මහවැසි ඇදහැළිණි. රටම ගිලගත් අවාසනාවන්ත ඛේදවාචකය සමග මෙරට කෘෂිකර්මාන්තයට ඉවහල් විය හැකි අතුරු කතාබහක් වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q මේ හදිසි වෙනස්වීම කුමක්ද?
දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ කතා කළොත් මැයි මාසයේ මැද සිට වැසි තත්ත්වය වර්ධනය වීමක් හැසෑම වසරකම දකින්නට ලැබෙනවා. අතීතයේත් මෙවැනි තත්ත්වයන් ඇතිවී තිබෙනවා. දේශගුණික විපර්යාසයන් නිසා මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවිය හැකියි.
Q එහෙම වන්නේ ඇයි?
මෙයට හේතු 02ක් බලපානවා. පළමුවැන්න දේශගුණික තත්ත්වයන් නිසා ඇතිවන තීව්‍රතාව නිසා මෙවැනි අවස්ථා දැකිය හැකියි.
දෙවැන්න මිනිසාගේ ක්‍රියාකාරකම් මෙයට හේතු වෙනවා. මම උදාහරණ දෙන්නම්. තෙත් කලාපය හිතන්න. තෙත් කලාපයේ ගංවතුර ස්වභාවික දෙයක්. තෙත්බිම් මතුපිට වැවෙන තෘණලතා ආදිය සමග ඒවා ස්පොන්ච් එකක් ලෙස ක්‍රියාකරනවා. නමුත් මේ වනවිට ඒවා ඉවක් බවක් නැතිව ගොඩකරන නිසා ගංවතුර අවස්ථාව දක්වා වර්ධනය වෙනවා.
අනික කොන්ක්‍රීට්කරණය නිසා පොළවට ජලය උරාගැනීමේ හැකියාව නැතිවෙලා තියෙනවා. තවත් පැත්තකින් කඳුකර ප්‍රදේශය ගත්තොත් වන විනාශය මෙයට අනුබලයක්. පාංශු ඛාදනයට එය ඇනුබලයක් වී තිබෙනවා. කඳු එළිපෙහෙළි කිරීම නිසා පසට ජලය එකතු වන්නේ නැහැ. එනිසා පසට ජලය උරාගැනීමේ හැකියාවක් නැහැ. ජලය වේගයෙන් පහළට ගලාගෙන යනවා. එයින් නායයෑම් තත්ත්වයන් වර්ධනය වෙනවා. ගංවතුර වේගය වැඩිවෙනවා.
එනිසා මේ සිදුවන වැසි සහිත කාලගුණයේ හානිය අස්වාභාවික දෙයක් නෙවෙයි. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන බලපෑම බව අපි තේරුම් ගෙන එවැනි තත්ත්වයන් ඇති නොවන පරිදි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මෙවැනි වේගයෙන් ගලාගෙන යන හෝ අපතේ යන ජලය භාවිතයට ගෙන අපට වාසිදායක පරිදි යොදාගත හැක්කේ ඒ අවට ගංගා හෝ ඇළදොළ ආශ්‍රිතව විශාල ජලාශ තිබුණොත් පමණයි. එතනදී ඒවාට ජලය එකතු වෙයි.
උදාහරණයක් ලෙස බොහෝ ජලාශ තියෙන්නේ මහවැලි ගංගාව අවට නිසා වැස්ස හේතුවෙන් ජලධාරක ප්‍රදේශවලට වාසිදායක තත්ත්වයක් ඇතිවෙනවා.කැලණි ගඟේ යම් තත්ත්වයක කුඩා පොකුණු ස්වභාවයක් තියෙනවා. ඒත් නිල්වලා ගඟත් ගිංගඟත් එවැනි වාසිදායක තත්ත්වයන්ට යොදාගත නොහැකියි. නමුත් වලවේ ගඟේ එවැනි යම් වාසිදායක අවස්ථා තියෙනවා.
Q වලවේ සහ මහවැලි ගංගා ගැන ඔබ කතා කළා. වාරි කර්මාන්තයක් වශයෙන් එය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වාසිදායක වන්නේ කොහොමද?
මහවැලි සහ වලවේ ගංගා දෙක නිරිත දිග සහ ඊසාන දිග මෝසම් දෙකටම මැදිවන එයට හසුවන ගංගාවන් දෙකක් නිසා ඒවාට ජලයෙන් අඩුවක් නැහැ. නමුත් කළුගඟටත්, ගිංගඟටත්, නිල්වලා ගඟටත් ජලය එකතු වන ආකාරයට වැසි පතිත වන්නේ නිරිත දිග මෝසම් කාලයට පමණයි.
Q මේ අපතේ ගලාගෙන යන ජලය ජනතාවට වින කරන විට අම්පාර පැත්තේ නියඟය හේතුවෙන් ජනතාව පීඩාවිඳින බව කියනවා. ඒ වෙනස මොකක්ද?
ඔබ කියන දේ පැහැදිලියි. අද ගංවතුර අඩුවන විට වුණත් සේනානායක සමුද්‍රයේ ජල ප්‍රමාණය 23%යි. ලංකාවේ විශාලතම වාරි කර්මාන්තය වශයෙන් හෙක්ටයාර් 50,000ක් යලමහ පටන් ගැනීමට අවශ්‍ය ජලය ධාරිතාවක් එහි තිබිය යුතුයි.
හුරුළුවැව ජලාශය ගත්තත් අද ඉතා අඩු ජල ප්‍රමාණයක් තියෙන්නෙ. රාජාංගණයේ 50%කට ටිකක් වැඩියි. වාහල්කඩ ජලාශයේ තියෙන්නෙත් 1/5යි.
Q මේ ජලය ඒ පැත්තට ගෙන යා නොහැකිද?
අපතේ යන ජලය එවැනි ජලය හිඟ පළාත්වලට ගෙනයන්න හැකියාවක් තියෙනවා නම් හොඳයි. ඒවා වියළි කලාපයට හැරවීමේදී විශාල පිරිවැයක් වගේම පරිසර හානිය පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුව තියෙනවා. විශාල වියදමක් දැරීමට සිදුවෙයි. ඒ වුණත් ලැබිය හැකි ආර්ථික වාසි විශාලයි. නිල්වලා ගිං සහ කළුගඟ වෙනත් ප්‍රදේශවලට හැරවීමට හැකි නම් නිසි පරිසර අධ්‍යයනයක් සහ ආර්ථික විශ්ලේෂණයක් කළ යුතුයි. කරනවා නම් හොඳ පියවරක්.
Q ලංකාවේ ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය වශයෙන් යොදවන භූමි ප්‍රමාණය සහ වගාවේ ප්‍රමාණාත්මක තත්ත්වයන් පැහැදිලි කළොත්?
මම කලින් කියපු හැටියට යලකන්නයේ වගාව සඳහා දළ වශයෙන් හෙක්ටයාර් අටලක්ෂයක බිමක් තියෙනවා. නමුත් සාමාන්‍ය වශයෙන් යලකන්නය වගා කෙරෙන්නේ එයින් 50%ක් පමණයි. නමුත් ගතවූ බලපෑම් සමග අපට මෙවර හෙක්ටයාර් ලක්ෂ 02ක්වත්, ඒ කියන්නෙ හතරෙන් එකක්වත් වගාකළ හැකිද කියන සැකය තියෙනවා.
ඒ කියන්නෙ ගතවූ දිනවල පැවැති සහ ගතවූ වර්ෂවල පැවැති නියඟයේ හානිය අනුව මෙවැනි අවදානමක් මතුවෙනවා. අනුරාධපුරය රජරට ගත්තත් වැව්වල ජලධාරිතාව අඩුවෙලා තියන්නෙ. කුඩා වැව් 14,000ක් තිබුණත් මේ ජල හිඟය හේතුවෙන් යලකන්නය පිළිබඳ අවදානම තියෙනවා.
Q එහෙමනම් මේ වැස්සෙන්වත් ඒ ජල හිඟයට පිළියමක් වුණේ නැහැ කියන එකද ඔබ කියන්නේ?
ඔව්. මේ මහවැසි වැස්සේ තෙත් කලාපයට මිස වියළි කලාපයට නෙවෙයිනෙ. මේ වැහි වියළි කලාපයේ ඔය කියන ජලාශවලට එකතු වුණා නම් මේ අර්බුදය මතුවෙන්නෙ නැහැ.
Q එහෙම නම් මේ අර්බුදය ජයගැනීමට ඉදිරි කාලයේ වගාකළ යුත්තේ කිනම් බෝගයන්ද?
වී ගොවිතැන වෙනුවට වෙනත් විකල්පයන්ට යෑමට සිදුවෙනවා. එතැනදි 'නියං ප්‍රතිරෝධි කෙටි කාලීන ආර්ථික බෝග' වගාව තෝරාගත යුතුයි. නමුත් කාලයේ ප්‍රමාණවත් බව අනුව බඩ ඉරිඟු වගේ දේ ගැලපෙන්නෙ නැහැ. සෝයා, මුංඇට, රට කජු වැනි කෙටි කාලීන ආර්ථික බෝග සුදුසුයි.
Q එසේනම් ඉදිරි කාලයේ ඉලක්කගත වී අස්වැන්න පිළිබඳ යම් සැකයක් පවතිනවා නේද?
ඔව්. හැකි සෑම අවස්ථාවකම කුඹුරු ඉඩම් වගාකරන්න යැයි අපි තෙත් කලාපයට උපදෙස් දුන්නා. අවාසනාවකට මෙන් මෙවැනි ව්‍යවසනයකට ගොදුරු වුණා. එනිසා මෙය රජයේ අනුබලය නොමැතිව ගොවියාට පමණක් ජයගැනීම අපහසු අර්බුදයක් බවට පත්වුණා. ඒ අවදානම අපට තියෙනවා. අපි සැලසුම් කළද අනපේක්ෂිත ආකාරයට පසුබෑමක් සිදුවුණා.
Q සහල් හිඟයක් ඇතිවෙයිද?
මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේ එවැනි හිඟයක් ඇති වෙන්න පුළුවන්. මොකද යල කන්නයේදී සමස්ත වගාබිම් ප්‍රමාණය වූ හෙක්ටයාර් අටලක්ෂයෙනුත් හෙක්ටයාර් හාරලක්ෂයක් වගා කළ යුතු වුවත්, වගාකළ හැකි වන්නේ එයින් අඩක් නම්, ඒ අවදානම විඳින්න සිදුවෙනවා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වගකීම මගහැරීමක් නෙවෙයි. පැවැති අයහපත් කාලගුණික විපර්යාසයන් සමග ඇතිවූ අනපේක්ෂිත තත්ත්වයක්. මේකට කවුරුවත් වගකිවයුතු වන්නේ නැහැ. ස්වභාවික විපත්වල ස්වභාවය අනුව ඒ අවදානම තිබෙනවා.