පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් පහසුකම් වැඩිකිරීමට යන බව පසුගියදා අසන්නට ලැබුණි. දැනට ලබාදෙන වැටුප් සහ දීමනා ප්‍රමාණවත් නොවන බව ආණ්ඩුව පැත්තෙන් සහ විපක්ෂය පැත්තෙන් ඇසෙන කතාවකි. පසුව දෙපක්ෂයේම මන්ත්‍රීවරු තමන්ගේ වැටුප් වැඩිවන යෝජනා අකුලා ගත්හ. මේ දේවල් ඇසෙද්දී මහජනතාව විමසන්නේ අවම වශයෙන් අවශ්‍යතා ටික සම්පූර්ණ වන සේ ජීවත් විය හැකි පරිදි තමන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ කවදාද කියාය. එය වෙනමම කතා කළයුතු මාතෘකාවකි. මහජන නියෝජිතයන්ගේ වැටුප සහ දීමනා ගැන ඔවුන් දරන අදහස් පහතින් දැක්වේ. එම කතාවලින් කියවෙන්නේ මොනවාදැයි ඔබම කියවා තෙරුම් ගන්න.
වැටුප නෙමෙයි. කාර්යාල දීමනාව, දුරකථන දීමනාව සහ ඉන්ධන දීමනාව වැඩි කළ යුතුයි
- එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
මට වැටුප පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප 54000 සීමාව ඇති කියලයි මම කියන්නේ. කාර්යාල දීමනාව, දුරකථන දීමනාව සහ ඉන්ධන දීමනාව වැඩි කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාල පහසුකම් ලබාදීම ප්‍රමාණවත් නැහැ. ඒක මෙවර යෝජනා වුණාට එය නැවතුණා. දැනට කාර්යාල පහසුකම් ඉතා අවම මට්ටමක තියෙන්නේ. දැන් අලුතින් හැදෙන ආංශික කාරක සභා එක්ක සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය වැඩි වෙලා තියෙනවා.
මෙතෙක් කලක් තිබුණේ විදේශ ඇමතුම් සහ අන්තර්ජාලය පරිහරණය නොකරන අතරතුර දුරකථන දෙකක් සීමාවක් නැතිව කතා කරන්න පුළුවන් විදියටයි. ඒ සීමාව 20,000 ඉක්මවා ගියොත් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් කරනවා. මෙවර යෝජනා කළේ සීමාව පැනවීම ඉවත් කරලා 50,000ක දීමනාවක් ලබාදීමටයි. ඉන් අන්තර්ජාලය ඇතුළු ඕනෑම ක්‍රමයකට පාවිච්චි කරන්න පුළුවන්. සමහර මන්ත්‍රීවරුන්ට අන්තර්ජාලය පරිහරණය අවශ්‍ය නැතිව ඇති. ඒත් තාක්ෂණය යොදා ගන්නා අපි වගේ මන්ත්‍රීවරුන්ට එය අවශ්‍යයයි. අන්ලිමිටඩ් කියන එක නැතිවෙන නිසා මෙම ක්‍රමය ආව නම් රජයට ලොකු ලාභයක් එනවා.
සියලුම දෙනාගේ වැටුප් සංසන්දනය කරලා මන්ත්‍රීවරයෙකුගේ වැටුපට දීමනා, වරප්‍රසාද ටික හදන්න ඕන
- එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ රටේ මන්ත්‍රීවරුන් බහුතරයක් බිස්නස්කාරයෝ නෙමෙයි කියලා ඒ ඒ ගම්වල ඉන්න ජනතාව දන්නවා. රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙමේ සමහර ආයතනවල සභාපතිවරු ගන්නවා ලක්ෂ 25-30 ගානේ වැටුපක්. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පඩිය ගැන නෙමේ කතා කරන්න ඕන, මොකක් හරි රාජ්‍ය ආයතනයකට සභාපති කෙනෙක් පත්වුණාම එයාගෙ පඩිය කීයද කියන එකයි. ගොඩක් අය මන්ත්‍රීවරුන්ගේ වැටුප ගැන පටලවගෙන කතා කරනවා.
මන්ත්‍රීගේ පඩිය ගැන හොයන්න කලින් සභාපතිගේ පඩිය කීයද, ආයතනයේ ඉංජිනේරුවාගේ පඩිය කීයද කියලා සෙවිය යුතුයි. එහෙම බලලා මන්ත්‍රීගේ වැටුප කීයද කියල බැලුවනම් හරි. ගොඩක් අය මන්ත්‍රීවරයෙකුගේ පඩිය එහෙට මෙහෙට කරලා විග්රහ කරනවා. මන්ත්‍රී කෙනෙක් ඕන නම් අවුරුදු පහක් ඉඳලා යාවි.
ඊළඟ වතාවේ දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. ඒක නිසා මේ ප්රශ්නය අල්ලගෙන තියෙන විදිය වැරදි බව කිව යුතුයි. පොදුවේ හැමෝම පාර්ලිමේන්තු මන්ත්‍රීව අල්ලගන්න හදනවා හංවඩු ගැසීම සඳහා. නමුත් හංවඩු ගහන්න ඕන තැන් තව ගොඩක් තියෙනවා. රටටම ඉන්නෙ මන්ත්‍රීවරුන් 225යි. ඒ අය රට වටේ දුවලා රටේ තියෙන ප්‍රශ්න මොනවද කියලා බලලා විසඳන්න ඕන.ඒකට ගැළපෙන පහසුකම් සාධාරණ ලෙස මන්ත්‍රීවරුන්ට ලැබිය යුතුයි.
කවුරුහරි හිතනවා නම් මන්ත්‍රීවරයෙක් පඩිය ගන්නේ කාලා බීලා ජොලි කරන්න කියලා ඒක වැරදියි. මන්ත්‍රී කෙනෙකුගේ ඔක්කොම දීමනා එක්ක එක්ලක්ෂ විසිදාහක් විතර තියෙන්නේ. ටෙලිකොම් එකේ සභාපතිට දීමනා එක්ක ලක්ෂ තිහක් ලැබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ දීමනා, අනෙකුත් වරප්‍රසාද, වාහන වැඩිකර ගැනීම අපි අනුමත කරන්නෙ නෑ
- ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
නිහාල් ගලප්පත්ති සහෝදරයා පාර්ලිමේන්තුවට තේරුණු දවසේ ඉදලම මේ දක්වා අපි කිසිම කෙනෙක් පෞද්ගලිකව මන්ත්‍රී වැටුප්, වරප්‍රසාද පරිහරණය කරලා නැහැ. අපි දේශපාලනයට එන්නේ ජනතා සේවයට නම් එවැනි කැපකිරීමක් කරන්න සූදානම් වෙන්න ඕන. නමුත් දැන් තියෙන්නේ ඊට වඩා වෙනස්ව ගිහින් හැන්ද අතේ තියාගෙන ඉන්න අයයි.
මේ වනවිට ජනතාවට අධික බදු බරක් පටවලා තියෙනවා. තවත් බදු වැඩිකරනවා. අයවැයටත් වඩා බදු වැඩිකළා. ජනතාව පටි තදකරගෙන ඉද්දි බලය තියෙන අය පඩි වැඩිකර ගැනීම සුදුසු නැහැ. අපිට ආරංචි වෙලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වාහනයක් සහ ඉන්ධන ලබාදෙන්න යනවා කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරයවත් අවබෝධ කර ගත්තේ නැති අය කියන තර්කයක් තමයි මේ මන්ත්‍රී වැටුපෙන් මහජන සේවය කරන්න බැහැ කියන එක.පහුගිය දෙසැම්බර් මාසෙදි අපි අපේ අදහස ලිඛිතව ගෘහකාරක සභාවටත්, කථානායකවරයාටත් දැනුම් දුන්නා. මේ අවස්ථාවෙදිත් පක්ෂ නායක රැස්වීමෙදිත් අපේ අදහස් කිව්වා. ඒ අනවශ්‍ය විදියට මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගැනීම හෝ වාහන ලබාගැනීම හෝ වරප්‍රසාද වැඩිකිරීමට යෝජනාවක් ආවොත් අපි ඒකට විරුද්ධව වැඩ කරනවා.