Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
නීති විරෝධීව ළඟ තබාගෙන සිටි දැනට රජයේ භාරයට ගෙන නඩු පවරා ඇති සහ නඩු පැවරීමට නියමිත අලි පැටවුන් නිදහස් කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥයින් මෙන්ම පරිසර විශේෂඥයන්ද පෙන්වා දෙති.
ඔවුන් දැඩිව අවධාරණය කර සිටින්නේ නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි මේ වනවිට රාජ්‍ය භාරයට ගෙන ඇති අලි පැටවුන් සහ ඒ වෙනුවෙන් පවරා ඇති නඩු කටයුතු නෛතික ක්‍රමයට අභියෝගයක් වන ආකාරයෙන් වෙනසකට ලක්කර, අලි පැටවුන් යළිත් අලි ජාවාරම්කරුවන් වෙතට ලබාදීමේ සූක්ෂම වැඩපිළිවෙළක් බලධරයින් විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේම අදාළ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා ඉදිරියේදී තවදුරටත් විධිමත් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බවට ඔවුන් චෝදනා කර සිටිති.
කෙසේවුවද ආගමික කටයුතු සඳහා ප්‍රතිපත්තිමය තීරණ මත අලිඇතුන් ලබාදීම මූලික කරගනිමින් හා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ කමිටුවක් විසින් ගන්නා ලද නිර්දේශයන්ට අනුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා 2017.04.06 වැනි දිනැති ලිපිය මගින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බවද මෙහිදී දක්නට ලැබේ.
ඒ අනුව අදාළ කමිටුවේ තීරණය හදිසි කටයුත්තක් සේ සලකා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම එම ලිපිය මගින් බලාපොරොත්තු වේ. මෙම ලිපියේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් පරිසර නීතීඥයන් මෙන්ම පරිසරවේදීන්ද දැඩිව විවේචන හා චෝදනා එල්ල කර සිටින අතර, මේ සම්බන්ධයෙන් වූ නෛතික තත්ත්වය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් 'අද' විමසීමක් සිදු කෙළෙමු.
එසේම නීති විරෝධී ලෙස ළඟ තබා රාජ්‍ය භාරයට ගෙන ඇති අලි පැටවුන් නිදහස් කිරීමට කටයුතු සිදුවනවා යැයි ලැබෙන තොරතුරු සම්බන්ධයෙන්ද පරිසරවේදීහු මෙලෙස අද වෙත සිය අදහස් දක්වා සිටියහ.
මෙය වනසත්ත්ව විෂයයට එහා ගිය රටේ පොදු නීතිය පාලනයට කළ බලවත් අභියෝගයක්
ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ, ජගත් ගුණවර්ධන මහතා
''ලංකාවෙ ඉන්න අලි ඇතුන් සියල්ලම රජය සතු ස්වාභාවික සම්පත්වල කොටසක් ලෙසයි නීතිය ඉදිරියේ සලකන්නේ. ලංකාවේ ඉන්න අලි ඇතුන් සියල්ලන්ම ආරක්ෂා කිරීම එක පැත්තකින් රජයක්, අනෙක් පැත්තෙන් ජනතාවත් සම සමව වගකීම් අරගෙන කළයුතු කාරණයක් ලෙස තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි 28 වෙනි ව්‍යවස්ථාවන්වල තියෙන සම්ප්‍රයුක්තය විග්රහ කළහම අපි දකින්නෙ.
ඒක නිසා ලංකාවේ නීතිය හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත සහ පොදු දේපළ පනත දිහා බැලුවාම අලි හිමියෙක් ලංකාවේ ඉන්න බෑ. එහෙම වචනයක් සමහර තැන්වල පාවිච්චි කළාට ඇත්තටම ඉන්න පුළුවන් මේ සතුන්ව භාරකාරත්වයකින් පවත්වාගෙන යන පුද්ගලයෝ විතරයි.
ඊළඟ කාරණාව තමයි වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 12 වෙනි වගන්තියේ සිට 24 වෙනි වගන්තිය දක්වා අලි ඇතුන්ගේ නෛතික ආරක්ෂාව සඳහා තමයි පනවා තියෙන්නේ. මෙහි 12 වෙනි වගන්තියේ හැටියට පැහැදිලිවම වැරදි කිහිපයක් දක්වා තිබෙනවා.එක වරදක් තමයි අලියෙක්ව, ඇතෙක්ව ඝාතනයට ලක්කිරීම. දෙක ඒ සතුන්ට හානි කිරීම හෝ තුවාල සිදුකිරීම. තුන්වෙනි වරද තමයි ප්‍රධාන වැරදි තුනෙන් තියෙන නීති විරෝධී ආකාරයට අල්ලා ගැනීම සහ ළඟ තබා ගැනීම කියන කාරණය.
එතකොට, කැබිනට් පත්‍රිකාවට පාදක වන මේ ලේඛනයේ හරය වෙන්නෙ මේ තුන්වෙනි වරද කරන පුද්ගලයන් සහ ඒ වරදට අනුශංගික කාරණා සම්බන්ධයෙන් නීතිය කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳ කරන මැදිහත් වීමක්. 12 වෙනි වගන්තියේ පැහැදිලිව කියනවා මෙය වරදක් කියලා. යම්කිසි කෙනෙක් නීති විරෝධී ආකාරයට අලියෙක් අල්ලනවානම්, අල්ලා ළඟ තබා ගන්නවානම්, ඒ වගේ දෙයකට අනුබල දෙනවානම්, අනුග්‍රය දෙනවානම්, සහය දෙනවානම්, ඒ චේතනාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ සියලුම දේවල් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ වරදක් වෙනවා.
ඊට අමතරව යම්කිසි පුද්ගලයෙකු ළඟ ලියාපදිංචියකින් තොරව සහ නීත්‍යානුකූල බලපත්‍රයකින් තොරව අලියෙකු සිටිනවා නම් ඒ වරද පොදු දේපොළ පනත යටතේ වරදක් විදියට වන සත්ත්ව හා වාක්ෂලතා ආඥා පනතේ 22 'අ' වගන්තියේ 12 වැනි උපවගන්තියේ පැහැදිලිවම දක්වලා තියෙනවා.
ඒ නිසා තමයි මේ අලි ඇතුන් සම්බන්ධ වැරදිවලට පොදු දේපොළ පනත යටතේ දඬුවම් කරන්නෙ. මොකද පොදු දේපොළක් අපහරණය කිරීම නැත්තම් පොදු දේපොළක් අයතා භාවිත කිරීම යන වරදට තමයි යන්නෙ. ඒක නිසා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන අනුවම පොදු දේපොළ පනත යටතේ වරදක් විදියට තමයි අධිකරණය ඉදිරියට පමුණුවන්නෙ. මං මේ පනත් දෙකේ සම්බන්ධතාව පෙන්නුවේ.
ඊළඟ කාරණාව තමයි මේ පත්‍රිකාවේ තියෙන කාරණා කොයිතරම් දුරටද නීත්යානූකුලද, මේ සන්ධර්භය තුළ කියන එක අපි සලකා බලන්න ඕනෙ. පළමුවැනි එක තමයි වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ හෝ නැත්තම් ඊට අනුශංගිකව වෙනත් පනතක් යටතේ මේ පනතින් බලතල පවරාදී ඇති ප්‍රමාණයට යම්කිසි නඩු කටයුත්තක් පටන් ගත්තොත්, ඒ නඩු කටයුත්ත ඉවර කරන්න පුළුවන් නීත්‍යානූකුලව තියෙන්නෙ ක්‍රම දෙකයි.
එකක් තමයි, ඒ නඩු කටයුත්ත මෙහෙය වන නීතිපතිතුමාම කියන්න ඕනෙ අපි තවදුරටත් මෙය ඉදිරියට ගෙනියන්නෙ නෑ කියලා. එහෙම නැතිනම් ඒ නඩුව විභාග කර අවසන් කරලා තීන්දුවක් දීලා තීන්දුවට කැමැතිනම් අභියාචනා දෙකක් දාන්න පුළුවන්, අභියාචනාවලට ගිහින් හෝ නොගිහින් නඩු කටයුත්ත සමාප්ත වෙන්න ඕනෙ.
එතකොට මෙතැනදී කෙනෙක් අහන්න පුළුවන් මෙය සමථයකට පත්කරන්න පුළුවන්ද කියලා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ කරන කිසිම වරදක් සමථකර ගැනීමේ කිසිදු නීතිමය ඉඩකඩක් පනතේ ඉදිරිපත් කර නැහැ. ඒකට පැහැදිලිම උදාහරණය තමයි මේ පනතේ ඉස්සර තිබුණා '62' කියලා වගන්තියක්. ඒ 62 වැනි වගන්තියේ හැටියට එවකට හිටපු වනජීවී අධ්යක්ෂවරයා ධුරය (අද අධ්යක්ෂ ජනරාල්වරයා ධුරය) දරන තැනැත්තාට පුළුවන් යම්කිසි වරදක් සමථයකට පත්කරන්න.
නැත්නම් වරද කළ පුද්ගලයා සමග සාකච්ඡා කර හෝ නිසි තීරණයකට පැමිණ අවසන් කළ හැකියි. නමුත් මේ 62 වැනි වගන්තිය 1993 අංක 49 කියන සංශෝධනයෙන් ඉවත් කර දැම්මා. ඉවත් කර දැම්මෙම වනජීවීන්ට එරෙහිව කරන වරදවල්, රටේ පොදු ස්වභාවික සම්පත්වලට කරන වර්ගයේ ඒවා නිසා පුද්ගලයෙකුගේ අභිමතය පරිදි සමාදාන වෙන්න ඉඩක් දෙන්න බැරියි කියනා නෛතික පදනම මත. එතකොට ඒ තත්ත්වය යටතේදී මේ වරදවල් අවසාන කරන්න කියන මේ ලේඛනයෙන් කියන්නෙ, නඩු පවරපු නීතිපති දෙපාර්තමේන්තුව හැරුණාම නඩුව ඉවත්කර ගැනීමේ සාහසික අපරාධයට අවශ්‍ය පදනම හදන එක.
එහෙම නැතුව නඩුව ඉවර කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මෙවැනි දෙයක් යෝජනා කිරීම හෝ මෙවැනි දෙයක් ඇඟවීම පවා අපි දකිනවා මේ රටේ පොදු නීතිය පාලනයට කරපු බලවත් අභියෝගයක් කියලා. මේ අලි කිහිපදෙනෙක්ගේ ප්‍රශ්නයට වඩා අපි දකිනවා, රටක නීතිය ක්‍රියාත්මක වෙන්නේ යම්සේද, ඒ අනුව තමයි අපට ජනතාව යම්කිසි යහපත් තත්ත්වයක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ.
රටේ මිනිස්සු නීතියට ගරු කළොත්, රටේ මිනිස්සු නීතිය විශ්වාස කළොත්, රටේ මිනිස්සු නීතිය කෙරෙහි යම්කිසි බැඳියාවක් තිබුණොත්, නීතිය සාධාරණයි කියලා හිතුණොත් තමයි මිනිස්සු නීතියට ගරු කරන්නෙ. නීතියට බයේ නීතියට ගරුකරන අය ඉන්නෙ ටිකයි. එතකොට මිනිස්සුන්ගෙ හිතේ තියෙන හැඟීම මෙයින් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙනවානම් අන්න එතැනදී අපි මෙය වන සත්ත්ව විෂයන්ට එහා ගියා මාතෘකාවකින් අපි විරුද්ධ විය යුතු තත්ත්වයකට එනවා.
පත්‍රිකාවේ A,B,C,D කියලා කොටස් 04ක් තියෙනවා. A කියන කොටසේ තියෙනවා අලි ඇතුන් අල්ලා ගැනීමට ඍජුවම සම්බන්ධ වූ හා අලෙවි කිරීමේ නියැලුණු පුද්ගලයන් කියලා. දැන් මෙතැනදී දණ්ඩ නීති සංග්‍රහ‘යේ 454, 457 මේ සියල්ලම කූට ලේඛන හා වංචනික ලේඛන සකස් කිරීම කියන දඬුවම් තමයි පෙන්වලා තියෙන්නෙ. ඊළඟට 289 කියන එක රජයේ සේවකයෙකුට විතරක් එරෙහිව භාවිත කළ හැකි වගන්තියක්.
රජයේ සේවකයෙක් තමන්ගෙ රාජකාරිය නිසි පරිශ්‍රමයකින්, දැනුමකින් තොරව වගකීම නිසි ලෙස ඉටුනොකිරීමේදී ගන්න ඕන ක්‍රියාමාර්ගයක් තමයි එතැන තියෙන්නෙ. ඊළඟට පොදු දේපොළ පනත යටතේ පුළුවන් නීතිවිරෝධී ලෙස අලියෙකු ළඟ තබා ගැනීමට විරුද්ධව කටයුතු කරන්න. ඊළඟට නිලධාරීන්ට විරුද්ධව විනය තීරණ ගන්න විතරක් නොවෙයි, නිලධාරීන්ට විරුද්ධවත් දණ්ඩ නීති සංග්‍රහ‘යේ සහ අනෙකුත් පනත්වල තිබෙන නෛතික පනත් යටතේ කටයුතු කරන්න පුළුවන්.
අඩුම තරමේ මේ නිර්දේශය හරියට ගොනු කරලාවත් නෑ. ඒ කියන්නෙ පළමුවැනි කාණ්ඩයේ අයට 289න් දඬුවම් කරන්න බැහැ. 289න් දඬුවම් කරන්න පුළුවන් දෙවැනි කණ්ඩායමේ අයට. ඇයි, 289ට යටත් වෙන්න රජයේ නිලධාරියෙක් වෙන්න ඕනෙ පුද්ගලයෙක්. එතකොට අලි අල්ලන්නෙ රජයේ නිලධාරියො නෙවෙයි අලි ජාවාරම්කාරයො එතකොට දඬුවම් කරන්නෙ කොහොමද කියන වගන්ති ටිකවත් හරියට දාලා නෑ.
ඊළඟට මෙතැන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතින් 12, 22 'අ' වගේ වගන්තිවලින් දඬුවම් කළ යුතුයි, ඒ පිළිබඳව මෙතැන සඳහන් කර නැහැ. මේවා හදපු අයට ලංකාවෙ තියෙන වනජීවීන්ට අදාළ නීතිය පිළිබඳව ඇති දැනුම් මට්ටම මෙතැනදී අපිට තේරුම් ගත හැකියි.
ඊළඟට C කාණ්ඩයේ තියෙනවා කිසිදු බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගත් හිමිකරුවන්ගේ අලින් රජය සතු කිරීම කියලා. දැන් මෙතැන කාරණා 02ක් තියෙනවා. කිසිදු බලපත්‍රයක් නැතිව අලියෙක් තියාගෙන ඉන්නෙ නීති විරෝධීවනෙ. එතකොට ඒ පුද්ගලයා හිමිකරුවෙක් කියන්නෙ මොන පදනමකින්ද? නීතිය ඉදිරියේ හදන ලේඛනයක් නම්, වචන හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ.
කිසිදු බලපත්‍රයක් නොමැතිව අලියෙකු තබාගත්තා කියන්නෙ පොදු දේපොළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු, වන සත්ත්ව හා වක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 12 වැනි වගන්තියේ මෙන්ම 22 'අ' වගන්තිය අවම වශයෙන් ඒ වගන්තිය දෙක උල්ලංඝනය කළ පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙකුට හිමියෙක් කියන්නෙ කොහොමද? මේ නීතිවිරෝධී කටයුත්තක් කරන යම් පුද්ගලයෙකුට වචනයෙන් හරි තමන්ට හිමිකමක් තියෙනවා කියන එක අයිතියක් ලබාදීමක්. මං දකිනවා මෙය ඉතාමත් සාහසික ප්රකාශනයක්.
මෙය බැලූබැල්මට එච්චර නරකයි කියලා පේන්නෙ නැතත් නෛතික වශයෙන් විග්රහ කරනකොට තමයි මේ වගන්තියෙ තියෙන බරපතළකම එන්නෙ. මෙයින් දෙන පණිවුඩය තමයි, යම් කෙනෙක් නීතිවිරෝධීව අලියෙක්ව තබාගෙන සිටියොත් එයා හිමියෙක් වෙනවා, ඒ අලියාගෙ. එහෙමනම්, ඊළඟට බලපත්‍රය ගන්න අවශ්‍ය පදනමකුත් ලැබෙනවා.
හිමිකාරීත්වයක් තියෙනවා නම් ඒක කියාගන්න යම්කිසි අයිතිවාසිකමක් ලැබෙන්න ඕනෙ කියන තත්ත්වයක් ගොඩනගන්න ඉඩක් ලැබෙනවා. එක්කො මේ ලේඛනය සැදූ පුද්ගලයාට නෛතික දැනුම අල්ප වෙන්න පුළුවන්. නැත්තම් ඉතාමත්ම සූක්ෂම විදියට මෙයින් නැති අයිතිවාසිකම්, නැති වටිනාකම් ලබාදීමේ උත්සාහයක් තියෙනවා වෙන්න පුළුවන්.
ඊළඟට අලියෙකු නොමැතිව සිදුකළ ලියාපදිංචි කිරීම් අවලංගු කරලා බැහැ. මේක කූට ලේඛනයක් වෙන්න ඕනෙ. කූඨ ලේඛන තියෙනවානම් දණ්ඩ නීති සංග්‍රහ‘යේ 453 ඉඳලා තිබෙන වගන්තිවලින් සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගත යුතුයි. අලියෙක් හෝ අලි පැටියෙක් නැතිව ලේඛනයක් තියෙනවා නම් මුලින්ම අහන්න ඕනෙ 'මේ ලේඛනය මොන පදනමෙන්ද හැදුවෙ?' කියලා. එතකොට හදපු නිලධාරියත් කූට ලේඛනකරුවෙක්. අයදුම් පත්‍රයත් කූට ලේඛනයක්.
මෙය පරීක්ෂා කළ නිලධාරීන්ටත් වෙනම නඩුවක් කරන්න ඕනෙ. එහෙම නැතුව බලපත්‍රය අවලංගු කිරීම කියන්නෙ වැරදිකරුවන්ව අධිකරණයක් ඉදිරියට නොපමුණුවා නිදොස්කොට නිදහස් කරලා නිශ්ශබ්දව පැත්තක තියෙන කතාවකටද යන්නෙ කියන එක පිළිබඳවත් සාධාරණ සැකයක් අපට ඇති වෙනවා. මේ වගන්තිය දිහා බැලුවාම දැන් මේක හරි විදියට දැම්මානම් තියෙන්නෙ 'අලියෙකු නොමැතිව සිදුකරන ලියාපදිංචි කිරීම් අවලංගු කර මෙම ලේඛනවලට අදාළ වන සියලු පුද්ගලයන්ට එරෙහිව කූට ලේඛන සෑදීම සහ වෙනත් වැරදි සඳහා දඬුවම් සිදුකිරීම' කියන එකයි.
මේ අලි පැටව් තිස් ගණන නැතුව ලංකාවෙ පෙරහර නවතිනවා කියලා යම් කෙනෙක් කියනවානම්, ඒක අපි පිළිගන්න කාරණයක් නෙවෙයි. ලියාපදිංචි අලි ඇතුන් ඉන්නවා දැනට 100කට වැඩි ගණනක් ලංකාවෙ. මේ අලින්ව හෝ අලි පැටවුන්ව පසුගිය කාලය තුළ නීත්‍යානුකූලව ලබාදෙන්නෙ පින්නවල අලි අනාථාගාරය යටතේ තිබුණ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ ස්ථානයකින්. අලියෙක්ව ලබාදෙන්නෙ බලපත්‍රයක් යටතේ. ඒ බලපත්‍රයේ තිබෙනවා කොන්දේසි.
ඒවාට අමතරව නියෝග මාලාවක් තියෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේන් දෙන, ඒවාත් බලපත්‍රයේ වැඩිදුර කොන්දේසි විදියට තියෙනවා. ඊළඟට 1991 පනවපු නියෝග මාලාවක් තියෙනවා. ඒ නියෝගවලත් තියෙනවා ලියාපදිංචි කළ යුතු ආකාරය පිළිබඳව. මේ සියල්ලටම වැඩිය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ ඉහළින්ම තියෙනවා කාරණාවක්.
ඒ තමයි, 'වාණිජ හෝ වෙනත් අවභාවිතයක් සඳහා සතුන් යොදාගැනීම වැළැක්වීම' කියලා. මෙපමණ කාලයක් පෞද්ගලික පාර්ශ්වයකට අලියෙක් ලබා දුන්නානම්, ලබා දුන්නෙ පූජනීය කටයුත්තකට, දේවාලයකට වගේ දෙයකට විතරයි.
වනජීවි හා වාක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ සීමාවන් යටතේ මේ සතෙක්ව ප්රදානය කරන්න පුළුවන් එහෙම දෙයකට පමණයි. එහෙමනම් කොහොමද සංචාරක ස්ථානවල අලි ඉන්නෙ? වෙනත් උත්සවවල, ඒ වගේම Beach Racingවල අලි ඉන්නෙ කොහොමද? ඒ අලින්ට බලපත්‍ර නැත්තම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බලපත්‍ර ‘තියෙනවානම් ඒවා අවලංගු කරලා සතුන් රාජසන්තක කළ යුතුයි.
මොකද පනතට එරෙහිව ගිහින් කාටවත් කටයුතු කරන්න බැහැ. අපි රියදුරු බලපත්‍රයක පොඩි වරදක් වුණත් අල්ලලා දඬුවම් කරනවා. ඒ වාගේම මේ වාගේ පනතක හරය කඩලා කටයුතු කරන පුද්ගලයන්ට කිසිම වෙලාවක සමාවක් නොදිය යුතුයි.
පෙරහරවලට අලි මදි වෙනවානම් මදිවෙන්න ඊට වඩා ලාභදායී ව්‍යාපාරික ස්ථානවල මේ සත්තුන්ව රඳවලා තියාගෙන ඉන්න නිසා. එහෙමනම්, ඒ අවභාවිතය වළක්වා ඒ අලින් මුලින්ම රාජසන්තක කරලා ඒ අලින්ගෙන් පෙරහරවල් පුරවා ගැනීම සිදුකළ හැකියි. ඒ වරදකාරී තත්ත්වය තියන අතුරතුර තවතවත් වැරදි කරමින්, තවතවත් නීතිවිරෝධී දේට උඩගෙඩි දෙමින් රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මේ රටේ නීතිය පාලනය කිරීම කියන සංකල්ප දෙකටම අභියෝග කිරීමක්''
යහපාලනය යටතේ මෙවැනි කැබිනට් පත්‍රිකා ගේනවාට වඩා හොඳයි ඇමතිවරු අසූචි බාල්දියක් ඔළුවෙ හලා ගත්තානම්
පුබුදු වීරරත්න මහතා,
සභාපති, ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය
''පෙරහර සංස්කෘතියට අවශ්‍ය අලි ඇතුන් සපයා ගැනීම සඳහා 2003 වර්ෂයේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙනවා. ඒ හිටපු සත්ත්වෝද්‍යාන අධ්යක්ෂවරයාත්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහත්මාත් හරහා පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින් පිරිසක් පුහුණු කරලා පෙරහර සඳහා යොදා ගන්න.
නමුත් සංස්කෘතිය ගැන, පෙරහරේ අනාගතය ගැන, පෙරහර අනන්‍යතාවය ගැන කතා කරන කිසිම පාර්ශ්වයක් 2003 ඒ කැබිනට් පත්‍රිකාව තහවුරු කරගෙන ගැසට් පත්‍රයක් මගින් නීතිගත කරන්න කටයුතු කළේ නෑ. ඔවුන් සියලුදෙනාම කකුලෙන් ඇද්දා. මොකද මෙතනදී ඔවුන්ට අවශ්‍ය වුණේ තමන් සන්තකයේ අලින් තබාගෙන මුදල් උපයාගන්නා කාර්ය‘යේ නිරත වීමටයි.
පසුගියදා මැයි පෙළපාලියේදී අලියෙක් පාර දිගේ දවල් ඇවිදගෙන යනවා. අපි ඒ සාක්ෂාත් කළේ අපේ මොන සංස්කෘතික අංගයද කියලා අපි අහන්න කැමතියි. එතකොට පාසල්වල පෙළපාලි වලට අලින් දක්කාගෙන යාම අපේ මොන සංස්කෘතික අංගයටද අයිති? අලි ඇතුන්ව රටේ තියෙන විවිධාකාර විසුළු සහගත ක්‍රියාකාරකම් සඳහා අවභාවිත වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලියි.
අපි දන්නවා හබරණ ප්‍රදේශයේ කවදාවත් පෙරහරකට ගිහිල්ලා නැති, හැබැයි දවස් 365ම සුද්දන්ව පිටේ තියාගෙන යන ඕනෑතරම් අලි ඇතුන් ඉන්නවා. එතකොට මේවා නියාමනය නොකර දැනට නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන ඉදපු අලි පැටවුන් නියාමනය කිරීම තමයි නිලධාරීන්ට තියෙන එකම හිසරදය වෙලා තියෙන්නේ.
මෙය ඉතාමත්ම කණගාටුදායක කාරණයක්. නඩු කටයුත්තක් තිබියදී ඒ පුද්ගලයන් නිදොස් කොට නිදහස් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයක් විසින් මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක්ව පත් කරනවා අලි හොරුන් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දැක්වීමට.
මේ කමිටු වාර්තාව පුරාම තියෙන්නේ නෛතික රාමුවක් තුළ වැරදිකරුවන් කොහොමද නිදොස් කොට නිදහස් කරන්නේ කියන කාරණය. අනෙකුත් ප්‍රධාන අරමුණු තියෙන්නේ ඡේද 02ක් පමණයි. ඉන් එකක් තමයි පෙරහර සඳහා හීලෑ සහ පුහුණු අලි ඇතුන් ලබාදීමට සහතික වීම. අනෙක හීලෑ අලින් හා සම්බන්ධ නියාමනයන් අධීක්ෂණය කියන කාරණය. සත්ත්වෝද්‍යානය යටතේ පුහුණු අලි ඇතුන් සංචිතයක් ඇතිකරන්න බැහැ.
හේතුව තමයි, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් මේ වනවිට පෞද්ගලික පාර්ශ්වයන්ට මුදල් ගෙවලා ලබාගන්න පුළුවන් තත්ත්වයකට හරිගස්සලා ඉවරයි. ඒක හරියට නොකෙරෙන දීගයක් වගේ. අනෙක් කාරණය, හීලෑ අලි ඇතුන් සම්බන්ධ නියාමනයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදීයි.මේ අනුමැතිය නීත්‍යානූකූල වෙන්නනම් ගැසට් පත්‍රයක් මගින් එළිදැක්වෙන්න ඕන.
නමුත් අද වෙනකොටත් ඒක කරගන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, අමාත්‍යාංශයත් අපොහොසත් වෙලා තියෙනවා. ඒ ගැසට්පත්රය පළ වුණා නම් මැයි පළමු වෙනිදා අලි පාරේ දක්කගෙන යන්න බැහැ. මොකද මේකෙ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා අලි ඇතුන්ව දවල් කාලයේදී පාර දිගේ දක්කගෙන යන එක නීති විරෝධී කටයුත්තක් කියලා. මේ අමාත්‍ය මණ්ඩල වාර්තාව ඇතුළෙ විශේෂයෙන්ම කතා කරනවා 27 දෙනෙක් සම්බන්ධව.
මේ වැරදි කරපු පුද්ගලයන්ව ඔවුන් කළ වරදේ ස්වභාවය අනුවකොටස් 03කට කඩනවා. එතකොට මේක මේ අමාත්‍ය මණ්ඩලයට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක පිටුපස්සෙත් යහපාලනය ගේන්න හුඟාක් දර දිය ඇදපු ජනාධිපති නීතිඥවරයෙක් ඉන්නවා. මේ හම්බවෙලා ඉන්න හැම අලි පැටියෙක්ගෙම අම්මා මිය ගිහිල්ලා. එතකොට මේක බොහොම පැහැදිලිව හොරකමක්.
වංචාවක්. අලි හොරු දඬුවම් නොලබා නිදොස් කොට නිදහස් කරන්නේ කොහොමද? මේ 27 දෙනා ඇතුළෙ විනිශ්චයකාරයො, නීතිඥ‘යො, වෛද්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,විශේෂයෙන්ම ජනතාව මුළා කරගෙන චීවරයට මුවා වෙලා බුදු දහමත් විනාශ කරන චීවරධාරීන් පිරිසකුත් ඉන්නවා, මේ පුද්ගලයන් 27 දෙනා නිදොස්කොට නිදහස් කරගන්න.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේඛන වෙනස් කරපු පුද්ගලයන්ට විතරයි දඬුවම් පමුණුවන්න වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතනදී මේ ජාවාරම්කාරයන්ට නඩුත් නෑ. ආපහු හොර බඩු ටිකත් තමන් අතට ලැබෙනවා. මේක ඉතාම නරක පූර්වාදර්ශයක්. යහපාලන රජය යටතේ මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවාට වඩා හොඳයි අසූචි බාල්දියක් ඔළුවෙ හලා ගත්තානම්. මේ සෑමදේටම ඉස්සරහට දාන්නෙ ආගමික කටයුතු සඳහා ප්‍රතිපත්තිමය තීරණ මත අලි ලබාදීම කියන කාරණය.
ලංකාවේ අලි මිනිස් ගැටුමක් තියෙනවා, ජාන මංකොල්ලයක් තියෙනවා. ඒ අතරේ ගොඩබිම ඉන්න ලොකුම සතා ඇස් පනාපිටම වනාන්තරයෙන් එළියට අරගෙන ඇවිල්ලා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරලා, ලියාපදිංචි කරලා රජයේ අනුමැතිය හා ආශිර්වාදය ලබාගත් එකම රට ලංකාව වෙන්න ඇති.
අපි දැක්කා පසුගිය කාලයේ ජනාධිපති මන්දිර ඇතුළේ අලි ඇත්තු හිටිය විදිහ. නමුත් ඇස් කන් පියාගෙන බුදියගෙන හිටියා. දැන් මේ රජය ඊටත් වඩා අශීලාචාර විදියට ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ අලි පැටව් නීතිගත කරන්න උත්සාහ කරනවා. අපි මේ අමාත්‍යවරුන්ට අවධාරණය කරනවා මෙය ක්‍රියාත්මක වුණොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා කියලා. අලි හොරුන්වත් කාණ්ඩ 04කට කඩලා ඔවුන්ගේ සාමානාත්මතාවයත් මෙතනදී නැති කරලා තියෙනවා.
කිසිම සතෙක් ගෘහාශ්‍රිතව බෝ කරන්න වගකිවයුත්තන් සමත් වුණේ නෑ. නමුත් ලැජ්ජයි කියන්න, 2010දි කොරියාවට යවන අලි 2016 වෙනකොට බෝ වෙලා රටේ හිටපු ජනාධිපතිවරයා ගිහිල්ලා නමකුත් තියලා එනවා. ඔවුන්ට හැකිවුනා ඔවුන්ගේ රටේ දේශගුණයට යටත්ව කෘත්‍රිමව අභිජනනය කරන්න. නමුත් අපේ රටේ මේ පම්පෝරි ගහන ව්‍යාපාරිකයන්ට හැකි වුණේ නෑ අලි ඇතුන් බෝ කර ගන්න. ඔවුන්ට පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන් ඒක කළේ නැහැ. මොකද ඔවුන් දන්නවා මේ වගේ දේශපාලඥයන්ගෙන් ඔවුන්ට නිරන්තරයෙන් ආරක්ෂාව, අනුබලය ලැබෙනවා කියන කාරණය''
ප්‍රධාන පැලැන්තියේ භික්ෂූන් වහන්සේලාගෙන් එල්ලවන ප්‍රහාර හමුවේ දේශපාලඥයන් අලි නිදහස් කිරීමට කැබිනට් පත්‍රිකා ගේනවා
පුජ්‍ය, පාහියංගල ආනන්ද සාගර හිමි
''බුද්ධශාසන අමාත්‍යාංශයත් එක්ව මෙවැනි කැබිනට් පත්‍රිකාවක් දැමීමට කටයුතු කිරීම පුදුම සහගතයි. මොකක්ද මෙහි ඇති ප්‍රතිපත්තිය? හැම සතෙක්ම නිදහස අපේක්ෂා කරනවා. හැම සතෙක්ම උගේ වර්ගයා අපේක්ෂා කරනවා. උගේ ප්‍රදේශය අපේක්ෂා කරනවා. ඒක අපි දැක්ක පරිසරාත්මක දෙයක් පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දැක්ක බුදුදහම පුරාවටම තියෙනවා.
ඕනෑම භික්ෂූන් වහන්සේ කෙනෙක් එක්ක අපි තර්ක කරන්න ලෑස්තියි අලියෙක් ඇති කරන්න බුදු දහමේ කොහෙවත් අවසර දීලා තියෙනවද කියලා. අලියෙක් තියා බල්ලෙක් පූසෙක් ඇති කරන්නවත් අවසර දීලා නෑ. එහෙව් දර්ශනයක් හිමි අපි කොහොමද අලියෙක් ගෙනැල්ලා පන්සලේ ගාල් කරන්නේ? ලංකාවේ පන්සල් දොළොස්දහස් ගණනකට ආසන්නයි. පන්සල් 3000ක විතර පෙරහරවල් පවත්වනවා. ඒ පන්සල් 3000ට අලි 3000 ක් දුන්නොත් මේ රටේ අලි ඉතුරු වෙන්නෙ නෑ.
බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කළාට පස්සෙ පාරිලෙයිය ඇතා තමයි උන්වහන්සේට සැලකුවා කියන්නෙ. බුදුරාජණන් වහන්සේ නැවත වනයෙන් විහාරයට වඩිනකොට ඇතා 'අනේ මාවත් එක්ක යන්න' කියනා හැඟීමෙන් බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් බුදුරාජණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. බණ පොතේනම් තියෙන්නෙ ඇතා පපුව පැලිලා මැරුණා කියලා.
පපුව පැලිලා මැරෙනවාට වැඩිය හොඳයිනේ ජේතවනාරාමයට ගෙනහිල්ලා බැඳගන්න එක. නමුත් පාරිලෙයිය ඇතාගේ පවා උගේ මරණය තම සහචරයන් සමග උගේ නිජබිමේ සිදුවිය යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ සිතුවේ. ඉතිං මෙවැනි විනයවාදී, යථාර්ථවාදී ධර්මයක් තියෙන රටක වෙසක් උත්සවය මහ ඉහළින් සමරන්න හදන වෙලාවකදී මෙවැනි කැබිනට් පත්‍රිකා ගෙනැල්ලා මේ කරන්න හදන්නේ බුදු දහමට සිදුකළ හැකි ඉතාම සාපරාධී අපරාධයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
අවුරුද්දකට වතාවක් කරන පෙරහරකට මොකටද පන්සල්වලට අලි ඉල්ලන්නේ?කොළඹ නගරයේ පර්චස් දහයේ, පහළොවේ පන්සල්වල ගැට ගහලා ඉන්න අසරණ දුක් විඳින අලි ඉන්නවා. මේ හාමුදුරුවරු කොහොමද පාණාතිපාතා ශික්ෂාපදය කියන්නේ? සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව කියන්නේ? විශේෂයෙන්ම කොළඹ නගරය සහ තදාසන්න නගරවල ඉන්න ප්‍රධාන පැලැන්තියක් ඉන්නවා භිකෂූන් වහන්සේලා.
උන්වහන්සේලාගෙන් තමයි ප්‍රබල ප්‍රහාරය දේශපාලඥයන්ට එල්ල වෙන්නේ. දේශපාලඥයන්ට දිරවගන්න බැරි වෙන්න ප්‍රහාර එල්ල වුණාට පස්සෙ ඔවුන් තීරණය කරනවා මේ අලි නිදහස් කරන්න. මේ පිළිබඳව මහනායක හාමුදුරුවරු මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි.''
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd