අධ්‍යාපනය යනු රටක ජීවනාලිය වේ. රටක ජාතියක දියුණුව රඳා පවතින්නේ සවිමත් අධ්‍යාපනයක් තුළිනි. අපේ රටේ අධ්‍යාපනයේ වසරින් වසර ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ පළමු වසර සදහා ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමයි. අප දන්නා පමණින් දශක කිහිපයක් මුඵල්ලේ සිට මෙය උග්‍ර තරගයක් බවට නිර්මාණය වෙමින් එය වර්තමානය වන විට අර්බුදයක් බවට පත්වී ඇත.
මෙම පැනයට එතෙක් මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයකින් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකළ අතර, බොහෝ නීති පනවා තිබුණද ඒවාද අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය. එයට හේතු වී ඇත්තේ ධනය සහ දේශපාලන බලය ඒ සියලු නීතීන් අභිභවා යමින් ජනප්‍රිය පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ එකම සුදුසුකම වී ඇති නිසාය. වත්මන් රජයේ අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා මෙම ක්‍රමවේදයට අභියෝග කරමින් කොළඹ රාජකීය විදුහල ඇතුළු පාසල් කිහිපයක පළමු වසරට ඇතුළත් කිරීම සඳහා තෝරාගෙන සිටි ලැයිස්තුව අත්හිටුවනු ලැබීය. එය පැසසුමට ලක්විය යුත්තකි. මේ පිළිබඳව හා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය සමිති පිළිබඳ සහකාර ලේකම්, කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා ‘අද’ සමග අදහස් දැක් වූයේ මෙලෙසිනි.
Q වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බව පැවසෙනවා. මෙය කතාවට පමණක් සීමා වූවක්ද?
අධ්‍යාපනය කියන්නේ බොහොම සංකීර්ණ විෂයක්. එකක් ලෙහනකොට තවත් එකක් ගැට ගැහෙනවා. ඉගෙනුම ලබන දරුවෝ ලක්ෂ හතළිස් පහකට ගරුවර ගුරුවරියෝ දෙලක්ෂ පනස්දහසක් ඉන්නවා. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය විමධ්‍යගත වීමෙන් පසුව මුළු රටේම තියෙන පාසල් දහදහස් එකසීයෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්වී තියෙන්නේ පාසල් තුන්සිය පනස්අටක් විතරයි. නමුත් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ අධ්‍යාපන අමාත්‍යංශයයි. පළාත් සභා පාලනය එක පාර්ශ්වයකුත්, රජයේ පාලනය එක පැත්තකුත් වෙන් වශයෙන් කටයුතු කරනකොට ගැටලු මතුවෙනවා. එය දේශපාලනය මත සිදුවන දේවල්. එය නිවැරදි විය යුතුයි.
අපට මෙතනදි දේශපාලන න්යායපත්රවලට වැඩ කරන්න බැහැ. නමුත් පසුගිය කාලේ සෘජුවම පාසල් තුළට දේශපාලනය ඇතුල් වුණා. ඒ නිසා මෙම ක්ෂ්ත්රය තුළ අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය වුණා. මේ රජය බලයට පත්වූ විගස ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ලැබුවා. අපේ අගමැතිතුමා අසූවේ දශකයේ සිටි අධ්‍යාපන ඇමතිවරයෙක්. ඔහුට මෙම විෂය පිළිබඳ ඉහළ දැනුමක් පවතිනවා. එතුමා එදා ගත් තීන්දු තීරණ අදටත් වලංගුයි. අධ්‍යාපන පරිපාලන සේවය පවා ආරම්භ කළේ එතුමායි. ඒ නිසා අපට මෙවර අපේ රටේ අධ්‍යාපනය තුළ නිවැරදි වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපන ඇමතිතුමා තරුණයෙක් වුණත් ඔහුට මේ පිළිබඳව පවතින්නේ පරිණත අවබෝධයක්. ඒ නිසා අධ්‍යාපනය තුළ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන දැක්ම සාර්ථක වේවි.
Q මේ වනවිට ජනප්‍රිය පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීම අශෝභන පොරයක් බවට පත්වෙලා. දරුවන්ට පවා මෙයින් ලබාදෙන්නේ වැරදි ආදර්ශයක්. විවිධ අක්රමික වලට හසුවීමෙන් ගුරු වෘත්තිය පවා හෑල්ලුවට පත්වෙලා. මෙයට නිසි ක්‍රමවේදයක් සකස් කරන්න බැරි ඇයි?
මේ සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතු වෙලා තියනවා. හැමකෙනාම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාට ජනප්‍රිය විදුහලක් ලබාදෙන්න. එය අද මෝස්තරයක් වෙලා. අපි මේ ගැන සොයා බලනකොට පෙනී ගියා බොහෝ විදුහල්වල පංතියක ළමයි පනහකට ආසන්නව ඉන්නවා. පුංචි පංති කාමරයක මේ තරම් දරුවෝ ප්‍රමාණයක් ඉන්නේ හරිම අපහසුවෙන්. ගුරුවරුන්ට පවා මේ දරුවන්ට ඉගැන්වීම අපහසුයි. ඒ අනුව අප මුලින්ම චක්‍රලේඛයක් නිකුත් කළා පංතියක ළමයි හතළිහක සීමාවේ තැබි යුතුයි කියලා.
Q ඔය චක්‍රලේඛ කෙතරම් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වෙනවද කියන එක ගැටලුවක්. අර දේශපාලනඥයන්ට තියනවයි කියන කෝටා ක්‍රමයට ඔය නීති අදාළ වෙන්නෙ නැහැ නේද?
පළාත් සභාවල ඒ වගේ ක්‍රමයක් හදාගෙන තියෙනවා. එය වැරදියි. පසුගිය කාලයේදි විදුහල්පතිවරුන්ට විවිධ දේශපාලන බලපෑම් කරලා ළමයි පාසල්වලට ඇතුළත් කරලා තියනවා. ඒ නිසා විදුහල්පතිවරු පවා අයතා ක්‍රම මගින් ළමයින් පාසල්වලට අරගෙන තියනවා. මෙවා වැළැක්විය යුතුයි. ළමයි පැසල්වලට ඇතුළත් කිරීමේ පූර්ණ බලය හා වගකීම මෙහිදී විදුහල්පතිවරුන්ට හා අභියාචනා මණ්ඩලයට අප පවරල තියනවා. කිසිම ඇමතිවරයෙකුගේ ලිපියක් ඔවුන්ට භාරගන්න බැහැ. ඒ අනුව පෝෂිත කලාපයෙන් හා පොරොත්තු ලේඛනයෙන් පිට කිසිම ළමයෙක් ඇතුළත් කරගන්න බැහැ.
Q ඔය කියන පෝෂිත කලාපවල ඇතැම් ළමයි ජනප්‍රිය විදුහල් දිහා බල බල වෙනත් විදුහල්වලට යද්දි පිට පළාත්වල දරුවෝ පෝෂිත කලාපය තුළ විවධ ක්‍රමවේද මගින් පදංචිය පෙන්වල පාසලට ඇතුළත් වෙනවා නේද?
ඔබ හරි උපන්දා ඉඳල විදුහල් අවට පදංචිවෙලා ඉන්න ළමයින්ට පවා අසාධාරණකම් වෙලා තියෙනවා. ඔවුන් නිත්‍ය පදිංචිකරුවන් උනත් නිවසේ අයිතිය තහවුරු කරගන්න බැරිවීමේ ගැටලුව නිසා ඒ දරුවන්ව තෝරාගන්නේ නැහැ. පෝෂිත කලාපයෙන් පිට හුඟදෙනෙක් කරන්නේ මේ සඳහා කූඨ ලේඛන සකස්කරන එකයි. එය අද මුදල් උපයන ජාවාරමක් බවට පත්වෙලා. මේ යල් පැනගිය ක්‍රමවේදයන් වහාම අයින් කරන්න ඕන. මේ පිළිබඳව ලැබුණු පැමිණිලි නිසා තමයි ගරු ඇමතිතුමා මෙයට සෘජුවම මැදිහත්වෙලා කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකම පළමු වසරට ළමයි ඇතුළත් කිරීම මෙවර තාවකාලිකව අත්හිටෙව්වේ. අපේ රටේ අධ්‍යාපන ඇමතිවරයෙක් මේ වගේ තීරණයක් ගත්ත පළවෙනි වතාවයි මේ.
Q ඉදිරියේදී මේ සදහා ඔබලා ගන්න ප්‍රායෝගික විසඳුම් මොනවාද?
මෙය පියවරෙන් පියවරට ඉදිරියට යායුතු දෙයක් වෙනවා. මුලින්ම අපි කළයුත්තේ අඩු පහසුකම් තියන පාසල් හඳුනාගෙන එම විදුහල්වලට අවශ්‍ය සියලුම භෞතික සම්පත් වගේම අවශ්‍ය ගුරුවරු ප්‍රමාණය ලබාදීලා ළඟම පාසල හොඳම පාසල බවට පත්කරන එකයි. ඒ වගේම කලාපීය ගුරු පුහුණු මධ්‍යස්ථාන වැඩි කළයුතු වෙනවා. ගමේ පාසල් ඒ ආකාරයට සංවර්ධනය උනාම නගරයේ ජනප්‍රිය පාසල් සොයාගෙන යාමේ පොරය අඩුවේවි. .
Q ඔය ක්‍රමවේදය කතාවට පමණක් සීමා වුණ සිහිනයක් වේවිද?
මේ ආණ්ඩුව හීන පෙන්නන ආණ්ඩුවක් නෙවෙයි. ඒ වගේම අපේ ඇමතිතුමා හීන මවන කෙනෙකුත් නෙමේ. ගතයුතු තීරණ සෘජුවම ගන්න කෙනෙක්. 2020 අවුරුද්ද වෙනකොට මේ ක්‍රමවේදය මුළුමනින්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු සැලසුම් දැන් සම්පාදනය කරලයි තියෙන්නේ. ඒසඳහා අවශ්‍ය මිලියන පනස්තුනක මුදල් අප වෙන්කර අවසානයි. එයින් බස්නාහිර පළාතට විතරක් මිලියන හත්දාහක් වෙන්කරල තියනවා.
Q එතකොට අර ඇමතිවරු ලියුම් දෙන එකත් නවතීද?
අනිවාර්යෙන්ම නවතිනවා. මැති ඇමතිවරු ඉන්නේ ළමයි ඉස්කෝලවලට දාන්න නෙමෙයි. එයාලට ඊට වඩා ජාතික තලයේ වැදගත් වැඩ තියනවා. ඇතැම් විදුහල්වල අන්තිම කාර්තුවේදිත් එක වසරට ළමයි අරගෙන තියෙනවා. මේවා තනිකරම නීතිවිරෝධී වැඩ. ඇතැම් ළමයි මූලික සම්මුඛ පරීක්ෂණ වලටවත් පෙනී ඉඳල නැහැ. අපි මේ ආණ්ඩුකාරවරුන්ටත්, මහ ඇමතිවරුන්ටත් කියන්නේ ළමයි දාන්න පාසල්වලට වැරදි බලපෑම් කරන්න එපා කියලයි. මේ ක්‍රමවේදය පාසල් පද්ධතියටත් හානිකරයි. මෙය වහාම නැවැත්විය යුතුයි.
ජනප්‍රිය පාසල්වලට ගුරුවරු අතිරේකවත් ඉන්නවා. අනෙක් පාසල්වලට අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරු නැහැ. මෙතනත් දේශපාලනයක් තියෙන බව පේනවා. ඇත්ත ගුරුමාරුවල ප්‍රතිපත්තියක් නොමැතිකම තමයි මෙයට හේතුව. ඇතැම් ගුරුවරු ඉන්නවා නගරයේ පාසල් දාල යන්නෙම නැහැ. කෙසේ හෝ දේශපාලන බලපෑමක් ලබාගෙන විශ්‍රාම යනකල්ම එකම පාසලේ ඉන්න බලනවා. මේ නිසා තවත් කොටසකට එයින් අසාධාරණයක් සිදුවෙනවා. ගරු මාරු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. වසර දහයකට වඩා ගුරුවරයෙකුට එක පාසලක සේවය කිරීමට නොහැකි විදිහේ නීති ගෙනා යුතුයි.
Q මෙයට කලිනුත් ඔය වගේ නීතියක් තිබුණට ක්‍රියාත්මක වීමක් නැහැනේ?
ආණ්ඩුව එක පැත්තක, පළාත් සභාව තව පැත්තක. මොන නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී දෙගොල්ලො දෙපැත්තක ඉඳගෙන තමුන්ගේ දේශපාලන න්‍යාය පත්රවලට අනුගතවෙලා වැඩ කළා. අධ්‍යාපනය කියන විෂය එකයි. ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය මගිනුයි. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවල තියෙන්නෙත් මේ වගේ ක්‍රමයක්. හැබැයි ඔවුන් මධ්‍යම රජයේ තීන්දු තීරණවලට අභියෝග වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගුරු මාරු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසිමට මූලික අවධානය යොමු කළා. කැබිනට් මණ්ඩලයත් එයට එකඟතාවය පළකර තියනවා. ප්‍රථම වතාවටයි ප්‍රධාන පක්ෂ දෙක එකට ඉඳගෙන මෙය සකස් කරනු ලැබුවේ. පළාත් සභා මගිනුත් එයට එකඟතාවය පළකර තියනවා.
Q ඒත් ගුරු හිඟය මෙයින් අවම කරගන්න පුළුවන් වෙයිද?
කොහෙත්ම බැහැ. මේ වෙනකොට ගුරුවරු හතළිස්දාහක අඩුවක් පවතිනවා. අපි එය ඉක්මනින් සපුරනවා. අපි නියමිත තරග විභාග ක්‍රියාපටිපාටිය අනුවයි ගරුවරු බඳවා ගන්නේ. ආරම්භයේදීම අපි වතු පාසල් සඳහා ගුරුවරු දහතුන් දහසක් බඳවා ගත්තා. පසුගිය කාලේ ගරුවරු බඳවා ගත්තේ, විදුහල්පතිවරු පත් කළේ දේශපාලනයේ පූර්ණ බලපෑම් අනුවයි. අපි ඒ ක්‍රමයෙන් බැහැර වෙලා නියමිත ආකාරයට තරග විභාග පවත්වලා එයින් සමත් වුණ තරුණ ගුරුවරු හාරදහස් දෙසීයක් විදුහල්පතිවරු වශයෙන් පළාත් සභාවලට මුදාහැරියා. සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි. යහපාලනයේ වෙනස ඒකයි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ