Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතින බව දෙපාර්ශ්වයෙන්ම තහවුරු වෙමන් පවතී. නමුත් එය අසත්‍යයක් බවට පත් වූයේ උතුරු මැද පළාත් සභාවේ සභාපති තනතුරේ ඇතිවූ වෙනස්වීමත් සමගය.
සභාපති වෙනස්වීම
උතුරු මැද පළාත් සභවේ හිටපු සභාපති ටී.එම්.ආර්. සිරිපාල වෙනස් කරගැනීමේ උවමනාව දැඩිව පැවතියේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නටයි. සිරිපාල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වීම එයට බලපෑ ප්‍රබලම කාරණය බවට පත්විය.
නමුත් ඔහුට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේද පිළිගතහැකි කාරණා බොහොමයක් ඇතුළත් වී තිබීම නිසාවෙන් සිරිපාල සිටියේද චකිතයෙනි. විශ්වාසභංගය ගෙනඒමට පේෂල එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය පැතුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස කරුණු අටකින් යුත් විශ්වාසභංගය සභාවට ඉදිරිපත් කරන ලද්දේ පළාත් විපක්ෂ නායක අනිල් රත්නායක විසිනි.
පළාත් සභා සැසිවාරයට පෙර දිනයේ සභා කටයුතු කාරක සභාව තුළත් මෙය විවාද කිරීමට සියල්ලෝම එකඟ වූ අතර නමුත් පසුදා විශ්වාසභංගයෙන් තමාව පැරදීවීමේ උත්සාහයක් අති බව දැනගත් සිරිපාල එය විවාද කිරීමට ඉඩ ලබා නොදුන්නේය.
මේ හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර මෙහිදී ඇතිවූ පොරබැදීම් හේතුවෙන් සෙංකෝලයද දෙකඩ විය.
සභාගැබේ මෙතරම් අරගලයක් ඇති වුවද වුවද මහ ඇමති පේෂල සහ ඇමතිවරු නිශ්ශබ්දව බලා සිටියා එය නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොදැරූහ. ඉන් අනතුරුව ඒකාබද්ධයේ විරෝධය මධ්‍යයේ නව සිරිපාල ඉවත්කර නව සභාපති ලෙස ඩී.එම්.අමරතුංග පත්කර ගත්තේය.
ඔහු පත්වූ විගසම දිවුරුම් දීමේ කටයුත්ත සිදුකරන ලෙසත් එවිට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවත් යෝජනා කළේ මහඇමති පේශලමය. ආණ්ඩුකරවරයා ඉදිරියේ සභාපතිවරයා දිවුරුම් දීමෙන් පසුව මහ ඇමති පේශල පැවසුයේ සිරිපාලගේ සභාපතිකම නැතිවීමට බොහෝ හේතු බලපෑ බවත් නව සභාපතිවරයා සමග අලුත් ගමනක් යන බවත්ය.
මෛත්‍රී පිල හා එජාපය අතර තිබෙන මෙවැනි සම්බන්ධතා හරහා ඒකාබද්ධය පැරදවීමට අවශ්‍ය මොහොතේ එක්වන බවට ඉඟි සැපයෙන බව ඇතැමුන්ගේ අදහස වී ඇත.
බංග්ලාදේශ සංචාරයට පෙර ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මෙයට ප්‍රතිවිරුද්ධ සිදුවීමක් වාර්තා විය.
මැති ඇමැතිවරුන් අතර හුවමාරුවු කෙටිපණිඩුඩය
තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.
රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බවත් නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බවත් මෙහිදී අදහස් දැක්වූ සෙනෙවිරත්න අනාවරණය කළේ ය.
ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාව එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබුණි. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.
බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බවද ඔහු පැවසුවේ ය.
කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංග්ලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය.
මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැර යා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු පවසා තිබුණි.
මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය.
තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.
ඩුබායි බැංකු ගිණුම
දූෂණ වංචා සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙන මෙරට පුද්ගලයන්ගේ කිහිපදෙනෙකු සතුව ඇති බව කියැවෙන ඩුබායි බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද පසුගිය කාලය තුළ දැඩි කතාබහක් ඇතිවිය.
ගිං, නිල්වලා ජල ව්‍යාපෘතියේද අක්‍රමිකතාවක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වූ බව මීට පෙර රජය පැවසූ අතර, එම පරීක්ෂණ ආරම්භවීමත් සමග රජයේ ඉහළ පෙළේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුද ඉල්ලා අස්විය. මෙම අක්රමිකතාවට ඔහුගේද සම්බන්ධයක් ඇති බවට කතා පැතිරෙමින් පවතී.
ගිං, නිල්වලා ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් බාරගත් සමාගම විසින් ඩුබායි බැංකු ගිණුමකට ජනවාරි 09 වැනිදා විශාල මුදලක් තැන්පත් කර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ. වංවා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා රජය යෙදවූ විදෙස් කණ්ඩායමක් මාර්ගයෙන් මෙම කරුණු සියල්ල මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. මෙම ඩුබායි බැංකු ගිණුම මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමක් වීමද විශේෂත්වයකි.
ඉන්දියානු ජාතිකයන් පස් දෙනෙකුගේ සහ මෙරට දමිළ පුද්ගලයකුගේ සහාය ඇතිව මෙම කටයුතු සිදුකර ඇති බවද අනාවරණය කරගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් සනාථ කරගැනීමෙන් පසුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවද විශ්වාස දායක ආරංචිමාර්ග 'දියවන්නාරාළට' ප්‍රකාශ කළේය.
බොරු කළා කියලා දැනගෙන තියෙන්නෙ
පසුගිය රජයේ කටයුතු කළ අමාත්‍යාංශ ලේකම්වරයෙකුද මේ දිනවල තරමක් කලබල වී සිටින්නේ ඔහු සම්බන්ධයෙන් සිදුවන විමර්ශන මේ වනවිට අවසන් මට්ටමේ පවතින බැවිනි.
මෙම විමර්ශන තුළින් වැදගත් කාරණා බොහොමයක් සනාථ වී ඇති බැවින් මේ දිනවල ඔහු විවිධ ස්ථානවලට යමින් ජනතා ආකාර්ෂණය ඇතිකර ගනිමින් තමාව දඩයම් කිරීමට සැරසෙන බව ප්‍රකාශ කරමින් සිටියි. මේ අතර ඔහුගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු ලවා රජයේ අමාත්‍යවරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ''ඇයි ඔයාලා මෙහෙම කරන්නෙ. මේවා නවත්තලා දාන්න.'' යැයි පවසා ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ, ''ඔයාගේ ලොක්කා දන්නවා මේවා අහුවෙනවා කියලා. එයා බොරු එම්.ඕ.යූ එකක් (අවබෝධතා ගිවිසුමක්) හදලා උසාවියට දුන්නා. උසාවියට බොරු කිව්වා කියලා අහුවෙලා තියෙන්නෙ. අපට කරන්න දෙයක් නැහැ.'' යැයි අමාත්‍යවරයාගේ පිළිතුර විය.
ආවාත් හිරු පායයි තරු
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරීන් බොහෝ දෙනෙකු සහභාගි වූ මෙම වැඩසටහනේ නිවේදන කටයුතු සිදුකළේද පාර්මේන්තුවේ නිලධාරියෙකි.
වැඩසටහන මෙහෙයවමින් පාර්ලිමේන්තුවේ නිලධාරියා මීළඟ කතාවට කථානායක කරු ජයසූරියට ආරාධනා කිරීමට සූදානම් විය. ඔහු ආරම්භය ගත්තේ මෙසේය.
''කථානායකතුමනි, ඔබතුමා කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරන විටත් අපි පාර්ලිමේන්තුවේ සේවකයෝ. අපි දුම්රියෙන් ඇවිත් බස් එකෙන් මරදාන බොරැල්ල හරහා පාර්ලිමේන්තුවට එද්දි ඒකාලෙ ඔබතුමා ගැන තිබුණු පොස්ටරයක් දැක්කා මතකයි.
ඒකෙ තිබුණෙ 'ආවොත් හිරු පායයි තරු' කියලා යැයි ඔහු පවසනවාත් සමගම සියල්ලෝම එක හඬින් සිනහවන්නට විය. සිනහ නොවී සිටියේ එයට සභභාගි වූ විදෙස් ජාතිකයන් දෙදෙනා පමණි.
ඔහු සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලා නැවත එය නිවැරදි කිරීමට උත්සාහ කළද තුන් වතාවක් පමණ ඔහුට එය වැරදුණි. සැබැවින්ම එකල එම පොස්ටරයේ සඳහන්ව තිබුණේ 'ආවාත් කරු පායයි හිරු' ලෙසිනි.
විරුද්ධ පක්ෂය විසින් එම පෝස්ටර්යට පිළිතුරු ලෙස ඇලවූ පොස්ටරයේ සඳහන් වූයේ 'ආවොත් කරු පෙනෙයි තරු' ලෙසය.
අපිට ගල් ගැහුවා - අපි සැලුණෙ නෑ
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය වෙනුවෙන් කළුතරදී පැවැත්වූ වැඩමුළුවකදී රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ස්වාධීන මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් කථානායකවරයා අදහස් දැක්වීය. ඔහු මෙලෙස අදහස් දක්වන විට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලද මූලාසනයේ අසුන්ගෙන සිටියේය.
''අපි මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු. මාධ්‍ය ආයතන ගිනිතියපු වෙලාවේ, මාධ්‍යවේදීන්ට හිරිහැර කරපු වෙලාවේදී අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. අපි ඒ තැන්වලට ගියා. සමහර වෙලාවලදී අපි ඒ වෙනුවෙන් පෙනී සිටිද්දි අපේ වාහන කුඩුකළා. අපට ගල් ගැහුවා, නමුත් අපි ඔවුන් වෙනුවෙන් පෙනීසිටීම නතර කළේ නැහැ.'' යැයි කථානායකවරයා අදහස් දක්වමින් පවසා සිටියේය.
ඔහු මෙලෙස අදහස් දැක්වූයේ, 2012 මුල් වකවානුවේදී එවකට ජනාධිපති අපේක්ෂකවරයා වූ සරත් ෆොන්සේකා සිරගත කර සිටින අවස්ථාවේ ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගරයේ සිට බොරුල්ල බෝධිය අසලට පැමිණි පාගමන පිළිබඳවය.
පන්දම් රැගෙන පැමිණි මෙම පාගමනට කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, රෝසි සේනානායක ආදී එජාපයේ පිරිසක් එක්ව සිටි අතර, එම පාගමනට බොරැල්ලේදී මැර කණ්ඩායමක් ගල්මුල්වලින් පහරදී තිබිණි.
එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයේ කටයුතු කළ මන්ත්‍රීවරයෙකු එය සිදුකළ බව ඒ දිනවල කියැවිණි.
අපට අලි හිංසා කරන්නෙ නැහැ
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර තවත් නිලධාරීන් පිරිසක්ද සමග තන්තිරිමලේ බලා පිටත්ව ගියේ පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ නිරීක්ෂණයක් සිදුකිරීම සඳහාය.
දෙදින චාරිකාවක් ලෙස එය සංවිධානය කර තිබුණේ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමත්‍යාංශය විසිනි. යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ඉදිකිරීමටත්, ඒ සඳහා වූ මූලික ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම අගෝස්තු අගදී සිදුකිරීමටත් තීරණය කෙරුණේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදීමය.
කාලයක් පුරා සැලසුම් කළ මේ ව්‍යාපෘතිය කඩිනම් වීම පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම ව්‍යාපෘති භාර ඉංජිනේරුවන්ද මහත් සතුටට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය.
සියලු කාරණා මැද නිරීක්ෂණ චාරිකාව නිමාවූයේ මන්නාරම මුරුක්කන් යෝධ වැවද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එහි වැව් බැම්ම ඉදිකිරීම පිළිබඳවද නිරීක්ෂණය කළ අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර බලවත් කනගාටුවට පත්විය. බොරලු දමා සකස් කළ යුතු එම ව්‍යාපෘතිය මේ වනවිට සිදුවන්නේ කසළ සහිත හා මඩ සහිත පස් පුරවමිනි.
එය නිසි ප්‍රමිතියෙන් හා කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුවන්නකි. රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවන මෙම අක්රමිකතාව පිළිබඳ සොයාබලා වහාම වාර්තාවක් ලබාදෙන්නැයිද රංගෙ බණ්ඩාර අමාත්‍යවරයා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කපිල ජයසේකරටත්, අනෙකුත් වගකිව යුතු නිලධාරීන්ටත් මෙහිදී උපදෙස් ලබාදුන්නේය.
එමෙන්ම කොන්ත්‍රාත්කරුගේ කොන්ත්‍රාත්තුව අහෝසි කිරීමටත්, මීට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීමටත් ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී.
මේ සමගම සියලු දෙනා ආපසු පිටත් වීමට සූදානම් විය. සියලු දෙනාගේම යෝජනාව වූයේ විල්පත්තු කැලේ මැදින් ආපසු ගමන සැලසුම් කරගත යුතුය යන්නයි. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරද ඊට එක පයින් කැමැති විය.
ගමන ඇරඹිණි. වාහන 04ක් එක පෙළට ගමන් කරයි. ඉදිරියෙන් යන්නේ අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් රැගත් ජීප් රථයයි. ඊට පිටුපසින් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ගමන් කරයි. එක්වරම වාහන පෙළ නතර විය. මහා පර්වතයක් මෙන් වූ සද්දන්ත අලියෙකු මාර්ගය මැදට වී බලා සිටියි. එක්වරම අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙනි.
''අපි දැන් මොකද කරන්නෙ?'' යැයි ඔහු එක්වරම විමසීය. ''මමත් හොඳ අලියෙක් තමයි. අපට අලි හිංසා කරන්නේ නෑ. ඔහොම පොඩ්ඩක් ඉන්න'' යැයි පැවසූ අමාත්‍යවරයා ජීප් රථයෙන් බැස කුමක්දෝ දෙයක් අලියාට ඇසෙන පරිදි පැවසීය.
ගතවූයේ ස්වල්ප වේලාවකි. සද්දන්ත අලියා හොඬය හකුළමින් වනයට පියවර මැන්නේය. විනාඩි කිහිපයක් තුළ බොහෝ දෙනෙකුගේ රත් වූ ලේ සීතල වූයේ ඉන් පසුවයි.
ජානිපෙ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඉවත්වීම
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුව බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියහ.
කථානායක කරු ජයසූරියට බාරදීම සඳහා කරුණු 10ක් ඇතුළත් කර සකස් කරන ලද ලිපියක්ද ඔවුන් සතුව තිබිණි. මන්ත්‍රී කණ්ඩායමේ සියලු දෙනා එම ලිපියට අත්සන් කර තිබූ අතර පද්ම උදය ශාන්ත ගුණසේකර ලිපියට අත්සන් තබා උමාඔය ව්‍යපෘතිය සම්බන්ධ සාකච්ඡාවට පිටව ගියේය.
කථානායකවරයා හමුවීමට පෙර විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ කරු මුණගැසීමට තවත් වෙලාව තිබූ බැවිනි. ඔවුන් පුස්තකාලයට යන විට බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ පැමිණ කතාකරමින් සිටියහ. ''අන්න විමල්ලා එනවා, අද කථානායකට ලියුමක් බාර දෙන්න තියෙනවා කිව්වනේ'' මහින්දාන්ද බන්දුලට කීවේය.
ආ විමල් කථානායක හමුවුණාද බන්දුල ඇසූ විට ''ඔය ගොල්ලොත් මේ ලියුමට අත්සන් කරන්නකෝ. මේක හොඳ වැඩක්නේ'' විමල් එහිදී කීවේය. ''මාත් ඕකට අත්සන් කරන්න කැමතියි. ඒත් ඒකාබද්ධ විපක්ෂයේ අනිත් කට්ටිය තාම තීරණයක් අරන් නැහැනේ. ඒ අය හරි තීරණයක නැහැ.'' මහින්දානන්ද කීවේ සිනහවෙමිනි.
''රටේ තියෙන දේශපාලනයත් එක්ක අපි ගත්ත තීරණය ඉතාම නිවැරදියි. මේක මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ව්‍යවස්ථාවක් හදනවානම් හදන්න ඕන රටේ ප්‍රශ්න ටික හරියට තේරුම් අරගෙන. මේ ව්‍යවස්ථාව හදන්නේ වරදාන, වරප්‍රසාද දෙන්න. ඒකට කොහෙත්ම අපට එකඟවෙන්න බැහැ.
ඒකාබද්ධ විපක්ෂයටත් එකඟවෙන්න පුළුවන් කරුණු ඇතුළත් කරලයි අපි ලියුම සකස් කළේ ''විමල් කියූ විට බන්දුල හා මහින්දානන්ද කීවේ ''ඔව්, ඔව් කාරණය ඇත්ත'' කියාය. අනතුරුව ජානිපෙ මන්ත්‍රීවරු පිරිස කථානායක කාමරය වෙත ගියහ. කරු ජයසූරිය සුහදශීලීව සිනහවෙමින් මන්ත්‍රී පිරිසට වාඩිවෙන්නැයි කියා ''මොකද මන්ත්රීතුමාලා කරන්න හදන්නේ'' යනුවෙන් විමසීය.
එහිදී විමල් කතාව ආරම්භ කරමින් “ඇත්තටම කථානායකතුමනි අලුතින් හදන ව්‍යවස්ථාවට රට වටෙන්ම ලොකු විරෝධයක් තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙන්න අපි තීරණය කළා. කොහොමත් මීට බොහෝ කලකට පෙර තමයි අපි ඉවත් වෙන්න තීරණය ගත්තේ'' යැයි කීවේය.
''ඔබතුමාලගේ පක්ෂයේ තීරණයට මට මොකුත් කියන්න බැහැ. වෙනස් විදියට මේ ගැන කල්පනා කරලා තීරණයක් ගත්තොත් නරකද?* කරු පැවසූ විට, “නෑ නෑ මේ තීරණය අපි ගත්තේ කල්පනා කරලා තමයි කථානායකතුමනි. මේ ව්‍යවස්ථාව ප්‍රායෝගිකව වැරදියි'' විමල්ගේ අදහස විය. &අපිත් ඉන්නේ රට පැත්තේ තමයි මන්ත්‍රීතුමා. රටට හානියක් වෙන පැත්තක මමත් හිටගන්නේ නැහැ.
මේක ඇතුළෙ වාදවිවාද කරලා, සාකච්ඡා කරලා තීරණයකට එන්න පුළුවන් අවස්ථා පාර්ලිමේන්තුවේ තියෙනවා නේද?'' කථානායකවරයා කීවේය. ''දැන් එන විදිය, එන පිළිවෙළ දැක්කාම කතා කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නෙ නොගැළපෙන තත්ත්වයක්. ඒ නිසා අපේ ලිපිය බාරගන්න කථානායකතුමනි'' කියා විමල් ලිපිය කරුට බාර දුන්නේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට අයත් වන බවට දැක්වෙන වගන්තිය මින් ඉදිරියට වලංගු නොවන බව ජනිපෙ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අවස්ථාවේදී ඒ පිළිබඳ නීතිමය තත්ත්වය සොයබලන බව කථානාකවරයා සඳහන් කළේය.
මංගල දුරකථන අංක එකතු කරයි
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර හමුවූයේ ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණෙනි.
තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන මිලියන 60ක ප්‍රතිපාදන මෙන්ම ආණ්ඩුවේ අර්බුද සම්බන්ධයෙන්ද කතා කිරීමට මෙහිදී සැලසුම් කරගෙන තිබිණි.
''ඇමතිතුමා අපේ ගම්වල සංවර්ධන වැඩ පටන් අරගෙන තියෙන්නෙ. ඒත් අපට මුදල් ලැබුණේ නැහැ තවම. මේ නිසා අපි හරිම කරදරේක වැටිලා ඉන්නේ ඇමතිතුමා.'' මන්ත්‍රීවරුන්ගේ මෙම යෝජනාව පිළිබඳ සියලු කරුණු සොයා බලා ඉක්මන් විසඳුමක් දෙන බවට මංගල පොරොන්දු විය. ඇමතිවරයා පැවසූ පරිදිම බ්‍රහස්පතින්දා වනවිට මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් රුපියල් බිලියනයනක් නිදහස් කර තිබිණි.
ඇමතිවරයා එම මුදල් නිදහස් කළද මන්ත්‍රීවරුන්ට මුදල් ලබාගැනීම තවදුරටත් අපහසු කාරණයන් වී ඇත.
ආණ්ඩුවේ ඉදිරි ගමන්මග මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පිළිබඳවද විවිධ මන්ත්‍රීවරුන් ඇමති මංගලට කරුණූ පැවසූ අතර, ඒ සඳහා විසඳුම් සෙවීමටත් විසඳුම් ඉදිරිපත් කිරීමටත් මංගල කටයුතු කළේය.
පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දුරකථන අංක මංගල ඇමතිවරයා සතුව නොතිබිණි. නොදන්නා අංකයකින් තමාගේ දුරකථනයට පැමිණෙන ඇමතුම් නොගන්නා බැවින් මංගල දැන් සියලු පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දුරකථන අංකයන් තම දුරකථනයට ඇතුළු කරමින් සිටියි.
එමෙන්ම පුංචි ඡන්දයට ගම සූදානම් කරන ලෙසද ඇමති මංගල ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම කරුණු කතාබහ කරගෙන යන අතර, අගමැති රනිල් එම ස්ථානයට පැමිණි අතර, ඉන්පසු මන්ත්රීවරන්ගේ අදහස් සඳහා අගමැතිවරයාද පිළිතුරු දෙන්නට විය. පසුව ප්රියසම්භාෂණය ආරම්භ විය. මංගලගේ හමුව අවසන් වී අවසානයටම නිවසින් පිටව ගොස් ඇත්තේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය.
සුසිල්ට පුටුව දීලා එහා පුටුවට යනවද?
සුනිල් පෙරුම්පුරගේ හෝමාගම නෙළුම් මාවතේ නිවසේ පැවැති අවමංගල්‍ය අවස්ථාවට සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා ගියේය.
ඩිකසන් පෙරේරා සමග මහින්ද කතාබහ කරමින් සිටියදී සුසිල් ප්‍රේම්ජයන්ත් එම ස්ථානයට පැමිණියේය. ඩික්සන් මට සුසිල් ඇමතිතුමා එක්ක ටිකක් කතාකරන්න ඕන. සුසිල්ට පුටුව දීලා එහා පුටුවට යනවද? මහින්ද පැවසූ විට ඩික්සන් සුසිල්ට අසුනදී වෙනත් අසුනක වාඩිවිය.
‘ඉතිං කොහොමද සුසිල් මොකද මේ දවස්වල වෙන්නෙ, මහින්ද දිගු කතාබහකට මුල පිරූ අතර, ''ඉන්නවා සර්. වරදක් නෑ'' සුසිල්ගේ පිළිතුර විය. මෙහිදී මහින්ද සහ සුසිල් විනාඩි 45ක් පමණ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කළහ. එම සාකච්ඡාවේදී කතාකළේ මොනවාදැයි පිටතට ලබා නොදීමට දෙදෙනාම වගබලා ගත්තේය.
ප්‍රසන්න මාව දාලා ගිහින්
මේ අතර පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ රැස්වීමට බලාපොරොත්තු නොවුණු පරිදි වැඩි කාන්තා සහභාගිත්වයක් නියෝජනය වූහ. මෙම හමුවේදී බැසිල් රාජපක්ෂ අදහස් දක්වමින් පවසා සිටියේ, ''එන අයට දැන්ම එන්න කියන්න, පස්සේනම් එන්න එපා කියන්න'' කියාය.
මෙම උත්සවයේ සංවිධාන කටයුතුවලට පැමිණ සිටි ප්‍රසන්න රණවීර අකරතැබ්බකට මුහණ දී තිබිණි. ප්‍රසන්න එම රැස්වීමට පැමිණ සිටියේ සිය බිරිඳ සමගය. රැස්වීම අවසන් වූ පසුව ප්‍රසන්නගේ බිරිඳ එහාමෙහා දුවද්දී අසල සිටි අයෙකු ඇසුවේ 'මොකක් හරි කරදයක්ද' කියාය. ''බලන්නකො ප්‍රසන්න මාව දාලා ගිහින්නේ'' ඇය කීවාය. රැස්වීම අවසන් වූ පසුව කැලණිය ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් සමග ප්‍රසන්න ගොස් ඇතැයි ඔහුගේ බිරිඳට පසුව දැනගන්නට ලැබිණි.
රොෂාන් යළි එක්වෙයිද?
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මත ගැටුමක් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ඇතැයි බ්‍රහස්පතින්දා වනවිට ප්‍රචාරයක් ගියේය. මේ දිනවල රොෂාන් ජපානයේ සංචාරයක යෙදෙන අතර, එහිදී ඔහුට ආරංචි වී තිබුණේ පොළොන්නරුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන් තිදෙනෙකු පත්කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජූලි 22 වැනිදා සිට පැවැත්වීමට නියමිත රැස්වීම් මාලාවට අදාළව මෙම සංවිධායකයන් තිදෙනා පත්කර තිබිණි. පොළොන්නරුව නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂයෙ සියලු කටයුතුවලට දායක වන තමන්ට නොදන්වා සංවිධායකයන් පත්කර ඇතැයි දැනගැනීම හේතුවෙන් කලකිරීමට පත් ඔහු ජපානයේ සිට ලිපියක් ලියා එව්වේ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි රැස්වීම්වලට තාවකාලිකව සහභාගි නොවීමට තීරණය කළ බවයි.
රොෂාන් ඒකබද්ධ විපක්ෂයේ නායකයන්ට නොදන්නවා තීරණයක් ගෙන තිබුණු නිසා මෙම අර්බුදය පැනනැගී තිබිණි. රොෂාන්ගේ තීරණය සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. රොෂාන් අයින් වී ඇතැයි ආරංචිය දැනගන්නා විට නාමල් සිටියේ කෑගල්ලේය. ඩී.වී. චානක එම තොරතුරු දුරකථනයෙන් ඔහුට දැනුම් දුන්නේය.
එවේලේම රොෂාන්ට සහ මහින්ද රාජපක්ෂට කතාකළ නාමල් තොරතුරු විමසා කෑගල්ලේ ගමන අවංලගු කර යළි කොළඹ බලා පැමිණියේය. රොෂාන්ට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් දුරකථන ඇමතුම් දෙමින් තොරතුරු විමසන්නට වූහ. ''රොෂාන් කිසි දෙයකට කලබල වෙන්න එපා, හිත් රිදවීම් වෙනවා තමයි.
අපි මේවා විසඳ ගමු. ඔයාගේ වැඩටික කරගෙන එන්න'' මහින්ද ඇමතුමක් ගෙන රොෂාන්ට කීවේය. ඉන් පසුව එම ගැටලුව සමථයකට පත්කිරීමට ඩලස්, බන්දුල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට හැකිවිය.
40 වැනි සැමරුමට උදාගම්මාන 40ක්
එක්සත් ජාතික පක්ෂය වසර 1977දී ලැබූ සුවිශේෂ ජයග්‍රහණයට හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීමට එජාපය මේ දිනවල වැඩකටයුතු සිදුකරමින් පවතී.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අඟහරුවාදා රාත්‍රියේ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹදී පැවැත්විණි.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඊට අදාළ සිය මෙහෙයුම් පිළිබඳ කරුණු දක්වමින් සජිත්, ''අපි ඇඟට පතට දැනෙන වැඩක් කරන්නයි සූදානම් වෙන්නේ. අපි මේ සංවත්සරය නිමිත්තෙන්ම අලුත් උදාගම්මාන 40ක වැඩ ආරම්භ කරනවා. දින වකවානු ඇතිව ඒවා ජනතා අයිතියට පත්කරනවා. ඔබතුමාගේ ආශීර්වාදය විතරයි ඕන'' කියා කියද්දී අගමැතිවරයා පැවසුවේ, ''නියමයි වැඩේ'' කියාය.
මේ පිළිබඳ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවට අනෝමා ගමගේ, හර්ෂණ රාජකරුණා, සජිත් ප්‍රේමදාස, දායා ගමගේ, ඉරාන් වික්‍රමරත්න, කබීර් හසීම්, අශෝක අබේසිංහ, කාවින්ද ජයවර්ධන ආදී පිරිසක් එක්ව සිටියහ.
හරීන් ප්‍රනාන්දු පැමිණියේ තරමක් ප්‍රමාද වෙමිනි. ඔහු එවනවිටම ඇමති අනෝමා විමසුවේ,
''අපේ ඩිජිටල් ඇමතිතුමා ඩිජිටල් කලාපයේ මොකද කරන්නේ කියලා කියන්න'' යනුවෙනි.
එය තමාට කළ උපහාසයක් යැයි සැලකූ හරීන්, ජංගම දුරකථනය දෙස බලා සිටියා මිස කතාකළේ නැත. ඔහුගේ වෙනත් නිලධාරියෙකු ඔහු වෙනුවෙන් අදහස් දැක්වීය.
මෙම සමරු උත්සවයට තැබිය යුතු ගැළපෙන නමක් එහිදී සාකච්ඡා වූ අතර, සාකච්ඡාවේදී එක් නමක් ඉදිරිපත් කෙරිණි. 40 වසර සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නම පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොතිබූ අතර පසුපෙළ පිරිස් මේ කාරණය පැහැදිලි කර පෙන්වා දුන්නේය.
එහිදී එම කැරුණු සැලකිල්ලට ගත් ඇමති සජිත්, කබීර් ඇතුළු පිරිස එයට එකඟ වී එය වෙනස් කිරීමට එකඟ වූ අතර දිනක් ඇතුළත නව තේමාවක්ද සකසා තිබිණි.
දියවන්නාරාළ විසිනි
[email protected]
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd