Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
යහපාලන ආණ්ඩුව සිය පළමු කැබිනට් සංශෝධනය සිදුකර සති කිහිපයක් ගතවුවද රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංශෝධනයෙන් පසුව නැවතත් ආණ්ඩුවේ මතභේද හටගෙන තිබේ. සංශෝධනයට පෙර වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර වූ ගැටුම් සම්බන්ධයෙන් නිතරම අසන්නට ලැබුණු අතර සංශෝධනයෙන් පසුව එය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට මාරුවී ඇත.
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනයට පෙර සිටම තමාගේ අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත්නොකරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පවසා තිබිණි. එසේ පත්කළහොත් තමා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් සහ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු පවසා තිබිණි.
ඒ සියල්ලටම අගමැතිවරයාත්, ජනාධිපතිවරායත් එකඟතාව පළකර තිබුණද, සිය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වූයේ ලක්ෂ්මන් යාපාමය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව අවස්ථා දෙකකදී වැඩ බාරගැනීමට ඔහු සූදානම් වුවද මෙම අර්බුදය නිසාම එය ව්‍යර්ථ විය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 13 සහ 37 වැනි මහල් තුළ පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට කාමර 06ක් වෙන්කර තිබුණද, එය ප්‍රමාණවත් නොමැති බව ලක්ෂමන් යාපා පැවසීමත් සමග මෙම අර්බුදය තවත් දිග්ගැස්සී තිබිණි.
කෙසේ වුවද මෙවර කැබිනට් මණ්ඩලයේදී ඇමති කබීර් හෂීම් අමාත්‍යාංශ සඳහා තවත් ඉඩපහසුකම් ලබාගැනීමට මුදල් වෙන්කර ගැනීමත් සමග මෙම තත්ත්වය මදක් සමනය වී ඇත.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහාය දෙනවා
අඟහරුවාදා පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක කරු ජයසූරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් අසරණ ජනතාව යළි නගාසිටුවීමට මෙන්ම අනාගතයේ මෙවන් විපත් ඇතිවීම වැළැක්වීමට පක්ෂ, පාට, පටු බෙදීම් ඉවතලා දූරදර්ශී පියවර ගැනීමට සියලු දේශපාලන නායකයන්ගේ සහාය පළවීම බෙහෙවින් අගය කරන බවයි.
එමෙන්ම විපතේදී දිවි පරදුවට තබා ජනතාව බේරාගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකායද රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය ආයතනද කැපවීමෙන් ඉදිරිපත් වූ ජනතාවද පාර්ලිමේන්තුවේ විශේෂ ඇගයීමට ලක්කරන බව කථානායකවරයාගේ නිවේදනයේ සඳහන් විය.
ආපදා තත්ත්වය හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සම්බන්ධීකරණයේදී සක්‍රීය වැඩ කොටසක් ඉටුකළ කථානායකවරයා විපතට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බොහොමයකට ගොස් පෞද්ගලිකවම අදාළ කටයුතු සොයා බැලුවේය.
ගංවතුර මැදින්ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වෙත ගිය ඔහු දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙකෙහි තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා මෙම සතිය ආරම්භයේදීම එහි ගියේය. තිහගොඩ, අතුරලිය, කඹුරුපිටිය, තවලම, නෙළුව, නාගොඩ, බද්දේගම, පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් රාජ්‍ය නිලධාරීන් සමග දැනට ගෙන ඇති පියවර සහ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයක යෙදිණි.
කථානායකවරයා යන විටත් වෙනදා පිළිවෙළට හැඳ පැලඳ රාජකාරියේ යෙදෙන ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීහු සියලු දෙනාම පාහේ තත්ත්වය තරාතිරම නොබලා අතට හසු වූ ඇඳුමකින් සැරසී, කළ හැකි සෑම වැඩක්ම ඉටුකරමින් සිටියහ.
ඇතැම් නිලධාරීන් දින ගණනාවකින් රැවුල කපා තිබුණේ නැත. විපත සිදුවූ මොහොතේ පටන් සිය රාජකාරියට සීමානොවී ඔවුන් කටයුතු කළ ආකාරය ගැන කථානායකවරයා බෙහෙවින් ප්‍රශංසා කළේය.
ගංවතුරට මුහුණ දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා හමුවී සුවදුක් විමසීමට යන විට ඔහුගේ නිවස මුළුමනින්ම සහන සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි.
අකුරැස්සේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාද එක්වූ අතර, එහි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, ගංවතුරට හසුව බේරාගත් ගැබිනි මාතාවක තමන් බිහි කළ කිරිකැටි දරුවා සමග රෝහලේ සිට කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ස්තුතිය පළකළ බවයි. “ඒ දරුවාට ගඟට සම්බන්ධ නමක්ම තැබීම යෝග්‍ය” යැයි කථානායකවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා සාකච්ඡා කළහ.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් පෙන්වා දුන් වැදගත් කරුණක් අදාළ පාර්ශ්වයන්හි අවධානයට කඩිනමින් යොමුකිරීමට කථානායකවරයා පොරොන්දු විය. එනම් ගංවතුරට යටවන සෑම ප්‍රදේශයකම කිහිපදෙනෙකුටවත් බෝට්ටු පැදවීමට ක්‍රමවත් පුහුණුවක් ලබාදිය යුතු බවයි. ලැබුණු බෝට්ටු අධික සැඩ පහර මතින් පැදවීමට තිබූ අපහසුතාව මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධාවක් වූ බව සාකච්ඡාවන්හිදී පෙන්වා දෙනු ලැබිණි.
කථානායකවරයා තවලමට යනවිට ගයන්ත කරුණාතිලක ඇමතිවරයා අවතැන් වූ ජනතාව වෙනුවෙන් පැවැත්වූ මහා පරිමාණ වෛද්‍ය කඳවුරේ සංවිධාන කටයුතුවල නිරතව සිටි අතර, පිටබැද්දර සහන කටයුතුවල නිරතව සිටි සාගල රත්නායක ඇමතිවරයා කීවේ පිටබැද්දර ප්‍රදේශයේ ඇතැම් ගොඩනැගිලිවල තෙවන මහලට ජල මට්ටම පැමිණි බවයි.
මෙහිදී විපතට පත් ජනතාව රැඳීසිටි ස්ථාන වෙත ගොස් සුවදුක් විමසූ කරු ජයසූරිය මහතා ඉක්මනින් ඔවුන්ගේ ජීවිත යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේ, ඒ සඳහා දේශපාලන භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට සිටින බව අවධාරණය කරමිනි.
පුළුවන්නම් මල්ලි හාල් තුනපහ ටිකක් මේ පැත්තට දෙනවද?
පැවැති ආපදා තත්ත්වයෙන් පසුව පාසල් දරු දැරියන්ට පොත්පත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ජාතික නිදහස් පෙරමුණද සිසුදරු අත්වැල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අධාර ලබාගැනීමට විමල් වීරවංශ පක්ෂයේ විදෙස් නියොජිතයන් සමග 'ස්කයිප්' තාක්ෂණය ඔස්සේ පසුගිය ඉරිදා කතා කළේය.
මෙරටට ගැළපෙන පරිදි පොත්පත් හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නැයි විමල් එහිදී ඉල්ලා සිටියේය.ඉතාලිය හා බ්‍රිතාන්‍යයේ විදෙස් කමිටු කාර්යාල සක්‍රීය මට්ටමේ තිබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය ආධාර ලබාදිය හැකියැයි එම කාර්යාලවල නියෝජිතයෝ විමල්ට පොරොන්දු වූහ.
මේ අතර පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ආපදාවට ලක්වුණු ජනතාවට දැනෙන සේවයක් කරනවා යැයි විමල් ජානිපෙ සාමාජිකයෙකු සමග කතාකරමින් සිටින විට විමසීය. එවිට එම සාමාජිකයා 'ඔව්' යැයි පිළිතුරු දුන්නේය. අත්‍යවශ්‍ය උපකාරයක් තිබේදැයි තෙවරප්පෙරුමගෙන් විමසන ලෙසට එවිට විමල් කියා සිටියේය. අනතුරුව එම සාමාජිකයා තෙවරප්පෙරුමට ඇමතුමක් ගෙන විමල් කියූ පණිවිඩය පැවසීය.
''මල්ලි යූඑන්පී මන්ත්‍රී කෙනෙක්වත් මගෙන් ඔය විදියට ඇහුවේ නෑ. විමල් තමයි මට මුලින්ම ඔය විදියට කතා කළේ. පුළුවන්නම් මල්ලි හාල් තුනපහ ටිකක් මේ පැත්තට දුන්නොත් හොඳයි'' යැයි තෙවරප්පෙරුම කීවේය. ඉන්පසුව ජාතික නිදහස් පෙරමුණ විසින් එකතුකර තිබූ ආධාර තොගයක් ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණි.
නාමල්ගේ රත්තරන්
හම්බන්තොට හා මාතර යන දිස්ත්‍රික්කවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය හිතවතුන් සමග පාසල්, නිවාස හා ළිං පවිත්‍ර කිරීමේ කටයුතුවලට අතගසා තිබිණි. කටුවන, තලපත්කන්ද, වරාපිටිය, පාතේගම, දෙහිගහහේන වැනි ප්‍රදේශවල මේ පවිත්‍ර කිරීමේ කටයුතුවලට නාමල් සමග ශෙහාන් සේමසිංහ, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී.ඩී. චානක යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.
ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ මාතර, කටුවන මහේෂ් සඳරුවන් නැමති තරුණයාගේ නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය ඉරිදා නාමල්ගේ ප්‍රදානත්වයෙනි. නාමල් සහ චානක මෙම නිවසේ අත්තිවාරම කැපීමේ කටයුතුවලට දායක වූහ. අත්තිවාරම කපමින් සිටි නාමල්ට චානක කීවේ බලාගෙන හංගපු රත්තරං හම්බවෙයි කියාය.
ඔය වළ හාරපං මේකෙන් නෙමෙයි ඕකෙන් තමයි හම්බ වෙන්නේ නාමල් චානකට පෙරලා විහිළු කළේය. නාමල් මන්ත්‍රීතුමා ඔය වළ කපන එකදාලා හංගපු රත්තරං හොයනවැයි කියලා කට්ටිය ෆේස්බුක්වල දායිද දන්නේනෑ. චානක කීවේය. ඕන කෙනෙක් ඕන එකක් කරපුදෙන් මිනිස්සු දන්නවා ඒවා මඩ කියලා නාමල් කීවේය.
හොඳ හමුදාවක මී හරක්
මේ සතිය ආරම්භක පාර්ලිමේන්තු සභාවාරයට ජිනීවා යෝජනාවලිය පිළිබඳව දිනේෂ් ගුණවර්ධන කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අවස්ථාව වනවිට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක සභාවේ නොසිටියේය. මේ විවාදයට අලුත් විදේශ කටයුතු ඇමති එන්නැද්ද? මොකද එයා තමයි මේ ගැන හොඳටම දන්නේ. විමල් වීරවංශ විමසීය. ''එයා තව ටිකකින් එනවා'' එහිදී නැගීසිටි සභානායක ලක්ෂමන් කිරිඇල්ල පැවසුවේය. එම අවස්ථාව වනවිට විදේශ කටයුතු හිටපු ඇමති මංගල සමරවීර සභාවේ සිටි අතර විවාදයේ පිළිතුරු කතාව තමන් ඉදිරිපත් කරන බව මංගල කීවේය.
මංගලගේ පිළිතුරු කතාවේදී රණවිරුන් ගැන සඳහන් කොට 'ඕනෑම හොඳ හමුදාවක මී හරක් ඉන්න පුළුවන්' බව තදින් පැවසුවේය. ඒ අයට දඬුවම් ලබාදී හමුදාවේ ගරුත්වය ආරක්ෂා කරන බව මංගල කී කරුණ ඒකාබද්ධ විපක්ෂයට එතරම් ඇල්ලුවේ නැත. ඒ බව පැහැදිලි වූයේ විමල් වීරවංශ විවාදයේ කතාව පැවැත්වූ අවස්ථාවේදීය.
''ඒ කාලේ හමුදාපතිට කිව්වා ගැලවීමේ හමුදාවට හොඳයි කියලා. ඒ කාලෙත් හමුදාවට ගැරහුවා. යුද හමුදාපති සරත් ෆොන්සේකාට අපි අදත් ගරුකරනවා. දේශපාලන සරත් ෆොන්සේකා එක්ක විතරයි අපට තියෙන ප්‍රශ්නෙ. එදත් ඒ මනුස්සායට අවමන් කළා. අදත් කියනවා මේ ගොල්ලො හමුදාවේ මී හරක් හිටියා කියලා. මී හරක් හිරේ දැම්මට කමක් නෑ කියනවා. යුද්ධයක් දිනපු රටක් ත්‍රස්තවාදය පරාජය කරලා ජීවිතවලට හුස්ම ගන්න වාතාවරණය හදපු හමුදාවක්.
අදත් ගංවතුරක් ඇතිවුණොත්, ආපදාවක් ඇතිවුණොත් ජීවිත අවදානම නොතකා කරගහන හමුදාවක්, මේ කතා කරන මොහොතේත් බොරු චෝදනා මතුකරලා යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශයේ 17ක් හිරෙගවල්වල ඉන්නවා. ජී.ආර්. හෙවත් ගෝඨාභය රාජපක්ෂ ඕඩර් එක දුන්නා කියන්න අපි ඔයගොල්ලො බේරගන්නම් කියලා ඒ හැමෝටම කියලා තියෙනවා. පිටරටවල ගෙවල් දෙන්නම්, සල්ලි දෙන්නම් කියලා'' යනුවෙන් විමල් උස් හඬින් කියා ගෙන ගියේය. එවිට විමල්ගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම බාධා කිරීම් සිදුවිය.
මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකර තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ අවස්ථාවට ධීවරයෙකුට හිමි විශ්‍රාම වැටුප නොලැබීම සම්බන්ධව ඩලස් අලහප්පෙරුම එදින පැනයක් යොමුකර තිබූ අතර, එම අවස්ථාව වනවිට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පිළිතුරු දීම සඳහා සභාවේ නොසිටියේය. ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට පිළිතුරු ලබාදීමට සිදුවිය.
නමුත් ඩලස් අලහප්පෙරුම එම පිළිතුරෙන් සෑහීමකට පත්නොවීය. ඩලස්ගේ සහායට ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්තිද එක්විය. ‘එම ධීවරයා මහා කැපකීරිමක් කරලා ලේඛන ඉදිරිපත් කර තිබියදී කළ කැපකිරීමට උපහාරයක් වශයෙන්ද මේ විශ්‍රාම වැටුප ලබානොදෙන්නේ‘ යනුවෙන් ගලප්පත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය.
එවිට කථානායක කරු ජයසූරිය මහතාද මෙම සංවාදයට මැදිහත් විය. ඔහු කියා සිටියේ මෙම ප්රශ්නය පිළිබඳව ඇමතිවරයා අවධානය යොමුකළ යුතු බවයි. එම ඉල්ලීම ඇමතිවරයාට තමන් යොමුකරන බව ගයන්ත කරුණාතිලක එවිට පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ධුරයේ ප්‍රීතිය සමරයි
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරට පරිසර රාජ්‍ය ඇමති ධුරයට ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් මාලඹේ පෞද්ගලික හෝටලයකදී අඟහරුවාදා රාත්‍රියේ සාදයක් සංවිධානය කර තිබිණි. මේ සඳහා ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන්, අමරවීර මහතාගේ හිතවතුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
අමරවීර මහතා රාත්‍රී 7.00 සිට සාදය අවසන් වනතුරු එම ස්ථානයේ රැඳී සිටි අතර, පිරිස ආගිය තොරතුරු කතාකරමින් කාලය ගතකළේය. එදින පැවැති කැබිනට් රැස්වීමට සහභාගි වී අනතුරුව පාර්ලිමේන්තු සභාවාරයට එක්ව අනුරාධපුරයට ගොස් තිබූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙම සාදයට සහභාගි වීමට නැවතත් කොළඹ බලා පැමිණ තිබිණි.
07 වැනිදා පැවැති පාර්ලිමේන්තු සභාවාරයටද දිසානායක මහතා සහභාගි විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමට ජනාධිපතිවරයා පැමිණ සුළු වේලාවක් රැඳී සිට පිටව ගියේය. අනතුරුව පෙරදින රාත්‍රියේ පැවැති සාදයේ තොරතුරු මන්ත්‍රීවරුන් කතා කරන්නට වූ අතර, එම සාදයට සහභාගි වීමට නොහැකි වූ මැති ඇමතිවරු ඒ පිළිබඳ කනගාටුව අමරවීරට පළකළහ.
දුමින්ද දිසානායක මෙම අවස්ථාවේදී කියා සිටියේ අනුරාධපුරයේ ගොස් පැමිණි පසු ඇඟට අමාරුවක් දැනෙන බවයි. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෝ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමරවීරගේ සාදයට ආරාධනා කර නොතිබිණි.
දිනේෂ් සයිටම් අනුමත කරලා
සයිටම් ප්රශ්නය සම්බන්ධව 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇතිවිය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රංජිත්ද සොයිසා කථානායක අසුන දෙසට ඇඟිල්ල දිගුකර කතාකිරීම හේතුවෙන් කරු ජයසූරිය මහතාට කේන්ති ගියේය. එවිට කථානායක කරු ජයසූරිය පැවසුවේ තර්ජනය කොට තමන්ගෙන් තීරණ ලබාගත නොහැකි බවයි.
පාර්ලිමේන්තුව ප්‍රාදේශීය සභාවක් නොවන බව මන්ත්‍රීවරුන් සිහිතබාගත යුතු බවද කථානායකවරයා දැඩිව අවධාරණය කර සිටියේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආකාරයට පාලනය කර ගත නොහැකි අන්දමින් හැසිරුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සයිටම් සම්බන්ධ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන බව පැවසීමෙන් පසුවය.
පසුගිය ආණ්ඩුව සමයේදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙනුවෙන් සයිටම් උපාධි ආයතනයක් වශයෙන් පිළිගන්නා බව දැක්වෙන ගැසට් නිවේදනය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කර ඇතැයි කිරිඇල්ල කීවේය. එහෙත් දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ සයිටම් ආයතනය වසා දමා මෙම ප්රශ්නය විසඳිය යුතු බවයි. ඒ ආයතනය නීතිවිරෝධී අයුරින් ආරම්භ කර ඇතැයිද ගුණවර්ධන මෙහිදී පැවසීය.
මහින්දගේ ඉල්ලීම ඒකාබද්ධය ඉවත දමයි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම පසුගිය අඟහරුවාදා (07දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ආපදා සහන ගිණුමට බැරකරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සියලු සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබිණි. මන්ත්‍රී කණ්ඩායම මුලින්ම අවධානය යොමුකළේ ඒ ගැනය. මේ ඉල්ලීමට විරෝධය පළකරමින් මුලින්ම අදහස් පළකළේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාය.
''පසුගිය දවස්වල අපේ මන්ත්‍රීතුමන්ලා පුළුවන් විදිහට මේ තැන්වල බැහැලා මිනිස්සුන්ට උදව් කෙරුවා. අපිත් අපේ පැතිවලින් බඩු එකතු කරලා ඒ පැතිවලට යැව්වා. මිනිස්සුයි මාධ්‍ය ආයතනයි නොඉන්න මේ ආණ්ඩුවේ අමුඩෙත් නෑ'' ප්‍රසන්න කීවේය.
''ඒක ඇත්ත. මේ ආණ්ඩුවට මිනිස්සුන්ට සහන සලසන්න වැඩපිළිවෙළක් නෑ'' බන්දුල ගුණවර්ධන කීවේය. ''වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති ආණ්ඩුවට අපේ පඩිය දීලා වැඩක් නෑ'' ප්‍රසන්න පෙන්වා දුන්නේය. ''ඒක හරි. අපි වෙනම ඒකාබද්ධ විපක්ෂයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන'' යැයි කීවේ රංජිත් සොයිසාය. ''හැබැයි අපේ මන්ත්‍රීවරු දැනටත් පුළුපුළුවන් විදිහට උදව් කරනවා'' ඩලස් මෙන්ම පවිත්‍රා වන්නිආරච්චි මන්ත්රීවරියද කීවේය.
කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කීවේද මේ ආණ්ඩුවත් එක්ක කිසිම දෙයක් නොකළ යුතු බවය. ''අරමුදලක් හදලා අපි විපතට පත්වෙච්ච අයට උදව් කරනවා නම් ඒ උදව්ව ලැබිය යුතුම අයට ලැබෙන විදිහට වැඩපිළිවෙළකුත් සකස් කරන්න ඕන'' ප්‍රසන්න කීවේය. ''ඒකෙදි දෙමව්පියෝ සහෝදරයෝ අහිමි වෙච්ච දරුවන්ට ප්‍රමුඛතාවක් ලැබෙනවා නම් හොඳයි'' ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා යෝජනාවක්ද කළේය. අවසානයේදී ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම තීරණය කළේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටය.
සජිත්, ජනාධිපතිගේ කනට කර කීවේ කුමක්ද?
ජනාධිපතිවරයා අඟහරුවාදා හම්බන්තොට බලා ගියේ එහි ගංවතුර සහනාධාර වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයාබැලීමටය. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය පැමිණියේ රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා භූමියටය. ජනාධිපතිවරයා පිළිගැනීමට එහි ගොස් සිටි සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද සිය මෝටර් රථයට නංවා ගත් ජනාධිපතිවරයා කීවේ ''මෙහේ වැඩකටයුතු හොඳින් සිදුවෙනවා කියලා මට ආරංචියි'' කියාය.
''මොනවද මේ දවස්වල කරන්නෙ?'' කියා ජනාධිපතිවරයා අසද්දී සජිත් කීවේ ''උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහණ දුන් ජනතාවට වතුර බෙදාදීම සාර්ථකව කරගෙන යනවා. ඉදිරියේදී තව වට කිහිපයකින් සහනාධාර ලබාදෙනවා. ඒ හැර මාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල සම්පත් වගේම සේවකයන් යොදවලා නිවාස, මංමාවත් පිරිසුදු කිරීම, නායගිය පස්කඳු ඉවත් කිරීම වගේ කටයුතු හොඳින් සිදුකරනවා.'' යනුවෙනි.
ප්‍රගති සමාලෝචන රැස්වීමේදී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා දිස්ත්‍රික්කය තුළ පවතින ගිලන් රථ හිඟය පිළිබඳ අවධානය යොමු කළේය. ඒ සමගම සජිත් ජනාධිපතිවරයාගේ කනට කර කීවේ, ''මේකට හොඳ විසඳුමක් තියෙනවා සර්, ආපහු යන්න වාහනේට නැග්ගම මම කියන්නම්'' කියාය.
ඒ අනුව ජනාධිපතිවරයා සමග මෝටර් රථයට නැගුණු පසුව සජිත් ගිලන් රථ ගැටලුව විසඳා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරමින් පැවසුවේ ''ජපානයේ අවුරුදු 03ක් වගේ කෙටි කාලයක් පාවිච්චි කරපු ඉතා නවීන පන්නයේ ගිලන් රථ නොමිලයේ පරිත්‍යාග කරන වැඩපිළිවෙළක් තිබෙනවා.
අපට තිබෙන්නෙ ඉල්ලීමක් කරන්න විතරයි. මමත් ඒවා අරන් දෙන්න උත්සාහ කළා. ඒත් මේ නිලධාරී පංතිය එක එක රෙගුලාසි කිය කියා ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ අයට ඕනෑ රජයේ මුදලින් ඇනවුම් කරලා ගිලන් රථ ගෙන්වන්නයි'' කියාය. ''සජිත් ඔයා මට මේකට අදාළ විස්තරය දෙන්න. අපි ඒ වැඩේ පටන් ගන්න බලමු* පුවත අසා සිටි ජනාධිපතිවරායාගේ ක්ෂණික පිළිතුර විය.
මහින්ද රනිල්ට දුන් ඇමතුම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජපානයේ සංචාරයක නිරතව සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා ජපානයට ගිය මහින්දට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබිණි. ඔහු පසුගිය සිකුරාදා පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික එරට වෙළෙඳ හා ආර්ථික අමාත්‍ය ටෙහිනී රෝනිකායි මහතා හමුවිය. හමුව සිදුවුණේ ටෝකියෝහි පිහිටි ලිබරල් පක්ෂ කාර්යාලයේදීය. මහින්ද සමග පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද ජපානයේදී G7 සමුළුවේ නියෝජිතයන් සමගද සාකච්ඡා කළේය.හිටපු ජනාධිපතිවරයා ජපාන සංචාරය අතරතුරදී ටෝකියෝ ටුසුකි කුණු ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණයටද ගියේය. ජපානයේ සිටි මහින්ද කටාර් සිද්ධිය පිළිබඳවද අවධානය යොමුකළේය.
කටාර්හි ශ්‍රී ලාංකේය සංවිධාන කිහිපයක නියෝජිතයන්ට කතා කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එහි තත්ත්වය පිළිබඳව විමසා බැලුවේය. එම තොරතුරු ලබාගැනීමෙන් පසු මහින්ද අගමැති රනිල්ට දුරකථනයෙන් කතාකර කීවේ මේ පිළිබඳ මැදිහත්වී කටයුතු කරන්නැයි කියාය. මෙම ඉල්ලීම කළ මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමටද අමතක කළේ නැත.
එදා මම ළිං ඉහින්න ගියා
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප්‍රදේශ වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පාහියන්ගල කන්ද නායගොස් නාගහදොළ ගංගාව අවහිර වීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය පිළිබඳව හා පස් කඩාවැටීම හේතුවෙන් අවහිර වූ නාගහදොළ ගඟ නැවත පිළිසකර කිරීම පිළිබඳවද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට මෙන්ම අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමි අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියද, එම අවස්ථාවට බුලත්සිංහල එජාප ආසන සංවිධයක මෙන්ම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය සේවය නොපිරිහෙලා ඉටුකළ පාලිත තෙවරප්පෙරුම එක්ව නොසිටියේය.
ඒ සඳහා හේතුව කුමක්දැයි විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම කීවේ මෙවැන්නකි.
''ජනාධිපතිතුමාට උපරිම ආරක්ෂාව තිබෙනවා. ජනාධිපතිතුමාත් එක්ක ඉන්න අවශ්‍ය අය ඉන්නවා. නමුත් එතැන්ට ගිහිල්ලා මමත් මගේ කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැනේ. මම ජනාධිපතිතුමා නොගිය මිනිස්සු විලාපදෙන තැනකට ගිහිල්ලා ඔවුන්ට පිහිට වුණා.
එදා මම කණ්ඩායම් හතරක් එක්ක එකතුවෙලා ප්‍රදේශයේ ළිං ටික ඉස්සා. රුපියල් 37,000 ගානේ දීලා මෝටර් 04ක් ගත්තා ළිං ඉහින්න. මිනිස්සුන්ට කෑම දුන්නා. අපේ පුතා අතේ වියළි ආහාර යැව්වා. ඒ නිසා මට යන්න බැරිවුණා.
එයා මඩගහන්න තෝරගත්තේ කෙහෙල් ගෙඩි තුනක්
ආපදා සහන සැලසීමට ලක්වාසී බොහෝ දෙනා කැපවී කටයුතු කළ අතර, ඇතැමුන් සහන ලබාදීමෙන් ප්‍රසිද්ධ වීමට උත්සාහ කළ ආකාරයද සතරදෙසින් දකින්ට ලැබිණි.
මේ අතර ඇමති ගයන්ත කරුණාතිලගේ නම සඳහන් කරමින් කෙසෙල් බෙදා ඇති බවට සමාජ ජලා තුළ යම් ඡායාරූපයක් පැතිර ගිය අතර ඇමති ගයන්ත එය ප්‍රතික්ෂේප කළේය. එතැනින් නොනැවතුණු ඔහු රහස් පොලීසියේද මේ පිළිබඳ පැමිණිල්ලක් කළේය. කැබිනට් මණ්ඩලයේදීද ඔහු මේ පිළිබඳ ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවෙන් තමාගේ කීර්තිනාමට හානියක් වූ බව පවසමිනි.
කෙසේ හෝ ගයන්තගේ නමින් කෙසෙල් බෙදූ බවට ඡායාරූප සැකසූ පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය කරගෙන තිබේ. කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳ පැවසූවේ මෙවැන්නකි.
''අද තියෙන තත්ත්වය යටතේ ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ ආත්ම ගරුත්වය නැතිවෙන විදිහට ප්‍රහාර එල්ල කරන්න නිදහසක් ලැබිලා තිබෙනවා. මගේ දිස්ත්‍රික්කයේ ජනතාව මේ ගැන දැනුවත් වුවත් පිට පළාත්වල ජනතාව වැරදි අවබෝධයක් අරගෙන තිබුණා. අන්තිමට විරුද්ධ පක්ෂයේ සමහර දේශපාලඥයො මේ කෙසේල් සිද්ධිය ආණ්ඩුවටම ගහන්න යොදාගත්තා.
මේ කාරණයට සාධාරණයක් ඉටුවිය යුතු නිසාම මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කළා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් කටඋත්තරයක් ගත්තා. මේ වෙනකොට මම දන්න තරමින් ඒක ආරම්භ කරපු තැන හොයාගෙන තිබෙනවා. තවදුටත් පරීක්ෂණ සිදුවෙන නිසා ඒවායේ ප්‍රතිඵල දෙස බලාගෙන ඉන්නවා.
මොකද මේවා ඇමතිවරු ලෙස අපට ඔරොත්තු දෙනන් පුළුවන් අපි දේශපාලඥයො නිසා. නමුත් රටේ අනිත් මිනිස්සුන්ටත් මේ වගේ බොරු මඩ ප්‍රහාර ගහලා බොරු ප්‍රචාර ලෝකයට ව්‍යාප්ත කරලා අසරණ කරන්න පුළුවන්. ඒ නිසා අපේ ගමන මේ වගේ දේවල්වලින් වළක්වන්න බැහැ. මට ගහපු මඩ ප්‍රහාරය ගැන මම පරීක්ෂණයක් ඉල්ලුවා. දැන් ඒ ගැන සොයාගෙන යනවා.
එයට සහාය වෙමින් ඇමති රාජිතද මෙසේ පැවසීය.
''මේ වැඩේ කරපු පුද්ගලයා කවුද කියලා දැන් හොයාගෙන තියෙනවා. අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව සොයාගෙන යද්දි එක පවුලක පුතෙකුගේ ලේකම්වරයෙන් මේදේ කරලා කියලා හොයාගෙන තියෙනවා. ඒ පුද්ලගලයා දැන් බයවෙලා ඇත්ත කියලා තියෙනවා. ආණ්ඩුවේ කට්ටියට ගහන්න කියලා එයාට කියලා තියෙනවාලු.
සමාජ ජාලා වෙබ් අඩවිවල මේවා දාපුවහම මාධ්‍යයත් එවා අරගෙන දෙවැනි පාර ගහනවා. එක්තරා මධ්‍යස්ථානයක ඉඳන් රජයේ පුද්ගලයන්ට මඩ ගහන්න කටයුතු කරන බව හෙළිවෙලා තිබෙනවා. දිනපතාම කාට හෝ මඩ ගහන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මේ සැරේ එයා මඩගහන්න තෝරගත්තේ කෙසෙල් ගෙඩි තුනක්. ඒක තමයි ප්‍රශ්නෙ. මෙතෙක් කල් ගහපු මඩවල තොරතුරුත් දැන් නිරාවරණය වී ගෙන එනවා.
ගයන්ත ඇමතිතුමා ඔබතුමා කොහොමද මේක දැනගත්තෙ යැයි මාධ්‍යවේදීන් ඇසූ විට,
''මගේ මාධ්‍ය ලේකම් මට කිව්වා ෆේස්බුක් එකේ යනවා කියලා. මම ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් දේශපාලඥයෙකුට මොකක්හරි දෙයක් කිව්වොත් දිගින් දිගටම මඩගහනවා ඇත්ත නැත්ත බලන්නේ නැහැ. නමුත් මගේ දිස්ත්‍රික්කයේ වාමාංශිකයෝ පවා පක්ෂ භේදයකින් තොරව ගයන්ත කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා ප්‍රකාශ ෆේස්බුක් එකට දාලා තියෙනවා මම දැක්කා. ඒ ගැන මම සතුටු වෙනවා. නමුත් මේ ගැන විමර්ශනයක් සිදුවිය යුතුයි'' යැයි ඔහු පවසීය.
අවසානයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලන්සූරිය රහසින් ගයන්තගෙන් ඇසුවේ ''කවුද ඒ කෙනා'' කියාය. ඔහුගේ නම පැවසු ගයන්ත පිළිතුරු දුන්නේද රහසිනි.
පොලීසිය කරන්නෙ නැත්නම් හමුදාවට දෙමු
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ බදාදා දිනයේදීය.
ආපදා තත්ත්වයෙන් විනාශයට පත්වූ ප්‍රදේශ යථාතත්ත්වයට පත්කිරීම සඳහා රජය පැවැත්වීමට සූදානම් වෙන ආධාර ලබාදෙන්නන්ගේ සමුළුව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, මංගල සමරවීර, එරාන් වික්රරත්න ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුම ඒ සඳහා පත්කළ අතර, ජනාධිපතිවරයා කණ්ඩායම් රැස්වීම අවසාන කිරීමට සූදානම් වන අවස්ථාවේ නැගීසිටි මුජුබර් රහ්මාන් මන්ත්‍රීවරයා පැවසුවේ,
''ජනාධිපතිතුමා පොඩි වෙලාවක් දෙන්න. අපි මේ කතාකරන වෙලාවෙත් රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට හිරිහැර වෙනවා. අදත් පල්ලියකට ගහලා. මේකට විසඳුමක් දුන්නේ නැත්නම් රජය අපහසුතාවට පත්වෙනවා.''
එය අසා සිටි ජනාධිපති මෛත්‍රී පැවසුවේ,
''මේ දේවල් කරන්නේ කවුද කියලා හොඳින්ම දන්නවානම් ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්න. අපි පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලය පැවරුවා මේ කටයුතු නවත්වන්න කියලා. පොලීසිය ඒක කරන්නෙ නැත්නම් හමුදාවට පවරමු ඒ වැඩේ'' කියමින් ජනාධිපතිවරයා පිටත්විය.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd