ය මගින් අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇතිවීම විශාල වශයෙන් ගැටලුකාරී ස්වභාවයක් ගෙන තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 15කම ජල දූෂණය ප්‍රාමාණික මට්ටමින් සිදුවන බව අධ්‍යයනවලින් නිර්ණය කර ඇත. මෙයින් අහිතකර තත්ත්වයන් පෙන්නුම් කිරීම ඒ හා බැඳි භයානක තත්ත්වයකි. ශ්‍රී ලාංකිකයන් තුළ වැඩි වැඩියෙන් දක්නට ලැබෙන වකුගඩු රෝග සහ පිළිකාවන්වලට හේතුවක් ලෙස මෙම විෂවලට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීම පෙන්වාදිය හැකිය. පසුගිය දශක දෙක මුළුල්ලේ මේ හේතුවෙන් උතුරු මැද පළාතේ මරණ 22,000ක් වාර්තා වූ බව තක්සේරු කර තිබේ. දැනට එම පළාතේ ජනගහනයෙන් 5෴- 6෴ අතර ප්‍රමාණයක් මෙම රෝගයෙන් පෙළෙන බව දත්ත අනුව වාර්තා කර තිබේ. මේ සඳහා හේතුකාරකයන් රැසක් බලපෑ හැකි අතර, තවම නිශ්චිත හේතුකාරකයක් මේ යැයි අනාවරණය වී නොමැත. මේ නිසා මේ රෝගය හඳුන්වන්නේ හඳුනානොගත් කාලික වකුගඩු රෝගය නමිනි. මෙම රෝගය ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි ඉන්දියාව තුළින්ද, ඊට අමතරව ඊජිප්තුව සහ ලතින් ඇමරිකාවේ එල් සැල්වදෝරයෙන්ද මේ වන විට හඳුනාගෙන තිබේ.
ග්ලයිෆෝසේට් පිළිබඳවද මේ දිනවල ප්‍රබල ලෙස කතාබහ වන්නකි. වකුගඩු රෝගයට මෙයද හේතුකාරකයක් වන බව බොහෝදෙනාගේ අදහසයි. නමුත් මෙය තවමත් විද්‍යාත්මකව පරීක්ෂණ මගින් ඔප්පු වී නොමැත.
මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් භූ ගර්භ විද්‍යා අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මෙම පර්යේෂණය යටතේ, වකුගඩු රෝගීන්ගේ ස්වාභාවික ඉතිහාසය, රෝගය උත්සන්න වීමට හේතුසාධක, වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන් මියයන්නේ කුමන හේතුවක් නිසාද, රෝගය සහිත ප්‍රදේශයන්හි පිහිටි ජලය, පස් ඇතුළු පාරිසරික තත්ත්වයන් පිළිබඳව මේ යටතේ අප පුළුල් ලෙස අධ්‍යයනය කරනවා. ඒ තුළින් අපි වකුගඩු
සෛල වලට බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්නත් අධ්‍යයනය කරනවා. මෙහි ඇතැම් පරීක්ෂණයන් සිදුකරන්නේ පරීක්ෂණාගාර තුළ. මෙම පර්යේෂණය වැඩි වශයෙන් සිදුකරන්නේ ගිරාඳුරුකෝට්ටේ සහ විල්ගමුව යන ප්‍රදේශවල. මෙම ප්‍රදේශ දෙක තුළ වකුගඩු රෝගීන් බහුලව වාර්තා වෙනවා.
එමෙන්ම රෝගය මූලික අවස්ථාවේ හඳුනාගත හැකි ජීවසටහනක් හඳුනාගැනීම මෙම අධ්‍යයනයේ තවත් අරමුණක්. දැනට වසර තුනක පටන් මෙම පර්යේෂණය පවත්වාගෙන යනු ලබනවා. මෙම පර්යේෂණයේ සහාය සඳහා විශේෂයෙන් ලංකාව තුළ සිදුකළ නොහැකි අධ්‍යයනයන් සිදුකිරීම සඳහා විදේශීය විද්‍යාඥයන්ගේ සහයෝගයද අපට මේ වන විට ලැබී තිබෙනවා.
වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර
ඇත්තෙන්ම කෘෂි රසායන බහුලව වකුගඩු රෝගය සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන දෙයක්. ලංකාවේ කෘෂි රසායන සඳහා විෂ සහිත දේවල් බහුලව භාවිත කරනවා. ඊට අමතරව මේ කෘෂි රසායනවල තිබෙන අහිතකර ඵලවිපාක නිසා අප එක් එක් කාලවලට ඒවා භාවිතයෙන් ඉවත් කරනවා. ඒ නිසා ඇත්තෙන්ම විශේෂ සැකයකින් තමයි මේ කෘෂි රසායන දෙස බලන්නේ. අැතැම්විට වකුගඩු රෝග වැලඳීමටත් මෙය හේතුවක් වෙන්න පුළුවන්. ග්ලයිෆොසේට් රසායනික ද්‍රව්‍ය ලංකාවේ බහුලව භාවිත කරන්න ගත්තේ වී ගොවිතැන සඳහායි. ඒ 2009 වර්ෂයේදී. මගේ අදහසට අනුව කෘෂි රසායන කියන දෙය වකුගඩු රෝගය සෑදෙන්න බලපාන බව කවුරුන් හෝ යෝජනා කරනවා නම් එය ඇත්තෙන්ම හොඳ යෝජනාවක්. නමුත් පැහැදිලිව එසේ සිදුවන්නේ කෙසේද යන්න ඔප්පු කර පෙන්විය යුතුයි. 1930 වර්ෂයේදී පමණ ලංකාවේ පිළිකා නැහැ, වකුගඩු රෝග නැහැ, හෘදයාබාධ නැහැ, දියවැඩියාව නැහැ, රුධිර පීඩනය නැහැ. ඒ කාලයේ තිබුණ ලොකුම ප්රශ්නය තමයි මිනිස්සුන්ව වසංගත රෝගවලින් කොහොමද බේරා ගන්නේ. ඒ වගේම මිනිස්සුන්ට කොහොමද කෑමබීම දෙන්නේ කියලා. අද වන විට මිනිස්සුන්ගේ ආහාර ප්රශ්නය විසඳිලා තිබෙනවා. ඒ වගේම බෝවන රෝග සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කර තිබෙනවා. ඒ නිසා මේ කෘෂි රසායන පුද්ගලයාගේ ජීවිතයට අහිතකරයි කියා ඔප්පු වූ විට ඒවා තහනම් කරන්න කිසිම කෙනෙක් පැකිළෙන්නේ නැහැ. මීට පෙරත් විෂ සහිත කෘෂි රසායන ඕනෑතරම් තහනම් කර තිබෙනවා.
රෝහාන් වීරසූරිය ජාතික මෞලික අධ්‍යයන ආයතනය
ඇත්තෙන්ම අප ඉදිරිපිට තිබෙන ජලය බීමට නුසුදුසු ඒවා. ප්‍රායෝගිකව පිරික්සීමේදී මිනිසුන් ජලය පානය කරන්නේ ඉතා අඩුවෙන්. එයයි මූලික ගැටලුව. ඒ නිසා මේ ජලය පානය කිරීමට සුදුසු තත්ත්වයට ගැනීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණයි. රටක් වශයෙන් අපි සියලුදෙනා එක්සත් ජාතීන්ගේ ජල ප්රඥප්තියට අනුකූලවයි කටයුතු කරන්නේ.
ගමක ජීවත් වන මුළුමහත් ජනතාවම යොදා ගනිමින් පරීක්ෂණ කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එහිදී ප්‍රථමයෙන් ගමේ ජනයාට එය බීමට සුදුසු මට්ටමක තිබේදැයි පරීක්ෂා කළ බැලිය යුතුයි. එනිසා මේ ආදර්ශ ව්‍යාපෘතිය රජරට විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබෙනවා. මෙය නවීන විද්‍යාත්මක ක්‍රම මගින් සොයා බැලීමක් සිදුකරනවා. ඒ අනුව ගමට භාවිත කළයුතු තාක්ෂණය පිළිබඳ මේ තුළින් අවබෝධයක් ලබාගන්න අපිට පුළුවන්. එනිසා විදේශ විද්‍යාඥයන්ගේ දැනුමත් සමගින් මේ වන විට ගමට ගැළපෙන ජල පිරිපහදු යන්ත්‍රයක් සකස් කරමින් පවතිනවා. ඇත්තෙන්ම ගුණදායී ජලය ලෙසින් හඳුනා ගන්නේ අවම වශයෙන් පිරිසුදු කළ ජලයයි. එනිසා ජලය පිරිසුදුව තබා ගන්න භාවිත කළ හැකි උපක්‍රම පිළිබඳ දැනුවත් කරන්න අපි අපේක්ෂා කරනවා.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එම් නලීන්ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ අංශයේ උපදේශක
විශේෂයෙන්ම අධිතාක්ෂණික උපකරණ භාවිත කරමින් මෙය සකස් කිරීමේදී අවම හානියක් සිදුවන ආකාරයට පෞද්ගලිකව හෝ ගෘහස්ථ වශයෙන් සකස් කළ හැකි ජල පෙරණයක් අප සකස් කළ යුතුයි. පසුගිය කාලයේ මේ ජලයෙන් ඉවත් කළයුතු යැයි අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ නොයෙක් මතයන් ඉදිරිපත් වූවා. ෆ්ලෝරයිඩ්, කැල්සියම්, මැග්නිසීයම්, කැට්මියම් හා ලේඩ් වැනි ද්‍රව්‍ය හැකි ඉක්මනින්ම ජලයෙන් ඉවත් කරන්න අපි අපේක්ෂා කරනවා. ඒක හේතුවක් නිසා සිදුවන දෙයක් නොවන බවයි මෙම පර්යේෂණයේ මතය. ඇතැම් විට පවත්වාගෙන යන සමාජ රටාව නිසාත් මෙවැනි දෙයක් ඇති වෙන්න පුළුවන්. අපි ජල දූෂක හඳුනාගැනීම සඳහා පරීක්ෂණයට මත්ස්‍ය විශේෂයක්ද භාවිතයට ගැනීමට අපේක්ෂා කරනවා.
ආචාර්ය එස්. කේ. වේරගොඩ ප්‍රධාන ඉංජිනේරු ජාතික ජලසම්පාදන හා ජලාපවහන
ජල ආරක්ෂක සැලසුම් ක්‍රමය ලෝකයේ රටවල් 90කට වඩා වැඩි ප්‍රමාණයක දැනට ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ වර්තමානයේ ජල නළ හා සම්බන්ධ වී ජලය ලබාගන්නා ප්‍රතිශතය 47%ක් හෝ 48%ක් වගේ ප්‍රමාණයක් වෙනවා. මේ ආකාරයට ජලය ලබාදීමේ පහසුකම තිබෙන්නේ තෙත් කලාපය තුළදී. ඒ කලාපයේ එක් නිවසකට ජලය ලබාදීමට යන වියදම ලක්ෂ 4ක් හෝ 5ක් වෙනවා. මේ ක්‍රමය වියළි කලාපයේ ක්‍රියාත්මක කිරීමේදී එය මිලියනයක් දක්වා වැඩි වෙනවා. මොකද ජන ගණත්වය මේ කලාපවල අඩු නිසා. මේ ඉතිරි 53෴ක පිරිසට කොහොමද ජලය ලබා දෙන්නේ යන්න අපට විශාල අභියෝගයක්. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මේ යන ප්රාග්ධනය අපට දරාගැනීමට අපහසුයි.
ඒ වගේම කාලයෙන් කාලයට එන රසායනික ද්‍රව්‍යවලින් ජලය පිරිපහදු කර ගැනීමත් ඇත්තෙන්ම අපහසු කාර්යයක්. අපි අපේක්ෂා කරනවා ඉදිරියේදී ලංකාවට පැමිණෙන ජල පෙරණ සම්බන්ධයෙන් ප්‍රමිතිය සහතික කිරීමක් සිදුකරන්න. ඊටත් වඩා අපේම රටේ ප්‍රමිතියකින් යුත් ජල පෙරණයක් නිපදවන්න මෙම පර්යේෂණය ඉතාම වැදගත් දෙයක් ලෙස මෙම දකිනවා.