ජාතික රුක් රෝපණ මාසය සංකේතවත් කරමින් ඔබත් පැළයක් හෝ පැළ කීපයක් රෝපණය කිරීමට පියවර ගන්න. එසේම ඔබගේ දිවියේ සුවිශේෂී අවස්ථාවක ඔබගේ හෝ පවුලේ සාමාජිකයකුගේ උපන් දිනය, විභාගයක් සමත්වීම හෝ වෙන යම් සුවිශේෂි දිනයක් සමරමින් වුවද ඔබට පැළයක් රෝපණය කළ හැක. එම පැළය දිනෙන් දින වර්ධනය වී දිනෙක මහා වෘක්ෂයක් වී එම මතකය ස්මරණය කරනු ඇත. එසේම, රුක් රෝපණය මගින් ජාතික වගකීමක් ඉටු කළ පුරවැසියෙකු බවට ඔබ පත්කරනු ඇත. රෝපණය කරන පැළයක් හොඳින් වර්ධනය වී දැවැන්ත වෘක්ෂයක් බවට පත්වීමට නම් නිවැරදි ක්‍රමයට පැළයක් රෝපණය කළ යුතුමය. මේ සඳහා අපි නිවැරදි ක්‍රමයට පැළ රෝපණය කරමු.
දේශගුණික තත්ත්වය පිළිබඳව විමසිලිමත් වන්න
රෝපණය සඳහා ශාක වර්ග තෝරා ගැනීමේදී ප්‍රදේශයේ දේශගුණ තත්ත්වය, භූගෝලීය සාධක පිළිබඳව සැලකිලිමත් වන්න. එක් එක් දේශගුණික කලාපයන්ට උචිත පැළ වර්ග තෝරාගැනීම ඉතා සුදුසුය. උදාහරණයක් ලෙස වියළි කලාපයට සුදුසු අඹ ප්‍රභේද මෙන්ම තෙත් කලාපයට වඩාත් සුදුසු අඹ ප්‍රභේද පවතින බැවින් රුක් රෝපණය කරන කලාපයට ගැළපෙන පැළම තෝරාගැනීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ.
භූමියේ පවතින ඉඩකඩ අනුව සුදුසු ශාක විශේෂ තෝරාගන්න
භූමියේ පවත්නා ඉඩ පහසුකම් අනුව සුදුසු ශාක විශේෂ හඳුනාගන්න. ශාකය වැඩුණු පසු එහි උස, අතු පතර විහිදෙන ආකාරය, මූල පද්ධතියේ පැතිරීම ආදී කරුණු පිළිබඳව දැනගැනීම මගින් පවතින සීමිත ඉඩකඩක වුවද රුක් රෝපණය කිරීමටත්, රෝපණය කරන ලද ශාක වර්ධනය වූ පසු ඇතිවන අවහිරතා වළක්වා ගැනීමටත් හැකියාව ලැබේ.
රෝපණයට සුදුසු පැළ තෝරා ගැනීම
ලෙඩ රෝග හා කෘමි උවදුරුවලින් තොර, කඳ ශක්තිමත්ව කෙළින් වැඩී ඇති, උස අඩි 03ක් (මිටර් එකක්) පමණ වන හොඳින් වැඩී ඇති පැළ සිටුවීම සඳහා තෝරාගත යුතුය.
පැළ අතර පරතරය
අතු බෙදෙමින් විශාල ලෙස වියනක් සහිතව වැඩෙන ගස් සිටුවීමේදී එම පැළ අතර පරතරය අඩි 15-20 (මිටර් 4-6) ද ඊට වඩා කුඩාවට වැඩෙන ගස් අතර පරතරය අඩි 8-10 (මිටර් 2.5 - 3) පවත්වා ගැනීම උචිත වේ.
පැළ සිටුවීමට සුදුසු කාලය
පැළ සිටුවීම සඳහා වඩාත් සුදුසු වන්නේ සවස් කාලයයි. වසරේ ඕනෑම කාලයක ගෙවත්තක පැළ සිටුවීම කළ හැක. විශාල වශයෙන් සිදුකරන පැළ සිටුවීම් සඳහා වර්ෂා කාලය යොදාගැනීම සිදුකළ යුතුය.
පැළ සිටුවීමට වළවල් සකස් කිරීම
රෝපණය කිරීමට ගන්නා පැළය බහා ඇති පොලිතින් මල්ලේ ප්‍රමාණය මෙන් දෙගුණයක පමණ වළක් සකස් කර ගන්න. මෙහිදී වළ හෑරීමේදී ඉවත්කරන මතුපිට පස් වළේ එක් පසකටද, ගැඹුරු පස් වළේ අනෙක් පසටද වන පරිදි වෙන්කර ගන්න.
වළ පිරවීම
ප්‍රමාණවත් පරිදි හාරාගන්නා ලද වළෙන් භාගයක් වන පරිදි කලින් වෙන්කරගත් මතුපිට පස් එකතු කරන්න. එයටම කාබනික පොහොර හෝ වියළි ගොම ආදිය එක්කර පස හොඳින් මිශ්‍ර කරගන්න. පැළය සිටුවීමට සතියකට පමණ පෙර පැළ සිටුවන වළ මෙසේ සකස් කර ගැනීම සුදුසුය.
පැළය රෝපණයට සූදානම් කිරීම
පැළය බහා ඇති පොලිතින් මල්ල ඉවත් කිරීමට පෙර පැළයට හානි නොවන පරිද පොලිතින් මල්ල පිටි පැත්තෙන් අත් දෙකින් තද කිරීමෙන් පොලිතින් මල්ල ඉවත් කිරීමේදී පස් විසිරීයාම වළක්වාගත හැක. කිසිදු විටක මල්ලේ ඇති පස් ඉවත්කර පැළය පමණක් රෝපණය නොකළ යුතුය.
සීරුවෙන් පොලිතින් මල්ල ඉවත් කර පැළය රෝපණය කරන්න.
පිහිතලයක් වැනි උපකරණයක් භාවිතයෙන් පැළයට හෝ මුල්වලට හානි නොවන පරිදි පොලිතින් මල්ල සීරුවෙන් ඉවත් කර සකස් කරගන්නා ලද වළේ මැද පැළය සිටුවන්න.
පැළය රෝපණය කළේ නිතර වැසි ලැබෙන කාලගුණයක නම් පැළය වටා පස් කන්දක් ලෙස පිහිටන පරිදි පස් දමා ප්‍රවේශමෙන් පාගා තදකරන්න. වියළි ප්‍රදේශවල පැළ සිටුවීමේදී පැළය වටා බිම එබී තිබෙන ලෙස සකස් කිරීමෙන් ජලය පහසුවෙන් රඳවා ගැනීමටත්, තෙතමනය පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ.
සිටුවාගත් පැළයට ජලය සපයන්න.
රෝපණය කළ පැළයට හොඳින් ජලය සපයන්න. මෙහිදී මල් බාල්දියක් වැනි උපකරණයක් භාවිතයෙන් සියුම්ව ජලය සැපයීමට හැකියාව ලැබේ.
ආවරණ යොදන්න
දැඩි හිරු එළියෙන් පැළය මැලවීම වැළැක්වීමට පැළය වටා බිම කොළ අතු/පිදුරු වැනි ද්‍රව්‍යයකින් ආවරණයක් යොදන්න. මෙයින් තෙතමනය ආරක්ෂා වන අතර වල් පැළෑටි වර්ධනයද පාලනය වේ. එසේම දැඩි සුළං ප්‍රවාහ සහිත ස්ථානයක් නම් සුළඟ ආවරණය කිරීමද සුදුසුය.
පැළයට අධාරකයක් හා ආරක්ෂාව සපයන්න
පැළයේ කඳ පහතට නැමීම වළක්වා ගැනීමට රෝපිත පැළය ආසන්නයේ කෝටුවක් සිටුවා පැළයේ කඳ එම කෝටුවට ලිහිල්ව සම්බන්ධ කරන්න. පැළය වටා ආරක්ෂක ආවරණයක් (වැටක්/කූඩුවක්) සකස් කිරීම මගින් සතුන් මගින් හා වෙනත් හේතු මගින් පැළයට වන හානි වළක්වාගත හැක.
පැළය නිතර නඩත්තු කරන්න
වඩාත් වැදගත් වන්නේ රෝපණය කරන ලද පැළය නිසි පරිදි රැකබලා ගැනීමයි. අවශ්‍ය පරිදි ජලය සැපයීම, කාබනික පොහොර යෙදීම, ආසන්නයේ වැවෙන වල් පැළ උදුරා දැමීම, ශාකයට වැළෙඳන රෝගාබාධ හා සිදුවන වෙනත් හානි සඳහා ප්‍රතිකාර කිරීම මගින් ඔබ සිටුවන පැළය හොඳින් වර්ධනය කරගත හැකිය.