ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දිනවල පැවැත්වුණු ක්‍රිකට් තරග මාලාව නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට පරාජයේ වේදනාවක් ඉතිරි කරමිනි. කෙසේනමුත් මෙම සටහන තැබෙන්නේ එම පරාජය පිළිබඳව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව නම් නොවේ. මේ ඉඩකඩ වෙන්වන්නේ එම තරගාවලි අතරතුර බොහෝදෙනෙකුගේ ඇස නොගැටුණු එක්තරා ජයග්‍රහණයක් පිළිබඳවයි.
ක්‍රිකට් තරග පැවැත්වුණු පසුගිය 31,3 සහ 6 යන දිනයන්වල කෙත්තාරාමයට පැමිණි ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණේ අමුතුම වූ දසුන් කිහිපයකි. 'වෝර්න් ටීම්'නමින් තමන්ව හඳුන්වා ගනිමින් එක සමාන ඇඳුමකින් සැරසී සිටි තරුණ කණ්ඩායමක් ප්‍රේක්ෂකයන් අතරම රැඳී සිට ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරමින් සිටින අතර, ප්‍රේක්ෂකයන් විසිකරන අපද්‍රව්‍ය වහාම දිවගොස් අහුලාගෙන ප්‍රේක්ෂකාගාරය තුළ වූ කසළ බඳුන්වලට වර්ගීකරණය කොට දමනු ලබයි. එසේ කරන ඔවුන් නැවතත් සුපුරුදු ලෙස ප්‍රීතිඝෝෂා කරමින් තරගය නරඹයි. නැවතත් යම් ප්‍රේක්ෂකයෙක් අපද්‍රව්‍යයක් විසිකළ වහාම ඔවුන් ක්‍රියාත්මක වෙයි. ඒ කිසිදු අවස්ථාවක ඔවුන් ප්‍රේක්ෂකයන්ට එසේ නොකරන ලෙසට පවසනු හෝ ප්‍රේක්ෂකයන් සමග නුරුස්සනා අයුරකින් කටයුතු කරනු දකින්නට නොලැබුණි.
මේ සිදුවීම නෙත ගැටීමත් සමග මෙම 'වෝර්න් කණ්ඩායම' පිළිබඳව සොයා බැලීමට 'අද' කටයුතු කළේ දින තුනක් පුරාවට සිදුකළ ඒ නිහඬ කර්තව්‍යය මුළු රටම දැනගැනීම වැදගත් යැයි හැඟුණු නිසාවෙනි. ඒ අනුව අපට 'වෝර්න්හී' නිර්මාතෘ කෝකිල ජයතිස්ස මහතාව සම්බන්ධ කර ගැනීමට හැකි විය.
'අද වෙනකොට මේ රටේ බොහෝදෙනෙක් අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන කතා කරනවා. නමුත් ඒ පිළිබඳව තිබෙන අවබෝධය සහ දැනුවත්භාවය ගොඩක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ මේ දැනුවත්භාවය සහ අවබෝධය ලබාදෙන්න නිසි ක්රමවේදයක පවතින පුරප්පාඩුවයි. ඒ පුරප්පාඩුව සම්පූර්ණ කරන්නයි පරිසරයට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු වෙලා 'වෝර්න්' කණ්ඩායම නිර්මාණය කරගත්තේ. අපි මේ කණ්ඩායම එකතු කරගත්තේ ෆේස්බුක් හරහා. ඒ ඔස්සේ අපිට හැකිවුණා පරිසරයට ආදරය කරන, අපද්‍රව්‍ය කළමනාකරණය ජීවිතයට එකතු කරගත්ත තරුණ සංස්කෘතියක් නිර්මාණය කරගන්න. මම බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. මූලික වශයෙන් 'වෝර්න්' කණඩායමේ සිටිනවා සාමාජිකයන් දසදෙනෙක්. ඒ දසදෙනා අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේම සේවයේ නියුතුව සිටින තරුණ පිරිසක්. ඔවුන්ට අමතරව අද වෙද්දි පරිසරයට ආදරය කරන තරුණ තරුණියන් දහසකගේ පමණ ශක්තිය වෝර්න් වෙත ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි හැමෝම මේ සෑම දෙයක්ම සිදුකරන්නේ ස්වේච්ඡාවෙන්.
අපිට සභාපතිවරයෙක් ලේකම්වරයෙක් හෝ නිලධාරී මණ්ඩලයක් නැහැ. ආරම්භයේ ඉඳලා අද වෙනකම්ම අපි වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. ඉදිරියට අපි පැළ දසදහසක් රෝපණය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එය අපි ක්‍රියාත්මක කරන්නේ පාසල් ප්‍රජාව යොදාගෙන. සෑම දරුවෙක්ම තමන්ට ලැබෙන පැළය විශාල වෘක්ෂයක් වනතෙක්ම එය රැක බලාගත යුතුයි.
කෙත්තාරාම ක්‍රීඩාංගණයේ අපි කරපු වැඩසටහන පිළිබඳව කතා කළොත් ඒ වැඩසටහන අපි නම් කළේ 'Team up, Clean up' කියලා. ක්‍රිකට් කියන්නේ ලෝකයම පිළිගත්ත මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විදියටයි. එතනදි ක්‍රීඩකයා විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයා තුළිනුත් මහත්මාගති පිළිබිඹු විය යුතුයි. නමුත් ඒ මහත්මාගතිය ලංකාවේ ප්‍රේක්ෂකයන් තුළින් අද වෙනකොට පිරිහෙමින් යනවා. ඒක හොඳටම දැකගන්න පුළුවන් වෙනවා ක්‍රිකට් තරගයකින් පස්සේ ප්රේක්ෂකාගාරයකට ගිහින් බැලුවොත්. මෙතනදි අපිට අවශ්‍ය වුණේ ඒ පිරිහීමට විරුද්ධව හඬ නැගීමකට වඩා ක්‍රියාවෙන්ම ඔවුන්ට ආදර්ශයක් ලබාදෙන්න. අපි ඔවුන් විසිකරන අපද්‍රව්‍ය ඒ මොහොතෙම අහුලලා ඔවුන් ඉදිරියේම වර්ගීකරණය කරලා කසළ බඳුන් වලට දානවා. ඒක දකින ප්‍රේක්ෂකයෙක් ඒ ගැන ලැජ්ජ වෙනවා වගේම නැවතත් එවැනි දෙයක් කරන්න යොමුවෙන්නේ නැහැ.
අපි දකින දේ තමයි සමාජයට ක්‍රියාවෙන්ම යමක් අවබෝධ කරදීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. එයයි මෙතනදිත් සිදුවුණේ. ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණු පළමු දවසේ අපේ කණ්ඩායමේ 128 දෙනෙකුත්, දෙවන දිනයේ 70 දෙනෙකුත් සහ තුන්වැනි දිනයේදී 135 දෙනෙකු පමණ සහභාගී වුණා. ඒ හැමෝම ඇඳගෙන හිටියේ එකම ආකාරයේ ටී - ෂර්ට් එකක්. පළවෙනි දවසේ කිසිම කෙනෙක් අපිව සැලකුවේ නැහැ. සමහර අය අපිව සැලකුවේ පිස්සෝ පිරිසක් විදියට. නමුත් දෙවෙනි දිනය වෙනකොට අපිට හැකිවුණා බඳුන්වලට නිසි ආකාරයෙන් වර්ගීකරණය කරලා කසළ බැහැර කරන තත්ත්වයට ප්‍රේක්ෂකයන් අරන් එන්න. බොහෝ ප්‍රේක්ෂකයන් අපි ළඟට ඇවිල්ලා මේ කටයුත්ත අගය කරන්න තරම් නිහතමානී වුණා. සමහර පියවරු තමන්ගේ දරුවට කසළ වර්ගීකරණය කරලා බැහැර කරන විදිය අපි ප්‍රේක්ෂකාගරයේ තිබ්බ කසළ බඳුන් අසලට එක්ක ඇවිත් කියල දෙනවා දකින්න ලැබුණා. ක්‍රිකට් තරගයකට ප්‍රේක්ෂකයන් 35000ක් පමණ සහභාගි වෙනවා. එවැනි විශාල පිරිසක් උත්පාදනය කරන කසළ ප්‍රමාණයත් සුළුපටු නැහැ.
මේ කටයුත්ත අතරතුරදී කිසිම අවස්ථාවක අපි වෝර්න් කණ්ඩායම ගැන ජනතාව දැනුවත් කරන්න උත්සාහ කළේ නැහැ. අපේ එකම අරමුණ වුණේ මේ අති විශාල කසළ ප්‍රමාණය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම විතරයි. සමස්තයක් විදියට ගත්තාම මිනිසුන්ගේ මේ ආකල්පය වෙනස් කිරීමේ කටයුත්ත අපිට සියයට සියයක්ම සාර්ථක කරගන්න බැරිවුණත් සියයට හැත්තෑපහකින් පමණ සාර්ථක කරගන්න හැකිවුණා. බොහෝදෙනෙක් මේක ආදර්ශයක් කරගන්න කටයුතු කළත් සුළුතර පිරිසක් අපිට දොස් කියන්න විතරක් නෙවෙයි අපහාස කරන්නත් කටයුතු කළා. නමුත් අපේ කණ්ඩායම ඒ කිසිම දෙයකින් වැටුණේ නැහැ. අපි පරිසරයට ආදරය කරන පිරිසක්. අපි වෙහෙසුණේ ඒ වෙනුවෙන්. මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිට උපකාර කරමින් විශාල සහයෝගයක් ලබාදුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය. ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අපේ මේ කටයුත්ත විශේෂයෙන් අගය කළා. %වෝර්න්^ මෙතනින් නවතින්නේ නැහැ. පරිසරයට ආදරය කරන්නන්ගේ සංස්කෘතියක් අපි ගොඩනගලා තියනවා. අපි ආරාධනා කරනවා තරුණ ප්‍රජාවට අපිත් එක්ක උඩුගං බලායන්න එන්න කියලා.”
අද වනවිට ඉතාමත් සුළු ගැටලුවකට වුවත් මහජනතාව අපහසුතාවට ලක් කරමින් රැල්ලට සංවිධානය වන දැවැන්ත විරෝධතා ව්‍යාපාරවලට, නිකරුණේ හරසුන් කටයුතුවලින් කාලය කා දමන තරුණ පරපුරටත් 'වෝර්න්' ලබාදී තිබෙන්නේ ඉතාමත් වටිනා ආදර්ශයකි. අවසාන වශයෙන් සිය කාලයත්, ශ්‍රමයත් අප ජීවත්වන පරිසරය සහ ලෝකය රැකගන්නට නොමසුරුව වැය කරමින් %වෝර්න්^ කණ්ඩායම මේ ගෙනයන වැඩපිළිවෙළ පැසසිය යුතුය.