ආපදාවක් සිදුවූ විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධානතම ආයතනය වනුයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි. නමුත් ඇතැම් ආපදාවන්වලදී ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
ආපදාවකදී විනාශයට පත්වන නිවාස, දේපොළ හා ජීවිත සඳහා ලබාදෙන වන්දි පවා නිසි ලෙස නොලැබෙන බවට රට තුළ කතාබහක් ඇතිව තිබේ. අප මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සමග කතාබහක නිරත විය.
ලංකාවේ තිබෙන ආපදා ප්‍රමාණය
ආපදා කළමනාකරණ පනතට අනුව දැනට ආපදා 22ක් තියෙනවා. ඒත් සත්ත්ව හා මිනිස් ගැටුම ඉහළ යෑම සහ වේලි කැඩීයෑමේ අවදානම නිසා මෙම ආපදා දෙකත් ආපදා කළමනාකරණ පනත යටතට ඇතුළත් කිරීමට සැලසුම් කරලා තියෙන්නෙ. මේ අනුව පනත සංශෝධනය කළාට පස්සේ ලංකාව තුළ තිබෙන ආපදා ප්‍රමාණය 24ක් බවට පත්වෙනවා.
ආපදා පනතට මෙම ආපදා දෙක ඇතුළත් නොවුණත් මෙම ආපදා දෙකට අයත් වැඩකටයුතු දැනටමත් සිදුකරනවා. ඒත් පනත යටතට ගත්තට පස්සෙ ඒ වැඩකටයුතු විධිමත්ව කරන්න පුළුවන්.
මේ අනුව සමස්ත ආපදා ගැන සඳහන් කරනවානම්, නායයෑම, සුළි කුණාටු, ගංවතුර, නියඟය, කර්මාන්ත ශාලා නිසා ඇතිවන අනතුරු, සුනාමි, භූමිකම්පා, ගුවන් අනතුරු, ගිනි ගැනීම, වසංගත, සාගර අනතුරු, පිපිරීම්, ගුවන් ආක්‍රමණ, අභ්‍යන්තර සිවිල් ගැටුම, රසායනික අනතුරු, විකිරණශීලී අනතුරු, තෙල් ඉහිරීම, නාගරික හා කැලෑ ගිනි ගැනීම, මුහුදු ඛාදනය, තද සුළං හා තද වැසි, අකුණු සහා අලුතින් එකතු වීමට නියමිත මිනිස් හා සත්ත්ව ගැටුම, වේලි කඩාගෙන යෑම ආදී ලෙස හැඳින්විය හැකියි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රධාන වශයෙන් කටයුතු කිහිපයක් සිදුකරනවා. ඉන් එකක් තමයි ආපදා අවම කිරීමට අවශ්‍ය කටයුතු කිරීම. මේ සඳහා වසරකට රුපියල් මිලියන 650කට වැඩි ප්‍රමාණය වියදම් කරනවා. මෙහිදී ආපදාවන්ට ලක්විය හැකි ස්ථාන හඳුනා ගෙන ඒ තත්ත්වය අවම කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම නියඟයේ බලපෑම අවම කිරීමට කටයුතු කිරීම, ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. අනෙක් කටයුත්ත තමයි පුහුණු කිරීම. ලංකාව පුරාම පිහිටි දිස්ත්‍රික්ක 25ට පුහුණු කිරීමේ ඒකක 25ක් පවතිනවා. එහිදී ග්‍රාමීය කමිටු සකස් කරලා අවශ්‍ය කටයුතු කිරීම සිදුකරනවා. ඒ වගේම ග්රාමීයව ආරක්ෂිත ස්ථාන සිතියම්ගත කිරීම සිදුකරනවා. මීට අමතරව පෙරහුරු පැවැත්වීම හා ග්‍රාමීය ජනතාවට ආපදාවන් පිළිබඳව දැනුවත් කිරීම කරනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලබාදෙන උපදෙස් පිළිපැදීම
යම් යම් ආපදා තත්ත්වයක් පිළිබඳව අප මධ්‍යස්ථානය විසින් ජනතාව දැනුවත් කරනවා. පසුගිය ආපදාව ගත්තොත් 90,000කට වැඩි පිරිසක් අවතැන් වුණා. මෙතැනදී 10,000කට වැඩි පිරිසක් ගංවතුර තත්ත්වයට කොටුවුණා. මේ අනුව අප කළ නිවේදනය හරහා පුද්ගලයන් 80,000ක් ඉවත් වුණා. ඒ කියන්නේ අපි දෙන උපදෙස් මෙතැනදී බහුතරයක් ජනතාව පිළිපදිනවා.
මෙතැනදී තට්ටු දෙකක නිවසක් තියෙන අය යට තට්ටුවට වතුර එනකොට උඩ තට්ටුවට වතුර එන්නෙ නැහැ කියලා හිතාගෙන උඩතට්ටුවට යනවා. අන්තිමට උඩ තට්ටුවටත් වතුර දානවා. එහිදී ජනතාව කොටු වෙනවා. ඒ වගේම නිවසේ ආරක්ෂාව වෙනුවෙන් නිවෙසේ රැඳී සිටින පිරිසුත් ඉන්නවා. මෙතැනදී කියන්න ඕන ආපදා තත්ත්වය පිළිබඳව දැනුවත් වුණත් තීරණ ගැනීමේදී නිවැරදිව ගන්නේ නැහැ.
මෙවර ආපදාවෙන් වැඩි බලපෑමක් ඇතිවීම
පසුගිය දිනවල ඇතිවූ වැස්ස පැය දෙක තුනක කාලයක් තුළදී මිලිමීටර් 600කට වැඩි වුණා. මෙය උපරිම වර්ෂා තත්ත්වයක්. එය කාටවත් හිතාගන්න බැරි තත්ත්වයක්. මේ තත්ත්වය 2011 වසරේදී ජපානයටත් ඇතිවුණා. පොදුවේ ලෝකයේ හැමතැනම මේ වගේ දේවල් ඇතිවෙනවා.
අප රට තුළ දිගින් දිගටම ආපදා තත්ත්වයක් ඇතිවීම
ආපදා තත්ත්වයන් ඉහළ යන්න ප්‍රධානම හේතුව මිනිස් ක්‍රියාකාරකම. මම උදාහරණයක් කියන්නම් ගංගා ඉවුරුවල නිවාස හදාගෙන මිනිස්සු පදිංචි වෙනවා. වතුර බැහැගෙන යන්න තියෙන තැන්වල මිනිස්සු ගෙවල් හදනවා. ගොඩනැගිලි හදනවා. ඊට අමතරව ශීඝ්‍ර ලෙස වැලි ගොඩ දානවා. කඳු කපලා දානවා, කැලෑ ගිනි තැබීම සිදුකරනවා.
ඒ වගේම සුනාමි ආපදාවකදී ජනතාව ආරක්ෂා කිරීමට මුහුදු වෙරළ මීටර් 100ක සීමාවක ඉදිකිරීම කරන්න බැහැ කියලා නීතියක් තියෙනවා. හැබැයි මුහුදු රළ ගහන තැන දක්වා ඉදිකිරීම කරලා තියෙනවා. අවිධිමත් කසළ බැහැර කිරීමත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතුවෙනවා. කැලෑ ගිනි තැබීම හරහා විශාල ගස් විනාශ වෙලා යනවා.
වැස්සක් වැස්සට පස් සෝදා යෑමකට ලක්වෙනවා. ඊට පස්සෙ නායයනවා, මේ නිසා ආපදා වළක්වා ගැනීමට නම් මිනිසා නිවැරදි ආකාරයට තීන්දු තීරණ ගත යුතුයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සම්පත් නොමැති බවට නැගෙන චෝදනාව
සම්පූර්ණයෙන්ම ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ගෙවී ගිය වසර දහය ගත්තොත් වසරකට රුපියල් ලක්ෂ 1,000ක ආසන්න ප්‍රමාණයක භාණ්ඩ ගන්නවා. මෙම භාණ්ඩ සියල්ලක්ම හදිස්සි ප්‍රතිචාර දැක්වීමේ භාණ්ඩ. මෙහිදී ජීවිත ගලවා ගැනීමට බෝට්ටු ලබාදීම සිදුකරනවා. ආරක්ෂිත කබා, විදුලි ජනක යන්ත්‍ර, උදලු තල, අඟුල් ලබාදීලා තියෙනවා.
මේවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නැහැ. ඒවා තියෙන්නේ ආපදාවන්ට ලක්වන ප්‍ර‘දේශවල. මෙම භාණ්ඩ ලබාදීලා තියෙන්නෙ ආපදාවකදී ක්ෂණිකව කටයුතු කරන ත්‍රිවිධ හමුදාව හා ආපදා කළමනාකරණ ඒකකවලට, ප්‍රා‘දේශීය ලේකම්වරුන්ට. මේ නිසා යම් කෙනෙකු ආපදාවන්ට මුහුණ දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයට සම්පත් නැහැ කියලා චෝදනා කරනවා නම් වැරදියි.
කාලගුණයෙන් තොරතුරු ලබාදීම
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තියෙන පහසුකම්වල හැටියට ඔවුන් නිවේදන නිකුත් කරනවා. මෙම නිවේදන ගැන අපි හමුදාව, මාධ්‍ය ආයතන, ග්‍රාමීය ජනතාව නිරතුරුවම දැනුවත් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කිරීම සිදුකරනවා.
මෙහිදී මිලිමීටර් 150ක වර්ෂාවක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්න පුළුවන්. හැබැයි 600ක් වහිනවා. ඒ වනවිට කාලගුණය දේශගුණයේ වෙනස්වීම මත මෙවැනි දේ සිදුවෙනවා.
දිගින් දිගටම නියඟය හා ගංවතුර වැනි ආපදා ඇතිවීම
පළමු වැනි කාරණය පරිසරය විනාශ කිරීම. අපි යැපෙන්නෙ පරිසරයෙන්. පරිසරය විනාශ කරන විට සුබවාදීව කරන්නේ, එක කරන්නේ සූරා කෑමක් ලෙස. වාතය විනාශ කරනවා. ගෙවීගිය කාලය තුළදී සිදුවූ ගංවතුර, නියඟය සඳහා මේ තත්ත්වය ඍජුවම බලපෑවා. එහෙම කරලා ආපදා කළමනාකරණ ඒකකය ආපදා අවම කරන්න කියලා කෑගහලා වැඩක් නැහැ. මේ නිසා මුලින්ම මිනිසුන් පරිසර හිතකාමී ලෙස ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ආපදා කළමනාකරණයට එය පහසුවක් වෙනවා.
ආපදාවන් සිදුවූ විට ජනතාවට රැඳී සිටිමට ආරක්ෂිත ස්ථාන ඇතිකිරීම
ගෙවී ගිය වසර 10ක කාලය පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ගමක්, ගමක් ගාණේ ගිහිල්ලා, ආපදාවක් සිදුවුවහොත් කළ යුත්තේ කුමක්ද කියලා පෙරහුරු අභ්‍යාස කරනවා. මෙතැනදී ආපදාවන්ට ලක්විය හැකි බවට හඳුනාගත් ප්‍ර‘දේශ මූලිකව සිදුවන දෙයක්. පසුගියදා ජලයෙන් යටවූ ප්‍රදේශ ගත්තාම ඒ දේවල් මූලිකවම කරලා තියෙනවා.
මෙතැනදී ආපදාවන් සිදුවුව හොත් යන්න ඕන කොතැනටද කියන කාරණය පිළිබඳව ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒත් බොහෝ පුද්ගලයන් මෙම දැනුවත් කිරීම්වලට එන්නේ නැහැ. ඒ වගේම නාය යන ස්ථාන පිළිබඳව හරියට කියන්න බැරි වුණත් අවදානම් ස්ථාන ගැන දැනුවත් කරලා තියෙනවා.
ඒ වගේම එවැනි ස්ථානයකින් මඩ වතුර පැමිණි විට ගස් ඇලවෙනකොට බිල්ඩින් ඇලවෙලන එක ගැන ජනතාව දැනුවත් කරලා තියෙනවා. එතැනදී කරන්න ඕන මොනවද කියලත් කියලා තියෙනවා. මේ දැනුවත් කිරීම් ටික දවසක් යනකොට ජනතාවට අමතක වෙනවා.
මීට පෙර ආපදාවන්වලදී වන්දි නොලැබුණු බවට නැගෙන චෝදනා
මීරියබැද්ද නායයෑම හේතුවෙන් නිවාස අහිමි වූ අයට නිවාස ලබාදුන්නා. අරණායක ගෙවල් හදාගෙන යනවා. ගංවතුරෙන් 2016 වසරේදී නිවාස හානි වූ ජනතාවට රුපියල් බිලියන 03කට වඩා වන්දි ලබාදීලා තියෙනවා. තව කොටසකට දෙන්න තක්සේරු කරන්න ඕන. ඒ හරහා ප්‍රමාද දෝෂ වෙන්න පුළුවන්. මේ කාරණාවලට අමතරව මුදල් ලබාදීම ප්‍රමාද නම් බලප්‍ර‘දේශයේ ප්‍රා‘දේශීය ලේකම්වරයාගෙන් ඒ ගැන විමසීම් කරන්න පුළුවන්.
මෙවර ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන ලබාදීම
විනාශයට පත් නිවාසවලට උපරිමය ලක්ෂ 25ක් දක්වා වන්දි ලබාදීම සිදුකරනවා. ජීවිත හානියකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙනවා. මීට අමතරව නිවසට වතුර ගැලුවා නම් නිවස හානි නොවුණත් නිවස පිරිසුදු කර ගන්න රුපියල් 10,000ක් ලබාදෙනවා.
නිවාස තක්සේරු කිරීම මේ දිනවල සිදුකරනවා. එම තක්සේරු කිරීම අවසන් වූ පසු අදාළ වන්දි මුදල් ලබාදෙනවා.
සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු අක්‍රිය වීම
සුනාමි අනතුරු කුලුනු මුලින්ම ඇති කළේ 2006 වසරේදී. එහිදී සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු 100ක් ස්ථාපිත කරන්න සැලසුම් කළා. මේ අනුව කුලුනු 78ක් ඉදිකළා. එය දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කරලා තියෙන්නෙ. මේක තාක්ෂණයත් එක්ක සිදුවන දෙයක්. මේ නිසා කුලුනු සියල්ලම එකපාර වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්.
මොකද සමහර තැන්වල කලුනු නඩත්තු කරන්න ඕන, හැම කුලුනක්ම කියන්නේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව, කුලුනු කියන්නේ එක් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් විතරයි. අපි ගාව දැනුවත් කිරීමට තව තව ක්‍රමවේද තියෙනවා. ඒවාත් මෙහිදී ක්‍රියාත්මක වෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණි යුරෝ මිලියන 29ට සිදුවූ දේ
'අයිසෙක්' කියන ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති එක සහ දෙක කියලා ව්‍යාපෘති දෙකක් ආවා. මෙහිදී පළමු ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25කට කුලුණු ඉදිකිරීමට හා දිස්ත්‍රික්ක 10ක හදිසි මෙහෙයුම් මැදිරි ඇතිකිරීමට හා වාහන මිලදී ගැනීම ගැන යෝජනා වුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා එම මුදල් වියදම් කළා. මෙහිදී යුරෝ මිලියන 06ක් වියදම වුණා.
ඒ වගේම ඉතුරු යුරෝ මිලියන 19ක මුදල පළාත් පාලන අමාත්‍යාංශය වියදම් කළා. මෙතැනදී චෝදනාවක් එල්ල වුණා පාදුක්ක සන්නිවේදන උපකරණ මිලදී ගැනීම පිළිබඳව. පාදුක්කේ එම උපකරණය දිස්ත්‍රික්ක 25 සම්බන්ධීකරණය කිරීමේදී තාක්ෂණ ගැටලු ඇතිවුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ භාවිත කරන්න වුණා. ලැබුණු සමහර උපකරණ දිගටම භාවිත නොකරන්න පුළුවන්. එහෙත් මෙම ව්‍යාපෘතිය 90%කට වඩා සාර්ථකයි. නෙදර්ලන්තය හරහා මෙම ආධාර ලැබුණෙ.