බන්ධනාගාරයකින් සිදුවන්නේ කුමක්ද? රාජ්‍යයක පවත්නා අපරාධ සහ නීතිය කඩකිරීම හේතුවෙන් අධිකරණ විනිශ්චය අනුව එකී වරදකරු රඳවා තැබීම හෝ යම් නිශ්චිත කාලසීමාවකට යම් දණ්ඩනයකට යටත්ව රඳවා සිටින ස්ථානය බන්ධනාගාරය වන අතර, එහි රැඳවියෝ එතැන් පටන් බන්ධනාගාර ප්‍රජාව ලෙස හඳුන්වති.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් බන්ධනාගාරය තුළ පත්ව ඇති අපහසුතාව අනාවරණය කළේය. ඔහු පැවසුවේ සවස 5.00ට දොරගුළු දමා වැසූ පසුව ඊට පසුදා උදෑසන යළි දොරටුව විවෘත කර දෙනතුරු වැසිකිළි කැසිකිළි යෑමටවත් නොමැති බට ප්‍රබල චෝදනාවකි. ශරීර කෘත්‍ය සිදුකිරීමේ අවශ්‍යතාව සැඟවිය නොහැකි යැයි ජනවහරට අනුව පැවසෙන්නේ එය එතරම්ම අසීරු මෙන්ම හානිකර වන හෙයිනි.
බන්ධනාගාර රැඳවියන්ටද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වන මූලික නීතිය අනුව යුක්තිය ඉටුවිය යුතු බව පාලකයන් දැන්වත් සිතිය යුත්තේ එම වැරදි නිවැරදි කළ යුතු තරම් ප්‍රබල චෝදනා බවට ජනතා සංවාදයක්ද නිර්මාණය වන හෙයිනි.
බන්ධනාගාරය යනු මිනිසුන් තිරිසනුන් ලෙස රඳවා තැබිය හැකි තැනක් නොවේ. සිරකරුවෝද මනුෂ්‍යයෝ යනුවෙන් බන්ධනාගරය ඉදිරිපස ජනතාවට පෙනෙන පරිදි ප්‍රදර්ශනය වන්නේද එහි ඇතුළත තිරිසනුන් නොව මිනිසුන් සිටින බවට ඇඟවීම වෙනුවෙනි. එහෙත් ඒ මිනිසුන්ට එය තුළදී ලැබන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත අසරණ දුක්පීඩා නම් එය වධකාගාරයක් මිස බන්ධනාගාරයක් විය නොහැකිය.
එසේනම් නීතිය මගින් සිරකරුවෙකු බවට පත්කළ යම් පුද්ගලයෙකුට සම්පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය සපයමින් ඔහු බලාගැනීමද බන්ධනාගාරයේ නෛතික වගකීමකි. එසේ වුවද බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී පැනයෑම මෙන්ම ඝාතනයට ලක්වීම තුළ ඇසෙන්නේ බන්ධනාගාර දෙපාර්මේන්තුව සිය වගකීම් ඉටුකිරීමේදී ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ ප්රශ්නයකි.
එහෙත් බන්ධනාගාරයට පමණක් පාලනය කළ නොහැකි තරමට අපරාධකරුවන්ගේ හැසිරීම බලපෑමක් විය හැකි අවස්ථාවකදී ඒ සඳහා පොලීසියේ සහයෝගය ලබාගැනීමට බන්ධනාගාරයට ඇති අයිතිය බන්ධනාගාර මෙන්ම පොලිස් බලාධිකාරයන්ද පිළිගන්නා සත්‍යයකි. නමුත් එසේ නෛතික බලයක් තිබුණද සැකකරුවන් හෝ සිරකරුවන් ප්‍රවාහනයේදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුනොකිරීමෙන් සිදුවන්නේ සමස්ත නීතිය සහ සාමය පිළිබඳ ක්‍රියාවලියත් අධිකරණ ක්‍රියාවලියත් උඩු යටිකුරු වීමකි. මෙවැනි වැරදි ඉදිරියේදී නැවත නොවිය යුත්තේ එබැවිනි.
බන්ධනාගාරගත වන සැකකරු හෝ සිරකරුවෙකු පලායෑම හෝ මරා දැමීම රටේ නීතියට අභියෝගයකි. එය ඔහුට එරෙහි නඩු සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයට හෝ වගඋත්තරකාර පාර්ශ්වයට යුක්තිය ඉටුකර ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමකි.
වැලිකඩ බන්ධනාගාරයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ රැඳවියන් 27ක් මරා දැමී යැයි නැගෙන චෝදනාව අදටත් නීතිය ඉදිරියේ නිසිලෙස දිග හැරුණේ නැතැයි මානව හිතවාදීහු මෙන්ම එම පවුල්වල සාමාජිකයෝ පෙන්වා දෙති. සිරකරුවෝත් මනුෂ්‍යයෝ නම්, ඒ මනුෂ්‍යයන් රජයේ අවශ්‍යතාව හෝ වෙනත් බලපෑමක් යටතේ මරා දැමීම වරදක් නම් ඒ වරද නැවත සිදුනොවන පරිදි නිසි විභාගයකට නොගැනීම පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙයට දෙමසකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඒ සම්බන්ධයෙන් අපක්ෂාතී පරීක්ෂණයක් පවත්වා අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉටුකරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය. මේ වනවිට ඒ වින්දිතයන් සඳහා වන්දි මුදල් ගෙවීමට රජය සූදානම් යැයිද වාර්තා වෙයි. වන්දියකින් පමණක් සාධාරණය ඉටුවිය හැකිද යන ප්රශ්නය ඥාතීන් නැවත රජයෙන් විමසන්නේ වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි යන තර්කය සමගය.
අවශ්‍ය වන්නේ පරීක්ෂණ සඳහා අවස්ථාව උදාකර ගැනීම හෝ වන්දි මුදල් ගෙවා හිත හැදෙන කතා පැවසීම නොවේ යැයි එම පවුල්වල සාමාජිකයෝ පවසති. කිසිදු රැඳවියෙකුට බන්ධනාගාර අත්අඩංගුවේ හෝ ආරක්ෂක අංශ පොලීසිය භාරයේ පසුවන අවස්ථාවකදී හිංසනයට වධ වේදනාවන්ට පත්නොවී නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය යැයි එම ඥාතීන් පෙන්වා දෙන යථාර්ථය පාලකයන් විසින් තහවුරු කිරීමට තවත් පමා විය යුතු නැත.
පෙබරවාරි 28 වැනිදා මාධ්‍ය හමුවකදී සමයං ඝාතනය පිළිබඳ සන්ධානයේ මන්ත්‍රී ඩලස් පැවසුවේ මෙය චිත්‍රපටයක රංගනයක් විනා කවර කාලයකවත් ඇසිය සහ නොවිය යුතු දෙයක් ලෙසය. සමයංලා මැරෙන්නේ මහපාරේය. වැලිකඩ 27ක් මැරෙන්නේ බන්ධනාගාර තුළ පිළිවෙළින් නම්, අඬගසා පේළියට සිටුවා නම්? එහෙත් දේශපාලකයන්ගේ දැක්මේ පවතින අවස්ථාවාදී දෙබිඩි පිළිවෙත පිළිබඳ වැලිකඩ අගතියටපත් ඥාතීන් පවසන කතාවද හැම දේශපාලකයෙකුටම ඇසිය යුත්තේ මෙය ඇඟිල්ල දිගුකර ගත යුතු ප්‍රශ්නයක් නොව බන්ධනාගරගත වන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ විධිමත් ප්‍රතිපත්තියක් සැකසීමට අනුබලයක් කරගත යුතු බවට චෝදනාවකි.
තවදුරටත් මෙය බන්ධනාගාර ප්‍රජාවේ අර්බුදයක් වන්නේ ඇයි? බන්ධනාගරය යනු නීතියෙන් වැරදි කළ අය යැයි තීන්දු කළ අය නම් එම සැකකරුවන්ට එතැන සුරක්ෂිත තැනක් විය යුතුය. එසේම ඒ තුළ ඔවුන්ගේ රැකවරණයත් ආරක්ෂාවත් සඳහා වෙනම බන්ධනාගර පරිපාලනයක් සහ නිලධාරීන් අවශ්‍ය තරමට සිටිය යුතුය. වෙනත් අවශ්‍යතාවන් සඳහා තවත් කාර්යමණ්ඩලයකි. එවැනි තැනක එක් පුද්ගලයෙකු ඉලක්ක කර සිදුවන පහරදීම වෙඩි තැබීම හෝ මරාදැමීම හෝ මර්ධනය සමස්ත එම ප්‍රජාව සහ අගතියට පත්වන එම පවුල් කෙරෙහි බලපාන ආකාරය සියුම් ලෙස විවරණය කළ යුතු කරුණක් බව සමාජ විද්වත්හු අවධාරණය කරති. නැතහොත් එය නීතිය සරදමට ලක්කිරීමකි.
ගතවූ වසර මුල්භාගය වනවිට ලංකාවේ බන්ධනාගර තුළ පැවැති ඉඩකඩ සම්බන්ධයෙන් වූ වාර්තා විමසමු.
මහර බන්ධනාගාරයේ සිරකරුවන් 970කට ඉඩ තිබුණද එහි සිටින සිරකරුවන් ගණන 2,550කි. වැලිකඩ 3,600ක් දෙනා සිටින්නේ 2,500ට ඇති ඉඩකඩ අහුරා ගනිමිනි. මරණයට නියම වූ 05 දෙනෙකු එක් කාමරයක් තුළ සිරකර සිටිති. පොදුවේ ලංකාවේ බන්ධනාගර තුළ 12,500ක් දෙනාට පමණක් ඉඩ ඇතත් ඒවායේ රඳවා ඇති සිරකරුවන් ගණන 22,000ක් යැයි වාර්තා විය. මේ වනවිට එම ප්‍රමාණය වැඩිවීමක් මිස අඩුවීමක් නොවන බවද දිනපතා ඇසෙන අධිකරණ තීන්දු සාක්ෂි දරයි.
එක්තරා බන්ධනාගාරයක සේවය කළ නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමට සවන් දෙමු.
“මම දැන් විශ්‍රාමිකයි. මම සේවා කාලය නිමවෙන්නත් ඉස්සර ඉවත්වුණා. උදේ පාන්දර ඇඳගන්න නයිලෝන් රෙද්දෙන් මහපු කලිසම, කමිසය ඇඟට හරි වධයක්. සමහර විට නුවර අයෙකුට ගාල්ලේ උසාවියකට සැකකරුවෙක් සමග යන්න වෙයි. එවිට එකදිගට දවස් දෙක තුනක් යුනිෆෝම් එක ඇඳගෙන ඉන්න වෙනවා. කකුලේ තියෙන සපත්තු දෙකත් ඒ වගේ තවත් හිරයක්.
මේවා කායිකව වගේම මානසිකව බලපානවා. සැකකරුවන් උසාවියකට ගෙන ගියාම කිසිම පහසුවක් නැහැ. සැකකරුවෙකු අපේ භාරයට ගත් පසු උසාවි ගෙන ගිහින් ආපහු ගෙනත් භාරදෙන තුරු ඇඟට ලේ නැහැ. කෑමකෑවත් වතුර බීවත් හිතේ තියෙන්නෙ ඊළඟ මොහාත ගැන දැඩි බයක්. ඇයි මේ අපරාධවලට සම්බන්ධ අපරාධකාරයන් නම් ඒ අය ඉලක්ක කර සිදුවන දේ ගැන අපි විපරමින් ඉන්න ඕන. කළුතර වුණෙත් ඒ දේමනෙ.
ඉතින් රාජකාරි පැත්ත ඇතුළෙත් නිවැරදි කළ යුතුදේ ගොඩක් තියෙනවා. බන්ධනාගාර පිරිලා. ඒ වැඩිවන සිරකරුවන් රැඳවියන් සමග අපට පැවරෙන වගකීමත් වැඩි වෙනවා. වැඩිවන රැඳවියන් ප්‍රමාණයට නිලධාරීන් හෝ පහසුකම් වැඩි වෙන්නෙ නැහැ. වගකිවයුත්තන් නිලධාරීන්ගෙන් වෙනවෙනම තමතමන් අත්විඳින අපහසුතා හඳුනා ගෙන ඒවාට පිළියම් යෙදුවොත් බන්ධනාගාර සේවය වඩාත් යහපත් ආකාරයට පත්කර ගත හැකියි.”
2014 වසර වනවිට බන්ධනාගර තුළ එල්ලා මැරීමට නියම වූ පුද්ගලයන් 911ක් සිටියේ යැයි එවකට බන්ධනාගාර විෂය භාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අවධාරණය කළේය.
බන්ධනාගාරය යනු දූෂිත හෝ අපරාධකරුවන්ගේ ලෝකයක් යැයි සමාජ සම්මතයක් වෙනුවට එය සමාජයට හිතකර පරිදි පවත්වා ගත යුතු මානව දයාව ව්‍යාප්ත කළ යුතු මෙහෙවරක් බවට පාලකයන් තීරණය කළ යුතුය. නැතහොත් බන්ධනාගාර වාර්තා පවසන පරිදි බන්ධනාගරයෙන් නිදහස්ව ගිය අයගෙන් 53%ක් නැවත එයටම ආපසු පැමිණීමේ සමාජ අර්බුදය ජයගත නොහැකි බව පමණක් අවධාරණය කළ යුතුය.