හිටිහැටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරමින් ආණ්ඩුව තවත් සංදර්ශනයක් පැවැත්වූ බව මේ දිනවල ජනතාවගේ පාර්ශ්වයෙන් අසන්නට ලැබේ. විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යවරුන් පත්කරන බව ආණ්ඩුව පැවසුවද එවැනි කිසිදු පදනමක් එහි නොමැති බවත්, යන්තමින් හෝ එවැනි විද්‍යාත්මක පදනමක් මත සිදුවූ පත්වීමකට තිබෙන්නේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට හිමි වූ වනජීවී අමාත්‍ය ධුරය පමණක් බවත් ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම් පවසයි. කෙසේ නමුත් සමෘද්ධිමත් ජීවිත ගෙවන ශ්‍රී ලාංකේය ජනතාවට අඩුවකට තිබුණේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පමණක් බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවබෝධ කරගෙන ඇති බව පෙනේ. මේ පිළිබඳ අදමෙම විග්‍රහය ගෙන එන්නේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමගිනි.
ඔළුගෙඩි මාරුවට හේතු වූයේ ආණ්ඩුවේ දෙදරා යෑමද?
විශේෂයෙන්ම මෙවර ඇමති මණ්ඩල සංශෝධනය සිදුවෙන්නේ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණි විශ්වාසභංගයත් සමගයි. ඉහත විශ්වාසභංගයට ආණ්ඩුවේම ඇමතිවරුන් 16 දෙනෙක් පක්ෂව කටයුතු කරමින් ඇමති ධුරවලින් ඉවත් වෙනවා. ඒ ඇමතිවරුන් 16 දෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාපතීත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වෙනවා. ඒ අනුව මෙය ආණ්ඩුවේ මේ වන විට හටගෙන තිබෙන තදබල අර්බුදයන්ගෙන් මිදීමට ගත් යම් උත්සාහයක් බව පැහැදිලියි.
තම අවිචාරවත් බව හා අවිද්‍යාව පිළිගැනීම
මේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනයත් සමග ආණ්ඩුව කතා කරන දෙයක් තමයි අමාත්‍ය සංශෝධනයත් සමග ඔවුන් කඩිනමින්, වේගවත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියන දේ. ඒ ප්‍රකාශය තුළින්ම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පිළිගන්නවා මේ රජය පත්වූ දා සිට මේ දක්වාමත් කිසිම සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ සිදුනොවූ බවට. ආණ්ඩුව පවසන තවත් දෙයක් තමයි මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළේ විද්‍යාත්මක පදනමක් ඇතිව බව. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වීමේදී මැතිවරණ වේදිකාවල ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබූ දෙයක් තමයි ඉතා ප්‍රබල හා දක්ෂ ඇමති මණ්ඩලයක් පත්කරනවා කියන කාරණය. මේ ප්‍රකාශවලින් ආණ්ඩුව පිළිගන්නවා මෙතෙක් කාලයක් තමන් අමාත්‍යවරුන් පත්කොට තිබුණේ කිසිදු විද්‍යාත්මක හෝ පදනමක් නොමැතිව සහ ඉතාමත් අවිචාරවත් ලෙසින් බව.
එහෙමනම් ජනතාවගේ පැත්තෙන් නැගිය යුතු ප්‍රශ්නයක් තමයි හිටපු රාජපක්ෂ රජය තදබල ලෙසින් බලයට පත්වූ මේ රජය, රට සංවර්ධනයට තිබූ වසර 3ක කාලයක් නිරපරාදේ
නාස්ති කර දැම්මේ ඇයි කියන එක. එසේ විද්‍යාත්මක නොවූ සහ අවිචාරවත් අමාත්‍ය මණ්ඩලක් තබාගෙන, රටේ සංවර්ධන කාර්යයට නිසි ස්ථානයක් ලබා නොදී, මෙතෙක් කාලයක් ජනතා මුදල් නාස්ති කිරීම පිළිබඳව එසේනම් ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගත යුතුය. ඒ වගේම මහජන මුදල් නාස්ති කිරීමේ වරද ආණ්ඩුව විසින් සිදුකොට තිබෙනවා.
ජනපතිව සහ අගමැතිව බිත්තියට හේත්තු කරන පසු පෙළ මන්ත්‍රීවරු
මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් ඵලක් නොවූ බවට ආණ්ඩුවේම සිටින එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරනවා. මෙහිදී පසු පෙළ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් හිමි නොවූ බවටත් පැවසෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඇසිය යුතු දේ තමයි ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 225ටම අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවිය යුතු යැයි විශ්වාස කරනවාද, ඔවුන්ටත් අමාත්‍ය ධුර ලබාදී ජනතා මුදලින් ඔවුන් වෙනුවෙනුත් අධික වියදමක් දැරිය යුතුද සහ තමන්ගේ මන්ත්‍රී ධුරයට හිමි කාර්යභාරයවත් නිසි අයුරින් ඉටුකර තිබෙනවාද යන්න.
රටත් ජනතාවත් තවමත් එකම තැන මෙතෙක් පැවති සමාජ
ප්‍රශ්නවලට අමතරව අද වෙනකොට ජනතාවට තවත් සමාජ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම් අලුත් මුහුණුවරකින් නැවත සක්‍රීය වීමත් එක්ක ජනතාවට සුරක්ෂිත වූ පරිසරයක් රටේ ගොඩනගන්න තවමත් මේ රජයට නොහැකි වෙලා තිබෙන බව පැහැදිලියි. රජයේ පාර්ශ්වයෙනුත් අද කතාබහ කරන්නේ රට හෝ ජනතාව වෙනුවෙන් ගෙන එන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නෙවෙයි. ජනතාවට අද සිදුවෙලා තිබෙන්නේ කැබිනට් සංශෝධන, විශේෂ සාකච්ඡා, අනුකමිටු පත්කිරීම වැනි ආණ්ඩුව තමන්ගේ බලය
රැකගැනීම වෙනුවෙන් දරන ප්රයත්න පිළිබඳ අහන්න.
පසුගියදා පාතාල නායකයෙකුගේ විවාහයට සහ මධුසමයට පූර්ණ පොලිස් ආරක්ෂාවක් හිමි වීම පිළිබඳව රජයේ පාර්ශ්වයන් තවමත් නිහඬයි. තවමත් මේ රටේ සම්පත් බෙදීයෑම සම්බන්ධයෙන් විශාල විෂමතාවක් තිබෙනවා. සමහර පාසල්වලට අත්‍යවශ්‍ය විෂයයන් ඉගැන්වීමටවත් ගුරුවරු නැහැ. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවා විශාල ගැටලු මතුවෙලා තිබෙනවා. විධිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිකම සහ ගෙන ඒමට ගිය දැඩි නීතිරීති ක්‍රියාත්මක නොවීම නිසා රටේ මාර්ග අනතුරු ප්‍රමාණය පවා ඉහළ ගොස් ඇති බව දකින්න ලැබෙනවා. ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් ගෙන එන යෝජනා සහ තීන්දු තීරණ ජනාධිපතිවරයා හෝ වෙනත් පාර්ශ්වයක් මැදිහත් වෙලා නවත්වනවා. මේ ආකාරයේ අසමත් වීම් ගණනාවකට මේ රජය මුහුණදීම නිසා දැවැන්ත සමාජ අර්බුදයන් රැසකට මේ රට අද මුහුණපාලා තිබෙනවා. තමන්ගේ බලය රැකගැනීමට දරන ප්රයත්න දිහා බලද්දි මේ සමාජ අර්බුදය විසඳන්න රජයටත් කිසිදු වුවමනාවක් නැති බව පැහැදිලිවම පෙනී යනවා.
අලුත් අමාත්‍යවරුන් කරන්නේ කුමක්ද?
විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ අමාත්‍ය මණ්ඩල පත්කිරීම සිදුවුණා නම් අලුත් අමාත්‍යවරුන්ට හැකිවිය යුතුයි ඉදිරියේදී ජනතාව අපේක්ෂා කරන යහපත් වර්ධනයක් සම්බන්ධයෙන් සිය විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදුකරලා, ඒවා ක්‍රියාත්මක කරන්න සහ ඒවා ප්‍රකාශයට පත් කරන්න. උදාහරණයක් විදිහට උසස් අධ්‍යාපනය ගත්තොත් තව විශ්වවිද්‍යාල කොපමණ ප්‍රමාණයක් ඔහු විවෘත කරන්න බලාපොරොත්තු වෙනවාද, දැනට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු කොතෙක්දුරට ඔහු විසඳන්න කටයුතු කරනවාද, පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන වැඩපිළිවෙළ කුමක්ද සහ උපාධිවල ගුණාත්මකභාවය තවත් වැඩිදියුණු කරන්න කටයුතු කරන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව නව අමාත්‍යවරයාට දැක්මක් තිබිය යුතුයි.
ඒ වගේම පොදු ප්‍රවාහන සේවය ගත්තොත් එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න, දැන්වත් ජනතාවට සතුටු විය හැකි ආකාරයේ පොදු ප්‍රවාහන පද්ධතියක් සකස් කරන්න ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් පිළිබඳව අදාළ අමාත්‍යවරයාට නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නීතිය සහ සාමය තහවුරු කරමින් මේ යම් ප්‍රමාණයකට හිස ඔසවා තිබෙන පාතාලය මර්දනය කරන්න තමන් කටයුතු කරන්නේ කෙසේද, පොලිස් සේවයේ පවතින ගැටලු විසඳීමට ලබාදෙන විසඳුම් මොනවාද කියලා තීරණය කරන්න ඒ ඇමතිවරයාට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් 2020 ජනාධිපතිවරණය පිළිබඳ වහසිබස් කියවීම, එකිනෙකාට මඩගසා ගැනීම වැනි බහුභූත කතා කරනවා හැර අද සිටින දේශපාලඥයන්ට ඉදිරි දශකය තුළ රට කුමන තත්ත්වයකට ගෙන යනවාද කියන කාරණය සම්බන්ධයෙන් නිසි දැක්මක් හෝ ප්‍රතිපත්තියක් තිබෙන බව දකින්න ලැබෙන්නේ නැහැ. 2020 ජනාධිපතිවරයා තීරණය කරන්නේ ජනතාව මිසක් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය නොවෙයි.
ජනාධිපතිතුමනි ඔබ තවමත් ප්‍රමාද නැත
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මේ රටේ බිහිවුණු විශිෂ්ටතම ජනාධිපතිවරයෙකු වීමේ හැකියාව තිබුණා. ඔහුට ජනාධිපති ධුරය ලැබුණේ ඔහුවත් බලාපොරොත්තු වූ හෝ සැලසුම් කළ ආකාරයකට නොවෙයි. ජනාධිපති ධුරයට පත්වූ වහාම සහ අදටත් ඔහු ප්‍රකාශ කරන දෙයක් තමයි නැවතත් තමන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව. කාරණා එසේ නම් ඔහුට හැකියාව ඕනෑතරම් තිබෙනවා ජනප්‍රිය මතයන්වල එළඹ නොසිට රටේ සුභසාධනය වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගන්න. නමුත් ජනාධිපති ධුරයට පත් වූ වහාම ඔහු නොකළ යුතු දෙයක් කළා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය බාරගැනීම. නිර්පාක්ෂිකයෙක් විදිහට බලයට ආපු ඔහුට එතැනදී සිදුවුණා නැවතත් එක් පක්ෂයක් ගන්න. එතැනදී තමයි ඔහුත් තවත් ජනවරමක් බලාපොරොත්තු වන ජනාධිපතිවරයෙකු බවට පත්වුණේ.
හිටපු ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කළාට පස්සේ ඔහු හොඳින්ම දැනගෙන හිටියා තමන් නැවත ජනාධිපතිවරණයකට තරග කළහොත් සුළු ජාතිකයන් යැයි හඳුන්වාගන්නා පිරිස්වල ඡන්ද ඔහුට නොලැබෙන බව. නමුත් මේ ජනාධිපතිවරයාට ඊටත් එහාගිය සමාජ සුභසාධන වැඩපිළිවෙළක් ඉටුකරමින් රට ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් තිබුණා. ඔහුට තිබුණා සොරකම් කළා කියන පිරිස් හුදෙක් මාධ්‍ය සංදර්ශන නොපෙන්වා අත්අඩංගුවට ගන්න, වන්දිභට්ටයන් ඉවත් කරන්න, එක් පක්ෂයකට ගැති නොවී රටේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ඥාති සංග්‍රහයන් නවත්වන්න ඔහුට පැහැදිලිවම හැකියාව තිබුණා. නමුත් අවාසනාවත්ත සිදුවීම තමයි ජනතාව වැඩිම බලාපොරොත්තු තැබූ ජනාධිපතිවරයා, රටේ සැබෑ වෙනසක් ඉටුකරයි කියා ජනතාව අපේක්ෂා කළ ජනාධිපතිවරයා වේදිකාවට ඇවිල්ලා අගක් මුලක් නැති කතා පවත්වන තවත් එක් සාම්ප්‍රදායික ජනාධිපතිවරයෙකු පමණක් වීම. නමුත් ඔහුට ජනතා අපේක්ෂා ඉටුකරන්න තවමත් ප්‍රමාද නැහැ.