Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
අපට රටේ අනාගතය සඳහා ප්රජාතන්ත්රවාදී නිදහස, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මේ සියල්ල පෝෂණය කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් ලැබුණා. එහිදී මම ඉදිරිපත් කරපු මැතිවරණය ප්රකාශනයේ මෛත්‍රී පාලනයක් පිළිබඳව මම ඉදිරිපත් කරන්නට වුණා. මේ ප්රකාශනයෙන් බොහොම වැදගත් ප්‍රකාශයක් අපේ රටේ මහජනතාවට ඉදිරිපත් කළා. මේ ප්රකාශනයේ තිබෙන කරුණු වගේම එදා පොදු අපේක්ෂකයා විදිහට මාව තෝරාගැනීමට මූලික වූ අවුරුදු 49 ක මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කළ කාලය තුළ මේ රටේ පොදු මහජනතාව මාව විශ්වාස කළා යැයි මම හිතනවා. මා පිළිබඳව පෞද්ගලිකව පිළිගැනීමක් තිබුණා. මම දූෂිතයෙක් නෙමෙයි. ඒ වගේම පැහැදිලි ලෙසම නිදහස හා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරපු කෙනෙක්. ඒ වගේම තමන්ට ලැබුණු බලය වැරදි විදිහට පාවිච්චි නොකරපු කෙනෙක්. ඒ නිසා මම මේ තනතුරට හොඳයි කියලා අදහසක් ජනතාව තුළ ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. මගේ ශක්තියත්, මගේ පෞරුෂත්වයත්, මගේ දීර්ඝකාලීන අත්දැකීම් සමග ගොඩනගාගෙන තිබූ ප්රතිරූපයත් කෙරෙහි තිබූ ජනතාව තිබූ විශ්වාසය, ඒ වගේම ඒ විශ්වාසය සහ බලාපොරොත්තු සමග ප්‍රධාන වශයෙන්ම මැතිවරණයට මම ඉදිරිපත් වෙලා පොදු අපේක්ෂකයා විදිහට තෝරාගත්තා.
අපි මැතිවරණ ප්රකාශනයත් එක්ක සංවිධාන, දේශපාලන පක්ෂ, කණ්ඩායම් 49 ක් අත්සන් කළා. ඒ 49 තුළ වැඩකරපු අය විශේෂයෙන්ම වැඩි පිරිසක් පෞද්ගලිකව දැනගෙන තිබුණෙත් නෑ. මැතිවරණ ප්රකාශනය හැදුවෙත්, මැතිවරණ ව්‍යාපාරය සකස් කළෙත් ඒ අත්සන් කරපු සංවිධානවල නියෝජිතයන් ප්රමුඛ ප්‍රධාන පිරිස තමයි. ඒ ලැබිච්ච සහයෝගය එක්ක අපට ජයග්‍රහණය කරන්න ලැබුණා. ඒ ජයග්‍රහණය ලැබිලා ජනවාරි මාසෙ 09 වැනිදා සන්ධ්‍යාවේ ජනාධිපති විදිහට දිවුරුම් දීලා මැතිවරණ ප්රකාශනයේ තිබුණු කරුණු සහ මම ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ වගකීම මා හට පැවරුණා.
මම ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා ඉතාම සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විදිහට පත්කළා. මම ජනවාරි 08 ට කලින් අත්සන් කරලා තිබුණා එකඟතා දෙකක්. මේ මැතිවරණ ප්‍රකාශයට අදාළ කරුණු සම්බන්ධයෙන් අර පක්ෂ සංවිධාන ඔක්කොම කණ්ඩායම් එකතුව 49 ක් අපි අත්සන් කරපු ප්රකාශනය එකක්. ඊළඟට අත්සන් කරලා තිබුණ එකම දේ තමයි මම ජනාධිපති ධුරයට පත්වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති ධුරයට පත් කරනවයි කියන එක. ඒ අනුව මම දිවුරුම් දීලා බොහොම පොඩි කාලයකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන විට පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමක්ද? පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 යි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47 යි. 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා මම අගමැතිවරයා ලෙස පත්කළා. අද පවතින දේශපාලන වාතාවරණය තුළ මට ඇතැම් අය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් චෝදනා පත්‍ර භාරදෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගත්ත එක වැරදියි. මට ඒක භාරගන්නෙ නැතුවයි ඉන්න තිබුණේ. ජනවාරි 09 වැනිදා දිවුරුම් දීලා 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්නයි මගේ බලාපොරොත්තුව තිබුණෙ. මං ආවෙ පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න. එය තමයි පහසුම දේ කියලා මම දැක්කෙ.
නමුත් මේ ප්රකාශනය හදපු මැතිවරණ ව්‍යාපාරයේ සියලු ඒකාබද්ධ සංවිධානවල එකඟතාව සහ තීන්දුව වුණේ පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතුව දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, මම ජනතාවට වෙච්ච පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩුකරලා පාර්ලිමේන්තුවට දෙන්න, ස්වාධීන කොමිෂන් සභාවලට දෙන්න, අනිත් ආයතනවලට දෙන්න, ඇමති මණ්ඩලයට දෙන්න.
මම විධායක ජනාධිපති තනතුරට එන්න කලින් අත්දෙකම උස්සගෙන ආවෙ ඒ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම ඕන කියලා. මං එදත් එහෙමයි, අදත් එහෙමයි. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මං බලෙන් භාරගත්තෙ නෑ. මම ඉල්ලුවෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රාශියක් මට ආරාධනා කළා භාරගන්න කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයක් තියෙන මන්ත්‍රීවරු 142 ක් පමණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් මම නායකයා වුණා, සභාපතිවරයා වුණා. මේ නිසා මේ දින සියයේ සාර්ථකත්වයක් දකින්න පුළුවන් වුණා. දහ නව වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සංශෝධනය කරගන්න පුළුවන් වුණා. අද එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ආණ්ඩුවෙ සියලු දෙනා කතා කරන ජනතාවට දුන්න සහන, රජයේ සේවකයාට පඩි වැඩි කරපුවා, තෙල් මිල, ගෑස් මිල අඩු කරපුවා. මේ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත්, සන්ධානයෙත් සභාපතිකම භාරගෙන මැතිවරණ ප්රකාශනයේ තිබෙන කරුණු ඉෂ්ට කරන්න කටයුතු කරපු නිසා. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවී මහින්ද රාජපක්ෂ මහතා සභාපති විදිහට සිටියා නම් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වෙන්නෙ නෑ.
රවි කරුණානායක මුදල් ඇමතිතුමාගේ අයවැය යෝජනාව පාස් කළේ ඒකච්ඡන්දයෙන්, ඒකමතිකව. මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපති ලෙස සිටියා නම් මේ ජනතාවට දුන්න බඩු මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම්, තෙල් ගෑස් අඩුකිරීම් කිසිදෙයක් කරන්න වෙන්නෙ නෑ. ඒ අයවැය යෝජනාව සම්මත කරන්න වෙන්නෙ නෑ.
මේ දින සියයේ සාර්ථකත්වය ගැන කතා කරනවා. මේක අපි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව අනෙකුත් මගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන, පක්ෂ 49 ක් මේ වැඩපිළිවෙළ නිර්මාණය කළා වගේම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී එහි මුළු ගෞරවය පාර්ලිමේන්තුවේ සාමූහිකව අත උස්සපු සියලු දෙනාට හිමි වියයුතුයි. 19 වැනි සංශෝධනයට 225 න් 215 ක් පක්ෂව ඡන්දය පාවිච්චි කළා.
සමහර අය දැන් කියනවා දුෂ්ටයා, ද්‍රෝහියා, පාවාදෙන්නා කියලා. මේ ප්රජාතන්ත්රවාදයේ මල් පිපිලා, ප්රජාතන්ත්රවාදය දෝරේ ගලාගෙන යන අවස්ථාවක්. ජනවාරි අටෙන් පස්සෙ, විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය 78 හදපු දවසේ ඉඳලා ජනවාරි 08 වැනිදා දක්වා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයො, ජනාධිපතිවරුන් ඒ කිසිකෙනෙකුට මේ සුමානයේ දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නෑ.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 56 පොදුජන ආණ්ඩුව පිහිටුවලා, රට ප්රජාතන්ත්රවාදී කරලා, කම්කරු අයිතිවාසිකම් දීලා, නිදහස දීලා, ප්රගතිශීලී අණපනත් සම්මත කරගෙන රටේ මහා පරිවර්තනයක් කළා. බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු තුන හමාරයි ආණ්ඩු කෙරුවේ. අවුරුදු තුනහමාරට වැඩ වර්ජන 459 යි. බණ්ඩාරනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයත් කැබිනට් එක වර්ජනය කළා. ඇමති මණ්ඩල රැස්වීම වර්ජනය කළා. වැඩ වර්ජන එකදිගට යනකොට ඊට කලින් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා 'මම බැඳපු බල්ලො බණ්ඩා ලෙහලා දැම්මයි, දැන් බණ්ඩව හපා කනවැයි' කියලා.
ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට මම නායකත්වය දුන්නා. මේ රටේ ප්රජාතන්ත්රවාදය පැහැදිලිවම ස්ථාපිත කළා. ඒ සඳහා වගකීමක් අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයෝ, විචාරකයෝ අත තදකරලා ද්‍රෝහියා, දුෂ්ටයා, පාවාදෙන්නා කියලා ලියනකොට, මම ඒ ගොල්ලන්ට කියනවා ප්රජාතන්ත්රවාදී රස හොඳට භුක්තිවිඳින්න කියලා. ජනවාරි 08 වැනිදා ලැබූ පරිවර්තනයෙන් මේ රටේ නිර්මාණය වෙච්ච ප්රජාතන්ත්රවාදී සමාජය විනාශ කරන්න එපා. ජනවාරි අටට කලින් අද ඔය මට පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණ නම්, මේ මට ගහන ගැහිල්ලෙන් සියයෙන් එකක් ගැහුවා නම් ඒ ගහපු අයට වෙන්නෙ මොකක්ද කියලා තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රාජාණ්ඩුවක්නෙ තිබුණෙ. තමුන්නාන්සේලාගෙ මාධ්‍ය ආයතන ඔක්කෝටම කොන්දේසි දාලා තිබුණෙ ජනවාරි 08 ට කලින්. ඇමතිවරුන්ට ගහන්න ඕන තරම්, හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා. මේ මාස හය තුළ මේ රටේ ඝාතන නැහැ, ලේ වැගිරීම් නැහැ. මේ රටේ මහා කෝලාහල නැහැ. මේ රට සාමකාමී නිදහස් ප්රජාතන්ත්රවාදී රටක්.
මේ සිදුවීම් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුළ අර්බුදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට පක්ෂය භාරදුන්නට, භාරදීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන්ගත්තා. පක්ෂය නිර්මල, පිවිතුරු, පවිත්‍ර පක්ෂයක් හැටියට දූෂණය, වංචාව ඇති පුද්ගලයන්ගෙන් තොර අවස්ථාවාදීන්ගේ රාජ්‍ය දේපළ මංකොල්ලකන මිනිසුන්ගෙන්, බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන් පවුල්වාදයෙන් තොර පක්ෂයක් විදිහට ශ්‍රී නිදහස් පක්ෂයක් ගොඩනගන්න මම විශාල උත්සාහයක් අරගෙන තමයි පසුගිය කාලෙ කටයුතු කළේ. ඊළඟට සන්ධාන නායකයන් මට විරුද්ධව රට පුරා රැස්වීම් තියන්න පටන්ගත්තා. රැස්වීම් තියලා කියන්න ගත්තා ඒ රැස්වීමට දහයක් නැග්ගා, අරකට විසි පහක් නැග්ගා, මේකට හතළිහක් නැග්ගා, මේකට පනහක් නැග්ගා කියලා. කාටද මේ අභියෝගය කළේ? මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්ෂයට නෙමෙයි. මේ අභියෝගය කළේ කවුද කියල මං දන්නවා.
එක පැත්තකින් කියනවා ඇයි මේ අයට විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ කියලා. ඇයි මේ මන්ත්‍රීවරුන් සංවිධායකකම්වලින් අස්කරන්නේ නැත්තෙ. ඇයි ඒ ගොල්ලන්ට විනය පරීක්ෂණ කරලා මන්ත්‍රී ධුර ඉවත් කරන්න කටයුතු කරන්නෙ නැත්තේ කියලා. විනය පරීක්ෂණ කරන්නෙ කොහොමද? සංවිධායක ධුරයෙන් අස්කරන්නෙ කොහොමද? ඇයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්න එපායැ. 47 ක මන්ත්‍රීවරුන් ඉන්න අගමැති කෙනෙක් එක්ක ආණ්ඩුව ගෙනියන්න එපායැ. පාර්ලිමේන්තුවෙ පනත් සම්මත කරන්න පුළුවන්ද? ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්ද? අයවැය සම්මත කරන්න පුළුවන්ද? ස්වාධීන කොමිෂන් සභා ගේන්න පුළුවන්ද? ඒ එකක්වත් කරන්න බෑ. ඒක නිසා මේ සියලු විනය විරෝධී වැඩ කරද්දි මේ දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න, මම භාරගත්ත රටේ ජනතාව වගකීම් ඉෂ්ට කරන්න මම ඒවා නොදැක්කා වගේ හිටියා.
මම ඉතාම නම්‍යශීලී වුණා. මම දන්න විදිහට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම්‍යශීලී වෙලා නෑ. තමන්ගෙ පක්ෂයේ ඉන්න පිරිස් මේ විදිහට හැසිරෙනකොට මෙතරම් නම්‍යශීලී වුණේ ජනතාවට දුන්න ප්‍රතිඥා ඉෂ්ට කරන්න. මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න. ජනාධිපති ධුරයේ බලතල අයින් කරන්න. ජනතාවට සහන දෙන අයවැය සම්මත කරන්න. ඒවට තමයි ඒ විදිහට සහයෝගය දුන්නෙ.
මේ පසුබිමත් එක්ක අද අපි මහ මැතිවරණයකට ගිහිල්ලා තියෙනවා. ඒ මහ මැතිවරණයේ ප්‍රතිඵල තුළ ප්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු පහේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය. ඒ වගේම ආර්ථිකය පිළිබඳ ප්‍රධාන වශයෙන්ම වගකීම, රට හැසිරවීම කළමනාකරණය පැවරෙන්නෙ මේ මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුවට.
දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැබීම පිළිබඳව දැන් මට චෝදනා තුනක් එල්ල කරනවානේ. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්ත එක වැරදියි කියලා. මං ඒකට උත්තර දුන්නා. අනිත් චෝදනා දෙකෙන් එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයව මම හමුවීම වැරදියි කියලා. ඊළඟට තුන්වැනුව කියනවා අපේක්ෂකත්වය දුන්න එක බරපතළ වැරැද්දක් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මාව අවස්ථා තුනක හමුවුණා. පළමුවෙනි අවස්ථාව තමයි කථානායක නිල නිවසේ පක්ෂය භාරගත්ත පළමු හමුවීම, දෙවැනි හමුවීම තමයි මුළු රටම දැක්කා දෙපාර්ශ්වයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම. ඒ ජනාධිපති කාර්යාලයේ හමුවෙන්න ඇවිල්ලත් වාඩිවෙලා ඒ ආපු නියෝජිතයො ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ගැන ඉල්ලීම් තමයි ඉල්ලුවේ. ඉල්ලීම් හතරක් තිබ්බා.
පළමු ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්තයව ඡන්දයෙන් පස්සෙ අගමැති කරන්න, අගමැති අපේක්ෂකයා කරන්න. ඊළඟට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුව තුළ යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න. මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයව හම්බ වෙලා පාර්ලිමේන්තුවේ කතා කරපු සාකච්ඡාවෙදි එකහෙළාම මම ප්‍රතික්ෂේප කළා. අගමැති ධුරය දෙන්න මම කැමති නෑ, අගමැති අපේක්ෂකයෙක් විදිහටත් නම් කරන්න මම කැමති නෑ. කිසිසේත්ම මම මේවට එකඟතාවක් දක්වන්නේ නෑ කියලා. මගෙන් ඇහුවා ඇයි විරුද්ධ වෙන්නෙ කියලා. මං කිව්වා ජනවාරි අට වැනිදා ලබපු ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්න මට බෑ.
ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්න ඕන. අනිත් එක මම කිව්වා ඔබතුමා ඡන්දයකට ආපුවාම ඡන්දයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරණා සම්පූර්ණ වෙන්නෙ නෑ. මොනවද ඒ මූලික කාරණා? මම කිව්වා මේ රටේ දමිළ, මුස්ලිම් ජනතාවගේ ඡන්ද හම්බවෙන්නෙ නෑ තමුන්නාන්සේ ආපුවාම ඒ පක්ෂයට. ඊළඟට මුළු ලෝකය පුරාම ගලායන නව දේශපාලන සංස්කෘතියක්, රාජ්‍යයන්හි තියෙන දූෂණ විරෝධී රැල්ල. දූෂණ, අක්‍රමිකතා, බලය වැරදි විදිහට පාවිච්චි කිරීම. මං කිව්වා මේ රටේ උගත්, බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුළ මේ රටේ යහපාලනයක් සඳහා මාව පත්කරන කොට මං කෙරෙහි විශ්වාසයක් තැබුවා තියලා. ඒ තැබූ විශ්වාසය තුළ මම කටයුතු කරනකොට ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ. යහපාලනයට අවශ්‍ය සුදුසුකම් ඔබ ලබලා නැහැ. ඔබේ පාලන කාලය තුළ තිබුණු බරපතළ වැරදි නිසා නව පරපුර, තරුණ පරපුර ඔබට ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ.. රාජාණ්ඩු ක්‍රමය නිසා, වංචා, දූෂණ, පවුල්වාදය නිසා. ඒක නිසා මැතිවරණයට ඇවිල්ලා මේ පක්ෂය පරද්දන්න එපා කියලා මං බොහොම තදින් කිව්වා.
ඊට පස්සෙ සාකච්ඡා ඉවර වුණා ප්‍රතිඵලයක් නැතිව. ඒ අතරවාරය තුළත් අපි ආණ්ඩුව විදිහට කටයුතු කරගෙන ගියා. මැතිවරණය ඉතා ආසන්න තත්ත්වයට ආවා. දැන් 19 වැනි ව්‍යවස්ථාවත් සංශෝධනය කරලා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් උවමනාව තිබුණේ මට, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය ඇතුළු මාව බලයට පත් කරපු ඒ සංවිධාන 49 ට. ඒ ඔක්කෝමත් එක්ක 19 වැනි සංශෝධනය සම්මත කරද්දි සන්ධානයේ මන්ත්‍රීවරු කිව්වා මේ දින සියය තුළ තියෙනවා තව ජනතාව බලාපොරොත්තු වූ දෙයක්, ඒ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක. කෝ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක, කෝ විස්ස කියලා. දැන් 19 සම්මත කරන්න මේ ගොල්ලන්ගේ ඡන්ද ගන්න ඕන. ඒ නිසා මම කිව්වා දැන් 19 ගැසට් කරලා තියෙන්නෙ ඒ පිළිබඳ නීති තත්ත්වය අධ්‍යයනය කරලා දැන් 19 යි, 20 යි එකට යන්න බැහැ.
දහනවය ගැසට් කරලා ඉවරයි. උසාවියට ගිහිල්ලත් ඉවරයි. ඒක නිසා විස්ස ඒකට අමුණන්න බැහැ. විස්ස වෙනම එන්න ඕන. එතකොට සන්ධානයේ මන්ත්‍රීවරු කියනවා අපි දහනවයට අත උස්සන්නේ විස්ස ගේනවා කියන පොරොන්දුව මතයි. ඉතිං මම රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ අනිත් අයත් එක්ක කතා කළා, අපි විස්ස ගේමු කිව්වා. ඒ අනුව දහනවය ඉවර වෙලා මම බලාගෙන ඉන්නවා විස්ස එනකම්. දහනවයත් හැදුවෙ මම නෙමෙයිනේ. මේ නීති විශාරදයෝ සහ ඒ ඒ පක්ෂවල අය තමයි දහනවයේ වැඩ ටික කරගෙන ගියේ. සන්ධානයේ මන්ත්‍රීවරු අහනවා කෝ විස්ස කියලා. මේ මැතිවරණ ක්‍රමයත් එක්කම අපි සඳහන් කරලා තිබුණා ප්‍රධාන කරුණු දහනවය වගේම විස්ස, තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත. විස්ස, දහනවය හදපු අයගෙන් හැලුණු තොරතුරු පනත නැහැ. විගණන පනත් නැහැ. මේ ප්‍රශ්න මෙහෙම යනකොට අනෙක් පැත්තෙන් ආවා මහ බැංකු අධිපතිවරයා පිළිබඳ සිද්ධිය. එතකොට මේ පිළිබඳව කමිටුවක් පත්කරලා එහි වාර්තාවක් ආවා. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන්ගත්තා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව රටේ පොදු ජනතාව අතර මතයක් තිබෙනවා ඔහු දූෂිතයෙක් නෙමෙයි, හොරකම් කරන කෙනෙක් නෙමෙයි කියලා. මං එතුමාට කිව්වා ඔබතුමාට හොඳ නමක් තිබෙනවා, මේ ප්‍රශ්නයත් එක්ක ඔබතුමා සමාජයට නිවැරදි වෙන්න ඕන. ඒක නිසා හොඳම දේ තමයි මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා. මෙවැනි පසුබිමක් එක්ක තමයි අපි මැතිවරණයක නාමයෝජනා දක්වා ආවේ.
මේ තත්ත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වය දීමට මගේ එකඟත්වයක් නැහැයි කියන එක හැමවෙලේම මං පක්ෂයේ සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහත්තයාගේ පක්ෂය, මේ පක්ෂ නායකයො ඔක්කොම මෙතෙන්ට ගෙනල්ලා මං කිව්වා මහින්ද රාජපක්ෂට අගමැති ධුරය දෙන්නවත්, අපේක්ෂකත්වය දෙන්නවත්, කණ්ඩායම් නායකත්වය දෙන්නවත්, ඒ එකකටවත් මං එකඟවෙන්නෙ නෑ කියලා. ඒ නායකයො බොහොම නරක විදිහට මට බැන බැන තමයි යන්න ගියේ. මේ තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් තිබුණා. මං මේ කිව්වෙ සන්ධානය ගැන. මේ තත්ත්වය එක්ක මට කළ හැකි කරුණු දෙකක් තිබුණා. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සන්ධානයත් මහින්ද රාජපක්ෂ මහත්තයාට දීලා අයින් වෙන එක. මං අයින් වුණා නම් තත්ත්පරෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ දෙකේ සභාපතිවරයා හැටියට පත්කරගන්නවා.
සන්ධානෙන් නාමයෝජනා නොලැබුණා නම් ඒ ගොල්ලො වෙන පක්ෂෙකින් පාර්ලිමේන්තුවට එනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නෑ. මෙතනදි මට කරන අනිත් චෝදනාව තමයි ඇයි මහින්ද රාජපක්ෂට විරුද්ධ නම් සන්ධානයෙන් නාමයෝජනා දුන්නෙ කියන චෝදනාව. මං මෙතනදි කාරණාවක් කියන්න ඕන. මට බොහොම පහසුවෙන් කෑල්ලක් කඩාගෙන රට වටේ යන්න තිබුණා. හැබැයි එකක්, ඒක ජනාධිපතිවරයෙකුට ගැළපෙන්නෙ නෑ. අනිත් කාරණය තමයි, මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තම, එක් එක් ආණ්ඩු, එක් එක් යුග ගත්තාම මේ රටේ තියෙන ද්විපක්ෂ ක්‍රමය තමුන්නාන්සෙලා අපි කවුරුත් පිළිගන්නවා. ප්‍රධාන පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු හදන්නෙ. අනිත් පක්ෂ ඒ වටා සෘජු වෙනවා, වක්‍ර වෙනවා ඇතැම් වෙලාවට මධ්‍යස්ථව ඉන්නවා. නමුත් 1956 ඉඳන් මේ රට පාලනය කරන්නෙ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ ද්විපක්ෂ ක්‍රමය තුළ මේ පක්ෂ දෙකෙන් එකක් කැඩිල බිඳිල දුර්වල වෙච්ච හැම යුගයකදිම මොකක්ද සිද්ධ වුණේ? ඒ හැම යුගයකම නිදහස හා ප්රජාතන්ත්රවාදය අර්බුදයකට ගියා.
මම අනාගතය ගැන අනාවැකි කියන තාරකා විද්‍යාඥයෙකුත් නෙවෙයි, ජ්යෝතිෂඥයෙකුත් නෙවෙයි. නමුත් මේ රටේ පහුගිය දශක පහක දේශපාලන ඉතිහාසය ගත්තොත්, 1970 මැතිවරණ ප්‍රතිඵල එක්ක එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට ගියා. ඒ පක්ෂය ආසන හතට අටට බැස්සා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1972 දී බණ්ඩාරනායක මැතිනියගෙ ආණ්ඩුව ඇතුළට එන්න ඉල්ලීමක් කෙරුවා. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයයි, ඇන්.ඇම්. පෙරේරා මහත්තයයි තමයි ඒකට විරුද්ධ වුණේ, ඉඩ දුන්නෙ නැත්තෙ. නැත්තෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බණ්ඩාරනායක මැතිනියගෙ ආණ්ඩුවෙ ඇමතිකමක් ගන්නව 1972 දී. මට ඒ සිද්ධිය හොඳට මතකයි.
එතකොට එක්සත් ජාතික පක්ෂය 70 මැතිවරණයෙන් බරපතළ ලෙස දුර්වල වුණාම ඒකෙ ප්‍රතිඵලය වුණේ මොකක්ද? 72 ව්‍යවස්ථාව තුළ අවුරුදු පහකට බලයට පත්වෙච්ච ආණ්ඩුව තව අවුරුදු දෙකක් ඉස්සරහට දාගෙන අවුරුදු හතක් දක්වා ඉදිරියට ගියා. 1975 මැතිවරණයක් තිබ්බා නම් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරාවි එදා තිබුණු තත්ත්වයෙ හැටියට. විශේෂයෙන්ම 71 කැරැල්ල එක්ක රටේ තිබුණු ආර්ථික, සමාජ පසුබිමත් එක්ක. නමුත් ප්‍රබල විපක්ෂයක් හැදේවි 75 මැතිවරණය තිබ්බා නම්. එදා ඒ අවුරුදු දෙකක් ඉස්සරහට දාගෙන ගියපු එකේ ප්‍රතිඵලය තමයි එක්සත් ජාතික පක්ෂය 1977 මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ගත්ත එක. 75 මැතිවරණයක් තිබ්බ නම් එක්සත් ජාතික පක්ෂය දිනයි හයෙන් පහක බලය ගන්න හම්බවෙන්නෙ නෑ, සමහර විට තුනෙන් දෙකේ බලයවත් ගන්න හම්බ වෙන එකක් නෑ. එතකොට එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට බැස්සා. එහි ප්‍රතිඵලය හැටියට 77 ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ හයෙන් පහේ ආණ්ඩුව අවුරුදු 12 ක් රට කරපු හැටි අපට මතකයි. ඒ තුළ තමයි අද අපි මේ ඔක්කොම කතාකරන සමස්ත දේශපාලන අර්බුදය ඇති වෙලා තියෙන්නෙ.
අද මේ දේශපාලන අර්බුදය පුද්ගලයෙක් ගැන කතා කරනවා, මහින්ද රාජපක්ෂ ගැන කතා කරනවා. නැහැ, මේක මහින්ද රාජපක්ෂගේ අර්බුදයක් නෙවෙයි , මේකෙ සමස්ත අර්බුදය ගන්න. සමස්ත අර්බුදය අරගෙන විග්රහයකට යන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිත් පරාජය වුණු එකම ජනාධිපතිවරයා. අනෙක් ජනාධිපතිවරු වාර දෙක කරලා ගෞරවාන්විතව ගෙදර ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වාර්තාව බින්දා. මේ තුළ මම පැහැදිලි කළේ ජේ.ආර්. පාලනයේ බරපතළ ප්‍රශ්න රැසක් ඇති වුණා. ඊළඟට 2010 මැතිවරණ ප්‍රතිඵලය. එහිදී එ.ජා.පය සම්පූර්ණයෙන් කඩාවැටුණා. ඔවුන්ට තමන්ට ලැබුණු ආසන ටිකත් තියාගන්න බැරි වුණා. එක සැරේ විසි එකක්ද, දෙකක්ද මහින්ද රාජපක්ෂ මහත්තයා අරගෙන ඇමතිකම් දුන්නා. මම කියන්නේ ද්විපක්ෂ ක්රමයේ එක පක්ෂයක් කඩාවැටුණාම ඇතිවන තත්ත්වය. ඒ අනුව මේ පිරිසත් එක්ක 18 වැනි සංශෝධනය ගෙනත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා රාජාණ්ඩුවකට ආවා. එ.ජා.පය ශක්තිමත්ව තිබුණා නම් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. 1947 ඉඳලා මේ ප්‍රධාන පක්ෂයක් දුර්වල වූ විට රටේ නිදහස හා ප්රජාතන්ත්රවාදය පිළිබඳව අර්බුද මතුවෙලා තියෙනවා.
මම මේ කියන්නෙ අතීතය. අතීතයේ තොරතුරු එක්ක තමයි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන්. රටක ඉතිහාසය එක්ක තමයි ඒ රටේ ශිෂ්ටාචාරය, සංස්කෘතිය සියල්ල තියෙන්නේ. ඒ නිසා මට මෙතනදි වුමනාවක් ඇතිවුණේ නෑ පක්ෂයෙන් කෑල්ලක් කඩලා රට වටේ යන්න. සන්ධානයේ නායකයො සියල්ල ඉල්ලුවා මහින්ද රාජපක්ෂ මහත්තයාට නාමයෝජනා දෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 99෴ ක් ඉල්ලුවා මහින්ද මහත්තයාට දෙන්න කියලා. මට මෙතනදි කරන්න තියෙන්නෙ මොකක්ද? එක්කෝ ඉල්ලා අස්වෙන්න, නැත්නම් කඩාගෙන යන්න. එහෙම කළා නම් ප්‍රතිඵල මම කිව්වා. මගේ විරුද්ධත්වයේ වෙනසක් වුණේ නෑ. මගේ විරුද්ධත්වය මම ඒ ගොල්ලන්ට පළකළා. නමුත් මම කිව්වා පක්ෂය කඩාගන්නෙ නැතුව ඕගොල්ලන්ගෙ තීන්දුව ගන්න. ඒත් මම ඒ තීන්දුවට එකග නෑ.
ඒ නිසා මට චෝදනා කරන අයට පැහැදිලිව කියන්න ඕනි, මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තුළ මට අවශ්‍ය වන්නේ කුමන පක්ෂයෙන්ද කියන කාරණය නොවෙයි, ජනවාරි 08 වැනිදා ලබපු ජයග්‍රහණය ඉදිරියට ගෙනයන පාර්ලිමේන්තු බහුතරයක් තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉන් මෙහා මගේ ආපසු හැරීමක් නෑ.
මම මේ මාස 06 ආණ්ඩුව අරගෙන ආවෙ ටයිටැනික් නැව ගෙනියනවා වගේ. ටයිටැනික් ගිලුණා. ඒත් මම ආණ්ඩුව ගිලෙන්න දුන්නෙ නෑ. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය එනකොට මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මට ලැබුණු තොරතුරු අනුව ඒ විශ්වාසභංගයේ යටි අරමුණ වුණේ සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් ඉල්ලා අස්වෙලා, මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු ඇවිත් ඒ ගොල්ලන්ගෙ ආණ්ඩුවක් හදන්නයි. මම ඒවත් පරාජය කෙරුවා. මේ සියල්ල කළේ ජනවාරි 08 වැනිදා ජයග්‍රණය තහවුරු කරන්නයි. විවේචනය බොහෝම පහසුයි.
විවේචනයට මම ජයවේවා කියලා කියනවා. නිදහස් රටක විවේචනය අවශ්‍යයි. 19 වැනි ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ගිය මාධ්‍ය පිළිබඳ ඡේදය අයින් කළේ මමයි. ඒ නිසා මම මගේ වගකීම් මෙතෙක් ඉෂ්ට කරලා තියනවා. ඉදිරියටත් ඒ විදියට ඉෂ්ට කරනවා. බොහොම පැහැදිලිව කියන්න ඕනි ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක මගේ ගනුදෙනුවක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයට 08 වැනිදාට කලින් තිබූ විරෝධය අදත් එහෙමයි. මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය ජයග්‍රහණය කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට වඩා සන්ධානයේ ඕනෑ තරම් ජ්‍යෙෂ්ටයෝ ඉන්නවා අගමැති කරන්න.
මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කාලෙ වෙන කෙනෙකුට එන්න නොදී ජනාධිපති විය හැකි වාර ගාන ඉවත් කරගත්තා. දැන් කරන්න හදන්නේ පක්ෂයේ අගමැති වෙන්න සුදුසුකම් තියන අනෙක් ජ්‍යෙෂ්ටයන් ඉලක්ක කරලා ඔවුන්ට උඩට එන්න දෙන්නේ නැති වෙන්නයි. මම බොහොම පැහැදිලිව කියන්න ඕනි මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ මැදහත් පිළිවෙතකයි මම ඉන්නේ. ඒ නිසා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිදහස්, ප්රජතන්ත්රවාදී, සාධාරණ මැතිවරණයක් මේ රටේ පවත්වන්න මැතිවරණ කොමසාරිස්තුමාට, පොලීසියට සහ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දෙනවා. ඒ සඳහා කැපවෙනවා. මේ මැතිවරණයෙන් පස්සෙ ජනවාරි 08 වැනිදා ලබපු ජයග්‍රහණය ඉදිරියට ගෙනගිහිල්ලා ඉදිරි අවුරුදු 5 ක් තුළ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනකොට මට ජනතාවගේ සහතිකය ලැබෙයි.
මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට ගහපු නැති ආකාරයට පහුගිය දිනවල මට ගහපු හැටි ගැන මම ඉතාම සතුටු වෙනවා. ප්රජාතන්ත්රවාදයේ නියම ප්‍රතිඵල භුක්තිවිඳින හැටි, එය දෝරේ ගලා යන හැටි ගැන මම සතුටු වෙනවා. මම බොහොම ගෞරවයෙන් කියන්නේ මම ලබාදුන් නිදහස, මම ලබාදුන් ප්රජාතන්ත්රවාදය වල්බූරු නිදහසක් කරගෙන විනාශ කරගන්න එපා. මේක ඉතාම සාධාරණව සහ ප්රබුද්ධ මනසකින් භුක්තිවිඳින්න කියලයි මම ඉල්ලා හිටින්නෙ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd