බුදුදහමට හිමි තැන පහළට දමනවා නම් ආණ්ඩුවේ නොසිටින බවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ දැඩි කතාබහකට ලක් විය.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා සමග සාකච්ඡා කළෙමු.
Q නව අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳ කතා කළොත්?
මට බාරදුන්න අමාත්‍යාංශය සුවිශේෂී අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම භූගත ඉන්ධන සම්පත ගැන, කැණීම් කටයුතු ගැන අපි මේ වනවිට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපට ඉදිරි කාලයේදී ඉන්ධන සම්පත සොයාගැනීමට හැකි වුණොත් එය අපේ රටේ ආර්ථිකයේ සන්ධිස්ථානයක් වේවි. ආර්ථිකය වෙනස් මඟකට යොමු කරන්න පුළුවන් වේවි.
ඒ නිසාම වෙන්න ඇති මේ අමාත්‍යාංශය මට බාරදෙන්න ඇත්තේ. මම වරාය අමාත්‍යවරයා ලෙස සිටින විට පසුගිය වසරේ රුපියල් බිලියන 11ක් ලාභ ලැබුවා. වරාය ශුද්ධ කළා. වෘත්තීය සමිති නායකයන් ලෙස පෙනී සිටි හොරු අයින් කළා. වියදම් අඩු කළා. ලබන අවුරුද්ද වෙනකොට බලන්න පුළුවන් වෙනස මොකක්ද කියලා.
Q වරාය එතරම් හොඳට කළා නම් ඇයි ඔබතුමාගෙන් අයින් කළේ ?
වරායේ එච්චර දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නෑ. ගන්න පුද්ගලයාට තියෙන්නෙ ඒක ඉදිරියට ගෙනියන්න විතරයි. හැබැයි මේ නව අමාත්‍යාංශයේ හුඟක් දේවල් කරන්න තියෙනවා කියලා මට නායක දෙපළම කිව්වා. ඒත් එක පැත්තකින් මට කනගාටුයි එච්චර හදපු දෙයක් මට ඉවර කරගන්න බැරි වුණ එකට.
අනෙක් අතට අපේ රටේ තිබෙන ප්‍රධාන අමාත්‍යාංශයක් ලෙස මේ අමාත්‍යාංශයේදීත් ප්‍රශ්න එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ප්‍රශ්නවලට මූණ දෙන්න ආස කෙනෙක්. සමහරවිට ඒවා ඔක්කොම බලාගෙන වෙන්නැති මට මේ අමාත්‍යාංශය බාර දෙන්න ඇත්තේ.
Q මොනවද ඔබ හඳුනාගත් ප්‍රශ්න?
අපේ රටට තෙල් ගේන විට තියෙන දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට අපි හඳුනාගනිමින් සිටිනවා. සමහර ඒවා අපි නැවත්තුවා. ඒ වගේම සමහර ගිවිසුම් රටට හොඳ විදියට වෙනස් කරමින් යනවා. ඒ ගිවිසුම් ඊයේ පෙරේදා අත්සන් කළ ගිවිසුම් නෙමෙයි.
අවුරුදු ගාණකට කලින් අත්සන් කළ ගිවිසුම්. අපි ආයෝජකයන් සමග කතා කරලා ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවා. බැරි වුණොත් එම ගිවිසුම් සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා.
Q අමාත්‍යාංශයේ ප්‍රධානතම ආයතනය වන්නේ ඛනිජ තෙල් සංස්ථාව. එය ලාභ ලබන තත්ත්වයකට ගේන්නේ කොහොමද ?
පෙට්‍රෝලියම් ලාභ ලබන ආයතනයක් බවටම පත් වෙන්නේ නැහැ. භූමිතෙල් ගත්තොත් ගෙන්නන මිලට වඩා අඩු මුදලකට අපි විකුණන්නේ. මොකද අපි දුප්පත් මනුස්සයාවත් බලාගන්න ඕනේ. ඒ වගේ බොහෝ දේවල් අපට අපේ ව්‍යාපාරයේදී සලකා බලන්න වෙනවා. නමුත් අපේ ආයතනවල ඇතැම් සේවා සහ අංශ පිටට දීම නිසා පසුගිය කාලයේ හුඟාක් අලාභ ලබලා තියෙනවා. අපි ඒවා වෙනස් කරන්න හදනවා.
Q වරාය අමාත්‍යාංශයේදී වෘත්තීය සමිති සමග ගැටුම් ඇති වුණා. මේ අමාත්‍යාංශයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය කොහොමද?
වරායේ සියලුම වෘත්තීය සමිති අපි සමග බොහෝම මිත්රශීලීව කටයුතු කළා. වෘත්තීය සමිති නායකයන් යැයි කියාගත් කිහිප දෙනෙක් පමණක් අප සමග සිටියේ නැහැ. ඔවුන්ගේ ඉතිහාසය සලකා බැලීමේදී ඔවුන් නිවැරදි පුද්ගලයන් නෙමෙයි. ඇතැම් අයට උසාවියෙන් දඬුවම් පවා පනවා තිබෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයේත් වෘත්තීය සමිති අපි සමග සුහදශීලීව කටයුතු කරනවා.
ඔවුන් සමග අපි සාකච්ඡා කළා. ඔවුන්ට ලොකු කැක්කුමක් තියෙනවා මේ ආයතනය ආරක්ෂා කරන්න. වරායේ වෘත්තීය සමිතිවල නායකයන් යැයි කියාගත් කිහිප දෙනකුට අවශ්‍ය වුණේ තමන්ට හම්බ කරන්න. ඒ අතින් මේ අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආයතන සහ ආයතනවල සම්පත්, දේපොළ ආරක්ෂා කරන්න.
Q අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් ආයෝජකයන් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ඔබේ සැලසුම මොකද්ද?
අපට ආයෝජකයන් අවශ්‍යයි. නමුත් ඔවුන් සමග අපි සාකච්ඡා කළ යුත්තේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙසින්. මේ රටේ සම්පත් විකුණනවාට මම පෞද්ගලිකව කැමති නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්.
නමුත් ආයෝජකයන් ගෙන්වා රට සංවර්ධනය කිරීමට ඇවැසි බව මම විශ්වාස කරනවා. ඒ නිසා ආයෝජකයනුත් ගෙන්වාගෙන රටේ සම්පත් මෙන්ම අපේ අයිතිවාසිකම්ද ආරක්ෂා වන තැනකට අපි යා යුතුයි.
Q අද වනවිට ඉන්ධන හල් පිළිබඳ විවිධ චෝදනා එල්ල වෙනවා. දැනට ඉන්ධන හල් පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
පෙට්‍රල් ෂෙඩ් ගැන අද ලොකු චෝදනා තියෙනවා. ඒවා හරියට කළමනාකරණය කරලා ගෙනියන්න ඕනේ. ඒ වගේම තත්ත්වය උසස් කරන්න ඕනේ. විශේෂයෙන් ලංකා නීතිගත සංස්ථාව යටතේ තියෙන ෂෙඩ්වල තත්ත්වය හුඟක් බැහැලා තියෙනවා.
උදාහරණයක් හැටියට හොඳ ටොයිලට් එකක් නෑ. නමුත් පෞද්ගලික ෂෙඩ්වල පහසුකම් තියෙනවා. ඉතිං ඉදිරි අවුරුදු දෙකහමාරේදී අපේ ෂෙඩ් දියුණු කරන්න කටයුතු කරනවා. ඒක මට ගොඩදාන්න පුළුවන්.
Q මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා පත් වෙද්දි ජනතාව තුළ තිබූ බලාපොරොත්තු ටික ටික ගිලිහෙමින් යනවා. අද ආණ්ඩුව ගැන තියෙන ජනතා ප්‍රසාදය ගැන ඔබ මොකද කියන්නේ?
අද ආණ්ඩුව ගැන තියෙන ජනතා ප්‍රසාදය අඩුවෙලා තියෙනවා. නෑ කියන්න බෑ. මම දකින එක පැත්තක් තමයි අපේ ප්‍රචාරණය අඩු වෙලා තියෙනවා. අපේ ආයතන ගැනත් කරන ප්‍රචාරණය හුඟක් මදි. දෙවැනි එක තමයි මහජනතාව කිව්වෙ හොරු අල්ලන්න කියලා. ඒවා කිසි දෙයක් වුණේ නෑ. මාත් ඒ ගැන කනගාටු වෙනවා.
තුන්වැනි එක තමයි හරි ගමනක් යයි කියලා මටත් පේන්නෙ නෑ. අපි හුඟාක් හොඳ දේවල් කරලා තියෙනවා. මම දකිනවා ප්රජාතන්ත්රවාදය කියන එක වැඩියි දැන්. යහපාලනයත් වැඩි වුණොත් රටක් දුවන්න බෑ කියලා මට දැන් තේරිලා තියෙනවා. ජනතාව අපෙන් බලාපොරොත්තු වුණේ නෑ බඩු මිල අඩු කරන්න. අපෙන් බලාපොරොත්තු වුණේ
ප්රජාතන්ත්රවාදය ලබාදෙන ගමන් පසුගිය දූෂිතයන්ට දඬුවම් කරන්න කියලා. අද ඒවා සිද්ධ වෙලා නෑ. පරණ දූෂිතයො කියලා හංවඩු කරපු අය අපේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. අපේ ආණ්ඩුවේ ඇමතිවරුත් එක්ක කිට්ටුවෙන් සිටිමින් ඒවා බේරාගෙන යනවා.
ඒ ගැන මම කනගාටු වෙනවා. මම හිතනවා ඒකේ වගකීම ජනාධිපතිතුමාටයි, ඇගමැතිතුමාටයි තියෙනවා කියලා. ඒවා පැහැර හැරියොත් මහජනතාව ඒවා ගැන කවදාහරි තීරණයක් ගනියි.
Q මේ අවුරුදු දෙක ගියාට පස්සෙ ආණ්ඩුවට මොකක් වෙයිද?
මම හිතනවා අපි ආණ්ඩුවක් හැටියට හොඳ දේවල් කරලා තියෙනවා. සමහර දේශපාලන අරමුණු එක්ක යන ගමන් යම් යම් තීරණ ගැනීමේ දුර්වලතාවක් අපට තියෙනවා. මොකද මට තාම හිතෙනවා පක්ෂ දේශපාලනය තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ. එහෙම කිව්වම සමහර අය මට ඒකට හිනාවෙයි. චෝදනා කරයි.
මම පක්ෂ තුනකින් ඡන්ද ඉල්ලා තියෙනවා. මට පක්ෂ අවශ්‍ය වෙන්නේ නෑ. මේ රටේ පොදු ක්‍රමවේදයක් හදන්න ඕනේ. නමුත් අපි එහෙම කියලා ආවට පස්සෙ එක එක්කෙනා කල්පනා කරන්නේ පක්ෂය ගැන.
ඒක අපි වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වෙන්නේ පක්ෂයකට යාම නෙමෙයි. හොඳ පුද්ගලයො එක්ක දේශපාලනය කිරීමයි. ඒ නිසා අපි කණ්ඩායමක් විදියට ඉදිරියේදී හැදිය යුතුයි. එහෙම නැතව කවදාවත් මේ රට තියෙන අවුල්වලින් ගොඩගන්න බෑ.
Q මේ වනවිට නව ව්‍යවස්ථාව ගැන සමාජයේ විශාල සංවාදයක් ඇතිව තියෙනවා. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන අඩු වෙයිද?
ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් හැටියට මම වගකීමකින් කියනවා එහෙම සාකච්ඡා කරලත් නෑ, සාකච්ඡා කරන්නෙත් නෑ. නමුත් වෙනම කට්ටියක් ඒකට ගිනි අවුලන්න හදනවා. මම දැක්කා එක තැනක තියෙනවා බුද්ධාගම තුන්වැනි තැනට දාන්න හදනවා කියලා. මේවා තනිකරම දේශපාලන කතා. සිංහල බෞද්ධයන් ඇවිස්සීමේ ක්‍රමයක්.
ඇත්තටම අපට අවශ්‍ය වෙන්නේ බෞද්ධාගමට මූලිකත්වය දෙන ගමන් අනෙකුත් ආගම්වලට සිය අයිතිවාසිකම් ලබා දෙන්න. ඒකේ වරදක් නෑ. ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම්, ද්‍රවිඩ නායකයෝ කවදාවත් කියන්නේ නෑ බුද්ධාගමට තියෙන මූලිකත්වය අඩු කරන්න කියලා. ඒක තමයි රටටම අවශ්‍ය වෙන්නේ.
මේ රට සුද්දන්ගෙන් බේරා ගන්නකොට සිංහල බෞද්ධ නායකයෝ විතරක් නෙමෙයි සිටියේ. එතත දෙමළ අය හිටියා. මුස්ලිම් අය හිටියා. කතෝලික අය හිටියා. හින්දු අය හිටියා. මේ සියලුම ආගමිකයන් එකතු වෙලා අත්වැල් බැඳගෙන ජයග්‍රහණ ලබාගත්තේ. මම වගකීමෙන් කියනවා, මේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ.