මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන්නේ මෙරට කාන්තාවන් උදෙසා සුවිශේෂී අයිතියක් වූ දේශපාලනමය වශයෙන ලැබිය යුතු ජනතා නියෝජනයේ වැඩි දායකත්වයක් ලබාගැනීමේ අයිතිය ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පතක් මගින් සම්මත වී පවතින අවස්ථාවකය. මෙය වසර ගණනාවක් පුරාවට මෙරට විවිධ කාන්තා සංවිධාන මගින් කරන ලද ඉල්ලීමක ප්රතිඵලයකි.
අපට සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමග 1931 දී පවත්වන ලද ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසුව පැවති රුවැන්වැල්ල අසුන සඳහා වූ අතුරු මැතිවරණයේදී ඡන්ද 13,866 ලබාගනිමින් එම අසුනට පත්වීමෙන් ඇඩ්ලින් මොලමුරේ මහත්මිය මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ඉතිහාසයට එක් වූවාය.
අනතුරුව 1956 රජයේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙස විමලා විජේවර්ධන මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශය භාරව පාර්ලිමේන්තුවේ ප්‍රථම ඇමතිවරිය ලෙසටත්, 1960 ජූලි මාසයේ පැවති මහ මැතිවරණයෙන් පාලන බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීවරියක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ වාසනාව ලැබුවාය. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතර අතීතයේ පෙරළිකාර චරිතද විය.
ඒ අතරින් ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ විවියන් ගුණවර්ධන මහත්මිය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෑණියන් වූ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ කුසුමා ගුණවර්ධන මහත්මියගේ නාමයන් අමතක කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ ජනගහනය අනුව මේ වන විට කාන්තාවන්ගේ වර්ධනයක් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ කෙසේවුවද මැතිවරණයන් හිදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු සෙසු අනෙකුත් පක්ෂයන් කාන්තා නියෝජිතයන් ඉදිරිපත් කිරීමට වැඩි දායකත්වයක් ලබා දී නොමැත.
1947 සිට මේ දක්වා ගණනය කළහොත් සැබැවින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පත්වී ඇත්තේ සියයටත් අඩු පිරිසකි. මෙය පුරුෂාධිපත්‍ය මත සිදුවූ අසාධාරණයක් ලෙස බැලූ බැල්මට පෙනී යන්නකි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොට ගෙන මේ පිළිබඳව අදහස් දැක්වීමට 'අද' හා එක්වන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට සිවිල් කාන්තා සංවිධාන හා එක්ව ක්‍රියාකාරී ලෙස කටයුතු කරන එක්සත් ලක් වනිතා පෙරමුණේ සම්බන්ධීකරණ ලේකම් මායා කළුබෝවිල මහත්මියයි.
Q මේ වන විට අපේ රටේ දක්ෂ කාන්තාවන්ට හිමි තැන ලැබිල නැද්ද?
ලංකාව කියන මේ පුංචි දූපතේ නම ලෝකයේ හුඟක් රටවල් හඳුනා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වුණ නිසා. එය අපි පිළිගත යුතු සත්‍යයක්. ඒ වගේම ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් අපේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය වුණා. බොහොම සරලවයි මම මේ අහන්නේ. කාන්තාවන්ට එයින් ලැබුණ වාසිය මොකක්ද? ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න ඔවුන්ට නිසි රැකවරණය ලබාදෙන්න ඒ අය ගත්ත පියවර මොනවාද?
ඔබ පවසන විදිහට ව්‍යාපාරික ක්ෂේත්රයේ, ක්‍රීඩා ක්ෂේත්රයේ, රාජ්‍ය පරිපාලනයේ වගේම කලා ක්ෂේත්රයේ පවා මේ වන විට අපේ රටේ කාන්තාවන් ඉස්මතුවෙලා තියෙන්නේ, ජාත්‍යන්තර සම්මාන ලබා තියෙන්නේ ඔවුන්ගේ ධෛර්යවන්තකම හා නොපසුබස්නා වීර්යය නිසයි. ඒ තැන ගන්නත් ඔවුන් කොපමණ කැපකිරීම් සිදුකරන්න ඇත්ද? ඒවා දන්නේ ඔවුන් පමණයි.
Q වර්තමාන ආණ්ඩුවෙන් වැඩිම පහරක් වැදිල තියෙන්නේ කුස්සියට කියල කියනවා?
මේ ආණ්ඩුවෙන් විතරක් නෙමේ හැම ආණ්ඩුවකින්ම වැදුණේ කුස්සියට. ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ. යහපාලන ආණ්ඩුව පත්වුණ ගමන් මුලින්ම කළේ ගෑස් මිලයි, ඉන්ධන මිලට සමගාමීව භූමි තෙල් මිලයි අඩු කිරීම. මේ වෙනකොට මේ දෙකේම මිල කිහිප වතාවක් අඩුකරල තියනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා තාම අවුරුදු දෙකයි. හෝදාපාළු වෙලා තියන ආර්ථිකය ගොඩ දාගන්න ආණ්ඩුව පුදුම වෙහෙසක යෙදෙනවා. ඒ සඳහා කැපවීම් කරන්න සිදුවෙනවා. අඩුවෙන කිසිදෙයක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේද?
Q මේ රටේ පවතින කාන්තා සංවිධාන සටන් පාඨවලට පමණක් සීමා වෙලා. අඩුම වශයෙන් මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව වත් ඔවුන්ගේ අවධානය යොමුවෙලා නැහැ.
ඒක ඇත්ත. එතෙර ගෘහසේවයට යන කාන්තාවන් අපමණ දුක් විඳිනවා. ලිංගික සූරාකෑම් වලට පත්වෙනවා. අපේ කාන්තා ශ්‍රමිකයන් රටට වැඩිම විදේශ විනිමය ගේනවයි කියල අපි බොහොම පුරාජේරුවට කතා කරනවා. ඇත්තෙන්ම අපි ලැජ්ජ වෙන්න ඕන අපේ කාන්තාවන් ඒ රටවල කරන්නේ රැකියාවක් නොවේ වහල් සේවයක්. ඒ වහලියන්ගේ මුදලින් අපි යැපෙනවා කියන්න ලැජ්ජ නැද්ද? මුලින්ම මේකට වගකියන්න ඕන නිවසේ ගෘහ මූලිකයා කියන පුරුෂයයි. ඔහු සිය බිරියට දරුවන්ට නිසි රැකවරණයක් ලබාදෙනවා නම් කාන්තාවන්ට මේ අසාධාරණය සිද්ධවෙන්නේ නැහැ. බොහෝ පිරිමි කරන්නේ ගෑනුන්ව රට යවලා එවන මුදල් වලින් බීමටයි, සූදුවටයි එහෙමත් නැත්නම් වෙනත් පවුල් නඩත්තු කරන්නයි යොදවන එකයි.
Q ඉතින් මේ යහපාලන ආණ්ඩුවට මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යැවීමේ වරද නිවැරදි කරගන්න බැරි ඇයි?
හැමදෙයක්ම පැය විසිහතරෙන් පාලනය කරන්න බැහැ. එය ප්‍රායෝගික වන්නේ නැහැ. හැබැයි යම් ආකාරයේ සීමා පැනවීම් කළ හැකියි. වර්තමාන රජයේ විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනිය තලතා අතුකෝරාල මැතිණිය මේ පිළිබඳව පුළුල් දැක්මක් ඇතිව වැඩ කරන බව පෙනී යනවා. එයට හේතුව ඇය හොඳ මවක්, බිරියක් විදිහට මේ ගැටලුව දෙස බලන නිසයි.
මෙයට කලින් මේ ඇමති ධුරයේ කටයුතු කළ ඇතැම් උදවියට වඩා ඇත්තෙන්ම ඇය ක්‍රියාශීලියි. සවුදි අරාබියේදි හිස ගසා දමපු රිසානාව මරණයෙන් බේරගන්න අපට තිබුණු අවස්ථාව පැහැර හැරුණේ පසුගිය රජයේ දුර්වලතාවය නිසයි. නමුත් වත්මන් ඇමතිවරිය මේ වෙනකොට මැදපෙරදිග අතරමන්ව විවිධ පීඩාවන්ට ලක්වෙලා හිටිය කාන්තාවන්ව මව් බිමට යළි ගෙන්වන්න විතරක් නොවේ, ඇතැමුන්ට වන්දි පවා ලබාදීලා තිෙයනවා. මෙවැනි දේ මීට කලින් කාර්යක්ෂමව සිදුවුණේ නැහැ.
Q ඔබ ක්‍රියාකාරී කාන්තා සංවිධානයක නියෝජිතවරියක් හැටියට කාන්තාවන්ගේ සුබසාධනය උදෙසා ඔබලාගේ සංවිධානයෙන් මේ වන විට අරගෙන තියෙන පියවර මොනවාද?
ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය වන්නේ වෛද්‍ය අනෝමා ගමගේ මැතිනියයි. ඇයට හොඳ පරිපාලනමය හැකියාවක් වගේම දැක්මක් තියනවා. ඒ වගේම ගතයුතු ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගන්නවා. මේ වන විට අපේ සංවිධානය මගින් දීපව්‍යාප්තව සිටින විශේෂයෙන් කාර්යක්ෂමව කටයුතු කළහැකි නිර්මාණශීලී කාන්තාවන් හඳුනාගනිමින් ඉන්නවා. මේ වන විටත් අපි එවැනි කාන්තාවන් පිරිසකට අත දීල තියනවා. කාටවත් අත නොපා දියුණුවෙන්න, ජීවිතය ගොඩනගා ගන්න කැමති කාන්තාවන්ට කිසිදු පක්ෂ භේදයකින් තොරව කර්මාන්ත හා ව්‍යපෘති ආරම්භ කරන්න අපි උදව් දෙන්න සූදානම්.
Q මේ හැමදෙයක්ම කතා කරන්නේ කාන්තා දිනයට විතරක් නේද? යහපාලනයත් එහෙම වෙයිද?
එවැනි කාල පරිච්ඡේදයක් පසු කරමිනුයි අප ඇවිල්ල තියෙන්නේ. මේ රජයේ ආරම්භයේදීම ගර්භිණී කාන්තාවන් සඳහා නොමිලේ පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුවා. එය අදටත් වලංගුයි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙච්චර කාලයක් කතාවට පමණක් සීමා වෙලා තිබුණ රාජ්‍ය පාලනය සඳහා වූ කාන්තා නියෝජනය 25%කින් වැඩි කළ යුතුයි කියන යෝජනාව පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර ගත්තා.
ඒ ගැන අපි එතුමාට ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම චාන්ද්රානි බණ්ඩාර කාන්තා කටයුතු ඇමතිනිය ලෙස ව්‍යාපෘති ගණනාවක් ආරම්භකර තියෙනවා. මේ අතරින් පූර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ වැඩසටහන අතිශයින් වැදගත්. මූල්‍යමය අපහසුතාවයන්ගෙන් යුත් පවුල්වල දරුවන්ට පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ ලබාදීමටත්, විශේෂයෙන් සුරක්ෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමටත් මේ දිනවල කටයුතු කරගෙන යනවා.
මෙච්චර කාලයක් හැම දේශපාලන පක්ෂයක්ම, කාන්තා සංවිධානයක්ම කාන්තාව යොදා ගත්තේ පිකටින්, උද්ඝෝෂණ, කැන්වසින්, රැස්වීම්, පෙළපාළි වගේ දේවලට පමණයි. එතැනදී ඔවුන්ට කාන්තාව ප්‍රදර්ශන භාණ්ඩයක් විතරයි. ඇතැම් සංවිධාන මේවයේ ඡායාරූප, වීඩියෝ දර්ශන පිටරටවලට පෙන්නලා මුදලුත් ලබාගෙන තියෙනවා. අර පෙනී හිටපු කාන්තාවන්ට ඔවුන් කිසිදු මුදලක් හෝ අධාරයක් එයින් දීල නැහැ.
Q ඒ වගේ සංවිධානවලට කාන්තා දිනය හොඳ ඉල්ලමක් නේද?
මේවා පවුකාර වැඩ. මේ රට බෞද්ධ රටක්. බමුණු මත බිඳ දමලා කාන්තාවන්ට විමුක්තිය ලබාදුන්නේ බුදුහාමුදුරුවෝ. මේ රටට දන්ත ධාතූන් වහන්සේ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඩමෙව්වේ කාන්තාවක්. කාන්තාව කියන්නේ උපතින්ම ධෛර්යය සම්පන්නයි. ඇයට දරාගැනීමේ අගනා ශක්තියක් තියනවා. අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන යශෝධරාවත, වෙසතුරු සිරිත එයට හොඳ උදාහරණයන් ලෙස මම දකිනවා. ඒ වගේම විහාර මහා දේවි, සෝමා දේවි වගේ වීර චරිත ගණනාවකින් අපේ ඉතිහාසය පෝෂණය වී තිබෙනවා. මවක් වීමෙන් ලොවක් තනන්න උතුම් වාසනා ගුණයක් ඇති ඇයට බුදුහාමුදුරුවෝ ගෙදර බුදුන් කිව්වේ ඒකයි.
Q ඒත් මේ බෞද්ධ රටේ ඇයට ඒ නිසි තැන ලැබී නැහැ නේද?
කාන්තාවන් විසින්ම කාන්තාවන්ව සූරාකෑමට පත්කරලා. අන්න ඒ නිසයි රට කරවන තැනට වැඩි කාන්තාවන් පිරිසක් යැවිය යුතුයි කියන්නේ. අගමැතිතුමා ගෙනත් සම්මත කර ගෙන තියෙන සියයට විසිපහ ප්‍රමාණවත්. එයින් අපට සෑහීමකට පත්විය හැකියි. හැබැයි හැම දේශපාලන පක්ෂයකම මහත්වරු එය නිසි අයුරින්ම ක්‍රියාත්මක කළයුතු වෙනවා. එක්සත් ලක් වනිතා පෙරමුණ වශයෙන් අපේ සංවිධානයේ ගරු සභාපතිනී අනෝමා ගමගේ මැතිනිය ඉදිරි මැතිවරණ සඳහා කාන්තාවන් දැනුමින් සන්නද්ධ කිරීමේ නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් මේ වන විට දිවයින පුරා සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. ඒ නිසා අපි ඕනෑම අවස්ථාවක අභියෝගවලට මුහුණ දෙන්න සූදානම්. ඒ නිසා අපේ හිමි තැන නිසි අයුරින් අපට ලැබිය යුතුයි.
සටහන හා ඡායාරූප/අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ