Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා මෙලෙස සිය අදහස් ගොනු කළේය.
මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයන් දසදහස් ගණනක් ශ්‍රී ලංකාවට බාරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති බවට යම් යම් ප්රවෘත්ති විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ නිසා රට තුළ කිසියම් ආකාරයක ආතතියක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ඉස්ලාමීය ඇතැම් දේශපාලනික හා ආගමික කණ්ඩායම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගතය පිළිබඳ යම් යම් උද්ඝෝෂණ කොළඹ නගරයේ දියත් කර තිබෙන අතර, බෞද්ධ පාර්ශ්වයෙනුත් එවැනි උද්ඝෝෂණ සිදු කිරීමට යන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අමාත්‍ය මණ්ඩලය රෝහින්ග්‍යා අනාථයන් ශ්‍රී ලංකාවට බාර ගැනීම සඳහා කිසිදු ආකාරයක පොරොන්දුවක් හෝ කිසිදු උත්සාහයක් දරා නැහැ. ඒ වගේම කාලයකට පෙර ඇති වූ සිදුවීමක දී අපේ නාවික හමුදාව විසින් මුහුදේ අතරමංව සිටි රෝහින්ග්‍යා අනාථයන් කිහිප ගොල්ලක් බේරාගනු ලැබුවා. පසුව ඔවුන් මියන්මාරයට පිටත් කර හරිනු ලැබුවා. ඒ හැරෙන්නට පසුගිය කාලය තුළ මියන්මාර රෝහින්ග්‍යා අනාථයන් ශ්‍රී ලංකාවට පැමිණ නැහැ. ඒ අනුව මෙයින් පෙනී යන්නේ කිසියම් පිරිසක් මේ පිළිබඳ රට තුළ නොසන්සුන්තාවක් ඇති කරගැනීම සඳහා සංවිධානාත්මක ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවයි.
රෝහින්ග්‍යා හි සිදුවන්නේ කුමක්ද? එය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එම ප්‍රාන්තයේ බුරුමයට, එහෙම නැත්නම් මියන්මාරයට අයත් එම ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව සියදහස් ගණනින් අසල්වැසි රටවලට පලා යමින් තිබෙන බව වාර්තා වෙනවා. දැනටමත් බංග්ලාදේශය එවැනි අනාථයන් හාරලක්ෂයකට ආසන්න පිරිසක් බාරගත් බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම ඉන්දියාව බලා පලාගිය හතළිස්දහසක පිරිසක් බාරගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව මෙය කිසියම් ආකාරයකට මානව අපරාධයක් බව ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රධානියා චෝදනාවක් ගොනු කළා. කෙසේ වෙතත් ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කළේ නැහැ. ඒ වගේම බංග්ලාදේශයත් දැන් කිසියම් ආකාරයක සහනශීලී ප්රතිපත්තියක හිටියත් රෝහින්ග්‍යා අනාථයන් පිළිගැනීමට එතරම් සූදානමක් නොමැති බව පැහැදිලියි.
මෑත කාලයේ මේ ගැටලුව ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ, එම රෝහින්ග්‍යා ප්‍රදේශයේ මුස්ලිම්වරුන් අතරේ අන්තවාදී කණ්ඩායමක් බිහිවෙලා, පොලිස් ස්ථානවලට පහර දෙමින් ස්වයං පාලන ප්‍රදේශයක් ඇති කරලීමට උත්සාහ කිරීමයි. මේ සඳහා සෞදි ආරාබියේ, කටාර් රාජ්‍යයේ හා පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ඇතැම් අන්තවාදී, ඉස්ලාමීය මූලධර්මවාදී සුන්නි කල්ලි, කණ්ඩායම් ක්‍රියා කරන බවට චෝදනා නැගුණා. ඉන්දියාව විවෘතවම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබුණා. කිසියම් හෙයකින් කාෂ්මීරයේ මෙන් මියන්මාරයේ මේ ප්රදේශයෙත් ත්‍රස්තවාදී ගැටලුවක් ඇති වුවහොත් එය තමන්ගේ ප්‍රාන්තවලට බලපාන බව වහාම ඉන්දියාවට වැටහී ගිය නිසයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම හින්දු, ඉස්ලාමීය, ඒ වගේම බෞද්ධ ඉස්ලාමීය ආතතීන් ඇති වී බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ඇත්තටම බුරුමයේ, එහෙම නැත්නම් මියන්මාරයේ ඉතිහාසය දන්නා අයට මෙය එතරම් මවිත වීමට කාරණයක් නෙමෙයි. මියන්මාරය හෙවත් බුරුමය ඓතිහාසික රාජ්‍යයක්. කෙසේ වෙතත් එය විශාල ගෝත්‍ර ගණනාවක්, ඒ වගේම ජනවාර්ගික කණ්ඩායම් ගණනාවක්, භාෂා ගණනාවක් කතා කරන රටක්. එක්තරා ආකාරයක ෆෙඩරල් රටක් එම රට. එම රට මීට වසර 2000කටත් පොරොතුව එක්සේසත් කර රජ පෙළපතක් බවට පත් කරනු ලැබුවා. ඒ අභියාසා රජ පෙළපත බෞද්ධ පදනම මතයි ඇති වුණේ.
ශ්‍රී ලංකාවේ අමරපුර හා රාමඤ්ඤ කියන නිකායන් දෙකම ඇතිවුණේ පිළිවෙළින් අමරපුර හා රාමඤ්ඤ රට නමින් මියන්මාරයේ විවිධ ප්‍රාදේශීය රාජ්‍යයන්ගෙන් පැමිණි උපසම්පදා උත්සවයන් සමගයි. ඒ වගේම ථේරවාදී බුද්ධාගම අදහන රටක් හැටියට මියන්මාරයට විශාල ශක්තියක් ථේරවාදී බෞද්ධ ලෝකයේ පවතිනවා. ශ්‍රී ලංකාවත් ථේරවාදී රටක් නිසා ඒ ඓතිහාසික සම්බන්ධය අපත් මියන්මාරයත්, තායිලන්තයත් අතර නිබඳවම පවතිනවා. අභියාසා රජ පෙළපතත් සමග රජවරුන් ගණනාවක් හරහා මියන්මාරය විවිධ ආකාරයේ බලපෑම්වලට නතුවෙමින් කටයුතු වුණා. එක් කලෙක මොංගෝලියානු ආක්රමණවලට, තවත් කලෙක චීනයේ බලපෑම්වලට ආදී වශයෙන් පැමිණි මියන්මාරයට මහත් ප්‍රහාරයක් එල්ල කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින්. බ්‍රිතාන්‍යය දකුණු මියන්මාරයේ, එහෙම නැත්නම් බුරුමයේ කොටස් අත්පත් කරගනු ලැබුවා. ඒ වගේම මියන්මාරය සමග යුද්ධ ගනණාවක් 19 වැනි සියවසේ ඇති වුණා. අවසාන වශයෙන් 1885 දී මුළු මියන්මාරයම අත්පත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමත් වුණා. එහිදී මියන්මාරයේ සිටි රජතුමා වන තීබෝ අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුවා. එම රජතුමාගේ මුණුපුරන් සහ මී මුණුපුරන් මේ මෑත කාලයේදී මියන්මාරයට පැමිණි බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් එතනින් රාජවංශය අවසන් වෙනවා. රාජවංශය අවසන් වෙලා බ්‍රිතාන්‍ය ඉන්දීය සමාගමට මියන්මාරයත් අයිති වුණා. ඉන්දියාවේ සිට තමයි, බ්රිටිප් රාජ් කියන සමාගම විසින් එම කලාපය පාලනය කරනු ලැබුවේ.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට අභියෝගයක් එල්ල කරමින් ජපානය මේ කලාපයේ වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චීනය සමග 1890 ගණන්වල කළ යුද්ධය ජය ගැනීමත්, 1904 දී රුසියාව සමග කළ යුද්ධය ජයගැනීමත්, ඉන්පසුව මැන්චූරියාව සහ කොරියානු ප්‍රදේශවලට ඇතුළු වීමත් නිසා ජපානය අධිරාජ්‍යයක් ලෙස පෙරට එමින් තිබුණා. මේ අවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් මියන්මාර අභ්‍යන්තරයේ දැවෙමින් තිබුණා. ඒ තමයි මියන්මාරයේ ස්වදේශිකයන්ගේ ජනගහනයට අභියෝගයක් එල්ල කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර හා වෘත්තීයවේදීත්වයට අභියෝගයක් එල්ල කරමින් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ සිට විශාල වශයෙන් ඉන්දීය ජාතිකයන් ගෙන ඒම. එය වර්තමාන බංග්ලාදේශ ප්‍රදේශයෙනුත් ගෙන ආවා. ඒ නිසා රෝහින්ග්‍යා ප්රශ්නයේ මුල තිබෙන්නේ එක්තරා අතකට මේ බ්‍රිතාන්‍ය පාලන සමය යටතේ ලක්ෂ සංඛ්‍යාත ලෙස බුරුමයට ගෙන ආ ඒ මහා ඉන්දීය ජනගඟ නිසයි. එක පැත්තකින් බුරුමයේ අගනගරවල ව්‍යාපාරික තැන්, රැන්ගූන්, මණ්ඩලේ ආදී අගනගරවල ව්‍යාපාරික ස්ථාන ඉන්දීය ජාතීන් අත්පත් කර ගත්තා. ඒ වගේම ප්‍රධාන වරායන් හා සිවිල් සේවාව බොහෝ දුරට ඉන්දීය ජාතීන්ගෙන් පිරී තිබුණා. මියන්මාර ස්වදේශිකයන්ට එම රාජ්‍යයේ තැනක් තිබුණේ නැහැ. ඒ වගේම කම්කරුවන් ලෙසත් අතිවිශාල පිරිසක් ගෙනැවිත් තිබුණා. මේ නිසා එම බ්‍රිතාන්‍ය විරෝධී ජාතික අරගලයේ එක අංගයක් වුණේ ඉන්දියානු විරෝධයයි. ඒ වගේම ඉන්දියාවත්, බංග්ලාදේශයත් එයට අයත්. ඔවුන් රටින් පිටුවහල් විය යුතු යැයි කියන හැඟීම ඒ ඇතුළේ ගැබ් වී තිබුණා.
අවුන් සාන් නම් තරුණ නීතිවේදී ශිෂ්‍යයෙක් මේ විමුක්ති අරගලයට නායකත්වය දුන්නා. ඔහු පසුව ජපානය සමග එක් වී කිසියම් සන්නද්ධ ක්‍රියාදාමයක් අනුගමනය කළා. මේ සන්නද්ධ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වුණේ මියන්මාරය ජපානයට නතු වීමයි. බ්‍රිතාන්‍යයන් පරාජය කරමින් මියන්මාරය අල්ලාගෙන ගොඩබිමින් යුරෝපය දක්වා ගිය සේද මාවත අල්ලාගන්න ජපානය සමත් වුණා. ඇත්තටම මේ කාලය ඓතිහාසික වශයෙන් තවත් සිදුවීමක් සිදුවුණා. ඒ තමයි ඉන්දීය ජාතික කොංග්‍රසයේ ගාන්ධි අනුගමනය කළ බ්‍රිතාන්‍යයට පක්ෂපාතී ක්‍රියාදාමය හෙළා දකිමින්, එහි ප්‍රධාන චරිතයක් වන සුභාෂ් චන්ද්‍රබෝස් ජපානය සමග එක්වීම. අන්දමන් හා මියන්මාරයේ සිට ඔහු බ්‍රිතාන්‍යයට එරෙහිව සන්නද්ධ සටනක් දියත් කිරීමට නිදහස් ඉන්දීය හමුදාව බිහි කිරීමත් සිදු වුණා.
කෙසේ වෙතත් ඉන්දීය විරෝධී මහා ජාතිවාදී අරගල මැද මියන්මාරයට නිදහස ලැබුණා. අවුන් සාන් එහි ප්‍රධාන අගමැතිවරයා හැටියට පත් වුණා. නමුත් ඔහුට වැඩිකල් ආණ්ඩු කිරීමට හැකිවුණේ නැහැ. ඔහුත්, ඔහුගේ කැබිනට් මණ්ඩලයත් ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ඌනුට වැඩිකල් රට කරන්නට ලැබුණේ නැහැ. එහි තිබූ ජනවාර්ගික ගැටුම් හා නොයෙකුත් ආකාරයේ ගැටලු නිසා මියන්මාරයේ බලය නේවීන් නමැති යුද සෙනෙවියා අතට ගියා. ඒ කාලයේ ඇති වෙමින් තිබූ කොමියුනිස්ට් සමාජවාදී රැල්ල සමග යමින් ඔවුන්ගේ ප්‍රදේශයේ තිබූ කාම්බෝජියාව, ලාඕසය, වියට්නාමය ආදී රටවල් විශේෂයෙන්ම රතු චීනය එය ආදර්ශයට ගනිමින් සමාජවාදය බිහි කිරීම සඳහා කියමින් නේවින් හමුදා බලයක් පිහිටෙව්වා. ඒ වගේම 1962 චීනය හා ඉන්දියාව යුද වැදුණු අවස්ථාවේදී නේවින් එය ප්‍රයෝජනයට අරගෙන හමුදා පාලනයක් පිහිටෙව්වා පමණක් නෙමෙයි, සියලුම ඉන්දියානුවන් එම මියන්මාරයෙන් පිටුවහල් කළා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියන්මාරයෙන් පිටුවහල් කළා. ඉන්දියාවට මේ අවස්ථාවේදී මියන්මාරයට එරෙහිව යුද වැදීමට හෝ එය වැළැක්වීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද චීනයත් සමග ඔවුන් පැටලී සිටි නිසාත් පාකිස්තානය සමග ගැටුම් ඇති කරගෙන සිටි නිසාත්. කෙසේ වෙතත් අතිවිශාල ජනගහනයක් මේ ලෙසම ඉන්දියාව කරා පලවා හරින්න මියන්මාරය ඒ අවස්ථාවේ කටයුතු කළා. ඇත්ත වශයෙන්ම ඔවුන් ඉන්දීය ජාතිකයන්. බ්‍රිතාන්‍යයන්ගේ සමයේ ගෙන ආ පිරිසක්.
ඒ වගේම මේ කාලයේ සිටම මේ අරකන් නමැති මේ ගෝත්‍රය ජීවත්වන ප්‍රදේශයේ, බංගලිදේශය නමින් පසුව ඇති වූ නැගෙනහිර පාකිස්තානයේ ජනතාව පැමිණීම ගැන විශාල විරෝධයක් පැතිරී තිබුණා. ඔවුන් පිටුවහල් කළයුතු බවට විශාල උද්ඝෝෂණයක් රට තුළ ඇති වුණා. කෙසේ වෙතත් 1982 දී හඳුන්වාදෙන ලද නව නීතිරීති අනුව මේ රෝහින්ග්යාහි ජීවත්වන පිරිසට මියන්මාරයේ පුරවැසිකමක් නැහැ. මියන්මාරයේ පුරවැසිකමක් ලබාගැනීමට අවශ්‍ය කරන කොන්දේසි ඔවුන් සපුරා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් රටක් නැති පිරිසක් හැටියටයි සටහන් වුණේ.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදී විප්ලවය ජයගැනීමත්, අවුන් සාන්ගේ දියණිය, අවුන් සාන් සුකී බටහිර රටවල ආධාරයෙන් මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය ඉෂ්ට කිරීමත් නිසා කිසියම් දුරකට මියන්මාරයට බටහිර අවධානය යොමු වුණා. කොටින්ම බරැක් ඔබාමා පවා මියන්මාරයේ සංචාරයක නියැළුණා, පමණක් නොව, මියන්මාරයද විවෘත ආර්ථිකය කරා ගමන් කළා. ඒ පැවතුණු ස්වදේශීය සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය තෝරා ගැනීමත් සමගම මියන්මාරයේ විශාල ආයෝජන පිබිදීමක් ඇති වුණා. ඒ වගේම මියන්මාරය අවට ප්‍රදේශය තෙල් ගවේෂණය ආදිය සිදුකිරීම නිසා තවත් ආකාරයකින් ආර්ථික සමෘද්ධියක් ඇති වෙන්නට පටන් ගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි අසල්වැසි යෝධ චීනයේ බලපෑමත් මියන්මාරයට එල්ල වුණා. චීනය විසින් මියන්මාරය ආර්ථික අතින් අකර්මණ්‍ය කරනවාය කියන චෝදනාවත් සමග මියන්මාරය එක් අවස්ථාවක චීනය දියත් කළ ප්‍රධාන ජලවිදුලි බලාගාරයක් පවා ප්‍රතිෂේප කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් අවුන් සාන් සුකී ක්‍රමයෙන් චීනයේ ආයෝජන කරා ගමන් කරමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා කිසියම් ආකාරයකට අවුන් සාන් සුකීව බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකළ බටහිර රටවල් සහ ඉන්දියානුවන්ගේ මැදිහත්වීම්වලින් සිදුකළ මෙහෙයුම අසාර්ථක වෙමින් අවුන් සාන් සුකී චීනය පැත්ත ගැනීම ගැන කිසියම් ආකාරයක වෛරයක්, කිසියම් ආකාරයක දේශපාලන පළිගැනීමක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මියන්මාරය කාලයක් මුළුල්ලේ පාලනය කළ යුද හමුදාව තවමත් එහි පාර්ලිමේන්තුවේ විශාල බලයක් උසුලනවා. එය නැවත වතාවක් සිවිල් පාලනයකට ලබාදීමට ඇති අකමැත්තත් අපට පෙනී යනවා.
මියන්මාරයේ බෞද්ධයන් පවසන්නේ මේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වර්තමාන බංග්ලාදේශයෙන් පැමිණි විදේශිකයන් පිරිසක් බවයි. ඔවුන් ඉතා ශීඝ්‍රයෙන් සිය ජනගහනය වර්ධනය කරමින් මියන්මාරයේ ජනවාර්ගික සංතුලනය බිඳ දමන බවත්, ශීඝ්‍රයෙන් සෞදි අරාබියේ මුදල්වලින් පල්ලි පිහිටුවමින් ආක්රමණික වේශයෙන් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එය වඩාත් දියුණු තියුණු වුණේ වහබ්වාදී අදහස් ඇති සුන්නි ත්‍රස්තවාදී ක්‍රියාවලියක් රෝහින්ග්යාහි ආරම්භ වීමත් සමගයි. මාස කිහිපයකට පෙර පොලිස් ස්ථාන 09කට පහර දුන්නා. ඒ වගේම සති කිහිපයකට පෙර පොලිස් ස්ථාන 43කට පහර දුන්නා. ඊට පස්සේ සිදු වුණා යුද නීතිය පනවලා හමුදාව ඒ ප්‍රදේශවලට යවන්න.
ඒ වගේම මුස්ලිම් රටවල්වලින් කිසියම් ආකාරයක ප්රචාරක යුද්ධයක් ගෙනයන බවට අපට පෙනී යනවා. විශේෂයෙන්ම කටාරයේ සිට ක්‍රියාත්මක වන %අල් ජසීරා^ නාළිකාව, %සීඑන්එන්^, %බීබීසී^ වැනි නාළිකා විශාල ප්‍රමුඛතාවක් මෙයට ලබාදෙනවා. ඔවුන් පවසන්නේ ඉතාම දුගී රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඉතාම භයානක ලෙස මියන්මාර ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරමින්, සිය ප්‍රදේශවලින් පලවා හරිමින්, ගම්බිම් ගිනිබත් කරමින් තිබෙන බවයි. මේ ජනතාව ඉතාම දුගී ජනතාවක් බව ඇත්ත. ඒ වගේම මේ ජනතාවට මියන්මාර හමුදාවේ ප්‍රහාරවලට මුහුණදීමේ හැකියාවක් නැති බවත් ඇත්ත. ඔවුන් ඉතා විශාල වශයෙන් අනාථ වෙමින් හාරලක්ෂයකට අධික පිරිසක් ඒ ප්‍රදේශවලින් පලා ගිහින් තිබෙන බවත් ඇත්ත. නමුත් තවත් සමහර විදේශීය විචාරකයන් පවසන්නේ මේ පිළිබඳ පවතින මේ මහා උද්ඝෝෂණය, ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානින් වනසා දැමීමට ඉස්ලාමීය මූලධර්මවාදීන් කටයුතු කළ අවස්ථාවේදී, පල්ලිවල බෝම්බ පුපුරවපු අවස්ථාවේදී, ඒ ජනතාව සමූල ඝාතනය කළ අවස්ථාවේ නැගුණේ නැති බවයි. සිරියාවේ, ලෙබනනයේ, ඉරාකයේ, ඒ වගේම වර්තමාන පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ ජීවත් වූ සුළුතර ක්‍රිස්තියානීන් සහ බෞද්ධයන් ආදිය මරා දමා පලවා හරින විට ඇයි මේ උද්ඝෝෂණය පැන නොනැගුණේ කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා.
විශේෂයෙන්ම බංගලිදේශයේ බෞද්ධ ප්‍රාන්තය වන චිතගුන්හි බෞද්ධයන්ට සිදු කරන අසාධාරණයන් පිළිබඳ ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් නොකරන්නේ. 'බීබීසීය', 'සීඑන්එන්' සේවය, 'අල් ජසීරා' සේවය අවධානය යොමු නොකරන්නේ ඇයි කියාත් යම්කිසි ආකාරයකට ප්‍රශ්න කිරීමක් සිදු කෙරෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් ඔවුන්ට බලය තිබෙන ප්‍රදේශවල දියත් කර තිබෙන මනුෂ්‍ය සංහාර දෙස බලන විට අප්‍රිකාවේ, ඒ වගේම මැද පෙරදිග හා වෙනත් රටවල සිදු කරගෙන යන ව්‍යසන තත්ත්වයන් දෙස බලන විට මේ මියන්මාරයේ සිදු වෙමින් තිබෙන කාරණය එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බවටත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එහි මනුෂ්‍ය ඛේදවාචකයක් සිදුවෙමින් තිබෙන බව අප සියලු දෙනාම පිළිගත යුතුයි. ඒ වගේම මෙහි දේශපාලන පසුබිමකුත් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ තමයි අවුන් සාන් සුකී චීනය සමග එකතු වීම නිසා චීනයේ %එක මාවතක් - එක තීරයක්^, එහෙම නැත්නම් %වන් බෙල්ට් - වන් රූට්^ කියන එම තේමාව යටතට චිතගොන්හි හා මියන්මාරයේ විශාල වශයෙන් වරායන් ඉදිකරන්නට, අධිවේගී මාර්ග ඉදිකරන්නට ඉඩදීමත්, තෙල් සම්පත ගවේෂණයට ඉඩ දීමත් පිළිබඳ කෝපයෙන් පසුවන බටහිර රටවල්, අවුන් සාන් සුකීට එරෙහිව යම් දේශපාලන ප්රහාරකයක් එල්ල කරමින් තිබෙන බවයි. මෙය අපට එක්වරම ප්රතික්ෂෙප කළ නොහැකියි. දැන් අද වනවිට දකුණු පැසිපික් සාගරයේත්, ඒ වගේම ඉන්දියානු සාගරයේත්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ලෝකයත්, ජපානය ඉන්දියාව ආදී කණ්ඩායමත්, සෞදි ආරබිය එක පැත්තකටත්, අනෙක් පැත්තට චීනය, පකිස්තානය හා රුසියාවේත් සහාය ලබා ගනිමින් ගැටුමක් ඇති වී තිබෙන බවයි. වර්තමාන උතුරු කොරියාවේ ඇතිවෙමින් තිබෙන සිදුවීමත් එහිම කොටසක් බව පැහැදිලියි.
කෙසේ වෙතත් ඉතාම කනගාටුදායක දෙය නම් මේ රෝහින්ග්‍යා අරගලය ඉස්ලාමීය මූලධර්මවාදීන් හා අනෙකුත් ලෝක ජනතාව අතර කෙරෙන අරගලයක් වීමත්, ඒ වගේම එයට දැන් ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය ඇතුළු වීමත්ය. මෙයින් අවසාන වශයෙන් බැට කන්නේ ඒ දුගී රෝහින්ග්‍යා ජනතාවයි. ඒ නිසා ඒ රොහින්ග්‍යා ජනතාවගේ ඛේදවාචකය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ නොදී, එය මැදිහත්ව විසඳීම සඳහා මැදිහත් ක්රියාදාමිකයෙකු මිස අරාබි සල්ලිවලින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට අවි ලබාදීම හෝ ප්රචාරක යුද්ධයක් මගින් අවුන් සාන් සුකී කොටු කිරීම හෝ ඒ වගේම නැවත වතාවක් මියන්මාරයේ හමුදා පාලනයක් එන තැනට වැඩ කටයුතු සැකසීම හෝ සිදු නොකොට, ඉතාම උපේක්ෂා සහගතව මේ ගැන බැලිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුත්, ශ්‍රී ලංකාවේ බෞද්ධයනුත් මේ පිළිබඳ උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මානුෂීය ගැටලුව ගැන එක් ආකාරයකටත්, අන්තවාදය හා ජාත්‍යන්තර දේශපාලනය ගැන තවත් ආකාරයකටත් අවබෝධ කරගනිමින් අප සියලු දෙනා කටයුතු කළයුතු වෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd