පාප් වහන්සේගේ ලංකා ගමන වෙනුවෙන් මේ වනවිට කටයුතු සූදානම් වන බවට ඇසෙන පුවත් පවසයි. එහිලා මෙරට ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වය කෙබඳුද? මේ ඒ සම්බන්ධයෙන් අස්ගිරි මහා විහාරවාසී කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කෙරෙන කතාබහකි.
Q පාප්තුමාගේ ගමන සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අනුබලය කෙසේවිය හැකිද?
ප්‍රැන්සිස් පාවුළු පාප්තුමාගේ ලංකා ගමනය සිදුවීම පිළිබඳ විවිධ ස්වරූපයෙන් අර්ථ ගැන්වීම් තියෙනවා. මේ තුළින් දේශපාලනය බද්ධකර ජනාධිපතිවරණයට සම්බන්ධ කර අදහස් ප්‍රකාශ කිරීමක්ද සිදුවෙනවා. අපි බෞද්ධ ප්‍රජාව හැටියටත්, භික්ෂූන් වහන්සේලා හැටියටත් කල්පනා කරන්නේ එතුමා ලෝකයේ අතිවිශාල බැතිමතුන් පිරිසකගේ ආගමික නායකයා ලෙසයි.
ඒවගේම අපේ රටේත් එතුමාගේ ආගම අදහන අපේම සහෝදර ශ්‍රී ලාංකික ජනතාවක් වෙසෙනවා. එවැනි අවස්ථාවක එවැනි ආගමික නායකයෙකු ලංකාවට පැමිණීම අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. එය අපට බෞද්ධ රටක් හැටියටද යම් පණිවිඩයක් දීමට අවස්ථාවක්.
Q ඒ පණිවිඩය පිළිබඳව පැහැදිලි කළොත්?
ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් අන්‍ය ආගමිකයන්ට එරෙහිව කටයුතු කරන බවට පසුගිය කාලයේ අපට අසත්‍ය චෝදනාවක් තිබුණා. එය එන්ජීඕ සහ බෞද්ධ විරෝධී ඇතැම් පුද්ගලයන් වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේත් සාකච්ඡා වූ කරුණක්. අප තුළ එවැනි අන්‍යාගමික විරෝධයක් නැති බවට සත්‍යය ලොවට පෙන්වීමට පාප්තුමාගේ පැමිණීම අපි අවස්ථාවක් කරගත යුතුයි. එසේම එය අපගේ ආගමික සංහිඳියාව තහවුරු කර ගන්නා කාරණයක් බවට පත්කර ගත යුතුයි.
Q මෙයට පෙර ජුවාන් පාවුළු පාප්තුමාගේ ලංකා ගමනට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විවේචනයක් තිබුණා නේද?
ඒ කියන්නෙ 1995 දී පමණ හිටපු පස්වැනි ජූවාන් පාවුළු පාප්තුමා ලංකාවට සැපත් වූ අවස්ථාවේ අප සමාජයේ යම් කැළඹීමක් ඇතිවුණා තමයි. විදේශික බෞද්ධයන්ගෙන් පවා එතුමාට විරෝධය එල්ල වුණා. ඒ කියන්නේ එතුමා පොතක් ලිව්වා 'විශ්වාසයේ එළිපත්ත පැනීම' කියලා.
බුද්ධ යනුවෙන් එහි එක් පරිච්ඡේදයක් තිබුණා. එහි සඳහන් වුණේ බුදුදහම මායාකාරී ගුප්ත අදහස් සංකල්පවලින් පිරුණු ආගමක්. ඒ වගේම මිනිසුන් උදාසීන කරන ඉගැන්වීම් කරන ආගමක් හැටියටයි. ඒනිසාම අපි එයට සහභාගි වුණේ නැහැ. මොකද අපේ ධර්මයට එයින් අයථා වැරදි අර්ථකථනයක් දීම නිසා. නමුත් එතුමා වෙනුවෙන් ඉදිවූ ගාලු මුවදොර වේදිකාව සකස් කළේත් බෞද්ධ භික්ෂුවක වූ මාපලගම විපුලසාර හාමුදුරුවන් බව අමතක කරන්න හොඳ නැහැ.
Q මෙවර එවැනි අර්බුදයක් නැද්ද?
නැහැ. මේ අවස්ථාවේ පාප්තුමාගේ පැමිණීමට විරුද්ධවෙන්න හේතුවක් නැහැ. එතුමා සාමාන්‍ය සරල දිවියක් ගෙවන සාමාන්‍ය මිනිසුන් ඇසුරු කරන චාම් දිවිපෙවතක් ගෙවන අයෙක් ලෙස අපට වැටහී තිබෙනවා.
මට දැනගැනීමට ඇති පරිදි සහ පවතින රාවය අනුව අන්තවාදී ද්‍රවිඪ කණ්ඩායම් පාප්තුමා උතුරු ප්‍රදේශයට කැඳවාගෙන ගොස් එතුමා ලවා බෙදුම්වාදයට වාසිදායක ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ දරන බවට කතා පැතිරෙනවා.
මන්නාරමේ රාසප්පු ජෝෂප් රදගුරු දෙමළ ජනතාවට දකුණේ පවතින රාජ්‍යයෙන් හිංසන පීඩා, මානව හිමිකම් අහිමි කිරීම් සිදුවන බවට අදහස් පාප්තුමාට කාවැද්දීමට උත්සාහ කර තිබෙනවා යැයි ආරංචියි. එවැනි ජාත්‍යන්තර වශයෙන් හෝ ශ්‍රී ලාංකීය වශයෙන් අපේ රටට අහිතකර බලපෑම් ඇති කරන දේශපාලන ප්‍රකාශන එතුමා අතින් සිදුනොවේ යැයි අප හිතනවා.
Q භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට සහභාගි වෙනවාද?
එතුමාගෙ පැමිණීමේදී අපි භික්ෂූන් ලෙස කටයුතු කළයුත්තේ කෙසේද යන්න තීරණය විය යුත්තේ මහනාහිමිවරුන්ගේ තීරණය අනුවයි. අන්න එනිසා ඒ ගැන තීරණය කිරීමට මහා නිකායික සංඝරත්නය එකඟතාවකට එළඹිය යුතුයි.
Q මේ දිනවල හාමුදුරුවන් වහන්සේලාට කතෝලික මීසම්වලින් ආරාධනා කිරීම ආරම්භ කර ඇති බවට ආරංචියක් තියෙනවා?
ඔව්. මටත් ආරංචියි. මීසම් භාර පූජකතුමන්ලා ඒ ඒ ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේලා දෙනම බැගින් පාප්තුමා පිළිගැනීමේ උත්සවයට වැඩම කරවන ලෙස සංවිධානය කරමින් සිටින බවට. ඒත් මෙය රජයේ කාර්යයක් නිසා එය රජය මගින්ම සංවිධානය කර ආරාධනා කිරීමත් රජයේ වගකීමක්. එවැනි දෙයකට රජයේ ආරාධනයක් නිසි පරිදි ලැබුණොත් එයට අනුකූලව මහනාහිමිවරුන් තීරණයක් ගනියි.
මෙතන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් පාප්තුමා රාජ්‍ය නායකයාගේ ආරාධනයෙන් පැමිණෙන්නේ නම් එය රජයේ ආරාධනයක්නෙ. එහිදී එයට සහභාගිවන භික්ෂූන් වහන්සේලාට ආරාධනය කිරීමත් රජයේ වගකීමක් වෙනවා. තවත් පැත්තකින් භික්ෂූන් වහන්සේලා සමග කටයුතු සම්පාදනයේදී සිරිත්විරිත් සම්මතයන් සහ වෙනත් ආගමික නියමයන් පිළිගැනීමේ කටයුතු සම්ප්‍රදායික වත්පිළිවෙත් අනුව සිදුවිය යුතුයි. ඒ අනුව සියල්ල සිදුවන්නේ නම් අපිට සහභාගිවීමේ ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.
ලාල් ජයසුන්දර