ලංකාවට තිරිඟු පිටි ගෙන්වන පෞද්ගලික සමාගම් දෙක ආනයනය කරන තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 7. 20කින් ඉහළ දැමීමට ඉකුත් සතියේ කටයුතු කළේ මුදල් අමාත්‍යංශය විසින් ආනයනය කරන තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් හයක බද්දක් පැනවීම පාදක කරගෙනය. මුදල් අමාත්‍යංශය එවැනි තීරණයක් ගනු ලැබූයේ ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල පහත වැටී ඇති බැවින් මෙරට සහල් පරිභෝජනය ඉහළ දැමීමේ අරමුණින් බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර තිබුණි. අනතුරුව පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වල මිල ඉහළ දමන බව බේකරි හිමියන් කියා සිටියේය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සම්බන්ධකර ගතිමු.
Q සමස්ත වෙළෙඳ පොළේ ආහාර අවශ්‍යතාවයෙන් පාන්පිටි නිෂ්පාදන කොපමණ දායකත්වයක් සපයනවාද?
ලංකාවේ පළමු ආහාරය බත්. දෙවැනි ආහාරය වන්නේ පාන්. ඒ අනුව ආහාර අවශ්‍යතාවයෙන් සියයට 40ක් සඳහා අපි දායක වෙනවා.
Q මීට දින කිහිපයකට පෙර පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමූයේ මෑත කාලයේ කීවෙනි වතාවටද?
පසුගිය වසර පුරාවට මිල අඩු කිරීමක් මිසක වැඩි කිරීමක් වුණේ නැහැ. වසර දෙකකින් පසුවයි මෙවර වැඩි කළේ. 2015 ජනවාරි මාසයේදී රුපියල් 60ක්ව තිබුණු පාන් ගෙඩියක මිල රුපියල් 54 දක්වා අඩු වුණා.
Q මෙවර පාන් මිල වැඩි කිරීම සම්බන්ධව රජයේ වගකිවයුතු අංශ සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණද?
තවම නැහැ.
Q ප්‍රීමා සමාගම සමග සාකච්ඡා කළාද? සාමාන්‍යයෙන් පිටි මිල ඉහළ දැමීමකදී එම සමාගම ඔබලාගේ අදහස් විමසනවාද?
ගිය සතියේ ප්‍රීමා සමාගම සමග සාකච්ඡාවක් පැවැත්වූවා. පාරිභෝගික සතිය තුළ පිටි මිල වැඩිකරන්න ඔවුන් තීරණය කළ නිසා වෙළෙඳ පොළේ මිල වැඩිකරන්න එපා කියලා අපි ඉල්ලා සිටියා. අපේ සංගමයේ ප්‍රබල ඉල්ලීම අනුව ඔවුන් එම සතිය තුළ මිල වැඩිකිරීම කළේ නැහැ.
Q විදුලි මිල, තිරිඟුපිටි මිල, ජල මිල , ගෑස් මිල, සේවකයන්ගේ වැටුප් ආදිය වැඩි නොවුණු පසුබිමක කිසිම හේතුවක් නැතිව පාන් ඇතුළු බේකරි කෑමවල මිලගණන් අසාධාරණ විදියට වැඩි කළ බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා?
බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට ඉහළ ගිහින් තිබෙනවා. රුපියල් 25-28 අතර තිබුණු ලුණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 65ක් දක්වා ඉහළ ගිහින්. රුපියල් හැත්තෑ ගණන්වලට තිබුණු සීනි කිලෝ එකක් රුපියල් 90ට වඩා ඉහළ ගිහින්. රුපියල් 200ට තිබුණු මාජරින් කිලෝ එක රුපියල් 450-500 දක්වා ඉහළ ගිහින්. සේවක පඩි 2500කින් වැඩිකරන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා.
මේ විදියට සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගිහින්. ඊට අමතරව බේකරි කර්මාන්තයේ උග්‍ර සේවක අර්බුදයක් තිබෙනවා. ඒ නිසා වැඩි පඩි දීලා සේවකයන් රඳවාගන්න වෙලා. මේ පසුබිම තුළ රුපියල් හතරකින් පාන් ගෙඩියක මිල ඉහළ දැමීම ප්‍රමාණවත් නැහැ. වෙන කරන්න දෙයක් නැතිකමටයි හතරකින් වැඩි කළේ. පිටි මිල ඉහළ ගිය එකට සාපේක්ෂව පාන් ගෙඩියක මිල වැඩිකරන්න වෙන්නේ රුපියල් 2.50කින් වගේ. නමුත් සියලුම අමුද්‍රව්‍යවල මිල ඉහළ ගිය නිසා තමයි 4කින් වැඩි කළේ.
පාන්පිටි වලට සියයට පනහක් යද්දි අනෙකුත් අමුද්‍රව්‍යවලට සියයට පනහක් යනවා. පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන සඳහා අය කරන බද්ද සියයට11 සිට සියයට 15දක්වා වැඩිකරනවා කියල ප්‍රකාශ කරලා තියෙනවා. එය වැඩි නිසා ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දීල තියෙනවා.ඒ අතින් බලද්දි අපේ මිල වැඩි කිරීම ඉතා සාධාරණයි කියල අපි හිතනවා.
Q ඒ කියන්නේ මිල වැඩි කිරීමකට යන්න බේකරි හිමියෝ සූදානමින් සිටින බවද?
පිටි මිල වැඩිවූ සෑම අවස්ථාවකම පාන් මිල වැඩි වුණා. මේ ගැන වර්තමාන රජයටත් පසුගිය රජයටත් මීට පෙර අප කියා තිබෙනවා. විශේෂයෙන් දැනට පනවා ඇති බදු වර්ග සම්බන්ධව මේ රජයන් දෙකම දැනුවත් කළා. ආනයනය කරන මාජරින් කිලෝ එකකට සියයට දෙසීයක් බදු ගහනවා. ඒ විදියට ආනයනය කරන මාජරින් කන්ටේනරයකට රුපියල් 3,850,000ක බද්දක් ගහනවා. පාම් ඔයිල් ලීටරයකට රුපියල් 120ක බද්දක් ගහනවා. බේකරි හිමියෝ විශාල වශයෙන් පාවිච්චි කරන්නේ ආනයනය කරන අල, ලූනු. බේකරි හිමියෝ කියන්නෙ රජයට විශාල ආදායමක් ලබාදෙන පිරිසක්. ඒත් රජයෙන් අපිට කිසිම සහනයක් දෙන්නෑ. හැබැයි අති විශාල වශයෙන් අපි බදු ගෙවනවා. ඒ විදියට රජයට ලොකු ශක්තියක් දෙනවා.
Q බේකරි හිමියෝ පාඩු ලබනවා කියලද ඔබ කියන්නේ?
ඒකෙන් කියවෙන්නෑ බේකරි හිමියෝ පාඩු ලබනවා කියලා. බේකරිවලින් පාඩු ලබනවා නම් කවුරුවත් මේක කරන්නෑ. අනිවාර්යෙන්ම පාඩු ලබනකොට කෑම මිල වැඩි කරනවා. කිසිම කෙනෙක් ලාභයක් නැත්නම් ව්‍යාපාරයක් කරන්නෑ.
Q තිරිඟු පිටි සඳහා රුපියල් 87ක පාලන මිලක් රජය පනවා තිබියදී මේ ආකාරයට පාන් මිල වැඩිකිරීම නිසා තාවකාලිකව හෝ පාන් පරිභෝජනයෙන් වැළකීමට පාරිභෝගිකයන් තීරණයක් ගතහොත් ඒක බේකරි හිමියන්ට දැනෙන්නේ කොහොමද?
පාන් මිල වැඩි වුණොත් පරිභෝජනය අඩුවෙන එක සාමාන්‍යයෙන් සිදුවෙනවා. පාන් මිල වැඩිකරපු සෑම අවස්ථාවකදීම පාන් පරිභෝජනය අඩු වුණා. ඒකෙන් පිටි නිෂ්පාදනය අඩාල වුණා. මිල වැඩි වෙනවට මහජනතාව කිසිම අවස්ථාවකදී කැමති නැහැ. නමුත් අපිට කරන්න දෙයක් නැතිකමටයි මිල වැඩි කරන්නේ. පාඩුවට ව්‍යාපාර කරන්න කවුරුවත් කැමති නැහැ. ඕනනම් සතියක් දෙකක් කරාවි. ඊට පස්සෙ ඒක වහල දාන්න වෙනවා. එහෙම වසා දමන්න බැරි නිසා තමයි මේ මිල වැඩි කිරීම කරලා තියෙන්නේ. පාන් පරිභෝජනයෙන් පාරිභෝගිකයෝ ඉවත්වෙයි කියල හිතන්න බැහැ. මිනිස්සුන්ට පාන් නොකා ඉන්න බැහැ. ඒක ප්‍රධාන ආහාරයක් නිසා පාන් කන්නම වෙනවා.
ටික දවසක් නොකා හිටියත් ආපහු කන්නම වෙනවා. පාන් විතරක් නෙමේ, ලංකාවේ සියලුම දේවල්වල මිල ඉහළ යනවා. එහෙම වුණා කියලා මිනිස්සු කන එක නවත්තන්නෙ නැහැ. වැඩි මිලට හරි කන්න සිද්ධ වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මේ අවස්ථාවේදී ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ඉතා ශීඝ්‍ර ලෙස පහත බැහැලා තියෙන්නේ. රුපියල් හයක බද්දක් නිසා ලංකාවේ තියෙන පිටි සමාගම් දෙකට පිටි මිල වැඩි කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න රජය දැනගන්න ඕන. එහෙම කළා නම් සාධාරණයක් තියෙනවා. ලෝක වෙළෙඳ පොළේ මිල බැහැපු වෙලාවේ මේ සමාගම් මිල වැඩි කළේ ඇයිද කියන එක අපිට ලොකු ගැටලුවක්.
Q දැනටමත් තිරිඟු පිටි සඳහා රුපියල් 87ක පාලන මිලක් තියෙන නිසා ප්‍රීමා සමාගමට හිතුමතේ මිල වැඩි කරන්න පුළුවන්ද? එම මිලට වඩා වැඩියෙන් විකුණනවා නම් පාරිභෝගික අධිකාරියට වටලන්න පුළුවන් නේද?
මම ඒ පිළිබඳව හරියට අධ්‍යයනය කරලා නැහැ. එහෙම ලොකු සමාගමක් ආවට ගියාට තීරණ ගන්න එකක් නැහැ. තියෙන සියලුම නීතිරීති හොයලා බලලයි ඔවුන් තීරණ ගන්නේ.
Q රජය මේ වෙලාවේ මොකද කරන්න ඕන?
ලෝක වෙළෙඳ පොළේ පිටි මිල අඩුවී තිබෙන බැවින් ආනයනය කරලා අඩු මිලට මෙරට පාරිභෝගිකයන්ට ලබාදෙන්න රජයට පුළුවන්. සමාගම් දෙකකින් විතරක් පිටි මිලදී ගන්න ඕන කියල නියමයක් නැහැ. රජය එසේ කටයුතු කරන්නෙ නැත්තේ ඇයිද කියා විමසිය යුතුයි.
Q මේ වනවිට සෙරන්ඩිබ් සමාගම ලංකාවට ගෙන්වන තිරිඟුපිටි මිල වැඩි කරලා තිබෙනවාද?
ඔවුන් පසුගිය සඳුදා සිට රුපියල් 7.20කින් මිල වැඩිකරලා තිබුණා.
Q මේ ආකාරයට පාන් මිල වැඩි කළ නිසා බේකරි සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමක් අවශ්‍ය බවට ඔවුන් පැවසුවහොත් බේකරි හිමියන් මොකද කරන්නේ?
අනිවාර්යයෙන්ම සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුනොකළහොත් මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. වැටුප් වැඩිකරන්න වෙනවා. එහෙම නොවුණොත් සේවකයෝ තියාගන්න බැහැ. දැනටමත් ඉතා අධික මිල ගණන්වලට තමයි සේවකයො රැඳිල ඉන්නේ. වැඩි කරන්න දෙයක් නැහැ, දැනටමත් වැඩි කරලා තියෙන්නේ. රජය සඳහන් කරන රුපියල් 2500 වැටුප් වැඩිකිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි කියා අපි කියනවා.
Q බේකරි හිමියන්ට විරුද්ධව නඩු පවරන බවට ආපන ශාලා හිමියෝ පවසා තිබෙනවා?
මොන අරමුණකින් ඒ අය එහෙම කියනවද දන්නෑ. ඒ අය ආප්පයක් රුපියල් පහකින්, ප්ලෙන්ටියක් රුපියල් පහකින් වැඩි කළේ ඇයි? පිටි මිලට සාපේක්ෂව ආප්පයකට සත ගාණයි යන්නේ. එහෙම තිබියදී රුපියල් පහකින් වැඩි කළේ මොන පදනමකින්ද කියා විමසිය යුතුයි. ඒ අය කිසිම අවබෝධයකින් තොරවයි කටයුතු කරන්නේ. ඕනම නඩු පැවරීමකට මුහුණ දීමට අපි සූදානම්. පිටි මිල ඉහළ ගියාම පාන් මිල වැඩි කරන්නැතිව අපිට වෙන කරන්න දෙයක් නැහැ.
Q දැනට බේකරි කොපමණ ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවාද?
සියලුම බේකරි 7000ක් පමණ තිබෙනවා. අපේ සාමාජිකත්වය අරන් තියෙන්නේ ඉන් දාහක් පමණයි. මේ ප්‍රමාණය ඇතුළේ විශාල බේකරි වගේම කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඒවත් තිබෙනවා.
Q සහල් පරිභෝජනය ඉහළ දැමීම සඳහා තිරිඟු පිටි වලට රුපියල් හයක බද්දක් පැනවූ බව මුදල් ඇමතිවරයා කියනවා. එසේ නම් සහල් පිටි ආශ්රිත නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බේකරි හිමියන්ට අවස්ථාව තිබෙනවා නේද?
අපි ගිය ආණ්ඩුව යටතේ සහල් පිටි පරිභෝජනය සඳහා ජනතාව යොමුකිරීමට විශාල වැඩපිළිවෙළක් සිදුකළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. හේතුව තමයි සහල් පිටි දාලා පාන් හැදුවාම ඒකට මිනිස්සු එච්චර කැමති නැහැ. පාන් පිටි සමග සහල් පිටි සියයට 25ක් පමණ කලවම් කරලා ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම හැදුවාම පාන් විකුණා ගැනීමේ අපහසුවක් තියෙනවා.
ඒ නිසා බේකරි හිමියෝ ඒකට කැමති නැහැ. එහෙම නැතිව අපිට කිසිම ගැටලුවක් නැහැ. පාන්පිටි දාලා හැදුවත් එකයි, හාල් පිටි දාලා හැදුවත් එකයි. බේකරි හිමියා ගන්න ඕන ලාභය ගන්නවා. මිල අතින් ගත්තාමත් පාන්පිටි වලට වඩා සහල් පිටි වල මිලත් අඩුයි. ඒක දාන්න පුළුවන්නම් අපිට ලාභයි. නමුත් පාරිභෝගික ජනතාව කැමති නැහැ. තිරිඟු පිටිවලින් පාන්ගෙඩි 1000ක් හදද්දී දැනට හාල්පිටි පාන් 200ක් පමණයි අපිට හදලා විකුණන්න පුළුවන්.
Q ඒ කියන්නේ සහල් පිටිවලින් අඩුමිලට පාන් ගෙඩියක් දෙන්න පුළුවන්ද?
දැනට තියෙන මිලට වඩා රුපියල් 6ක් පමණ අඩුවෙන් දෙන්න පුළුවන්. සහල් පිටි නිෂ්පාදනවලට ලංකාවේ මිනිස්සු හුරු කිරීමක් අවශ්‍යයයි. ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදීම අවශ්‍යයයි. විකිණෙන් නැත්නම් බේකරි හිමියෙක් කිසිම කෑමක් හදන්නෑ. සහල් පිටි වලින් හදන පාන්වල රසයේ කිසිම වෙනසක් නැහැ.