මහ මැතිවරණය නිමාව දකින්නේ එ.ජා.ප.ට බලයක් හිමිකර දෙමිනි. එය බහුතර බලයක් නොවූවද එ.ජා.ප රජයක් පිහිටුවීමේ අර්බුදයක් පෙනෙන්නට නැත. මේ නිසා එ.ජා.ප ය රටේ සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය නොවෙයි. එහෙත් මෙය කෙටි කාලීන තත්ත්වයක් පමණි. එ.ජා.ප ය ශක්තිමත් රජයක් බවට පත් නොවන්නේ නම් ඉක්මනින් අර්බුද නිර්මාණය වන්නට ඇති ඉඩකඩ වැඩිය. වර්තමාන ආණ්ඩුව එය සිතෙහි තබාගෙන වැඩ කටයුතු කළ යුතු බව නොරහසකි.
මැතිවරණයේ අන්ත දෙක
මෙවර මැතිවරණය බලාපොරොත්තු වූ පරිදිම අවසානයේ අන්ත දෙකක තරගයක් බවට පත්විය. මහින්දවාදී සහ මහින්ද විරෝධී එම අන්ත දෙකයි. මේ නිසා සත්‍යය ලෙසම ගතහොත් එ.ජා.පයෙන් කෙසේ වෙතත් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට එන්නේ ජනතාව සම්පූර්ණයෙන්ම අපේක්ෂා කරන ජනතා නියෝජිතයන් නොවේ. මෙවර සන්ධානයට ඡන්දය ලැබෙන්නේ මහින්ද අගමැති කිරීම සඳහාය.
බොහෝ ප්‍රදේශවල අපේක්ෂකයන් පෝස්ටර් ගැසුවේත් දැන්වීම් පළ කළේත් කුරුණෑගල අංක 16 ටත් කතිරය ගසන්නට කියාය. මේ නිසා ඇතැම් දිස්ත්‍රික්කවල නොසිතූ ලෙස අංක 16 අපේක්ෂකයන් ඉහළ මනාප අගයන් ලබා ගෙන ඇති බවද ප්‍රතිඵල නිරීක්ෂණයෙන් පෙනේ. මේ ආකාරයෙන් ධ්‍රැවීකරණය වීම නිසා සන්ධානයේ බලාපොරොත්තුව කුමක්ද යන්න ගැන පැහැදිලි ඉඟියක් ඡන්ද දායකයාට නොවීය.
ඔවුන් මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්හ. එය මහමැතිවරණයක අභිප්‍රාය නොවේ. ප්රජාතන්ත්රවාදයේ මූලික හරයද නොවේ. මේ අනුව මෙවර සන්ධානයට ඡන්දය දුන් සැමදෙනාම කල්පනා කළ යුතු වන්නේ තමන් තෝරා යැවුවේ තමන්ගේ මතය පාර්ලිමේන්තුවේ කතා කිරීමට හැකි තමන් වෙනුවෙන් නීති සම්පාදනය කළ හැකි පිරිසක්ද නැත්නම් මහින්ද මහත්තයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට පැමිණි පිරිසක්ද යන්නයි.
මෛත්‍රීගේ ජය සහ පරාජය
මේ අන්ත දෙකේදී මහින්දවාදීන් නිතරම කියූ දෙයක් වූයේ මහින්ද වෙනුවෙන් පෙනී සිටි පිරිස පාර්ලිමේන්තුවට යවන ලෙසයි. ඔවුන් පළමුව මෛත්‍රී මිතුරෙකු ලෙසත් දෙවනුව සතුරෙකු ලෙසත් තෙවනුව යමපල්ලෙකු ලෙසත් දුටුවහ. මේ නිසා මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටි පිරිසට ඡන්ද ලැබුණේ අඩුවෙනි. ඒ වෙනුවට මහින්ද වෙනුවෙන් කතා කළ සියලු දෙනාටම ඡන්දය ලැබුණි. මහින්දට විරුද්ධ වූ පිරිසට ඡන්දය නොදෙන්නැයි ප්‍රසිද්ධ ඉල්ලීම්ද විය. ඒ අනුව සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය පරාජයට පත් විය. දුමින්ද දිසානායක හැර මෛත්රීපාර්ශවය වෙනුවෙන් පෙනී සිටි කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නැත. ඒ අනුව මෛත්‍රී පරාජයට පත්විය.
එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරයක් මහින්දට හෝ රනිල්ට නොයන ලෙස මෛත්‍රී ගැසූ ගේම් එකෙන් මෛත්‍රී ජයගත්තේය. මේ දෙදෙනාගෙන් කාට බහුතරය ලැබුණද එය ප්‍රශ්නයක් බව මෛත්‍රී දැන සිටියේය. ඒ නිසා ඔහු මහින්ද විරෝධය හෝ රනිල් විරෝධය උත්සන්න වෙන්නට අවස්ථාවක් දුන්නේ නැත. මෛත්‍රීගේ මේ ගේම් එකෙන් පහර වැදුනේ ජ.වි.පෙ.ටය.
අවසන් සතියේ මෛත්‍රී මහින්ද ලිපි හුවමාරුවෙන් මහින්දත් එපා රනිලුත් එපා කියා ජ.වි.පෙ.ට ඡන්දය දෙන්නට තීරණය කළ බොහෝ දෙනා ආපසු හැරුණේය. කොටසක් මෛත්‍රී සන්ධානයට හරස්වෙන්නේ යැයි සිතා මහින්ද අගමැති කළ යුතුමැයි කියා ඡන්දය දුන් අතර අනෙක් කොටස දැන් මහින්ද නැගිටින්නේ නැතැයි කියා යූ.ඇන්.පි.යට ඡන්දය දුන්නේය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජ.වි.පෙ.ට තීරණාත්මක බලයද අහිමි වීමයි. ඒ අනුව සියලු බලය යළි ජනාධිපතිවරයා වෙතම කේන්ද්‍ර විය. එය හොඳ තත්ත්වයක්ද නැද්ද යන්න තීරණය වන්නේ ඉදිරි වසර දෙකක කාලයේදී ජනාධිපතිවරයාගේ හැසිරීම අනුවය.
ශ්‍රී.ල.නි.ප.යේ අනාගතය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එහි නායකයන් මේ මැතිවරණයෙන් පසුව දැඩිව කල්පනා කළ යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙවර ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව සන්ධානයක් බවට පත්වී කුඩා පක්ෂ ශක්තිමත් කිරීමේ කාර්යයේ නිදහස් පක්ෂයේ නායකයෝ නියුතු වූහ. මෙයින් උපරිම වාසිය ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සමත් විය.
විමල් වීරවංශගේ නායකත්වයෙන් ඔහු ඇතුළුව තවත් සිවුදෙනෙකු පාර්ලිමේන්තුවට යැවීමට නිදහස් පෙරමුණ සමත් විය. කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය වැඩි දෙනා උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෝ නොවූහ. කොළඹ දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය අය අතර ජා.නි.පෙ., මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ නායකයන් වූ අතර ඉතිරි තිදෙනා එ.ජා.පයේ සිට පසුකලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණි පිරිසය.
මෛත්‍රී ජනාධිපතිවරයා ඡන්ද විමසීම ආසන්නයේ දී මහින්ද රාජපක්ෂ වෙත යැවූ ලිපියට අනුව නම් මෛත්‍රී ඉදිරියේ දී උත්සාහ දරනු ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමටය.
එය ඉතා අපහසු කටයුත්තක් වන්නේ මේ වනවිට බොහෝ දෙනෙකුගේ සිතින් අත මැකී ගොස් බුලත් කොළය ශක්තිමත්ව සටහන්ව තිබීම නිසාය. මේ නිසා මෛත්‍රී එම අසීරු මාර්ගය තෝරා ගන්නේ නම් මේ වනවිට කෙසේ හෝ බලය ලබා ගතයුතු යැයි සිතන සන්ධාන නියෝජිතයන්ගෙන් පක්ෂය ගලවා ගෙන යළි ක්‍රමයෙන් අත ලකුණ ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය. මේ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන තීරණාත්මක අවස්ථාවක් වන්නේද මෙම වාතාවරණය තුළය.
ඒ සඳහා පක්ෂය යනු මහින්ද නොවේය යන්න තමන්ගේ මන්ත්‍රීවරුන්ටත් පාක්ෂිකයන්ටත් තේරුම්කර දීමට මෛත්‍රීට සිදුවෙයි. මේ මැතිවරණයේදී අපේක්ෂකයන්ද පාක්ෂිකයන්ද කටයුතු කළේ පක්ෂය යනු මහින්ද ලෙස සිතමිනි. එයින් පාක්ෂිකයන් මුදවා ගැනීමේ වගකීම ඇත්තේ මෛත්‍රී අතය.
මහින්ද
මහින්ද මේ මැතිවරණයේ පරාජයෙන් පසුව තමන්ගේ දේශපාලන දිවියෙන් විවේක ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. එහෙත් මහින්ද කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස දිගටම කටයුතු කරන බවයි. මෙය බලය පිළිබඳ තණ්හාව මිස වෙන එකක් නොවේ. මහින්ද ටී.එන්.ඒ. එක එකතු කරගෙන හෝ ආණ්ඩුවක් හදන්නට උත්සාහ කළොත් පුදුම නැතැයි සමහරු කියන්නේ මේ නිසාය.
අලුත් ආණ්ඩුවක් හැදීමට මහින්ද මේ අවස්ථාවේ දී උත්සාහ කිරීම ප්‍රශ්න රැසකට මුලය. ඔහු අවසන් වසරක කාලයේ දී සියල්ල නැති කර ගන්නේ මේ කලබලය නිසාය. ඔහු පාර්ලිමේන්තුවේ පසුපස අසුනකට වී කල්මැරුවොත් ඔහුට ඔහුගේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදාවෙන්නට ඉඩ නැත්තේද නොවේ. එවැනි අවස්ථාවක් නිර්මාණය වීමට මෛත්‍රීගේ පාර්ශ්වයෙන් එ.ජා.ප ආණ්ඩුවට එක්වන පිරිසගේ හැසිරීම වැදගත්වෙයි.
මේ වනවිට මෙම කණ්ඩායම මහින්ද විරෝධීන් වීම නිසා දැන් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් රනිල් වික්‍රමසිංහ පාලනයේ ඇති එක් ලක්ෂණයක් වන්නේ තද තීන්දුය. මේවා මහින්දගේ පාලනය යටතේ කාලයක් සිටි මිනිසුන්ට තේරුම් යන්නේ නැත. මහින්ද හොඳ යැයි ඇතැමෙකුට සිතෙන්නට ඉඩ ඇත්තේ මේ නිසාය. එවිට මහින්දගේ වාරය එනු ඇත.
ආණ්ඩුවේ අභියෝගය
ඒ අනුව නව ආණ්ඩුවට අභියෝග රැසක් තිබේ. පාරදෘශ්‍යභාවයකින් කටයුතු කිරීම පළමු වැන්නයි. මහින්දගේ ආර්ථික බුබුල පිපිරෙන්නට පෙර ආර්ථිකය නිවැරදි මාර්ගයකට ගෙන ඒම දෙවැන්නයි. අනෙක් කරුණ ඉවසීමයි. මහින්දගේ තියරිය ඉගෙන ගත් බොහෝ දෙනාට රනිල් එක්වරම තමන්ගේ තියරිය උගන්වන්නට උත්සාහ කළහොත් එය ගැටුමකට මුලවනු ඇත.
එහෙයින් තමන්ගේ තියරිය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ ජනතාවට හෙමින් සීරුවේ කාන්දු කිරීමට රනිල් ප්රමුඛ ආණ්ඩුවට සිදුවෙයි. එවිට මහින්ද සාටකය ක්‍රමයෙන් සිතින් මැකී යනු ඇත. එය නිතර මතක් කර ගැනීම ආණ්ඩුව කළ යුතුය. මහින්ද විපක්ෂයේ අසුන් ගැනීම මේ මතක් වීම නිරන්තරයෙන් සිදුවීමට හේතුවක් වනු ඇත. ඒ අනුව මහින්ද පාර්ලිමේන්තුවේ සිටීම තමන්ගේ වාසියට හරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නැත්නම් එය වසරකින් දෙකකින් මහා අවාසියක් වීමට ඉඩ වැඩිය.
ජ.වි.පෙ.
ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේ දී අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පිළිගත්තේය. එය මේ රටේ බහුතර ඡන්දදායකයාද පිළිගන්නා තත්ත්වයකි. එහෙත් එයට වග කිවයුත්තේද ඡන්දදායකයාමය. මම නොගැහුවාට අනෙකා ජේ.වී.පී එකට දෙයිනේ කියා අලියාට හෝ බුලත් කොළයට ඡන්දය දුන් ඡන්ද දායකයා ජ.වි.පෙ. ලැබූ මේ පරාජයට වගකිව යුතුය.
අනෙක් අතින් ජ.වි.පෙ. යම් දිස්ත්‍රික්ක වලට බර තැබූ ආකාරය ගැනද නැවත අවදානය යොමු කළ යුතුය. එයින් තමන්ට අවම වශයෙන් ලැබෙන්නට තිබූ තවත් ආසන 4 ක් අහිමි වූ බව ඔවුන් තේරුම් ගත යුතුය. එසේම ප්රචාරක ක්‍රමවේදය ඕනෑවට වැඩි වූවාදැයි සැකයක්ද ඇති වේ. පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ජනතාව දැනුම්වත් කිරීමට ජ.වි.පෙ. ප්රචාරක වැඩ පිළිවෙළක් දියත් කළේය. එහිදී ද ඔවුන්ගේ ඉලක්කය වූයේ රාජපක්ෂයි. ජනාධිපතිවරණයෙන් පසුව මෙවර මහමැතිවරණයේ දී ද රාජපක්ෂ ප්‍රධාන ඉලක්කය වුණි. මේ කාර්යයේදී ඔවුන්ට කියන්නට සිදුවූයේ එකම දෙයකි. එය ජ.වි.පෙ.ට අවාසියක් වූ බව අපේ හැඟීමයි.
අනෙක් අතින් ජ.වි.පෙ. කුණු හොයන්නාගේ භූමිකාවෙන් මිදිය යුතුව තිබේ. එතැනින් එහා ගිය වෙනසක් අවශ්‍යය. එය ජනප්‍රිය දේශපාලනයේ අංග එකතු වූ තත්ත්වයක් බවට පත්නොවන තාක් ජ.වි.පෙ. ඉදිරියට එන්නේ නැත. තමන්ගේ පිරිස් බලයෙන් අනෙක් දේශපාලඥයන් මුදල් බලයෙන් සිදු කරන කාර්යයන් සිදු කිරීමට ජ.වි.පෙ.ට සිදුවෙයි. අලුත් ක්‍රමවේදයක් අවශ්‍ය යැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුය.
මැ.කො. වීරයා
සමස්ත මැතිවරණ ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරීන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීම කොතරම් වැදගත් වන්නේදැයි පැහැදිලිව දැකගත හැකි විය. පසුගිය ජනාධිපතිවරණයේදී කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ මැතිවරණ කොමසාරිස්වරයා මෙවරද ඒ ආකාරයෙන්ම කටයුතු කළේය. ඔහුගේ මේ ක්‍රියාකලාපය නිසා වසර ගණනාවකට පසු නිදහස් මැතිවරණයක් දැකගත හැකි විය. සෑම දෙනාටම එක හා සමාන අවස්ථාවන් ලබා දීමට සියලු දෙනාට හැකි විය. එසේම තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැකිළීමකින් තොරව පිළිතුරු දෙන්නට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළේය. මැතිවරණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය වැඩි කරන්නට මෙවර මැතිවරණය අවසන් වෙද්දී මැතිවරණ කොමසාරිස්වරයාට හැකි විය. මෙය දියුණු මැතිවරණ ක්‍රියාවලියකට ගමන් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් කර ගත යුතුව තිබේ.