තවත් මැතිවරණයක් පළාත් සභා බල ප්‍රදේශ දෙකක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. සුපුරුදු ලෙස මෙම පළාත් සභා දෙක තුළද මැතිවරණ නීති උල්ලංඝනය වීම, ආණ්ඩු පක්ෂයේ පිරිස් සහ විපක්ෂයේ කණ්ඩායම් අඩු වැඩි වශයෙන් සිදුකරමින් සිටිති.
මේ තත්ත්වයන් වළක්වාගැනීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය, පොලීසිය, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විශාල උත්සාහයක් ගන්නා ආකාරයද දැකගත හැකිය. එහෙත් මැතිවරණ නීති උල්ලංඝනය සිදුවීම්වල අඩුවීමක් දක්නට ලැබෙන්නේද නැත. මේ නිසා 'අද' මේ පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමග කතාබහක නිරත විය.
නාමයෝජනා භාරදීමේදී වංචා ක්‍රියා සිදුකර තිබෙන බවට පක්ෂ කිහිපයකට චෝදනා නැගිලා තියෙනවා?
මෙය බරපතළ තත්ත්වයක්. මොකද මේකෙන් කරුණු කාරණා ගණනාවක් පෙන්නුම් කරනවා. ඉන් එකක් තමයි රටේ නීතිරීති පිළිබඳව දේශපාලන පක්ෂ දක්වන අඩු තක්සේරුව. හැබැයි අපේක්ෂකයන් කියන්නෙ ජනතාවගෙන් කොටසක්. ඒ නිසා ඒ අයත් ජනතාව කියලා කියන්න පුළුවන්. එතනදි ජනතාව නීතිරීති පිළිබඳව දක්වන ආකල්පත් මෙහිදී ඉස්මතු වෙනවා. අනිත් කාරණය තමයි මෙවැනි දේවල් නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙන එකක් නැහැ කියන මතයේ සිටීම. හැබැයි දේශපාලඥයන් කියන්නෙ මේ රටේ නීති සම්පාදනය කරන්න කටයුතු කරන කණ්ඩායමක්. එවැනි කණ්ඩායමක්ම නීතිරීති කඩකරනවා නම් ඒක බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි.
ඉදිරියේදී මෙවැනි ක්‍රියා සිදුනොවන්න නම් කුමක්ද කළ යුත්තේ?
මැතිවරණ කොමසාරිස්වරයා දැනටමත් යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉන් ප්‍රධාන කාරණයක් තමයි නාමයෝජනා පත්‍රයට ඇතුළත් කරලා ඉන්න අය ජීවත්ව සිටිනවාද යන්න සහතිකයක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක් පැනවීම. අනිත් කාරණය තමයි නාමයෝජනා අත්සන් කිරීම පක්ෂ ලේකම්වරයා ඉදිරියේ සිදුවිය යුතුයි කියන නීතිය. හැබැයි ඒ තත්ත්ව තුළත් පෙනීගිය කාරණයක් තමයි සමහර පක්ෂ තවදුරටත් මේකෙන් රිංගා යන්න උත්සාහ කරලා තියෙනවා කියන කාරණය. මෙවැනි අය සම්බන්ධයෙන් සාමන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවා සේම, මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී තියෙන බලතල ක්‍රියාමාර්ග ගන්න ඕන. හැබැයි වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි සිද්ධීන් පිළිබඳව අවධානයෙන් සිටීම නිසා වැරැද්ද සිදුවන පළමු අවස්ථාවේදීම හෙළිකරගන්න හැකිවුණා.
පක්ෂ කිහිපයකට චෝදනා එල්ලවීමත් සමග මෙය බරපතළ තත්ත්වයක් කියලා හිතෙන්නෙ නැද්ද?
මම හිතන්නෙ නෑ හැම පක්ෂයම මේ වැරැද්ද කරයි කියලා. ඒ කොහොම වෙතත් අපේ සංවිධානය මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, මෙවර මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ සියලුම පක්ෂවල නාමයෝජනා පරීක්ෂා කරන්න කියලා. එහෙම කළොත් හොයාගන්න පුළුවන් අනෙකුත් පක්ෂත් මේ වැරදි කරලා තියෙනවාද කියලා. එහෙම කරලා තියෙනවා නම් මුල් අවස්ථාවේදී පක්ෂ තහනම් කිරීමේ තත්ත්වයට නොගොස් පක්ෂවලට දැනෙන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියලත් හිතනවා.
සෑම මැතිවරණයකදී වගේම ඥාති සංග්‍රහ, හිතවත්කම්, ජනප්‍රිය පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීම මෙවරත් සිදුකළා නේද?
නළු නිළියන් මැතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව පළමු වෙඩිමුරය නිකුත් කළේ පැෆරල් සංවිධානය. එතනද අපි දේශපාලන පක්ෂවලට ලිඛිතවම දැන්නුවා හුදෙක් ජනප්‍රියත්වය පදනම් කරගෙන අපෙක්ෂකත්වය ලබාදෙන්න එපා කියලා. මොකද පසුගිය කාලයේදී අපි දැක්කා ජනප්‍රියත්වය සහ මුදලට පදනම් වෙලා අපේක්ෂකත්වය ලබාදීපු අය පාර්ලිමේන්තුවට, පළාත් සභාවට ගියාට පස්සෙ හැසිරෙන ආකාරය සහ ඔවුන් රටේ සංවර්ධනයට ලබාදීපු දායකත්වය පිළිබඳව. හැබැයි අපි කිසිසේත්ම කියන්නෙ නෑ කලාකරුවන්ට, ඥාති සංග්‍රහ මත දේශපාලන අපේක්ෂකත්වය දෙන්න එපා කියලා. අපි සෑමවිටම ඉල්ලන්නෙ වැඩක් කළ හැකි අය දේශපාලනයට ඉදිරිපත් කරන්න කියලා.
එකවර පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය වර්තමානයේදී කඩින්කඩ පැවැත්වීම හොඳ දෙයක්ද?
මම හිතන්නෙ ලෝකයේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ මත සලකනවා නම්, ඒ කියන්නේ කලින් කලට මැතිවරණ පැවැත්වීම ගත්තොත් ලංකාවේ විතර ප්රජාතන්ත්රවාදී රටක් ලෝකෙ කොහෙවත් නෑ. හැබැයි අපේ රටේ කඩින්කඩ මැතිවරණ පැවැත්වීමකුත් සිදුවෙනවා. පොදුවේ ගත්තම වසර 06 ක් තුළ මැතිවරණ හතරක් තියන්න ඕන, පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය වශයෙන්. ඒත් පසුගිය දශකයක කාලය තුළ ගත්තොත් සෑම වසරකදීම මැතිවරණයක් පැවැත්වෙලා තියෙනවා. මෙය ප්රජාතන්ත්රවාදයට බරපතළ තර්ජනයක්.
මොකද මෙතෙක් පාලක පක්ෂයේ කවුරු බලයේ හිටියත් තමන්ගේ උපරිම ශක්තිය, බලය යොදවලා මැතිවරණ ව්‍යාපාර දියත් කරනවා. ඒ වගේම රාජ්‍ය සහ පොදු දේපළත් උපරිම ලෙස භාවිත කරනවා. මීට අමතරව එක ප්‍රදේශයක මැතිවරණ ප්‍රතිඵලය තවත් ප්‍රදේශයක මැතිවරණයට ඍජු ලෙසම බලපානවා. මොකද අපේ රටේ දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක වෙන්නෙ බලය තියෙන පැත්තට නිසා. මේ නිසා කඩින්කඩ මැතිවරණ පැවැත්වීම කිසිසේත්ම අනුමත කරන්න බෑ.
කිසිම මැතිවරණයකදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ අඩුවක් දක්නට ලැබෙන්නෙත් නෑ නේද?
පොදුවේ ගත්තම යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙන ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය වීම සංඛ්‍යාත්මක ඉහළ යාමක් පෙන්නුම් කළත්, එතනදි මේ දේත් පවසන්න ඕන. මොකද රටේ තොරතුරු තවත් තැනකට ගලාගෙන යාම වේගවත් වෙලා තියෙනවා. මේ නිසා වෙනත් කාලවලට වඩා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, මැතිවරණ නිරීක්ෂණ ජාලවලට තොරතුරු ගලාගෙන ඒමේ ශීඝ්‍රතාවක් පෙන්නුම් කරනවා. ඒ නිසා ප්‍රමාණාත්මකව වැඩිවීමට වඩා අදාළ සංවිධානවලට යොමුකිරීමේ ප්‍රවණතාව ඉහළ ගිහින් තියෙනවා.
ඔබ එසේ සඳහන් කළත් සිදුවන සිද්ධීන් පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුන්ද?
කිසිසේත්ම බෑ. මොකද පොදු දේපළ සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්රචාරක කටයුතුවලට භාවිත කිරීම සිදුවෙමින් තිබෙනවා. මෙය වළක්වාගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා විශාල උත්සාහයක් ගනිමින් සිටිනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ප්රජාතන්ත්රවාදී පක්ෂයට මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමේදීත් දැඩි බාධා එල්ලවෙමින් තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී මෙය දැඩි ලෙසම බලපෑම් එල්ලවන ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා.
මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී තිබෙන බලතල ප්‍රමාණවත්ද?
මැතිවරණ කොමසාරාස්වරයාට ඉන්දියානු ආකෘතියේ බලයක් තිබුණා නම් ඕනෑම සිද්ධියකදී නිතී පැනවීමට හැකියාව තියෙනවා. නමුත් ලංකාවේ තියෙන ආකෘතිය තුළ එවැනි අභිමතානුසාරී නීති සකස් කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැහැ. ඒක එක් ප්‍රශ්නයක් ලෙස දකින්න පුළුවන්. අනිත් එක තමයි අපේ රටේ දියුණු තත්ත්වයේ දේශපාලනයක් නැහැ.
නිරීක්ෂණ සංවිධාන මැතිවරණයකදී මොනවගේ කාර්යභාරයක්ද සිදු කරන්නේ?
මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට මැතිවරණයකදී සහ මැතිවරණයක් පැවැත්වීමෙන් පසු සිදුකළ හැකි කාර්යභාරයන් ගණනාවක් තියෙනවා. එතනදි ඡන්දය භාවිත කිරීමේදී හැඳුනුම්පත අනිවාර්ය කරන්න කියලා යෝජනා කළේ පැෆරල් සංවිධානය, මේ නිසා ඡන්ද පොළ තුළ සිදුවන මැතිවරණ අක්‍රමිකතා 100% ක් වැළකිලා තියෙනවා.
මීට අමතරව සර්වපාක්ෂික මෙහෙයුම් මැදිරිය ආරම්භ කරන්න කියලා යෝජනා කළේ පැෆරල් සංවිධානය. එය ඉතාමත් සාර්ථක ලෙස රටපුරා ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව මැතිවරණ කාලවලදී සිදුවන සිද්ධියක් නිසා මැතිවරණ නීති උල්ලංඝනය වෙනවා නම් ඒ දේ සිදුවීමට පෙර වළක්වාගැනීමත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් සිදුකරනවා. මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය වෙනවා නම්, ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මීට අමතරව නිරීක්ෂණ කණ්ඩායම් ඡන්දපොළ තුළ සිටීමත් මැතිවරණ නීති උල්ලංඝනය වීම අඩුවීමට හේතුවෙලා තියෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව වැඩි වශයෙන් චෝදනා එල්ලවුණේ ආණ්ඩු පක්ෂයට. ඒත් මෙවර මැතිවරණයේදී මේ තත්ත්වය විපක්ෂයටත් ගමන්කරලා තියෙනවා නේද?
මෙවරත් ප්‍රධානම චෝදනා එල්ල වෙන්නෙ ආණ්ඩු පක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලයට. විශේෂයෙන්ම පොදු දේපළ භාවිත කිරීම්. රාජ්‍ය දේපළ භාවිත කිරීමේ චෝදනාත් මෙම කණ්ඩායම්වලට එල්ලවෙනවා. හැබැයි වර්තමානය වනවිට විපක්ෂයේ පක්ෂවලටත් පොදු දේපළ භාවිත කිරීම් පිළිබඳව චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මැතිවරණ ප්රචාරක කටයුතුවලදී නීතිවිරෝධී ආකාරයට කටයුතු කිරීමේ චෝදනාත්, ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට පොදුවේ එල්ලවෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනයවීම්වලට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ මනාප ක්‍රමය බව පැවසෙනවා. මෙය සැබෑවක්ද?
බැලූ බැල්මට පේන්නෙ මනාප ක්‍රමය නිසා තමයි එකම පක්ෂයේ ගැටුම් ඇතිවීම කියන කාරණය අතිවෙන්නෙ කියලා. මෙතනදි එක්දෙයක් කියන්න ඕන. මනාප වෙනුවෙන් එකම පක්ෂය අතර ගැටුම් ඇතිවෙන්න ගත්තෙ මෑත කාලයේ ඉඳලා. මොකද ඒ වෙනතුරු තිබුණෙ පක්ෂ, පක්ෂ අතර ගැටුම්. ඒත් එක් පක්ෂයකට තවත් පක්ෂයක් අභියෝගයක් නොවන තත්ත්වයක් වර්තමානයේදී ඇතිවෙලා තියෙනවා. මේ නිසා ජයග්‍රහණය කරන පක්ෂයේ අය තමන්ගේ මනාප ප්‍රමාණය ඉහළ දමාගැනීම සඳහා තනි තනිවම කටයුතු කරනවා. ඒත් පක්ෂ අතර තරගයක් තිබුණා නම් ඔවුන් කටයුතු කරන්නෙ සියලුම දෙනා එකතුවෙලා පක්ෂය දිනවීමටයි. හැබැයි මැතිවරණ නීති උල්ලංඝනය වීමට හේතුවෙලා තියෙන එකම ක්‍රමය ලෙස මනාප ක්‍රමය හඳුන්වන්න බෑ.
වත්කම් බැරකම් නොදෙන දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිද?
වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා භාරදීමේදී ලබාදෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව ජයග්‍රහණය කරලා මාස තුනක් තුළ ලබාදෙන්න හැකියාව තියෙනවා. මේ වනවිට මැතිවරණ කොමසාරිස්වරයා දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හැමකෙනෙකුටම අදාළ කාලසීමාවේදී වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න සිදුවෙලා තියෙනවා. මේකෙ ප්‍රායෝගික වටිනාකම ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මෙම ලේඛන බහා තබන එක තමයි කරන්නෙ. ඒවා විවෘත කරන්නෙ යම් ගැටලුවක් ඇතිවුණොත් පමණයි.
නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පක්ෂවලට පැවරී තියෙන්නෙ මොනවගේ වගකීමක්ද?
සාධාරණ මැතිවරණයක් ගැන කතාකරනවා නම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රධාන වශයෙන් ඒකාබද්ධව ක්‍රියා කළ යුතුවෙනවා. මේ ආකාරයට අපේක්ෂකයන් ඒකාබද්ධ කරලා මැතිවරණ නීති උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරන ලෙස පක්ෂයේ ප්‍රධානීන් දැනුවත් කිරීම සහ සොයාබැලීම සිදුකළ යුතුයි. සෑම පක්ෂයක්ම මෙවැනි දේ සිදුකරනවා නම් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම එතරම් අපහසු නෑ.
දකුණ, බස්නාහිර මැතිවරණයට ජාත්‍යන්තර නිරීක්ෂකයන් අවශ්‍යමද?
පොදුවේ ගත්තම, ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වන්නෙ ජනාධිපතිවරණයකදි හා පාර්ලිමේන්තු මැතිවරණයකදි විතරයි. ඒත් පසුගිය පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිසා විදේශ නිරීක්ෂකයන් ගෙන්නුවා. ඒත් මෙවර මැතිවරණයේදී තවම එවැනි අවශ්‍යතාවක් දැනිලා නෑ.