තෝරාගත් පාසල්වල දරුවන්ට කිරි වීදුරුව හෝ දිවා ආහාර වේල ලබාදීමේ ව්‍යාපෘතිය ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව පාසලේදී ආරම්භ කිරීම පිළිබඳව ‘අද’ කළ විමසීමකට කරුණු දක්වමින් අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාසල් දරුවන්ට ලබාදෙන කිරිවල ගුණාත්මක බව රකින බව සඳහන් කළේය.
“ගමේ ඉන්න කිරි ගොවියන් ප්‍රමාණවත් නැත්නම් පමණක් අපි මිල්කෝ එකෙන් කිරි පැකට් ලබාගන්නවා. කොහොමටත් මිල්කෝ එකෙන් දෙන්නෙත් නවසීලන්ත එළදෙනුන්ගෙ කිරි නොවෙයි, ලංකාවේ එළදෙනුන්ගෙන් ඒ වෙලාවෙම දොවලා ගත්ත නැවුම් එළකිරි. වෙනස තියෙන්නෙ ටික දවසක් තියාගන්න එක විතරයි. ඒත් ගුණාත්මක බවෙහි එතරම් වෙනසක් වෙන්නෙ නෑ. කිරි ලබාදෙන්න අත්‍යවශ්‍යම ප්‍රදේශවලට කිරි ලබාගැනීමේ දුෂ්කරතා ආවොත් මිල්කෝ එකෙන් දියර කිරි පැකට් අරගෙන දරුවන්ට දෙනවා.
කොහොමටත් පිටිකිරි දෙන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මේක විදේශීය කිරිපිටි ආයතනවලට කිරිපිටි අලෙවි කරන්න දෙන අවස්ථාවක් නෙවෙයි. ඒ ආයතනවලට ආණ්ඩුවෙන් උදව් අවශ්‍ය නෑ. රටේ ඉන්න අම්මලා තාත්තලා ටික ඒ කිරිපිටිවලට වෙළෙඳ පොළ හදලා දෙනවා. අපි බොන්න එපා කිව්වත්, ඒවා අරන් ගිහින් බොන මිනිස්සුයි මේ රටේ ඉන්නෙ. ඒ කිරිපිටි අලෙවිකරුවන් ඉතාම ආකර්ෂණීය වෙළෙඳ දැන්වීමක් දාලා මේ ළමයා මේ උස පැන්නෙ අපේ කිරි බීලා, මේ පදක්කම ගත්තෙ මේ කිරි බීලා කිව්වම අපේ රටේ උගත්, බුද්ධිමත් දෙමව්පියෝ ඉතාමත් කැමැත්තෙන් සුදානම් වෙලා ඉන්නවා, ඒ ළමයා වගේම මගේ ළමයාත් පන්නන්න ඒ කිරි ටිකක්ම පොවන්න. ඉතින් ඒ සමාගම් අපේ පස්සෙ එන්නෙ නෑ. ඒ අය උගත් බුද්ධිමත් දෙමව්පියොත් එක්ක, අපට කරදර නොකර ඒ අයගෙ පාඩුවේ වෙළෙඳාම කරගෙන යනවා. අපි අමාත්‍යාංශයෙන් දරුවන්ට හොඳ දියර කිරි ලබාදෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.