කුණු ලංකාවටම දැවෙන ප්‍රශ්නයක් බවට පත්වූයේ අද ඊයේ සිට නොවූවත් එය රටම කතාකරන මාතෘකාවක් බවට පත්වූයේ මීතොටමුල්ල කුණුකන්දට ජීවිත තිහකඩ වැඩි ගණනක් යටවීමෙන් පසුවය. නමුත් දෛනිකව ටොන් ගණනින් බැහැර කරන කුණු හේතුවෙන් පීඩාවට පත්වන එම කසල අංගන අංශ්රිත ජීවත්වන මිනිසුන් පිළිබඳව මෙන්ම කසල ආහාරයට ගෙන අහිමි වී ගිය වන අලි සම්පත පිළිබඳවද වරින්වර සාකච්ඡාවට ලක්විය.
කෙසේ හෝ නමුත් මෙම සෑම අවස්ථාවකදීම අපට පසක් වන්නේ අපේ රටේ කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ස්ථිර වූ සාර්ථක ක්‍රමවේදයක් හඳුන්වාදීමට නොහැකි තරම් මෙරට පාලකයෝ දුර්වල වී ඇති බවයි.
කොළඹ නගරය නුදුරු අනාගතයේ ඉතා දියුණු සංවර්ධිත නගරයක් වන ලකුණු තැන තැන අහස් කුස වසා ඉදිවෙන විශාල ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති වලින් ඉඟි කෙරෙයි. නමුත් එලෙස සංවර්ධනය වන නගරයක එක් පසෙකින් අහස් කුස කරා නැගෙන කුණු කඳු වේ නම් රටේ සංවර්ධනය පිළිබඳ නැගෙන චිත්‍රය පිළිබඳ පැහැදිලි කිරීමට අමුතුවෙන් වචන සෙවීමට අවශ්‍ය නොවේ.
මෙලෙස අපි පවසන්නට එක් හේතුවක් වන්නේ අධිවේගී ගන් මගේ කැලණිය දෙසට පිටවුමෙන් නුවර පාරට එන වාහන වලට මීටර් 50 ක් පමණ ගමන් කරන විට දක්නට ලැබෙන දසුන නිසාය. ඒ කැලණිය ප්‍රාදේශීය සභාව විසින් කසල බැහැර කරන කැලණිය මානෙල් ගම කසල අංගනයේ පිරී ඉතිරි යන කසල ප්‍රධාන මාර්ගයටද දර්ශනය වීම නිසයි.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මීට වසර 09 කට පෙරාතුව සිට මෙම ස්ථානයට කසල බැහැර කිරීමට ප්‍රාදේශීය සභාව තීරණය කරන්නේ කසල ප්රතිචක්රීයකරණය කිරීම සඳහා කසල වෙන් කර කොම්පොස්ට් පොහොර සෑදීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යැයි පවසමින් බව ප්‍රදේශවාසීන් පවසා සිටියි.
නමුත් එම ව්‍යාපෘතිය නාමිකව පමණක් තබමින් තවත් බ්ලූමැන්ඩල් කුණු කන්දක් හෝ මීතොටමුල්ල කුණු කන්දක් බවට මානෙල්ගම කුණු කන්ද ද වර්ථමානය වනවිට ඉහළට නැගෙන්නේ එලෙස ඉහළට නැගෙන කුණු අසල ඇළ මාර්ගයටද එකතුවෙමිනි.
''මේ ඇල කෝට්ටේ රාජධානිය තිබුණු කාලේ ඉඳලම තිබුණු පැරණි ඇලක්. මෙය කැලණි ගඟට සම්බන්ධයි. මේ කුණු කන්ද අපේ ගමට ගේන්න කලින් මේ ඇලේ ඇපි නෑවා. දැන් මේ ඇලෙන් නෑවොත් හැදෙන ලෙඩ හොයාගන්න බැරිව මැරෙන්නයි වෙන්නේ''. යැයි ප්‍රදේශවාසියෙකු 'අද' ට අදස් දක්වමින් පවසා සිටියා.
කැලණිය මානෙල්ගම ප්‍රදේශවාසීන් සඳහන් කරන අන්දමට මේ කසල අංගනය මානෙල් ගමට ගෙන එන්නේ දේශපාලන පලිගැනීමක් ලෙසිනි.
''කැලණිය මානෙල්ගමේ පදිංචි කෙරුවේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පවුල් 45 ක්. ඉතිං පසුගිය ආණ්ඩුවෙන් අපිට කරපු අරියාදුවක් විදිහටයි අපේ ගමට බලහත්කාරයෙන් මේ කසල බැහැර කිරීම ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් සිදු කෙරුවේ. අපි ප්‍රදේශවාසීන් එයට විරුද්ධව නැගී සිටි අවස්ථාවල කැලණියේ එවකට හිටපු දේශපාලන බලවතුන් මැර බලය පවා යෙදෙව්වා අපිව නවත්වන්න.
ඒ විදිහටයි මේ කුණු වසර කිහිපියක් පුරා මේ මුතුරාජවෙලට අයිතිවන වගුරු බිමට ගෙනවිත් දැම්මේ'' යැයි කුණු කන්දේ බිහිවීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ.
කෙසේ හෝ දේශපාලන අරියාදුවක් ලෙස මානෙල්ගමට උරුම වූ කසල කන්දට මේ වනවිට දෛනිකව කුණු පිර වූ ට්‍රැක්ටර් 50 කින් පමණ කුණු ගෙනවිත් දමයි.
''මේ ඉඩම පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිතියි. ඒත් අපේ ප්‍රදේශයට මේ කුණු කන්ද නිසා ඇතිවෙලා තියෙන ගැටලු ගොඩයි. මේ හේතුව නිසා ප්‍රදේශවාසීන් මේ කුණු කන්දට එරෙහිව නඩුවක් පවා ගොනු කළා. ඒ නඩුවේදීත් පසුගිය රජයේ බලධාරීන් අපිව නවත්වන්න පුළුවන් හැමදේම කළා. අවසානයේ නඩු තීන්දුව ලැබුණේ මෙතනට කසල බැහැර කරනවා නම් අනුගමනය කළ යුතු නියෝග සහිතවයි.
ඒ අනුව මානෙල් ගමේ කසල අංගනය කොටුකරලා ඒ අදාළ ප්‍රදේශයට පමණක් කුණු දැමිය යුතුයි. ඒ වගේම එකතු කරන එක් කුණු ට්‍රැක්ටරයකට පස් ට්‍රැක්ටර් 10 ක් යොදා කුණු වසා දැමිය යුතුයි.
පොලිතීන් ආදි නොදිරණ දෑ වෙන් කිරීමට සුනඛයින් කුණු කන්දට ප්‍රවිශ්ඨවීම වැළැක්වීමට පියවර ගැනීම, පොලිස් නිලධාරීන් මේ ස්ථානයට අනුයුක්ත කිරීම ආදී නියෝග රැසක් එහිදී අධිකරණය විසින් ලබාදුන්නා. නමුත් මේ වෙද්දී ඒ නියෝග සියල්ලම පාහේ කඩවෙලා කියන එක ඕනම කෙනෙක්ට දකින්න පුළුවන්'' යැයි ඔවුන් අපට පවසා සිටියා.
එක්සත් ජාතික පාක්ෂිකයින්ට රිදවීම අපේක්ෂා කරමින් මානෙල්ගමට ගෙනත් දැම්මා යැයි කියන කැලණියේ කුණු එක්සත් ජාතික පක්ෂය දිනුවාට පසු ඉවත් කරන බවට ඔවුන් ලද පොරොන්දු මත පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවීම වෙනුවෙන් මානෙල්ගම වාසීන් කැපවූ නමුත් ඉන් ඔවුන්ට අත් වූ සෙතක් නොමැති බවද ඔවුන් සඳහන් කරන්නේ අපේක්ෂා භංග වූ තැනය.
''ඇත්තටම කිව්වොත් කලින් ආණ්ඩුව කාලේ කුණු දාද්දී මීට වඩා හොඳ තත්ත්වයක් තිබුණා. දැන් අපේ ආණ්ඩුවක් තිබිලත් කුණු කන්ද පොරොන්දු වු විදිහට අයින් කළෙත් නෑ. ඒ වගේම අධිකරණ නියෝග දැන් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. බලන්න දැන් කුණු කන්දේ බල්ලෝ ඉන්න තරම්. ඒ වගේම කුණු කන්ද දැන් කොටු කරපු සීමාවෙන් එළියටත් ඇවිත්. ඇලටත් කුණු කන්ද කඩන් වැටිලා. මේ ජරාව ගිහින් එකතු වෙන්නේ කොළඹ අපි වතුර බොන කැලණි ගඟටයි'' මේ තවත් නැගෙන මැසිවිල්ලකි.
මානෙල් ගමට පාලකයින් උරුම කර දී ඇති මේ කසල අංගනයට කුණු ගෙනවිත් දැමීම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා දික්පිටිගොඩ, වනවාසල ආදී ප්‍රදේශ දක්වා දිවෙන මේ ඇල දෙපස පිහිටි නිවාස තුළ වෙසෙන්නවුන් 100 ක් පමණ ඩෙංගු උණ හේතුවෙන් මිය ගිය බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
මෙම කුණු කසල අංගනයෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන පීඩා පිළිබඳ බලධාරීන්ට පෙන්වීමට ගත් උත්සාහයන් වලදිඑම උත්සාහයන් පරාජය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එවක ගත් උත්සාහයන් පිළිබඳව ප්‍රදේශවාසීන් මෙලෙස අපට හෙළිදරව් කරනු ලැබූවා.
''කලින් ආණ්ඩුව කාලේ මේක බලන්න ආරක්ෂක ලේකම්වරයා එනවා කියලා කුණු වැහෙන්න පස් ගෙනත් දැම්මා. නමුත් ආවේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයා. ආරක්ෂක ලේකම් එනවා කිව්ව නිසා සිංගප්පූරුවේ වගේ ලස්සනට මල් පෝච්චි තියලා සරසලා තිබුණා. එතනට හිටපු නගරාධිපතිවරයා සමග ප්‍රාදේශීය සභාවේ නිලධාරීනුත් ආවා.
ඒ වේලාවේ නිලධාරීන් කිව්වා බලන්න මේ කුණුගොඩ අනිත් ඒවා වගේ ගඳ නෑ ලස්සනට තියෙනවා කියලා. අපි ඒ වේලාවේ මේ කුණු කන්දේ සැබෑ තත්ත්වය හා මේ ඇළ මාර්ගය අපවිත්රවීම ගැන කිව්වා. ඒ වේලාවේ මඩවල කියලා මන්ත්‍රීවරයෙක් නැගිටලා කිව්වා තමුසෙලාට පුළුවන්නම් ඒක ඔප්පු කරන්න කිව්වා.
අපි තුන් හාරසීයක් එතන කෑගහලා කිව්වා නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉද්දී අපිට මෙහෙම තර්ජනය කරනවා නම් අනිත් දවස් වල අපිට මොනවා කරයිද කියලා. කොහොම හරි එතනදී අපේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැහැ.
අපි නඩුව දාපු වෙලාවෙත් පැමිණිල්ලට කතා කරපු නීතීඥවරයාවත් මුදල්වලට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් කතා කරන්න හරවා ගත්තා. ඒ වගේම නඩුව අහපු විනිසුරුවරියත් මාරු කරා මේ කාලසීමාවේ.
ඒ වගේම මේ කුණු එකතුවෙන ඒවාගෙන් කොම්පොස්ට් හදන බව පෙන්වන්න බොරුවට පස් ගොඩවල් කීපයක් හදලා තියාගෙන ඉන්නවා.
ඒ වගේම තවත් සෙල්ලමක් විදිහට පස් එළියේ තියාගෙන ඉඳලා කියනවා බැකෝ එනකන් ඉන්නේ කුණු වහන්න කියලා. මේ වනකන් කුණු වලට පස් දාලා වහන තත්ත්වයක් පේන්නේ නෑ. හැබැයි පස් දානවා කියලා අවුරුදු ගාණක් සල්ලි නම් අරගෙන ඇති. අවුරුදු ගාණක් පුරාවට එකම එක්කෙනෙක් තමයි පස් දාන කොන්ත්‍රාත් එක භාරව හිටියේ.
ආණ්ඩු මාරු වුණාට ප්‍රාදේශීය සභාවල නිලධාරීන්ගේ ස්ථාන මාරු වෙලා නෑනේ. ඉතිං එදා සිද්ධ වුණ දේ අද ඊටත් වඩා සිද්ධ වෙනවා. දැන් කැලණිය භාර වෙල් තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයට. අපි එයාටත් මේ ප්‍රශ්නේ ගැන කිව්වා. ඔහුත් මේ ප්‍රශ්නේ මාස තුනෙන් විසඳනවා කිව්වා. නමුත් ඒ පොරොන්දුව දීලත් මාස 6 කට වැඩි කාලයක් ගිහිල්ලා'. යැයි ප්‍රදේශවාසීන් පවසා සිටියා.
ට්‍රැක්ටරයෙන් ට්රැක්ටරය එකතු වී නැගුණු මානෙල්ගම කුණු කන්දට එරෙහිව යළාත් එකාවන්ව නැගී සිටීමට මානෙල්ගම ප්‍රදේශවාසීන් සූදානම්ව සිටියි. ඒ ලබාදී ඇති අධිකරණ නියෝගයවත් අඩුම තරමේ ක්‍රියාත්මක කර ගැනීම උදෙසාය.
'කොළඹ කුණු අපිට එපා' යැයි සටන් පාඨ නැගෙන වටපිටාවක කොළඹ නගරය ඉතා ආසන්නයේ පිහිටි මානෙල් ගමට සමුදී අපි නැවත පැමිණීමට අධිවේගී මාර්ගයේ කැලණිය පිවිසුමෙන් වාහනය ඇතුල්කර මීටර් සියයක් පමණ එනවිට යළි නෙත ගැටුනේද අලුතෙන් නිර්මාණය වන කසල අංගනයක දසුනකි. කසල ප්රශ්නය කවදා අහවර වේ දැයි යන පැනය පමණක් ඉතිරි කරගනිමින් අපි කොළඹ නගරයට ඇතුළු වුණෙමු.
ඡායාරූප - සරසි නෙත්මිණි