Brexit ක්‍රියාවලිය, එනම් බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමේ ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඉන්දියාවේදී කළ සංචාරයකදී ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය‘යේ ඉගෙන ගන්නා ඉන්දීය සිසුවන් සිය උපාධි ලබාගත් වහාම ඉන්දියාවට පැමිණිය යුතු බවය. එයට පිළිතුරු ලෙස ඉන්දීය ප්‍රතිචාරය වූයේ ඉන්දීය ව්‍යාපාර (මිටාල්, ටාටා, අදානි, රිලයන්ස් වැනි) බ්‍රිතාන්‍ය‘යේ ආයෝජනයකර ඇති බවත්, ඒ සඳහා වූ වෘත්තීයවේදී අවශ්‍යතාවය මත ඉන්දියානුවන් රැඳී සිටිනා බවත්ය.
ඉන්දියානු උපාධිධරයන් පිටුවහල් කළහොත් ඉන්දීය ආයෝජන ජර්මනියට රැගෙන යාමට ඉඩඇති බවද පැවසිණි.බ්‍රිතාන්‍යය සිය රැකියා, කර්මාන්ත හෝ සේවා වේවා, වෙළෙඳපොළ ආදිය සඳහා පැරණි ලිබරල් ගෝලීයකරණය ප්‍රතිපත්තියෙන් හා නිදහස් වෙළෙඳාමෙන් ඉවත් වී ඇති බව පැහැදිලිය. එය ආරක්ෂණවාදී ආර්ථික ක්‍රියාවලියකට ඇතුළු වෙමින් ඇත.
එක්සත් ජනපදයේ 'ට්‍රම්ප්' ක්‍රියාවලියෙන් පසු (ඩොනල්ඩ් ට්‍රම්ප්ට එක්සත් ජනපද ජයග්රහණයෙන් බහුතර ඡන්ද ලැබී නැත. එය ලැබී ඇත්තේ හිලරිටයි) ප්‍රකාශයක් කළ ට්‍රම්ප් ලක්ෂ 30කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ප්‍රකාශ කළේය. මෙය ලතින් ඇමරිකානු, ඉන්දියානු හා කැරිබියානු (කළු) ජාතිකයන්ට මරු පහරක් වනු ඇත.
එමෙන්ම, ට්‍රම්ප් බොහෝදුරට චීන හා ජපන් භාණ්ඩ සඳහා ආරක්ෂණ ක්‍රියාදාමයක් අනුගමනය කරනු ඇත. මෙයින් එක්සත් ජනපදයේ රැකියා ඇතිවිය හැකි නමුත්, භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවේ. පෙරළා චීනයට හා ජපානයට වෙනත් වෙළෙඳපොළ කරා යෑමට සිදුවේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ ලෝකයේ විශාලතම වෙළෙඳපොළ වන එක්සත් ජනපදය නිදහස් වෙළෙඳාමෙන් ගැලවී ඇති බවය. ආරක්ෂණවාදයට පියමැන ඇති බවය. තවදුරටත් පැසිපික් වෙළෙඳ ගිවිසුම (TPP) හෝ අත්ලන්තික් වෙළෙඳ ගිවිසුම (TTIP) හෝ වලංගු නැති බවය.
ඉදිරි කාලයේදී ප්‍රංශයේ හා ජර්මනියේ පැවැත්වෙන මහා මැතිවරණවලදීද ජාතිකවාදී ආරක්ෂණවාදය ජයගතහොත් මුළු ලෝකයම අලුත් ආර්ථික වටපිටාවකට ගමන් කරනු ඇත.උතුරු ඇමරිකාව හා යුරෝපය ශ්‍රී ලංකාවේ අපනයනවලින් 60%ක පමණ ඉලක්කයයි. මේ නිසා බටහිර ආරක්ෂණවාදය අප රටටද දැඩිව බලපෑම් එල්ල කිරීම වැළැක්විය නොහැකිය.
මෙය දේශපාලනමය ලෙසද සිදුවීමට ඉඩ ඇත. ට්‍රම්ප් ජපානයට හා දකුණු කොරියාවට ප්‍රකාශකර ඇත්තේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ එල්ලී නොසිට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසය.දැනටමත් සම්ප්රදායී එක්සත් ජනපද හිතවාදී රටවල් තුනක් එනම්, පිලිපීනය, මැලේසියාව හා තායිලන්තය චීනය දෙසට හැරී ඇත. ඉන්දුනීසියාව හා මියන්මාරයද ක්‍රමයෙන් සිය මූලස්ථානය ලෙස චීනය තෝරාගනිමින් ඇත. නැගෙන ඉන්දු - චීන බලවතා වූ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව වෙනස චීන හිතවාදී වී ඇත.
කොරියාවේ එවැන්ජලික ජනාධිපති පාක් ගීයුන්ට එරෙහිව නැගී ඇති බලවේගය එක්සත් ජනපද විරෝධයක් බවද පෙනීයයි. මේ අනුව කලකට පෙර 'ඇමරිකානු විල' (US Lake) ලෙස ප්‍රචලිත වූ, ලේ වැගිරුණු කොරියානු - වියට්නාම් යුද්ධවලට මුල් වූ පැසිපික් සයුර චීනය හා බෙදා ගැනීමට එක්සත් ජනපදය ඉදිරිපත් වනු ඇත.
මෙහි ඊළඟ ඉලක්කය ඉන්දීය සයුරයි. පාකිස්තානයේ ගෝවඩර්, ලංකාවේ හම්බන්තොට, බංගලිදේශයේ චිතගොන් ආදී වරාය සංකීර්ණ හරහාද නව නාවුක වාණිජ දැලක් චීනය නිර්මාණය කරමින් ඇත. මෙය ඔවුන්ගේ 'One Road - One Belt' සංකල්පය අනුව ගොඩනැගෙන නූතන සිල්ක් මාවතේ මුහුදු හා ගොඩබිම් මාර්ගය සනිටුහන් කරයි. ඉන්දියාව හා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් (ඔබාමාගේ Pivoting Asia) දැක්වුවද එක්සත් ජනපදය සිය ආරක්ෂණ ප්‍රතිපත්තිය මාරු කළහොත්, මැදපෙරදිග, රුසියාව සමග සහයෝගයට ගියහොත් (චීනය, රුසියාවේ ප්‍රධාන මූල්‍ය සම්පාදක වන අතර ගොඩබිම් සිල්ක් මාවත මධ්‍ය ආසියාව හා රුසියාව හරහා වැටී ඇත) ඉන්දීය සයුරේ කලාපීය දේශපාලනයද වෙනස් වීමට ඉඩ ඇත.
මේ සියල්ලෙන් පෙනී යන්නේ බටහිර නිදහස් වෙළෙඳාම හා ගෝලීයකරණ ආර්ථික හා ආරක්ෂණ උපායන් වෙනස් වෙමින් පවතින බවය. ඒ අනුව හැසිරීමට චීනයට, ජපානයට හා ඉන්දියාවට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවද සිය ආරක්ෂාව හා ආර්ථික උපාය මාර්ග වහා වෙනස් කරගත යුතුව ඇත.
පාඨලී චම්පික රණවක