කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය වෙත සැකකරුවන් පිරිසක් රැගෙන යෑමෙදී එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමග බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සැකකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතුව තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වීමට අප සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාය.
Q නඩු කටයුතු සඳහා අධිකරණ වෙත යන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?
කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය වෙත යන අතරතුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු යටතේ කමිටුවක් පත්කර තිබෙනවා. එහි නිර්දේශ පැමිණි පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. අනෙකුත් බන්ධනාගාර ආශ්‍රිතව අවශ්‍ය පරිදි ආරක්ෂාව සපයනවා.
Q ආරක්ෂාව පිළිබඳව මෙවැනි ගැටලුවක් මතුව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක් නිසාද?
කළුතර සිද්ධිය ගතහොත් එම අවස්ථාවේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පරිදි නිලධාරීන් යොදවා තිබුණා. මෙය ඉතා සූක්ෂමව සැලසුම් සහගතව සිදුකරන ලද ප්‍රහාරයක්. ඒ නිසා තමයි මෙතරම් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණේ. මෙවැනි පාතාල සැකකරුවන් ආරක්ෂණය කිරීමේදී (අධිකරණ කටයුතු සඳහා රැගෙන යෑමේදී) කෙසේ කටයුතු කරන්නේද කියා අපගේ අවධානය යොමු වී තිබෙනවා.
බන්ධනාගාරය තුළ අධිකරණයක් පිහිටුවලා මෙවැනි පාතාල සැකකරුවන් පිටතට රැගෙන යාමට නොදෙන ක්‍රමවේදයක් ගැන සැලසුම් සකස් වෙනවා. මේ වනවිටත් එවැනි වැඩපිළිවෙළක් කොළඹ ප්‍රදේශයේ සිදුවෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ අමාත්‍යාංශයත්, නීති ක්ෂේත්රත් සමග කතාවෙලා මේ කටයුතු සිදුකරන්න.
Q කොළඹ අවට විශේෂ වැඩපිළිවෙළ ගැන තවදුරටත් පැහැදිලි කළොත් එහෙම?
කොළඹ ප්‍රදේශයේ ඉන්න පාතාල කණ්ඩායම් වැනි තර්ජනයක් තිබෙන සැකකරුවන්ගේ නඩුවලට දින දීර්ඝකිරීම සඳහා මහේස්ත්රාත්තුමා දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණෙනවා. එහිදී ඔවුන්ගේ නඩු දින ලබාදීම සිදුකරනවා. එම ක්‍රමය බාහිර ආයතනවලට සිදුකරන්න පුළුවන්නම් ආරක්ෂාව සම්බන්ධ ගැටලු සෑහෙන දුරට මඟහැරෙනවා.
Q මෙවැනි අවස්ථාවලදී පොලීසියේ සහය ලබාගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් බන්ධනාගාර විශේෂ ආරක්ෂණයක් යනවිට පොලීසියේ ආරක්ෂාව අපි ඉල්ලනවා. නමුත් බොහෝ අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ගේ තිබෙන හිඟතාවය මත පොලීසියේ ආරක්ෂාව අපිට ලබාදෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවක අපි කරන්නේ බන්ධනාගාර නිලධාරීන් වැඩි ප්‍රමණයක් යොදවලා එම ආරක්ෂණය සිදුකිරීමයි.
අධිකරණය මඟහැරලා ඉන්න අපිට පුළුවන්කමක් නැහැ. අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධව සාකච්ඡා කරලා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව විශේෂ ආරක්ෂණ සඳහා පොලීසියේ සහය ලබාගන්න.
Q බන්ධනාගාර නිලධාරීන් සහ පාතාල සාමාජිකයන් අතර සබඳතා පවතින බවට නැගෙන චෝදනාවල සත්‍යතාවක් තිබෙනවාද?
එවැනි සබඳතා පවත්වන නිලධාරීන් කිහිපදෙනක් ඇති. නමුත් සමස්තය එසේ යැයි කියන්න බැහැ. එහෙම සම්බන්ධයක් තිබෙනවා නම් කළුතරදී බන්ධනාගාර නිලධාරීන්ට ජීවිත හානියක් සිදුවෙන්න විදියක් නැහැ.
Q එම සිද්ධියෙන් පසුව බන්ධනාගාරවල අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධව අවධානයක් යොමුව තිබෙනවාද?
බන්ධනාගාරවල අභ්‍යන්තර ආරක්ෂාව ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. පාතාල සාමාජිකයන් උසාවිවලට ආරක්ෂණය කරන එක තමයි අපිට තියෙන ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ.
Q දැනට ලංකාව තුළ බන්ධනාගාර කොපමණ තිබෙනවාද?
31යි.
Q බන්ධනාගාර නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව සතුව සිටිනවාද?
5000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා.
Q බන්ධනාගරගත කළ සැකකරුවන් හා රැඳවියන් කොපමණ සිටිනවාද?
දඬුවම් කළ සිරකරුවෝ 8680ක් සහ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් 9346ක් සිටිනවා.
Q බන්ධනාගාර ඉවත් කිරිමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය කොහොමද?
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා එක් පියවරක් ලෙස නාගරික බන්ධනාගාර විතැන් කිරීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව නාගරික බන්ධනාගාර නගරයෙන් පිටතට ගෙන ගොස් ඉඩකඩ ඇති පහසු ප්‍රදේශවල ස්ථාපිත කරනවා. එහිදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා නේවාසිකයන්ට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා.
ඒ අනුව නාගරික ප්‍රදේශවල තිබෙන බන්ධනාගාර අටක් විතැන් කිරීම සඳහා අපි හඳුනාගෙන තිබෙනවා. දැනට යාපනය, බෝගම්බර බන්ධනාගාර විතැන් කර තිබෙනවා. ලබන මාසයේ තංගල්ල බන්ධනාගාරය අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට විතැන් කරනවා. ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මීගමුව යන බන්ධනාගාර ඉදිරියේදී විතැන් කිරීමට නියමිතයි.