රටට බලපෑ ආපදා තත්ත්වය බැහැරව යන විට අමාත්‍ය සංශෝධනයක් සිදු වී තිබේ. මේ සම්බන්ධව හා වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සංවාදයකි මේ.
Q ඉකුත් කාලයේ පැවැති ආපදා තත්ත්වයේදී ඒකාබද්ධ විපක්ෂයේ කාර්යභාරය සිදුවුණේ කොහොමද?
ජනතාවාදී වැඩපිළිවෙළක අපි හිටියේ. ප්රචාරකවාදී වැඩපිළිවෙළක නෙමෙයි. උදාහරණයකට මාතර ගත්තම දේශපාලන ධාරාව විදියට පළමුවෙන්ම ආපාදාවට පත්වෙච්ච ජනතාව එක්ක සමිබන්ධ වුණ කණ්ඩායම තමයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම. ආපදාව වෙලා පළමු පැයේ ආණ්ඩු යාන්ත්‍රණය ඇනහිටලා තිබුණෙ.
ආණ්ඩුවෙ දේශපාලඥයන් තුෂ්ණිම්භූත වෙලා හිටිය වෙලාවෙ මුලින්ම ජනතාව අතරට ගියේ අපි. නමුත් අපි මාධ්‍යවලට එන්න කියලා ප්‍රචාරය සඳහා කළේ නැහැ. අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා කිසිම මාධ්‍යයක ප්‍රදර්ශනය කරලා බාල ප්‍රචාරයක් ගන්න කටයුතු කරන්නෙ නැහැ කියලා.
Q ඔබ පවසන්නෙ රජය මේ ආපදාවට නිසි ලෙස මුහුණදුන්නේ නැති බවද?
ආණ්ඩුව පළමුවෙනි පැය 48 අකර්මණ්‍ය වුණා. ආණ්ඩුවට තිබුණෙ නිර්වින්දනය වෙච්ච තත්ත්වයක්. අපි පිළිගන්නවා ස්වාභාවික විපත් නතර කරන්න බැහැ කිසිම රජයකට. නමුත් ස්වාභාවික විපත් කළමනාකරණය කිරීමේ හැකියාව තියෙන්න ඕන ආණ්ඩුවකට.
ඔවුන්ගේ කළමනාකරණ දුර්වලතා නිසා මේ ව්‍යසනය වෙලා පැය 48 ක් යදිදි තක්බීර් වෙලා හිටියේ. කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බැරි තත්ත්වයක හිටියේ. ආණ්ඩු යාන්ත්‍රණය වෙනුවට ක්‍රියාත්මක වුණේ සමාජ යාන්ත්‍රණය සහ මාධ්‍ය යාන්ත්‍රණය ඒක විශේෂයක්.
Q නමුත් මහින්ද රාජපක්ෂ පාලන කාලයෙත් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත්ව තිබුණෙ නැහැ නේද?
නෑ ඒක වැරදියි. ව්‍යසනයක් වෙච්ච හැම අවස්ථාවකම අපේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් කෙරෙහි විශ්වාසය තියලා වගකීම් පැවරුවා. ඒ කාලයෙත් මාධ්‍ය යාන්ත්‍රණය සහ සමාජ යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. හැබැයි පෙරමුණ ගත්තෙ රාජ්‍ය යාන්ත්‍රණය. ඒකට හේතුව තමයි ආපදාවක් වෙච්ච පළමු වෙනි තත්ත්පරේම දේශපාලන නායකත්වයක් තිබුණා.
අනික රාජ්‍ය නිලධාරීන් විශ්වාස කළා. ඒ නිසා ඔවුන්ට වගකීම් පැවරුවා. දැන් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන නායකත්වය දෙන්නෙ නෑ වගේම රාජ්‍ය නිලධාරීන් කෙරෙහි විශ්වාසයක් නැහැ. කාර්යක්ෂම රාජ්‍ය සේවය පිළිබඳ ආණ්ඩුව කොයි වෙලාවකවත් විශ්වාසය තියන්නෙ නැහැ.
Q එය කොතැනින්ද නිවැරදි විය යුත්තේ?
ආණ්ඩුව පැත්තෙන් නිවැරදි වියයුතුයි. ඔවුන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන රාජ්‍ය නිලධාරීන්ට බලතල පැවරිය යුතුයි.
Q ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
ජෝන් මහත්තයගෙ අශීලාචාර භාෂාව සහ හැසිරිම ගැන අපට වගකියන්න බැහැ. එතුමාට තමන්ගේ අශීලාචාරකම ලෝකයට පෙන්වන්න තියෙන අයිතිය අපි පිළිගන්නට ඕන. අනිත් පැත්තෙන් මේක මාධ්‍යය සම්බන්ධයෙන් එජාපයේ ප්‍රතිපත්තිය. මම නියෝජනය කරන පක්ෂය ඇතුළුව මේ රටේ බලයට ආපු හැම ආණ්ඩුවක්ම මාධ්‍යයට රිදවලා තියෙනවා.
පහරදීලා, තර්ජනය කරලා, මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට තර්ජනය එල්ල කරලා තියෙනවා. හැබැයි 77 සිට 94 දක්වා තිබුණු ආණ්ඩුවලින් මාධ්‍යයට දරුණු පීඩනයක්, ඉතාම ප්රචණ්ඩ තත්ත්වයක් එජාප රජය තරම් කවුරුවත් කරලා නැහැ.
Q ජෝන් අමරතුංග මහතා සම්බන්ධයෙන් ඔබ දැවැන්ත හෙළිදරව්වක් සිදුකළා?
ඔව්, ජෝන් අමරතුංග මහතා මාධ්‍යයට අත තියපු පළමු වතාව මෙය නෙමෙයි. භීෂණ සමයේ මමත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ කාලයේ දිනපතා පුවත්පතක සේවය කළ ඩබ්ලිව්. සුරේන්ද්‍ර සහෝදරයා අනපේක්ෂිත හදිසි රිය අනතුරකට මුහුණපෑවා.
ඔහුගේ ඔරලෝසුව සහ හෙල්මට් එක ලැබුණෙ ජෝන් මහත්තයගෙ ගෙදර තිබිලා. දැන් මේ බැණ වැදුනු මාධ්‍යවේදීන් දෙදෙනාගේ හිස්වැසුම් සහ ඔරලෝසුව ජෝන් ඇමතිවරයාගෙ නිවසේ ගරාජයේ තිබිලා ඉදිරි කාලයේ හමුවුණත් අපි පුදුම විය යුතු නැහැ. මොකද එජාපයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය එයයි.
Q නමුත් මේ රටේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් කතා කළ සිවිල් සංවිධාන ඇතුළු පිරිස් මුනිවත රකිනවා නේද?
ඇත්තටම ඔව්. මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පසුගිය මැතිවරණ වේදිකාවල කෑගහපු හැම දෙනාටම කියන්නෙ කරුණාකරලා ඔබේ දෑස නිරුවත් කරගන්න කියලා විතරයි.
Q GSP බදු සහනය ගැන ඔබේ මතය කුමක්ද?
GSP බදු සහනය සම්බන්ධව යුරෝපා සංගමය ආණ්ඩුවට පනවපු කොන්දේසි මොනවද කියන එක තාම රහසක්. එම බදු සහනය ලැබෙන එක හොඳ දෙයක්. හැබැයි රටේ ස්වාධීනත්වයට හෝ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියේ කොන්දේසියකට යටත් වෙලා එය ලැබෙනවා නම් ඵලක් නැහැ.
එදා අපි එහෙම යටත් නොවී රටේ ස්වාධීනත්වය වෙනුවෙන් තමයි එහෙම පියවර ගත්තේ . ඒ නිසා රජය ජනතාවට පවසන්න ඕන යුරෝපා සංගමය කොන්දේසි පැනෙවුවාද, ඒ මොනවාද කියලා. එහෙම කිසිවක් නැතුව එම බදු සහනය අපේ රටට හිමිවුණා නම් අපි රජයට ප්‍රශංසා කරනවා. මහින්ද මහත්තයත් ඉන්නේ ඒ මතයෙම තමයි.
Q මුදල් අමාත්‍යායංශය යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා. මෙය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද?
දැන් අපේ රටේ පළමු වතාවට අමාත්‍යාංශයක් නිර්මාණය වුණා විදේශ කටයුතු සහ ලොතරැයි කටයුතු කියලා. අමාත්‍යාංශ විද්‍යාත්මකව බෙදනවා කියලා මැතිවරණයකදි පොරොන්දු වෙච්ච එකම ආණ්ඩුව මේ. එහෙම පොරොන්දු දීලා මේ වගේ ප්‍රාථමික ආකාරයේ පෞද්ගලික වාසි සඳහා අමාත්‍යාංශ විෂයයන් වෙන් කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්.
Q ඇතැමුන් චෝදනා නගනවා ව්‍යසනයක් අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීම වැරදියි කියා?
මහා ව්‍යසනයකට රට මුහුණදී තිබෙන වෙලාවක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගේනවා. ඒකෙන් පෙන්නුම් කරන්නෙ ආණ්ඩුවේ බිළිඳුකමයි, දිළිඳුකමයි. අනෙක් පැත්තෙන් ගත්තාම මෙතෙක් කලක් කාමරවලට රණ්ඩු වුණේ හෙදියන් සහ දොස්තර මහත්තුරු දැන් අමාත්‍යවරු කාමරවලට රණ්ඩුවක් නිර්මාණය වෙලා තියෙනවා ඉතිහාසයේ පළමු වතාවට. මේකද මේ අය ගේනවා කියපු යහපාලනය.
Q මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය ඔබ මැදිහත්ව විසඳුණා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
නෑ ඒක බොරු කතාවක්. කොයි වෙලාවකවත් ඔහු පක්ෂයෙන් ඉවත් වෙන්න ගියේ නැහැ. එය බොරුවක්.
Q නමුත් මුහුණු පොතේ ඔහු සටහනක් තබමින් පවසා තිබුණා, ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතුවලින් ඉවත් වෙනවා කියලා?
ඔබ ඒක හරියට කියවලා නැහැ. ඒ සටහනේ කොතනක හරි බලන්න පක්ෂයෙන් ඉවත් වෙනවා කියලා තියෙද කියලා. කොතැනකවත් නැහැ. තියෙන්නෙ වැඩ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වෙනවා කියලා පමණයි.
Q වැඩ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වුණා කියන්නේ පක්ෂයෙන් ඉවත් වෙන්න මූලික පියවරක් ගත්තා හා සමානයි නේද?
නෑ, එහෙම නෙමෙයි. එතුමාගේ යම් ප්‍රශ්නයක් හමුවේ තාවකාලිකව වැඩ කටයුතුවලින් ඉවත් වෙන්න තීරණය කරලා තිබුණා. දැන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ආපදාවේදී අපි එකම පවුලක් වගේ කටයුතු කළේ.
Q වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබේ අදහස?
ඇත්තටම සංවර්ධනයක් රටේ වෙනවාද? ආණ්ඩුව සංවර්ධනය මනින දර්ශක තියෙනවානේ. දැන් මොන දර්ශකයෙන්ද ඉදිරියට ඇවිත් තියෙන්නේ. ඒකපුද්ගල ආදායම වැඩිවෙලා තියෙනවාද? විදේශ වත්කම් වැඩිවෙලා තියෙනවාද? උද්ධමනය පහළ වැටිලා තියෙනවාද? විරැකියාව අඩුවෙලා තියෙනවාද? එහෙම නැත්නම් පොලි අනුපාතය අඩු වෙලා තියෙනවාද?, රටේ ඉතිරි කිරීමි වැඩි වෙලා තියෙනවාද?, මම ඔබට අභියෝග කරනවා සංවර්ධනය මනින මේ දර්ශනවලින් මට කියන්න රජය මොනවයින්ද ඉදිරියට ඇවිත් තියෙන්නෙ කියලා.
Q ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?
දෙපැත්තකින් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් මේ ආණ්ඩුව මැතිවරණ දෙකකදි රටේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා ආණ්ඩුවට ලොකු බලපෑමක් කරනවා. අනිත් පැත්තෙන් එය ඉෂ්ට කළේ නැත්නම් ආණ්ඩුව පළවාහැරීම සඳහා අපි කොන්දේසි විරහිතව සටන් කරනවා.