රටේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට ප්‍රචලිත වූ කොස්ගොඩ සුදු කැස්බෑවෙකු අතුරැදහන් වීමේ සිද්ධිය ඊයේ (16දා) වනවිට අධිකරණය හමුවටද ගියේය. කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ මහතා භාරයේ සිටි මෙම සුදු කැස්බෑවා හොරකම් කළේ යැයි ඔවුන් පොලීසිය හමුවට ගියේ මීට මාසයකට පෙරය.
ගෙවුණු මාසයක කාලය තුළ සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවාගේ හිමිකරුවා පොලිස් අත්අඩංගුවට පත්වූයේ අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි යන චෝදනාව මතය.
මෙම සිද්ධියේදී ජනප්‍රිය ගායන ශාල්පී අමල් පෙරේරාට ඇඟිල්ල දිගු වූයේ කෝටි තුනහමාරකට මාලදිවයින් ජාතිකයෙකුට අදාළ සුදු කැස්බෑවා මිලට ගැනීමට ඉල්ලුවේ යැයි කියන නිසාය. අමල් පෙරේරාගෙන් ඉකුත් දෙසැම්බර් 19 වැනිදා කොස්ගොඩ පොලීසියෙ ප්‍රශ්න කළ අතර, පසුගිය 14 වැනිදා චන්ද්‍රසිරි ආබෘගේ දියණියගේ නිවසට පැමිණි අමල් පෙරේරා තමන් මිලට ගැනීමට සෙවූ කැස්බෑවා එම නිවසේ සිටින බවට උසස් පොලිස් නිලධාරීන් හමුවේ හඳුනාගත්තේය.
මෙම හේතු නිසාම 'අද' අපි මෙකී සිද්ධිය පිළිබඳව ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා සමග සංවාදයක නිරතවීමු.
සුදු කැස්බෑවා සිද්ධිය යළි ආවර්ජනය කළොත් ඔබට මොකද හිතෙන්නෙ?
මං සුදු කැස්බෑවෙක් හොරකම් කළා කියලා මගේ ඔළුවට කඩා පාත්වුණේ කිසිදු හිතපු ගින්නක් නෙවෙයි. මම හොරෙක් කියලා මාධ්‍යයෙන් මට මඩ වැදුණා. මම ඒ ගැන හිතෙන් අනන්තවත් කනගාටු වෙනවා. මට මෙහෙම දෙයක් වුණේ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බෑ.
හරි නිවුස් එක හම්බවෙන්න කලින් මාධ්‍ය හැසුරුණ ආකාරය වැරදියි කියලා මට හිතෙනවා. දැන් මගේ නිර්දෝෂීභාවය ඔප්පු වුණ එක ඇත්ත. ඒ වුණාට මං කැස්බෑ හොරෙක් කියලා මුළු රටේම හංවඩු ගැහුණා. ඒ ගැන මට දැඩි කනගාටුවක් තියෙනවා.
දැනට හෙළි වී ඇති කරුණු අනුව ඔබ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
මං හෙට දවසේ මේ සිද්ධිය සම්බන්ධව ගන්නා තීරණය ගැන අද වනතුරු නිශ්චිත තීරණයක් ගෙන නැහැ. මගේ නීතීඥවරුන් සමග කතාබහ කර ඉදිරි දෙසතිය තුළ යම් තීරණයක් ගන්නවා. මට සිදු වූ අපකීර්තියට නඩු පවරනවද, වන්දියක් ගන්නවද කියා මා අද වනතුරු ස්ථිර තීරණයක් ගෙන නැහැ. චන්ද්‍රසිරි ආබෘගෙන් වන්දි ගන්න මට ඕනෑකමක් නෑ. හැබැයි ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තබමින් හැසුරුණු ආකාරය වැරදියි. මං ඒ පුවත්පත් වාර්තා, රූපවාහිනී ප්රවෘත්ති බැලුවා. ඔහු උත්සාහ ගෙන තිබුණේ මං හෝ වෙනත් අයෙකු මෙම සුදු කැස්බෑවා හොරකම් කළ බව කියන්නයි. ඔහු සත්‍යය වසන් කරමින් යළිත් අප දෙසට ඇඟිල්ල දිගු කරන්න උත්සාහ කරනවා. ඔහු වැරදි පාරක ආවොත් මගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් රටට දැනෙන යමක් කරන්න මට සිදුවේවි.
ඔය කියන සුදු කැස්බෑවාට ඇත්තටම මොකද වුණේ?
ඇත්තටම මම නම් දන්නෙ නැහැ. මම මගේ යාළුවාගේ ඕනෑකමට මේ කැස්බෑවා ඉල්ලුවා. ඊට පසු ඌ හොරකම් කළා කීවා. මේ ගැන මෙම කොස්ගොඩ පොලීසියට පැමිණ කටඋත්තරයක් දුන්නා.
මේ වනවිට චන්ද්‍රසිරිගේ දුවගේ නිවසේ සිටියදී සුදු කැස්බෑවා හමු වී තියෙනවා. පොලීසියේ දැනුම්දීම අනුව මං ඌ බලන්න පසුගිය 14 වැනිදා ආවා. ඒ අවස්ථාවේදීත් චන්ද්‍රසිරි මට බාධා කළා. නමුත් පොලීසිය සමග එහි ගොස් මා මුදලට ඉල්ලූ කැස්බෑවා එහි ඉන්න බව මං හඳුනාගත්තා. තව කැස්බෑවෙක් නැතිවුණාද, නැද්ද කියන එක දන්නෙ චන්ද්‍රසිරි විතරයි. ඒක මට හිතාගන්න බැහැ. ඔවුන්ගෙ පාර්ශ්වයෙන් පරස්පර විරෝධී කතා කියවෙනවා. සුදු කැස්බෑවාට ඇත්තටම මොකද වුණේ කියලා දැන් පරීක්ෂණ සිදුකරන පොලීසිය හරියටම සොයාගන්නා බව ඉරහඳ සේ මට විශ්වාසයි.
ඔබ සුදු කැස්බෑවා හොරකම් නොකළා නම් ඇයි ඕබේ මිත්‍රයා මේ සිද්ධියට ඔබේ නම ඇඳාගත්තෙ?
මායි, චන්ද්‍රසිරියි අතර මිත්‍රකමට අවුරුදු 22කටත් වැඩියි. ඒ මිතුරුකම නිසා තමයි මං ඔය සුදු කැස්බෑවා යාළුවෙකු වෙනුවෙන් ඉල්ලුවේ. නමුත් මට මේ වගේ හතුරුකමක් කරන්න ඒක ඔහු යොදාගත්තේ ඇයි කියලා මට ප්‍රශ්නයක්. සමහරවිට චන්ද්‍රසිරිට අනිත් සුදු කැස්බෑවනුත් කෝටි ගණනකට මාකට් කරන්න හිතෙන්න ඇති. ඒකට මාධ්‍ය හරහා ලොකු ප්‍රතිචාරයක් ලබාගෙන එයාගේ බිස්නස් පැත්තෙන් වාසියක් ගන්න චන්ද්‍රසිරි හිතුවා කියලා හිතෙනවා. මං වගේ ජනප්‍රිය ආටිස්ට් කෙනෙකුගේ නම ගෑවුණාම ඒකට ලැබෙන ප්‍රසිද්ධිය කොහොමත් ඉහළ අගයක් වෙනවා.
කලාකරුවෙකු ලෙස වෙනස් ගමනක් යන ඔබ ඉදිරියේදිත් මේ වගේ ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවද?
කිසිසේත්ම නැහැ. මේ වගේ ගොන්කම් මං ආයෙත් කරන්නෙ නැහැ. කලාකරුවෙක්, ගායකයෙක් ලෙස මට යන්න ඉදිරි ගමනක් තියෙනවා. ඒත් මිතුරුකමට කළ ඉල්ලීම මට මෙතරම් සතුරු වෙයි කියලා හිතුවෙ නැහැ. ස්ථිර වශයෙන්ම මගේ නමට සහ කලා දිවියට හානියක් වන කිසිදෙයක් කරන්නෙ නැහැ. සුදු කැස්බෑවා සිද්ධිය මට අමතක නොවන පාඩමක්.
සුදු කැස්බෑවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ රසික රසිකාවියන්ට සහ රටේ ජනතාවට අවසාන වශයෙන් පැවසීමට තිබෙන්නේ කුමක්ද?
මාත් එක්ක ඉන්න රසික රසිකාවියන් වගේම මගේ දෙස්විදෙස් මිතුරු මිතුරියන් මං මේ වගේ කැස්බෑවෙක් හොරකම් නොකළ බව හොඳින්ම දන්නවා. ඒ සියලු දෙනා හදවතින්ම මාත් එක්ක නිරිදෝෂියි යන මතයේ හිටියා. මේ සිද්ධියේදී මගේ මිත්‍රයා චන්ද්‍රසිරිට කරදරයක් වුණ එක ගැන මං සතුටුවෙන්නෙ නැහැ. මං ඔහු ගැන දුක්වෙනවා. මං මේ තරම් ඉක්මනට නිර්දෝෂියි කියලා ඔප්පු වෙච්ච එක ගැන සතුටුවෙනවා. මාධ්‍යයෙන් මට එල්ල වූ මඩ සෝදා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා.
කමල් ශ්‍රී ලියනගේ