විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග එකට බද්ධ වී යන ශිෂ්‍ය දේශපාලනය පිළිබඳව සමාජයේ විවිධ අදහස් තිබිය හැකිය. ඇතැමුන් ඒ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතාකරද්දී තවත් අය විරුද්ධව අදහස් පළකරති. බොහෝවිට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන ශිෂ්‍යයන් එහි ගතකරන වසර කිහිපයේදී අරගලවල යෙදුණද ඉන් බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය පසුව දේශපාලනය අත්හරිති. ශිෂ්‍ය දේශපාලනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රධාන සතුරු මධ්‍යස්ථාන ලෙස සිසුහු සලකති.
මෙම ස්ථානව ඇතුළුව පැවති සහ පවතින ආණ්ඩුවලට එරෙහිව පසුගිය කාලය පුරාම විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන ගිය උද්ඝෝෂණ, විරෝධතා පාගමන්, පන්ති වර්ජන ඇතුළු ක්‍රියාකාරකම් සඳහා නායකත්වය දුන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයයි. එදා සිට මේ දක්වා එම සංවිධානයේ සිටි නායකයන් ශිෂ්‍යයන් මෙහෙයවා ජයග්‍රහණ ලබාගන්නා අතරතුරදී සිරගත වීම්වලටද මුහුණදීමට සිදුව තිබුණි. එය ඔවුන්ගේ අස්වැන්නේ කොටස් බව එම ශිෂ්‍ය නායකයෝ විශ්වාස කළහ. මේ තත්ත්වය තුළ පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නායකත්වය සැපයූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු නායකයන් කිහිප දෙනකු සමග කථිකාවක යෙදීමට අපට හැකිවිය. ශිෂ්‍ය දේශපාලනයේ යම් පැතිකඩක් පිළිබඳව ඔවුන්ගේ අදහස් තුළින් හඳුනාගත හැකිය.
ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික පක්ෂ වෘත්තිය සමිති, සටන් කරන සංවිධාන සමග ඒකාබද්ධ වෙලා වැඩකරන ප්රවේශයකට අනිවාර්යෙන්ම යන්න ඕන
- නජිත් ඉන්දික (2014 - 15 අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු)
ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ සමස්ත ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය. ඒකෙ ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරීව සිටින සංවිධානය තමයි විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල එකතුවෙන් නිර්මාණය වී ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය. විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ගේ එකතුවීම්වලින් සමන්විත පීඨ ශිෂ්‍ය සංගම්, මහා ශිෂ්‍ය සංගම් සහිත ධූරාවලියක් තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට කියන තවත් නමක් නෙවෙයි. නමුත් ලංකාවෙ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙන ප්‍රධානතම ශිෂ්‍ය සංවිධානය වන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයයි. එහි ව්‍යුහය හැදිලා තියෙන්නෙම විවිධ දේශපාලන මත දරමින් වැඩ කරන්න පුළුවන් විදියටයි. සියලුම ශිෂ්‍යයන්ට නියෝජනය වෙන්න ඒකෙ ඉඩකඩ තියෙනවා. අපේ මැදිහත්වීම තුළ ඒක තවත් පුළුල් කරගන්න එකයි කරගන්න ඕන.
කිසි දිනෙක ශිෂ්‍ය ව්‍යාපාරයේ බිඳවැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළෙ ශිෂ්‍යයන්ගේ දේශපාලන මත විවිධයි. මේ වෙද්දි දිගින් දිගටම අධ්‍යාපනය පැත්තේ තියෙන ප්රශ්නය වැඩිවෙනවා. අද වෙද්දි අධ්‍යාපනයට කරන වියදම් අඩුකිරීම, ශිෂ්‍ය මර්දනය, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, නිදහස් අධ්‍යාපනයෙන් රජය නිදහස් වෙන්න දරන උත්සාහය ඇතුළෙ අධ්‍යාපනය පිළිබඳ ප්රශ්නය දවස ගානේ වැඩිවෙනවා. ඒ තත්ත්වය ඇතුළෙ අනිවාර්යෙන්ම ශිෂ්‍යයන්ගේ ක්රියාකාරිත්වයන් එන්න එන්නම වැඩිවෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට කරන්නේ ඒ විදියට පැනනැගෙන ශිෂ්‍ය විරෝධතා වඩා සංවිධානාත්මක කරලා නිවැරදි ඉලක්කයකට යොමුකිරීමයි.
විරෝධය කවදත් පැනනගිනවා. අසාධාරණයට විරුද්ධ වෙන්න ඕන කියන එක ශිෂ්‍ය ව්‍යාපාරය හදන්න ඕන දෙයක් නෙමේ. ඒ එන විරෝධය හරි එල්ලයක් ඇතිව වැඩිකරන එක තමයි ශිෂ්‍ය ව්‍යාපාරය විසින් කළ යුත්තේ.ආණ්ඩු මාරුවුණත් ප්‍රශ්න වැඩිවෙද්දි ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා ශිෂ්‍යයන්ගේ සහභාගිත්වය ගැන ලොකු ගැටලුවක් එන්නෙ නෑ. විශේෂයෙන්ම 2011-2012 අවුරුදුවලදි දැඩි මර්දනයක් දියත් වුණු කාලයක් තිබුණා. ඒ කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යම් පසුබෑම් තිබුණා. නමුත් ඊට පස්සේ ඒක ඊට වඩා පියවරක් ඉදිරියට තියන්න පුළුවන් වුණා. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි හිතන්න ඕන කාරණය තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට නැති අනෙකුත් විශ්වවිද්‍යාල, අනෙකුත් ආයතන සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය තුළට ගොනුකරගන්නේ කොහොමද කියන එක. එහෙම කරගන්න බැරිවුණේ ඇයිද කියන එක ගැන අපි හිතන්න ඕන.
ශිෂ්‍ය ව්‍යාපාරය කරගෙන යන අරගලය 2010,11 වසරවලින් පස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය ගත් හැරවුමක් තියෙනවා. 1990න් පස්සේ එතෙක් විශ්වවිද්‍යාල ඇතුළෙ ගතවූ අවුරුදු විස්ස තුළ කරපු මැදිහත්වීමට වඩා වෙනත් මැදිහත්වීමක් ගැනීමට ගත් ප්‍රවේශයක් තියෙනවා. නවක වධය වැනි දෙයක් ඉවත් කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් වුණේ ඒ නිසයි. එතෙක් විශ්වවිද්‍යාල ඇතුළෙ පැවති ඉඩකඩ වඩා ප්‍රජාතන්ත්‍රික කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් වුණේ ඒ නිසයි. ඒ අරගලය වේගවත්ව ඉදිරියට ගෙනියන්න ඕන. විශ්වවිද්‍යාල ඉතිහාසයේ නවක වධය තිබුණා.
ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙන විශේෂත්වය කිසිම අවස්ථාවක ධනපති පාලකයෝ බලයට ගේන්න කටයුතු කළේ නැතිවීමයි
සංජීව බණ්ඩාර (2011-2014 වසරවලදී අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු)
ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන ශිෂ්‍ය සංගම් අඩපණ කරලා දුර්වලකරන්නෙ නැතිව, උද්ඝෝෂණවලට ගහන්නෙ නැතිව පාලකයන්ට අධ්‍යාපනය විකුණන්න බැහැ. මේ පිළිබඳව ශිෂ්‍යයන් දැනුවත් කරන්න, රැස්වෙන්න තියෙන අවස්ථා අහිමි කළොත් පමණයි එම මතය සමාජගත වෙන එක වළක්වන්න පුළුවන් වෙන්නේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එවැනි මර්දනයක් ගෙන ගියා. ඒ වගේම යහපාලනය, ප්රජාතන්ත්රවාදය දෙනවා කිව්වට මේ ආණ්ඩුවත් ඒකම කරනවා. එසේ කරන්න වෙන එක යථාර්ථයක් කියා අප පිළිගත යුතුයි. අධ්‍යාපනය විකුණන්න යද්දි රාජපක්ෂලා විතරක් නෙමේ රනිල්ලටත් ඒකට එරෙහි වන බාධාවන්, බලවේග ඉවත් කරන්න, යටපත් කරන්න වෙනවා. මර්දනය කියන එකඅහම්බයක් නෙවෙයි.
මර්දනයට මුහුණ දෙන්නැතිව කවදාවත් ශිෂ්‍ය ව්‍යාපාරයට තමන්ගේ ඉල්ලීම් දිනාගන්න බැහැ. තමන්ගේ අරමුණට යන්න බැහැ. මර්දනය නැති, මර්දනය ක්‍රියාත්මක නොවෙන දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මේ පන්ති දෙක තියෙන තාක්කල්, මේ පන්ති දෙකේ අරමුණු ගැටෙන තාක්කල් අනිවාර්යෙන්ම පාලක පන්තිය තමන්ගේ උවමනා වෙනුවෙන් අනෙකුත් සමාජ බලවේග හීලෑ කරලා තියාගන්න මර්දනය ගේනවා.
ඒ නිසා මර්දනයට මුහුණ දීමට සිදුවෙනවා කියන එක ශිෂ්‍ය ව්‍යාපාරයට එන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. කොන්දේසි විරහිතව එම මර්දනයට එරෙහිව සටන් කිරීමට නැගී සිටින්න සූදානම් කියන එක ඔවුන් පිළිගන්න ඕන. එහෙම වුණොත් විතරයි මේකට හරියට නායකත්වය දෙන්න පුළුවන් වෙන්නේ.
ධීවර, ගොවි, පරිසර යනාදී ගැටළුවලට ප්‍රවේශ වීම අතින් ශිෂ්‍ය ව්‍යාපාර සාර්ථකයි
චමීර කොස්වත්ත (2000-2001 අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු)
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් සටන් කරන්නේ අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන්. වඩා ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් යම් ආකාරවලින් අරගලවලට ප්‍රවේශ වෙන්න පටන් අරන් තිබෙනවා. ඒක ඉදිරි පියවරක් ලෙස අපි දකිනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව ගෙනියන අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයට තනියම සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙමෙයි.
ඒක ආණ්ඩුවේ මූලික ප්රතිපත්තියත් එක්ක බැඳිලා තියෙනවා. ආණ්ඩුව නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන නිසා අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කරන්න මීට වඩා සටන් කරන්න වෙනවා. ඒ සටන ශිෂ්‍යයන්ට විතරක් තනියම කරන්න බැරි නිසා කම්කරුවන්, ගොවීන් ඇතුළු අනෙකුත් සමාජ බලවේග ශිෂ්‍යයන් හුදකලා නොකර ඊට සහාය දිය යුතුයි. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයටත් වගකීමක් තියෙනවා ඒ සමාජ බලවේගවල සහාය ලබාගන්නා ආකාරයෙන් ඉදිරියට ගමන් කිරීමට. වර්තමාන අත්දැකීම් දිහා බැලුවාම පේන්නේ ශිෂ්‍යයෝ ධීවරයන්ගේ අරගලවලට මැදිහත්වීම, ගොවීන්ගේ ප්‍රශ්න කතාකිරීම, පරිසර විනාශයන්ට විරුද්ධ සටන්වලට සම්බන්ධ වීම වැනි ප්රවේශයන්ට සම්බන්ධවීම ගොඩක් සාර්ථකයි.
ඒකෙන් සමාජය ආලෝක කරන්න යම් ආකාරයකට දායක වුණා වෙනවා. වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන තිබෙන අලුත් වෙනස්කම්, අරගල සම්ප්‍රදායන් ගැන සමස්තයක් වශයෙන් අපට පැහැදීමක් තිබෙනවා. අප ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි කාලවලට වඩා සටන්කාමීව ඔවුන් භූමිකාවලට අවතීර්ණ වෙලා තියෙනවා කියලා හිතනවා.
තියෙන ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය යම් යම් දේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්
දුමින්ද නාගමුව (2004-2008 අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු)
මේ වනවිට හැම සටනකදීම නව බලවේගයක් යොදවා විරෝධය පලකරන්න ආණ්ඩුව සමත්ව තියෙනවා. කොළඹ පාගමනනක් තිබ්බොත් ජනතාවගේ කොටසකගේ විරෝධය එයට එරෙහිව ගේන්න ආණ්ඩුව සමත්වෙලා තියෙනවා. එය ශිෂ්‍ය ව්‍යාපාරය අවධානය යොමුකළ යුතු ප්‍රශ්නයක්. එහෙම අරගල කරන ව්‍යාපාරයකට හැම වෙලාවෙම ජනතාවගේ සහාය ලැබෙන්නෑ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඒක යම් ප්‍රමාණයකට දිනලා තියෙනවා. ශිෂ්‍යයන්ට සටන් කරන්න පුළුවන් මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන්න කියලා විතරක්.
නමුත් ඒ අය පාසල්වල ගාස්තු වැඩිකිරීම වැනි සෘජුවම තමන්ට බලපාන්නේ නැති ප්‍රශ්නවලට මැදිහත්වෙලා තියෙනවා. යම් යම් පහරදීම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගත් ආකාරයක් පසුගිය කාලයේදි අපි දුටුවා.වත්මන් දේශපාලනය තත්ත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ පසුගිය ආණ්ඩුව අරගෙන ආපු ආර්ථික පිළිවෙතේ ඊළඟ පියවර වත්මන් ආණ්ඩුව සම්පූර්ණ කරන බවයි. ඔවුන්ට එය කරන්න වෙලා තියෙන්නේ ස්ථාවර වෙන්න. රනිල් මෛත්‍රී මහින්ද තුන්දෙනා අතර ගැටුමක් තිබෙන නිසා ඔවුන් බලාපොරොත්තු වන වැඩපිළිවෙළ ඉස්සරහට යන්නැති තත්ත්වයකුත් තියෙනවා. මේ කාලය තුළ ශිෂ්‍යයන් සහ වැඩකරන ජනතාවගේ විශාල විරෝධයක් ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වෙනවා.
මේ නිසා තියෙන ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය යම් යම් දේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැනට විශ්වවිද්‍යාල පරිපාලනය ඒ විදියට පාවිච්චි කරනවා. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒකෙ සාධනීය ලක්ෂණ තියෙනවා. යම්කිසි සාමූහිකත්වයක් එහි තියෙනවා. ඒක අරගලවලදී අවශ්‍ය බව ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම් ගතයුතුයි.සමහර පසුගාමී සංස්කෘතික ලක්ෂණ, කාරණා තවමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ පවතිනවා. ඒ පසුගාමීත්වයට එරෙහි අරගලයක් විශ්වවිද්‍යාල ඇතුළෙන්ම කෙරෙනේන ඕන. සමාජ පසුගාමීත්ව එක්කයි දේශපාලනය බැඳිලා තියෙන්නේ. ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝගයක් තියෙනවා පසුගාමීත්වය එරෙහිව අරගලයක් කරන්න.