Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ මාතෘකාව වූයේ පාර්ලිමේන්තුවේ ගැටුමයි. නව වසරේ පළමු හමුවම ගුටිකෙළියකින් නිමා වීම රටම හිනැස්සූ කරුණක් විය.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කැඳවන බව දැනුම් දුන්නද පසුව කියවුණේ විවාදය නොපැවැත්වෙන බවයි. එහෙත් පාර්ලිමේන්තුව රැස් වූ අතර මෙහිදී අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන්නට පටන් ගත්තේය. එයට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කරන්නට වූයේ සභාවේ ඒවනවිට සගවා තිබූ බැනර් සහ පුවරු අල්ලාගෙනය. එයින් පසු අගමැතිවරයාගේ ප්‍රකාශයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරන්නට වූ අතර එය ගැටුමක් දක්වා වර්ධනය විය.
පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය ගැටුමක් වූයේ මරික්කාර් සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරුන් අතර වූ ආරවුලය. ගාමිණී ලොකුගේ ප්‍රදර්ශනය කළ බැනරයක් මරික්කාර් ඉරා දැමීමට උත්සාහ කළ අතර ලොකුගේ මරික්කාර්ගේ කම්මුලට වැරෙන් පහරවල් දෙකක් එල්ල කළේය.මරික්කාර්ද එයට ප්‍රති පහර ගැසීමට උත්සාහ කළද, සභා ගැබේ සේවකයෝ ඔහුව වළක්වා ගත්හ. කාටත් හොරා සභා ගැබේ ආණ්ඩු පක්ෂයේ දොරකින් පිටතට පැමිණි මරික්කාර් නැවත විපක්ෂයේ දොරකින් ඇතුළට පැමිණියේය.එවිට ගාමිණී ලොකුගේ සිටියේ ආණ්ඩු පක්ෂය දෙසට හැරීය. සෙමින් සෙමින් ගාමිණී ලොකුගේ සිටින දෙසට පැමිණි මරික්කාර්, ගාමිණී ලොකුගේට වැරෙන් පහර දෙකක් එල්ල කළ වේගයෙන් දිව ගියේය. සභා ගැබෙන් පිටතට දිවගිය මරික්කාර් අතුරුදන් විය.මරික්කාර්ගේ පහරින් ඇදවැටුණු ගාමිණී දෙසට එය දුටු ප්‍රසන්න රණතුංග පැමිණියේය. එහිදී එතැන ආණ්ඩු පක්ෂයේ චමින්ද විජේසිරිද සිටියේය. චමින්දට වැරෙන් පහරක් එල්ල කළ ප්‍රසන්න ද මරික්කාර් පැන දිවූ දොරෙන්ම එළියට දිව ගියේය.මේ නිසා ගාමිණී ලොකුගේ සහ චමින්ද ඔවුන් දෙදෙනාගෙන් තරහ පිරිමහ ගැනීමට කටයුතු කිරීමත් සමග ගැටුම දුරදිග ගියේය. එතැනට පැමිණි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරුන් අතරට මැදි විය. ඒ නිසා බොහෝ දෙනෙකුගේ ප්රහාරයන්ට ඔහු යටත් විය.
ගැටුමට මැදි වූ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනෙකුට පහරකෑම් නිසා ඉදිමීම් ඇතිව තිබිණි. තවත් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව තිබූ අතර, බොහෝ දෙනෙක් ඒවා සඟවා සිටීමට උත්සාහ කළහ.
සභා ගැබ තුළ ගැටුම සිදුවන අවස්ථාවේ ඈතින් සිටි මන්ත්‍රීවරයෙකු ගැටුමෙන් පසුව මුහුණේ ප්ලාස්ටර් අලවාගෙන සිටිනු දකින්නට ලැබිණි. අනෙකුත් මන්ත්‍රීවරුද ඔහු දුටු විට උස් හඬින් සිනාසුණාහ.
අතින් පයින් ගහගන්න වැඩවලට අපි නැහැනේ
පාර්ලිමේන්තු සැසිවාරයට ජනතා විමුක්ති පෙරමුණින් සහභාගිව සිටියේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් පමණි. එසේ වුවද මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටියේය.පාර්ලිමේන්තුවේ සභා ගැබ තුළ එකිනෙකා පහර දී ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබුණු අතර, මන්ත්‍රීවරු පිටතට පැමිණියහ. පාර්ලිමේන්තුවේ පළමු මහලේ පුස්තකාලයට සුනිල් හඳුන්නෙත්ති යමින් සිටියේ ඒ වෙලාවේය.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ ඉන්දික අනුරුද්ධද ඒ දෙසට එමින් සිටියහ. සුනිල් හඳුන්නෙත්ති දැක රෝහිත අබේගුණවර්ධන එකවරම ඇසුවේ, ‘හඳුන්නෙත්ති ඇයි සභාවට ආවේ නැත්තේ?’ කියාය.සුනිල් හඳුන්නෙත්ති එවිට පැවසුවේ, ‘අපි ඔය අතින් පයින් වැඩවලට නැහැ. අපේ වැඩ තියෙන්නේ සංවාදය පැත්තෙන් විතරයි’ කියාය.එය පවසන විට රෝහිත, සුනිල් හඳුන්නෙත්තිව විහිළුවට මෙන් තල්ලු කළේ ‘ආ ඇත්තද?’ කියා අසමිනි.
පාර්ලිමේන්තුව තුළ පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අනෙකුත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සමග මන්ත්‍රීවරුන්ගේ භෝජන ශාලාවට යමින් සිටියහ. මේ අතර ඉදිරියට හමු වූ වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයෙකු ඔවුන්ගෙන් ඇසුවේ, ‘දැන් කාටද මාරාන්තික තුවාල වුණේ? ලේ හැළීම් වුණේ කාටද මන්ත්‍රීතුමා?’ කියාය.එවිට එතැන සිටි අමාත්‍යවරයෙකු පැවසුවේ, ‘මේ වෙලාවේ ගුටි කෑවත්, කෑවෙ නෑ වගේ ඉන්න ඕන. ලැජ්ජා නැතිව කියන්න පුළුවන්ද අපි ගුටි කෑවා කියලා. සද්ද නැතිව ඉන්න එකයි කරන්න ඕන’ කියාය.
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය වුවද, මෙවර මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ අඩුවක් තිබිණි. මේ අතර, පාර්ලිමේන්තුවට පැමිණි පුත්තලම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සුදු සරමේ මඩපැල්ලම් සහිතව පැමිණ තිබෙන දුටු අනිකුත් අය ඒ පිළිබඳ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියහ.
‘මන්ත්‍රීතුමා මොකද මේ මඩ ගෑවිලා?’
‘නෑ මේකයි. අපේ ගෙදර හුරතලේට හදන බල්ලෙක් ඉන්නවා. ඌ කොයි වෙලාවෙත් අපේ ඇඟට නගිනවා.’
‘පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙලා මම එළියට ආවා විතරයි. මේ බල්ලා කොහෙද ඉඳන් දුවගෙන ඇවිත් සරමේ එල්ලුණා. මට පරක්කු වෙලා තිබුණේ ඉක්මනට පාර්ලිමේන්තු එන්න ඕන වුණා. කවුද හිතුවේ මෙහෙම වෙයි කියා. දැන් ඉතින් අයේ සරම මාරු කරන්නත් බෑනේ මෙහෙමම ඉන්නවා. වැඩිය පේන්නෙ නෑ නේද?’
‘නැහැ මන්ත්‍රීතුමා වැඩි පෙන්නේ නැහැ’
මහ බයිලා නැටුම් තරගයක් පවත්වමුද?
අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ සමග නර්තනයක යෙදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් පැතිර ගියේය.
ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවැති ඥාතියෙකුගේ මංගල උත්සවයකදී වූ මෙම සිදුවීම පිළිබඳ විවිධ තැන්වල විවිධ කතාබහ ඇති විය.
සඳුදා යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අගමැති රනිල්ව අරලියගහ මන්දිරයේදීද හමුවූහ. එම අවස්ථාවට ඇමති සාගලද එක්ව සිටියේය.
එහිදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබුණු අතර, එහිදී එක් අයෙක් අගමැතිවරයාගේ නර්තනය පිළිබඳවද ප්‍රශ්නයක් ඇසීය.
‘බයිලා කලාවට හුරු නර්තනයක ඔබතුමා යෙදී සිටිනවා අපි දැක්කා සමාජ ජාලා මාධ්‍යවල. අපට ගොඩක් සතුටුයි ඔබතුමා වාගේ විනෝදකාමී නායකයෙක් හමුවීම ගැන. අපි වගේම අනෙකුත් තරුණයෝත් හිතනවා ඔබ වැනි නායකයන් සමග මීට වඩා මුසුවෙන්න අවස්ථාව ලැබුණොත් හොඳයි කියලා.’
එවිට අගමැති රනිල් මෙසේ පැවසීය.
‘ඔබතුමත් හොඳට බයිලා නටනවා වගේ. තරුණයන්ගේ ඒ දක්ෂකමට ත්‍යාගයක් ඇති කරමුද? ලොකු තරගයක් තියලා අපි මේ අවුරුද්දේ අවස්ථාව දෙමු. හරිද?’
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සම්මේලනයට එහි පක්ෂ නායකයෙකු වන ඇමති මනෝ ගනේෂන් සහභාගි නොවීය. එමෙන්ම ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදිනුයේද එජාපය සමග නොව වෙනම තනි පක්ෂයක් ලෙසය. මේ පිළිබඳ ඇමති මනෝගේ සමීපතමයන්ට වරෙක මෙසේ පවසා තිබිණි.
‘එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය තිබුණා. අගමැතිතුමාගෙන් හා පක්ෂ මහලේකම් කබීර් හෂීම්ගෙන් මට ආරාධනා ලැබුණා. මාත් එක්සත් ජාතික පක්ෂයට සුබ පතනවා. ඒ පක්ෂය එක්ක මම අමනාප නැහැ. ඒ පක්ෂය තමන්ගේ වුවමනාවට පමණක් පාවිච්චි කරන පුද්ගලයන් නිසා මම ඒ පක්ෂය සමග තරහා නැහැ. මොකද මම මුහුණ එක්ක තරහා වෙලා නහය කපා ගන්නේ නැහැ. පරිණත හා ඉගෙනගත් කෙනෙක් මම. ඒ නිසා මම පොඩි අයට අමතක නොවන පාඩම් උගන්වනවා.
කොළඹ ඉන්න මන්ත්‍රීවරයෙක් මට චෝදනා කරනවා අපිත් එක්ක සුහදව ඉඳලා, තරග කරලා පාර්ලිමේන්තු ගිය මනෝ ගනේෂන්ලා දැන් වෙනම තරග කරනවා කියලා. මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹින් අතුගාලා දාමු කිව්වා. අභියෝගය බාරගන්න ලෑස්තියි. පුළුවන් නම් කරන්න. දැන් කොළඹින් අයින් වෙලා ඉන්නේ එතුමායි. එතුමාට අමතක වෙලා පසුගිය වකවානුවේ කොළඹ මහ නගර සභාවේ විපක්ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව 23යි. එක්සත් ජාතික පක්ෂයට 24යි, ඒ අවස්ථාවේදීත් අපි තනිවමයි ගියේ. අපේ 06 දෙනෙක් හිටියා. ඒ 06 දෙනා එක්සත් ජාතික පක්ෂයට දීලා ආසන 30. ඒ පක්ෂයට බහුතරය ලබා දුන්නා. මේ ඡන්දයෙන් පසුව කරන්නෙත් ඒකමයි. ඒක රවි කරුණානායක මන්ත්‍රීවරයාට අමතක වෙලා. ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. කොමිසමටත් ගිහිල්ලා එතුමාට අමතක වුණා නේ. මං දන්නෑ, මට මතක නෑ කියලා ලිස්සලා ගියා.
මනෝ ගනේෂන් ජනාධිපතිතුමා සමග ඩීල් දාලා කියලා කතාවක් යනවා.“මනෝ ගනේෂන් ඩීලර් නෙමෙයි, ලීඩර් කෙනෙක්’ යැයි ආවේගයෙන් මෙන් ඔවුන්ට කියා ගෙන ගියේය.
සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මධ්‍යවේදීන් සඳහා වාර්ෂික සුහද හමුවක් පසුගියදා සංවිධානය කර තිබිණි. අණ්ඩුව ගැනත්, එක්සත් ජාතික පක්ෂය ගැනත් කතා කරමින් සිටියදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය ගැනද ඔහු පැවසීය. යහපාලන ආණ්ඩුව පිහිටු වූ අවස්ථාවේදී එක්වීමට සූදානම්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට ගිය මන්ත්‍රීවරු ගැනද එස්.බී. කීවේ සියලු දෙනා සිනහ ගන්වමිනි. බැඳුම්කර සිද්ධිය ගැන කතා කළ එස්.බී. “ජනාධිපතිතුමයි, අපියි වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ. කොමිසම දාලා වාර්තාවක් හැදුවා. දැන් අපි නිදහස්. ජනාධිපතිතුමා පිට්ටනිය හදලා තියෙනවා. දැන් ඒකෙ කෙනෙක්ට ක්‍රිකට් ගහන්න පුළුවන්. තව කෙනෙක්ට ෆුට්බෝල් ගහන්න පුළුවන්. රගර් ගහන්න පුළුවන්. අපි නරඹන්නෝ වෙලා බලාගෙන ඉන්නවා’ යැයි කීවේය.
එක්සත් ජාතික පක්ෂය අර්බුදයක සිටින බවද විවිධ උදාහරණ සපයමින් ඔහු පැවසීය. “මට මේ ළඟදී එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක් කතා කළා. ඔය රාජිත වගේ නෙමෙයි නියම යූ.එන්.පී.කාරයෝ තුන්දෙනෙක්. ඒ අය ලෑස්තියි මෛත්‍රීට එකතු වෙලා ගමනක් යන්න. ඉස්සරහට බලාගන්න පුළුවන් මොනවද වෙන්නෙ කියලා. ඒ විදියට තව කට්ටිය ඉන්නවා එකතු වෙන්න’ එස්.බී. කීවේය.
එහෙත් එම ඇමතිවරුන් තිදෙනා කවුරුන් දැයි පැවසීමට තරම් එස්.බී. ඉක්මන් නොවිණි.
ජනවාරි 12 වැනිදාට යෙදෙන සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වන්නේ කොහේද කියමින් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ දුරකථනයට ඉකුත් දින කීපයේ සිය මිතුරන්ගෙන් ඇමතුම් ගලා එද්දී ඔවුන් වෙත ලැබුණේ එකම පිළිතුරකි. ‘පාටි දාන්නෙ නෑ, ඒ වෙනුවට කරන සුභසාධක වැඩසටහනකට පුළුවන් නම් පොඩි තල්ලුවක් දෙන්න’ සජිත් කියද්දී මිතුරන් ඇසුවේ, ‘ඒ මොකක්ද?’ කියායි.
සජිත් කීවේ, ‘මම කලින් දෙබරවැවටයි, සූරියවැවටයි දුන්නා වගේ මගේ උපන්දිනය වෙනුවෙන් තවත් පාසල් 8කට බස් රථ ලබාදෙනවා. ඒකට උදව් කරන්න’ කියලයි. හම්බන්තොට සූචි ජාතික පාසල, හම්බන්තොට සහිරා ජාතික පාසල, දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලය, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය, අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසල සහ තිස්සමහාරාම, පන්නෙගමුව රාජකීය විද්‍යාලය මෙවර බස් රථ ලබාදීම සඳහා තෝරාගෙන ඇති පාසල්ය.
සිය උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරන මෙම බස් රථ ප්‍රදානෝත්සවයට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිතව අවසර ඉල්ලා යැවූ සජිත්, අනතුරුව කළේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමය. මැතිවරණ කොමිෂන් සභාපතිවරයා මෙන්ම සෙසු සාමාජිකයන්ද ඉදිරියේ සජිත් ඉල්ලා සිටියේ, තමන් 1994දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි දින සිටම උපන් දිනය වෙනුවෙන් වාර්ෂිකව ජනවාරි 12 වැනිදා සිට සති දෙකක් පුරා අඛණ්ඩව කරන සුභසාධක මෙහෙවරේ මෙවර වැඩසටහන් සඳහාද අවසර ලබාදෙන ලෙසයි.
සභාපතිවරයා සෙසු සාමාජිකයන් සමගද සාකච්ඡා කර කීවේ, ‘සංකේතාත්මකව එක උත්සවයකට විතරක් සීමා කරන්න. අනෙත් ඒවා පෙබරවාරි 10ට පස්සේ බෙදා දීමට කටයුතු කරන්න’ කියායි. ‘එහෙම කරන්නේ කොහොමද සභාපතිතුමා, මම මේ තෑගි දෙන බව ඉස්කෝල අටේම ළමයින්ටත් පොරොන්දු වෙලයි ඉන්නේ. මේක ඡන්දයක් ඉලක්ක කරගෙන කරන දෙයක් නෙවෙයි’ සජිත් කියද්දී සභාපතිවරයා කීවේ ‘කරන්න දෙයක් නෑ.. මට වචනයෙනුත්, ලිඛිතවත් දෙන්න තියෙන එකම උත්තරේ මේ වැඩසටහන නවත්වන්න කියල විතරයි’ යනුවෙනි. පසුව හමුවුණු උපන්දින සංවර්ධන සුභසාධන සංගමයේ නිලධාරීන්ට සජිත් කීවේ, ‘සංකේතයක් හැටියට උත්සවයක් පවත්වලා වැඩක් නෑ.. එහෙනම ඡන්දෙන් පස්සෙ එක දවසක ඔක්කොම බෙදා දෙනවා. එතකං මේ බස් ටික මගේ වීරවිල ගෙදර ළඟ ගාල් කරලා තියේවි’ කියාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පදවි ප්රාප්තියදා මොරගහකන්ද ජලාශය විවෘත කිරීම යොදාගෙන තිබිණි. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, දයා ගමගේ යන අමාත්‍යවරුන් රැගත් හෙලිකොප්ටර් යානය මොරගහකන්ද ප්‍රදේශයට ළඟා වීමෙන් පසු කඩිනමින් විවෘත කිරීමේ අවස්ථාවට මෙම පිරිස එක්වූහ.
හෙලිකොප්ටරයේ ගමන් කරන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රී මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා කළ කැපවීම් පිළිබඳ සවිස්තරාත්මකව ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කළේය. මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමෙන් පසු ජලවිදුලි බලාගාරයද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූහ. ඉන්පසු දිවා භෝජන සංග්‍රහය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණි මෙම පිරිස එකම මේසයක අසුන් ගත්හ. එම මේසයේ චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරියද සිටියාය. ඉන් පසු ස්වල්ප වේලාවකින් අගමැති රනිල් ප්‍රකාශ කළේ, “මම යනවා මලික්ලාගේ ගෙදර කෑමට. ඔබතුමාලා කෑම කාලා නුවර එන්න” කියාය. එම අවස්ථාවේ යාබද මේසයේ සිටි මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද එතැනට පැමිණියේය. එවිට ජනාධිපති මෛත්‍රී විමසුවේ “මලික් අපට කෑම සඳහා ආරාධනා නැද්ද? ඒක යූ.ඇන්.පී. කෑම මේසයක් ද?” යනුවෙනි.
එවිට රාජිත පවසා සිටියේ, “ජනාධිපතිතුමනි මටත් ආරාධනා නැහැ. එක්සත් ජාතික පෙරමුණටත් එම කෑම මේසයට ආරාධනා නැහැ. එය එක්සත් ජාතික පක්ෂ කෑම මේසයක්” යනුවෙන්ය.
එවිට මලික් සමරවික්‍රම පැවසුවේ, “නැහැ අගමැතිතුමා නුවර එන නිසා මම කෑම ටිකක් හැදුවා” කියාය. ඉන්පසු අගමැති රනිල් සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා එම ස්ථානයෙන් නික්ම ගියහ. මෙම ස්ථානයේ ගමේ ආහාර වේලක් සූදානම් කර තිබූ අතර, එය භුක්තිවිඳි ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරු හෙලිකොප්ටර් යානයෙන් මහනුවර බලා පිටත් වූහ. සියලු දෙනා මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණි අතර, අමාත්‍යවරුද සමග ජනාධිපතිවරයා එහි ඉහළ මහලට ගොස් විවේක ගත්තේය. එම අවස්ථාවේදී ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ඇතුළු පවුලේ ඥාතීහු එම ස්ථානයට පැමිණ පෙරවරුවේ පැවැත්වූ දානමය පිංකම පිළිබඳවද කරුණු පැහැදිලි කළහ. ඉන්පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පොල්ගොල්ල ජලාශ වේල්ල මත පැවැති ජනහමුවට සහභාගිව හෙලිකොප්ටර් යානයෙන්ම කොළඹ බලා පිටත් වූහ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන ජන රැලි මාලාවේ පළමුවැන්න පසුගිය 06 වැනිදා පැවැත්වුණේ කඩවතදීය. එම රැස්වීමේ සංවිධාන කටයුතු භාරව තිබුණේ ප්‍රසන්න රණතුංගටය. ප්‍රසන්න දිස්ත්‍රික්කයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද එකතුකොට ගෙන රැලිය සාර්ථක කරගන්නට වෙහෙසුණේය.
ඒ අනුව කඩවත රැලිය ආරම්භ වන මොහොත වන විටත් හතරවටින් පැමිණි ජනකායෙන් පිට්ටනිය පිරී ගොස් තිබුණි. රැලියේ ප්‍රධාන වේදිකාවෙහි මහින්දට අසුන් පැනවීම සම්බන්ධයෙන් කතාබහක් පැවති අතර, ඇතැමුන්ගේ අදහස වූයේ මහින්දට විශේෂ අසුනක් පැනවිය යුතු බවය.
‘මහින්ද ඔය වගේ වැඩවලට කැමති නැහැ. ඒ හින්දා අපි එතුමාට වෙනම විශේෂ පුටු තියන්න ඕන නැහැ. තියෙන තැන විතරක් විශේෂ කරමු’ ප්‍රසන්න යෝජනා කළේය. ඒ අනුව එම ගැටලුව විසඳා ගැනිණි.
කඩවත රැලිය පැවැත්වෙන අතරතුර පවිත්‍රා සිය කතාවේදී සඳහන් කළේ දැන් පොල් ගෙඩිය රුපියල් අසූවට ගොස් ඇති බවය. කතාව නිමවා අසුන වෙතට පැමිණෙමින් සිටි පවිත්රාගෙන් ප්‍රසන්න ඇසුවේ ‘කොහෙද මන්ත්‍රීතුමිය රුපියල් අසූවට පොල් තියෙන්නේ? අපිටත් කියන්නකො තැන’ කියාය.
‘අනේ නෑ මන්ත්‍රීතුමා මං කිව්වේ ආණ්ඩුව දැන් දාල තියෙන පාලන මිල ගැනනේ’ පවිත්‍රා කීවාය.
‘ඒක තමයි මාත් බැලුවේ. අපේ පැතිවල නම් දැන් රුපියල් සීයටවත් ගන්න පොල් නැහැ. මිනිස්සුන්ට එලොව පොල් පෙනිල ඉන්නේ’ ප්‍රසන්න පැවසීය.
කඩවත රැලිය පැවති 06 වැනිදා ප්‍රසන්නගේ නිවසෙහි තවත් සුබ කටයුත්තතක් සිදුවෙමින් පැවතුණි. එම සුබ කටයුත්ත නම් ප්‍රසන්නගේ දෙවැනි දියණියගේ විවාහ ගිවිස ගැනීමයි. ප්‍රසන්න එදින උදෑසන සිටම කඩවත රැලියේ සංවිධාන කටයුතු ගැන සොයා බලමින් සිටි නිසා විවාහ ගිවිස ගැනීමේ උත්සවයට යාමට නොහැකි විය.
රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතරතුර මේ කාරණය මහින්දගේ කනේ තැබුවේ සහන් ප්‍රදීප්ය.
‘බලන්නකෝ සර් අද ප්‍රසන්න මන්ත්‍රීතුමාගේ දෙවැනි දුවගේ එන්ගේජ්මන්ට එක. එතුමා ඒකටවත් යන්නෙ නැතුව මෙතැනට වෙලා ඉන්නවානේ’ සහන් මහින්දට කීවේය.
‘ඔය මනුස්සයට කියල වැඩක් නැහැ. අපි කියන දෙයක් අහනවයැ. එකපාරකුත් දුවගේ උපාධි පිරිනැමීමක් තියෙනකොට ඒකට නොගිහින් නාමයෝජනා හද හද මෙහෙට වෙලා හිටියා. අන්තිමට මම තේරුම් කරල දීලයි දුවගෙ උත්සවේට සහභාගි වෙන්න ඔස්ට්‍රේලියාවට යැව්වේ’ මහින්ද පැවසීය.
කඩවත රැලිය නිමා වූ පසු සිය රථයට ගොඩ වීමට ගිය මහින්ද අසලට ප්‍රසන්න ගියේය.
‘ආ අද ගෙදර උත්සවයකුත් තියෙනවලු නේද?’ මහින්ද ඇසුවේය.
‘අනේ ඔව් සර් මේ පොඩි එන්ගේජ්මන්ට එකක්. මම ඉතින් කාටවත් කිව්වෙ නැහැ’ ප්‍රසන්න උත්තර දුන්නේය.
‘දුවගේ එන්ගේජ්මන්ට් එක තියාගෙන මෙතැනට වෙලා හිටියම හරියනවයැ. දැන්වත් එතැනට යන්න’ යැයි උපදෙස් දුන් මහින්ද උත්සව භූමියෙන් නික්ම ගියේය. ප්‍රසන්න නිවස බලා ගියේ ඉන් පසුවය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය ගුටි කෙළියක් බවට පත් වූයේ 10 වැනිදාය. වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන් දිනයේ පටන්ම ඒකාබද්ධ විපක්ෂය එකහෙළාම විවාදයක් ඉල්ලා සිටියේය. ඒ අනුව විවාදය සඳහා 10 වැනිදා පර්ලිමේන්තුව රැස් කෙරිණි.
එදින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස් වූයේ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂ අවධානයක් යොමු වුණේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැනය. බොහෝ දෙනාගේ අදහස වූයේ වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නට හේතු තිබෙන බවය.
‘මේ හදන්නේ ඡන්දය ඉවර වෙනකම් වාර්තාව යටගහගෙන ඉන්නයි’ ප්‍රසන්න පැවසීය.
‘ඔව් ජනාධිපති කොමිසම පත් කළේ ජනාධිපතිවරයා වුණාට ඒකෙ වාර්තාව එයාට අයිති නැහැ. ඒක රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙච්ච කොමිසමක්. ඒ හින්දා ඒ වාර්තාව රටටම අයිතියි’ වාසු පෙන්වා දුන්නේය.
‘කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ ගැන විවාදයක් තියල වැඩක් නැහැ. වාර්තාවක් නැතුව අපි මොකක් ගැනද විවාද කරන්නේ?’ දිනේෂ් ඇසුවේය.
‘ජනාධිපතිවරයාට ඕන නම් එදා විශේෂ ප්‍රකාශය කරපු දවසෙම වාර්තාව එළිදක්වන්න තිබුණා. එතුමාට ඕනෙ ටික විතරක් මාධ්‍යයට නිකුත් කළාම කොමිසම ගැනත් විශ්වාසයක් නැතුව යනවනේ’ රෝහිත පැවසීය.
‘අපිට නම් පේන්න තියෙන්නෙම මේ වාර්තාවේ තියෙන සමහර කරුණු හංගන්න සමහරුන්ට ඕන වෙලා තියෙන බවයි. එහෙම නැත්නම් වාර්තාව මිනිස්සු අතට ගියා කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. සමහරවිට හොඳ හොඳ විස්තර තියෙන්නේ එළිදරව් නොකරපු කොටසෙද දන්නේ නැහැ’ ප්‍රසන්න කීවේය.
අනතුරුව පාර්ලිමේන්තු රැස් වූ අතර, ඒකාබද්ධ විපක්ෂය මුල සිටම සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව නොමැතිව විවාද කර ඵලක් නැතැයි යන මතයේය. ජනතා විමුක්ති පෙරමුණද, රවුෆ් හකීම්ද එම මතයම නියෝජනය කරමින් වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වා ගත යුතු බවට කීහ.
ඒ අතරතුර අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නැගී සිටීමත් සමග තත්ත්වය උණුසුම් විය. ඊට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පෝස්ටර් ඔසවා විරෝධය පළ කරන්නට වූහ. එම පෝස්ටර් රහසිගතව සභා ගැබ තුළට ගෙන ඒම භාරව තිබුණේ බන්දුල ගුණවර්ධනයට. ඔහු එය සාර්ථකව ඉටුකර තිබුණි.
ගැටුම යන අතරතුර පවිත්‍රා මහින්දට දුරකථන ඇමතුමක් ගෙන කියන්නේ ‘සර් නම් මේ පැත්තෙ එන්න එපා’ කියාය. ‘ඒ මොකද?’ මහින්ද ඇසුවේය. ‘මෙතැන ලොකු ගැටුමක් යනවා. සර් එන්න එපා’ පවිත්‍රා යළි කීවාය. ‘එහෙම නම් මම නෑවිත් කොහොමද? මම ඇවිත් ඕක විසඳන්නම්’ කී මහින්ද වහාම පාර්ලිමේන්තුවට ආවද ඒ වන විටත් ගැටුම නිමා වී තිබුණි.
‘මොකද ප්‍රසන්න වුණේ?’ මහින්ද ඇසුවේ ප්රසන්නගෙනි.
‘නෑ සර් මේ මර්ක්කාර් ඇවිත් ලොකුගේ මන්ත්‍රීතුමාට ගැහුවා. පස්සෙ පැනල යන්න යනකොට අපේ අයට අහුවුණා’ කියා ප්‍රසන්න පිළිතුරු දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd