ගංවතුර බැස ගියේය. විපතට පත්වූවන් යළිත් නැගිටිය යුතුය. එහෙත් ඒ ගමන සිතන තරම් පහසු නොවනු ඇත. මේ සමාජ ඛේදවාචකය පිළිබඳ සංවාදයක යෙදෙනු වස් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහාය කථිකාචාර්ය සමිත ඥානරත්න මහතා සම්බන්ධ කර ගතිමු.
Q හැම අවුරුද්දෙම මෙහෙම විපත් ඇසෙන්නේ ඇයි?
රට තුළ ක්‍රමවත් ජල කළමනාකරණ ක්‍රමයක් නැහැ. මට හිතෙන විදිහට තියෙන්නේ කඳුරටින් උතුරට වතුර ගලාගෙන යන ක්‍රමයක් විනා රට තුළ අවශ්‍යතාවය අනුව එවැනි ක්‍රමයක් මෙතෙක් සම්පාදනය වී නැහැ. ඩුබායි රාජ්‍යය මේ වන විට හිම මිදෙන රටවලින් අයිස් ගෙනැවිත් ඒවා භාවිත කරමින් තමන්ගේ රටේ උණුසුම පාලනය කිරීමේ පරීක්ෂණ පිළිබඳ වාර්තා වෙනවා. අලුත් දේ ගැන හිතන සමාජයක් අපි අදටත් නිර්මාණය කර නෑ.
Q යටගිය අත්දැකීම් සහ අලුත් සිදුවීම් නැවත ආවර්ජනය කළොත්?
ඇත්තෙන්ම මේ තත්ත්වය හැමදාමත් අපි අත්දුටු විඳපු දෙයක්නේ. වැස්ස වහිනවා. නාය යනවා. ගෙවල්දොරවල් විනාශවී මිනිසුන් මැරෙනවා. උන්හිටි තැන් අහිමි වෙනවා. නමුත් අපට එහෙම වෙනවා කියල අපි අද දක්වාම ඒ දේ නිවැරදි කරගන්න ගත් ක්‍රියාමාර්ගයක් නැහැ. යම් ප්‍රතිකර්ම කළත් ඒවා ඒ වෙලාවට විතරයිනේ. නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම හෝ විපතට පත්වූවන් පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් සිදුවන්නේ නැහැ.
දිගුකාලීන පිළිවෙතක් නැහැ. හැමදාමත් කරන්නේ සිදුවූ දේ කතා කරමින් කාලය කා දැමීම පමණයි. මිනිසුන්ටත් සතියකින් හමාරකින් ඒ කතාව අමතක වෙනවා. මෑතකාලයේ සිදුවූ විපත් ගැන හිතන්න. මිනිසුන්ට සහනාධාර කියලා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන දේ ලබා දුන්නා. ඒක හොඳ දෙයක්.
විපතකදී පිහිටවන ඒ ගතිය අපේ ලාංකිකයන් තුළ අගය කළයුතු මට්ටමක තියෙනවා. ඒත් ඒකෙම අනිත් පැත්ත හිතන්න. ඇතැමුන් තමන්ට ලැබෙන දේ ආපසු වෙනත් කඩවලට විකුණනවා. එතැනත් ක්‍රමවත් පිළිවෙළක් රජය හඳුන්වා දී නැති නිසා ඒකත් දැන් හිඟන්නාගේ තුවාලය වගේ වෙලා.
Q සහනාධාර ලබාදීම නුසුදුසුද?
හදිසියේ ඇතිවන පීඩාවකදී ක්ෂණිකව යම් දෙයක් ලබාදීම හොඳයි. නමුත් ගතවූ කාලවලත් මේ වාරයෙත් ඇහුණේ බෙදාහැරීමේ කටයුතු පිළිවෙළක් නැහැ කියන කතාව. අපිට ලැබුණේ නැහැ කියන දේ. එකම තැනකට වැඩියෙන් ලැබුණා කියන එක. කොහොම හරි එහෙම වුණා කියමුකෝ.
දැන් වැස්ස අඩුවුණාට පස්සෙ තත්ත්වය කොහොමද? දැන් ඒ මිනිස්සුන්ට වැස්ස පායනවත් එක්ක නැතිවූ දේ ගොඩගන්න කාලයක් ලැබුණේ නැහැනේ. අදටත් ඔවුන් අර තත්ත්වය තුළම ඉන්නවා. දැන් තමයි ඒ අයට අත්‍යවශ්‍යයෙන්ම උපකාර ලැබිය යුතු වෙලාව. එතකොට මොනවද දෙන්න තියෙන්නෙ? අවශ්‍ය පරිදි අවශ්‍ය දේ සුදුසු වෙලාවට අවශ්‍ය තැනට ලබාදීමේ විධිමත් ක්‍රමයක් සම්පාදනය විය යුතුයි.
පහුගිය දවස්වල ඇතැම් තැන්වලට ජනතාව ලබාදුන් පිසූ ආහාර පැකට්වලටත් ඇතමුන් බිල්පත් සකස්කර තියෙනවා කියලා මාධ්‍ය පැවසුවා. අනික් අතට කඳවුරුවලට ගිහින් බෙදුවාම ඒ අයට තියාගන්න තැනක් නැහැ. සමහරවිට ඇතැම් අයට අනවශ්‍ය දේ ලැබී තිබිය හැකියි. හදිසියේ මේ දේ ක්‍රමවත් කළමනාකරණයකට කරන්නත් බැහැ. නමුත් ලැබෙන සම්පත් ප්‍රමාණය සීමිතව පිරිමසා ගැනීමට නම් එතැනත් ක්‍රමවත් පාලනයක්, මෙහෙයවීමක් අවශ්‍ය වෙනවා. ඒ දේ මෙවරත් සිදුවුණේ නැහැ කියන එකයි මගේ අදහස.
ඒ නිසා හැකි සෑමවිටම අවශ්‍ය තැන් හඳුනාගෙන ඒවා ඒ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ලබාදීමේ ක්‍රමයක් සකස්කර එයින් පසු ඔවුන් නැවත නිවාසයන්ට පැමිණි පසු හෝ ගංවතුර බැස ගියාට පසු මතුවන අවශ්‍යතාව සලකා ලබාදීමේ ක්‍රමයක් සම්පාදනය කළ යුතුයි.
Q දැන් අසරණ වූ ජනතාව වෙනුවෙන් විය යුත්තේ කුමක්ද?
වැදගත්ම දේ විපතට පත්වූවන් හැමදාම මුහුණ දෙන පුවත් අපට ඇහෙනවානේ. දැන් ඔවුන් අසරණයි. ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට යාමේදී ආයතන සහ නිලධාරීන් ඔවුන් රස්තියාදු කළයුතු නැහැ. ව්‍යසනයෙන් පසු අපි එහි රිකවරි පැත්ත ගැන හිතන්නේ නැහැ. ඒක විශාල සමාජ අර්බුදයක් හැටියට මම දකිනවා.
Q තවදුරටත් පැහැදිලි කළොත්?
ඇඳුම් අවශ්‍ය සිසුන්ට සහ පුද්ගලයන්ට අයදුම් කරන්න යැයි රජය කියනවා ඇහුණා. මට දෙන්න යැයි ඇවිත් ඉල්ලනතුරු බලාගෙන ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. අවශ්‍ය අය හොයලා ඒ අයට ගිහින් දෙන එකයි. ඒ සඳහා ඒ අය ළඟට යා යුතුයි. ආත්මගරුත්වය ඇති මිනිසුන් හැටියට නැතිබැරිකම ඇතත් ඒවා සොයාගෙන යාමට තරම් උනන්දු නොවන මිනිසුන් සමාජයේ ඉන්නවා. විපතට පත්වුවත් ඔවුන්ගේ ඒ හැඟීම නැතිවෙන්නේ නැහැ.
සියල්ල චක්‍රලේඛ හරහා බිම් මට්ටමට පැවරිය හැකියි. ඒ චක්‍රලේඛ වගකිවයුත්තන් අතින් නිකුත්කර ඒවායේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් පැහැදිලිව අනාවරණය කළ හැකියි. නැතහොත් එෆ්.සී.අයිඩී කතා මතු වෙනවා.
Q රාජ්‍ය ආයතන පැත්තෙන් ගත්තොත්?
හැම ආයතනයකටම මේ වගකීමෙන් මිදෙන්න බැහැ. උදාහරණයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කළයුතු ව ඇති දේ පමණක් නෙවෙයි, කළ හැකිව ඇති එහෙත් අවධානය නොකරන පැති ගැනත් හිතන්න අවශ්‍යයයි. මී උණ, ලේ අතීසාරය, ඩෙංගු ගැන කතා කරනවා වගේම ඒවා ව්‍යාප්තිය වැළැක්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.
මිනිසුන්ගේ දෛනික කටයුතු වගේම ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමේ ක්‍රමවලට යා යුතු වෙනවා. ගතවූ ආසන්න සිදුවීම් සහ අත්දැකීම් සමාලෝචනය කළ හැකියි.
Q ජනතාවගේ පැත්තෙන්?
ජනතාව තුළ තමන්ගේ රට ගැන විනයක් තිබිය යුතුයි. ඒක ගංවතුරද නැද්ද කියනවා නෙවෙයි. ඒ හැම අවස්ථාවකම කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ චර්යාවන් තිබිය යුතුයි. ඒ විතරක් නෙවෙයි, මම දැක්කා ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා ගංවතුර තර්ජනය මැද හැට පැනපු කාන්තාවකට අතවර කරන්න සූදානම් වූ කණ්ඩායමක් පිළිබඳ කතාවක්. එහෙම නම් අප අද සදාචාරාත්මක වශයෙන් ඉන්නේ කොතැනද කියන එක තවත් කතාවක්.
Q මේ තුළ පවතින සමාජ දේශපාලන බැඳීම කෙබඳුද?
මම මේ කියන දේ නිවැරදිව වටහා ගන්න උත්සාහ කළ යුතු දෙයක්. මේ සහනාධාර ක්‍රමය එක්ක සිදුවන්නේ විපතට ක්ෂණික පිළියමක් වගේම ඒ එක්කම පරාධීන මානසිකත්වයත් වැඩිවීමයි. මේ පිළිවෙළක් නැතිව බෙදන සහනාධාර පරිත්‍යාගයන් හේතුවෙන් ජනතාව දූෂණයට පෙළඹවීමේ මැදිහත් වීමක්ද සිදුවෙනවා.
මෙහෙම හිතන්න. හැම කෙනෙක්ම බෙදනවා. ඒ හැම මල්ලක් ඇතුළෙම කිරිපිටි පැකට් එක ගණනේ තිබිලා පැකට් 25ක් තිබුණොත් අවුරුද්දකට සෑහෙයි. අනික් අතට ඒ පුද්ගලයා ඒවා පරිභෝජනය නොකරනවා නම් හෝ කාලය ඉකුත්වීමේ දිනය ආසන්න නම් ඒවා පිටට විකුණනවා. එයා සිය විපත තුළ වෙනත් දූෂණයකට වක්‍රව යොමු කරවනවා.
ඒ නිසා මේ හැම අර්බුදයක් තුළම තියෙන විශාලම ප්රශ්නය තමයි පුද්ගලයා තුළ විනයගරුකව ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම කුමක් විය යුතුද කියන එක. දේශපාලකයන්ට මෙවැනි සිදුවීම්ද පූර්වාදර්ශ සැපයීමට යොදාගත හැකියි.
අනික් කරුණ තමයි බොහෝ දේශපාලකයන් තමන්ගේ බලය වෙනුවෙන් මේ අසරණයන් පාවිච්චි කරනවා. හැම සහනයක් සඳහාම ඒ අසරණයන් තමන්ගේ ළඟට ගෙන්වා ගැනීමේ උපක්‍රම භාවිත කරනවා. මොන දෙයක් කර ගැනීමටත් දේශපාලකයා නැතිව බැරි තත්ත්වයක් නිර්මාණය කරනවා.
ඒක හරි භයානකයි. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර ඉලක්ක කර සහන වැඩසටහන් ක්‍රියත්මක කරනවා. ඒකත් දූෂණයක්. ජනතාව මේ තත්ත්වය තේරුම්ගත යුතුයි. අනෙක ජනතාව නොමඟ යවා තවදුරටත් ඔවුන් වීදි බසින තැනට කටයුතු නොකළ යුතුයි.
Q රාජ්‍ය සේවයේ ඉදිරි කාර්යභාරයේ මූලික පදනම කුමක් විය යුතුද?
මිනිසුන් වෙනස් කිරීම අමාරුයි. පාලකයන් සඳළුතලෙන් බිමට බැසිය යුතුයි. ලංකාවේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. එහෙම නම් ඔවුන් රාජ්‍ය වශයෙන් මුහුණ දෙන විපත්වලදී ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොමු කරවීම අත්‍යවශ්‍ය කරුණක්. එහෙමනම් ඒ අයගේ සේවය මෙවැනි විපත් හමුවේ පාවිච්චි කිරීමට නොහැකි ඇයි? සමහර කන්තෝරුවල අවශ්‍ය තරමටත් වැඩියෙන් ඉන්නවා. මෙවැනි අවස්ථාවල එවැනි අයත් විපතට පත්වෙලා නම් ආසන්න ප්‍රදේශවල අය මේ සඳහා යෙදවිය හැකියි.
නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඒ ක්‍රමවේදය තමයි ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ. ජනතාව දේශපාලකයන් අවුරුදු 5න් ගෙදර යවනවා. නැත්නම් ඒ අය ඉවත් වෙනවා. ආණ්ඩු යහපත් දෙයක් වෙනුවෙන් වෙනසක් කරන විට ජනතාව ඒ වෙනස භාර ගැනීමට සූදානම් නැහැ. එකතැන පල්වන ක්‍රමයට බොහෝ ජනතාව කැමතියි. ඒ නිසා අලුත් ක්‍රමයට විරුද්ධව ඡන්දය දෙනවා.
මොනවා කරන්නට ගියත් ප්‍රශ්න හරි විරෝධතා මතු කරවනවා. ඉතින් රටක් හදන්නෙ කොහොමද? වැස්ස වහියි. ගංවතුර ගලයි. මිනිසුන් මැරෙයි. එතැනින් රට හදන්න අපි ඉගෙන ගත්ත පාඩමක් නැත්නම් මේ විපත් හැමදාමත් සිදු වෙයි.