Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ජාත්‍යන්තර කම්කරු දිනය මේ සතියේ යෙදී තිබුණ බැවින් මැයි දිනය සැමරීමට බොහෝ වෘත්තීය සමිති මෙන්ම දේශපාලන පක්ෂද මහත් උනන්දුවෙන් කටයුතු කරනු ආරම්භයේදී දක්නට ලැබුණි. එසේ වුවද මැයි දිනය අවසන් වන විට පසක් වූ කාරණය වූයේ ඔවුන් එදින කරන ලද්දේ මැයි දිනය සැමරීමක් හෝ කම්කරුවන් වෙනුවෙන් සටන් කිරීමක් නොව තම බලය පෙන්වීමට ගත් වෑයමක් ලෙසය.
සැමටම එදින කම්කරුවන් අමතක වී ගොස් තිබූ අතර, බලය රැකගැනීමට හා ගිලිහී ගිය බලය ලබාගැනීමට සිදුකරන අරගල ලෙස මේ සියල්ල දිස්විය. සැබැවින්ම මේවා ජන දුක නොව බල දුක වෙනුවෙන් කරන අරගලය.
කැම්බල්පිටියේ පැවති එජාප මැයි රැලියේ පෙළපාළිය ආරම්භ වූයේ මරදානේ සිටය. ඇමතිවරු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක අනුව, ආසන අනුව සිය පාක්ෂිකයන් සමග පෙළපාලියෙන් පැමිණි අතර, පුංචිබොරැල්ල ආසන්නයේ ස්ථානයක සිට පක්ෂ නායක අගමැති රනිල් එය නරඹන්නට විය. පෙළපාලියට රෝසි සේනානායක සමග පාක්ෂිකයන් පැමිණියේ කොළ පැහැති විශාල දිග රෙද්දක් තුළ මුහුණ පමණක් පිටතට පෙනෙන ලෙසය. රෝසි සේනානායක එහි පෙරමුණ ගෙන තිබුණි.
විචිත්‍රවත්ම පෙළපාළියක් ලෙස නැටුම් ගැයුම් වැයුම් මෙන්ම රංගනයන්ද සමග එක්වූයේ ඇමති එස්.බී නාවින්නගේ පෙළපාළියයි. එහි නාවින්න කැඳවාගෙන ආවේ වෙස් කණ්ඩායමකි.
මඩකරියෙක් වත් ආවේ නැහැ
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කැලණියේ ජනතාව සමග පෙළපාළියේ පැමිණි අතර, කැම්බල් පිටියට පිවිසෙනවිට දහඩියෙන් නැහැවී සිටියේය. දහඩිය සෝදා ගැනීමට ස්ථානයක් ඇත්තේ කොහේදැයි අසල සිටි අයකුගෙන් ෆොන්සේකා ඇසූ අතර, 'එන්න සර් මෙහෙන් එන්න' කියමින් ඔහු සරත් ෆොන්සේකා, අනෝමා ෆොන්සේකා ඇතුළු කණ්ඩායම රැගෙන යන්නට විය.
කෙමෙන් කෙමෙන් ප්‍රධාන වේදිකාවට ළඟා වනු දුටු ෆොන්සේකා ඔහුගෙන් ඇසුවේ,
''මනුස්සයෝ මම ඇහුවෙ වොෂ් රූම් එකක් තියෙන්නේ කොහෙද කියලා. මේ කොහෙද යන්නේ?'' යනුවෙනි.
ෆොන්සේකාගේ වචනයට බිය වූවාවක් මෙන් ඔහු පැවසුවේ ''අනේ සොරි සර්.. මට ඇහුණේ ස්ටේජ් එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුව වගේ... වොෂ් රූම් එක අතන සර්'' කියා පෙන්නන්නට විය.
වේදිකාවට පිවිසි ෆොන්සේකාට අසුන් වෙන්කර තිබුණේ කාන්තා ඇමති චන්ද්‍රානි බණ්ඩාර අසලය. අසුන්ගත් මොහොතේ සිටම ෆොන්සේකා ලියාගෙන ආ කතාව පාඩම් කරන්නට වූ අතර, වරින් වර චන්ද්‍රානි බණ්ඩාර ෆොන්සේකාව කතාවට ඇදගන්නට විය. කතාව බලාගැනීමට නොහැකි ෆොන්සේකා දැඩි අපහසුවකට ලක්ව සිටි අතර, එය බොහොම අපූරුවට ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට විය.
කැම්බල්පිටියේ එජාප මැයි රැලියේ අගමැති රනිල්ගේ කතාවෙන් පසුව වැඩිම ප්‍රතිචාර ලැබුණු කතාව වූයේ ෆොන්සේකාගේ කතාවයි. ඔහුට කතාවට ආරාධනා කරන විටත් ජනතාව උණුසුම් අයුරින් පිළිගන්නට විය.
මැයි රැලියේ කතාව පවත්වමින් ඔහු මහින්දගේ කාලයේ කතාවක් කියන්නට වූයේය.
''මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ හිටපු කාලේ මහින්ද හොඳ කතාවක් කිව්වා. මහින්ද ඒ කාලේ දවසක් නාවික හමුදා බෝට්ටුවකින් ගාල්ලේ මුහුද මැදට ගිහින් තිබුණා.
ඇවිත් මට මෙහෙම කිව්වා. සරත් උඹ දන්නවද මම මුහුද මැදට ගියා. 'මුහුදේ නැව් යනවා බං ගාලු පාරේ බස් යනවා වගේ. හම්බන්තොට හාරලා අපිත් වරායක් හැදුවොත් ඒ නැව් මෙහෙටත් පෝලිමේ එයි බං' කියලා කියාගෙන ගියා. එහෙම කියලා හාරපු හම්බන්තොටට නැවක් තියා මඩකරියෙක්වත් ආවෙ නැහැ''
වැටෙන් රිංගූ සජිත්
එජාප නියෝජ්‍ය නායක සජිත් දැවැන්ත පිරිසක් සමග පෙළපාළියට එක්ව තිබුණි. පෙළපාළිකරුවෝ පුංචිබොරැල්ල දෙසට එන විට පෙළපාළිය නරඹමින් සිටි අගමැති සහ මලික් අසුන්වලින් නැගිට දෑත් වනමින් ඔවුන්ට ආචාර කරන්නට විය. එහිදී සජිත් අතේ ඇඟිලි හතක් ඔසවා අගමැති රනිල්ට යමක් දැන්වීය. ඔහු එසේ කියා ඇත්තේ තමා 7000 ට වඩා සෙනඟ ගෙනාවා කියා යැයි පසුව දැනගන්නට ලැබුණි.
රැළියේ පැමිණි උද්යෝගයට ඇමති සජිත් ප්‍රේමදාස කැම්බල් පිටියට පැමිණියේ ඇමති පිවිසුම වෙනුවට මහජන පිවිසුමෙන්ය. සජිත් පිටුපසින් පැමිණි රාජ්‍ය ඇමති දිලීප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් චන්ද්‍ර, නිහාල් වෙදආරච්චිද සජිත් අනුගමනය කරන්නට විය.
මහජනතාව අතර සජිත් වේදිකාව දෙසට යන්නට වූ අතර, අනිත් පිරිසද ඒ පිටුපසින් පැමිණියද මහජනතාව සිටි පෙදෙස වටකර තිබූ බැවින් සජිත්ට වේදිකාවට යාමට මගක් නොමැති විය. නැවත මන්ත්‍රී පිවිසුම දෙස බැලුවද එය තවත් ඈතින් ඇති නිසාම බාධක ලෙස සවිකර තිබූ යකඩ බට අතරින් රිංගා වේදිකාවට යෑමට සජිත්ට සිදුවිය. සජිත් පසුපස පැමිණි අනිකුත් මන්ත්‍රීවරුන්ටද වූයේ සජිත්ව අනුගමනය කිරීමටය.
අගමැති ඉස්සර වෙයි
කැම්බල්පිටිය මහජනතාවගෙන් පිරී ඇති විට අගමැති රනිල් පිටියට පැමිණි අතර, එවිට වේදිකාව තුළ 'ඉතිං හදමු අපි අලුත් රටක් - රොද බැඳි එකම තැනක්' ගීතය වාදන කෙරිණි. ගීතය අවසන් වනතුරුම අගමැති රනිල් ජනතාවට අත වනා ආචාර කළ අතර, ඒ අසලම සිටි සජිත් මඳ වෙලාවකින් අසුන්ගත් අතර, රනිල් ඇතුළු කිසිවෙකුත් අසුන් නොගත් නිසාවෙන් ඔහුට යළි නැගිට ජනතාවට ආචාර කරන්නට සිදුවුණි.
සරත් ෆොන්සේකා රැලිය අමතා අවසන් වන විට මුළු අහසම කළුකර තිබුණි. ඉතා ඉක්මනින් වැසි වසිනු ඇතැයි සැවොම සිතන්නට විය. ඒ වන විට කථික ලැයිස්තුවේ රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු රැලිය අැමතීමට සිටියද හදිසියේ අගමැති රනිල් රැලිය ඇමතීමට තීරණය කළේය. ඒ වෙන කිසිවක් නිසා නොව වැස්සට පෙර කතා කිරීමටය. අගමැති රනිල් කතාකර අවසන් වනතුරු අහස කළුකර තිබුණද වැසි නොවැටුණි. අවසානයේ රැලිය අවසන් වනතුරුද වැසි නොවැටුණි.
පොලිස්පති මැයි රැලිවල
පොලිස් ඇඳුමේ පාට වෙනස් කිරීමට සැරසෙන පොලිස්පති පූජිත ජයසුන්දර මැයි දිනයදා කොළඹ පැවති මැයි රැලිවලට එක්විය.
බීආර්සී පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට මුලින්ම ගිය පොලිස්පතිවරයා සිය ආරක්ෂකයන්ද සමග ජනතාව අතර සිට මැයි රැලිය නරඹන්නට විය.
තරමක වෙලාවක් එතැන සිටි ඔහු පසුව කැම්බල් පිටියේ රැලිය නැරඹීමට පැමිණි අතර, එහි පුළුල් තිරයකට මුවා වී රැලිය නැරඹීය. බී ආර් සී පිටියේදී හෝ කැම්බල් පිටියේදී පොලිස්පති දේශපාලඥයන් සමග කතාබහ කිරීමට නොයාම විශේෂත්වයක් විය. ගොල්ෆේස් පිටියට එදින උදෑසන පැමිණි පොලිස්පති පූජිත රැලිය පැවැත්වෙන අතරතුර ඒ අසලින් වාහනයේ ගොස් නිරීක්ෂණය කරමින් තිබිණ.
ජවිපේ ආදර්ශයෙන් අනික් පක්ෂවලට
මෙවර මැයි රැලි සංවිධානය කළ සියලුම පක්ෂ රැලිවලින් අනතුරුව එම ක්‍රීඩාංගණ පිරිසුදු කිරීමට කටයුතු කිරීම අගය කළ යුතුය.
එජාප පෙළපාළිය පිටුපසින්ම පිරිසුදු කිරීමේ කණ්ඩායමක්ම යොදවා තිබූ අතර, ශ්‍රීලංනිප පිටිය පිරිසුදු කිරීමට ජනපති මෛත්රීද එක්විය.
ජවිපේ හා ඒකාබද්ධයේ පිටි පිරිසුදු කිරීමට එම පක්ෂවල මන්ත්‍රීන් පවා යොමු වී තිබීම යහපත් ලක්ෂණයක් ලෙස කවුරුත් අගය කරන්නට විය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පෙර සිටම මෙම ක්‍රියාව සිදුකරන අතර දැන් දැන් ජවිපේ ආදර්ශ අනිකුත් පක්ෂද අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.
යන්න එපා ගියොත් පරාදයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනය පැවතියේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීය. රැලියට පෙළපාළියේ පැමිණි ඇතැමුන් කෑගසමින් කියන්නට වූයේ 'අපිට ඕන ආණ්ඩුවක් - විමල් ඉන්න ආණ්ඩුවක්^ යනුවෙනි. මෙම රැලිය අවසන් වී යන විට තවත් පිරිසක් %මහින්ද මහත්තයට ජයවේවා' කියා කෑගසන්නට විය.
රැලිය ආරම්භයේ සිටම ඇමති එස්.බී දිසානායක නිවේදනය කරන්නට වූයේ ජනතාවට පිටිය මැදට පැමිණෙන ලෙසය. ''අපේ රැලියට ආපු ජනතාව පිට්ටනියේ රැඳී සිටින්න. යන්න එපා. ගියොත් අපි අසාර්ථකයි'' යැයි ඔහු කියන්නට විය.
අපේ රැලි නියඟය තියෙන පළාත්වල විතරයි
රැලිය අතරතුරදී වැසි වසින්නට වූ අතර, එවිට නිවේදකයා කියන්නට වූයේ අයහපත් කාලගුණය මැද උනත් අපි මැයි රැලිය පවත්වාගෙන යනවා යනුවෙනි. එසේ වුවද එයට පිළිතුරු ලෙස ජනාධිපති මෛත්‍රී පැවසුවේ,
''නිවේදකයා අපිට කිව්වා මැයි දිනයේදී අයපහත් කාලගුණය කියලා. නමුත් මම යන යන තැන වැස්ස වහිනවා. වියළි කාලගුණය නැතිවෙලා යනවා. මේ නිසා අපි මීට පස්සේ මැයි රැලි පවත්වන්නේ නියඟයක් තියෙන වැස්ස ඕන පළාත්වල'' යැයි ජනාධිපති කිව්වේ සිනහ වෙමිනි.
මැයි රැලිය පිළිබඳ බදාදා පැවති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර පැවසුවේ මෙවැන්නකි.
''අපේ මැයි රැලිය අවසන් වන විට නියඟය නිමා කරලා වැස්සක් වැහලා මහනුවර නගරයට සශ්රීකත්වයක් ලබාදුන්නා. සහභාගී වුණ කිසිවෙකුට කරදරයකින් තොරව යන්න පුළුවන් උනා. දළදා සමිඳුන්ගේ පිහිටෙන් අපි මැයි රැලිය සාර්ථකව පැවැත්වුවා. රැලියෙන් පස්සෙත් මළගෙවල්වල යන්න උනෙත් නැහැ අපිට'' යනුවෙන් ඔවුන්ගේ රැලිය සාර්ථක බව පවසන්නට විය.
ගෝල්ෆේස් වේදිකාවේ සැලසුම්
මැයි පළමුවැනිදා වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා හරියටම මාස හයක් ගත විය. වැඩබිම, ගොවිබිම, මව්බිම දිනවන අරගලය මැයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සංවිධානය කිරීමේ වගකීම පවරා තිබුණේ ප්‍රසන්න රණතුංග හටය. ප්‍රධාන වේදිකාව ඉදිකිරීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ගෙන ඒමේ වගකීමද ඔහුට පවරා තිබුණි.
මැයි දිනයට පෙර දින වේදිකාව ඉදිකරන ස්ථානය සම්බන්ධව වරාය අධිකාරිය ගැටලුවක් මතුකර තිබුණි. වේදිකාව ඉදිකිරීම සඳහා කලින් සැලසුම්කර තිබූ ස්ථානයෙන් ඉවත්කර ඉදිකරන්නැයි නියෝග කරන ලෙසට එදින පෙරවරුවේ වරාය අධිකාරියේ නිලධාරීන් පොලීසියට පැමිණිලි කළේය.
ඉන්පසුව පොලීසිය එම ස්ථානයට පැමිණි බව ආරංචි වූ සැනින් ප්‍රසන්න රණතුංග පැමිණියේය. ප්‍රභූ වාහන නතර කිරීම සඳහා ඉඩ තබමින් වේදිකාව ඉදිකිරීමට සැලසුම් කර තිබුණද, ඒ සම්බන්ධව වරාය අධිකාරිය විරෝධය පළකරන නිසා ප්‍රභූ වාහන නතර කිරීමට ඉඩ තබා තිබූ කොටස ආවරණය වන සේ වේදිකාව ඉදිකරන්නැයි පොලීසිය ඉල්ලා සිටියේය.
''එහෙම කරන්න බෑ. අපි මේකට ලක්ෂ 10ක් සල්ලි ගෙවලා තිබෙනවා.. අපිට ඕන තැන මේක හදන්න ඕන'' යැයි ප්‍රසන්න කීවේය. ඉන්පසුව පොලීසිය, වරාය අධිකාරිය සහ ප්‍රසන්න රණතුංග සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සාධාරණයක් වන සේ ගැටලුව සමතයකට පත් කළේය. එදින සවස් කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද වේදිකාව ඉදිකරන ආකාරය නිරීක්ෂණය කිරීමට පැමිණියේය.
හරියට බාධා - මොනවාහරි කරන්න
මැයි පෙළපාළිය අතරතුර ප්‍රසන්නට බස්නාහිර පළාත නියෝජනය කරන නියෝජ්‍ය ඇමතිවරයෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. ගැටඹේ යන ගමන් පස්යාලේදී කතා කළ ඔහු කීවේ ''පොලීසිය ඔයගොල්ලන්ගේ බස්වලට හරියට බාධා කරනවා. මේකට ප්‍රසන්න මොනවහරි කරන්න'' කියාය.
එවිට ප්‍රසන්න මහින්දට කතා කර මේ පණිවුඩය කීවේය. එවෙලේම කනක හේරත්, තාරක බාලසූරිය ඇතුළු කෑගල්ලේ මන්ත්‍රීවරුන්ටද ප්‍රසන්න කතා කළේය. පොලීසියෙන් බාධා තිබෙනවා නම් පුළුවන් තරම් ඉක්මනින් එන්නැයි ප්‍රසන්න ඔවුන්ට උපදෙස් දුනි. එහෙත් අන්තිම මොහොත වනතුරු තාරකට හා සී.බී රත්නායකට රැලියට එන්න බැරි විය.
නියෝජ්‍ය ඇමතිවරයා මහනුවරට ආසන්න වන විට නැවත ප්‍රසන්නට ඇමතුමක් ගෙන ''ගැටඹේ නම් ගිහින් වැඩක් නෑ. මහනුවර සෙනඟ ඔක්කොම එන්නේ ගොල්ෆේස්. මටත් දැන් හරවගෙන එන්න වෙලා තියෙන්නේ''
එවිට ප්‍රසන්න කීවේ ''එහෙනම් ගිහිල්ලා මූණ පොඩ්ඩක් පෙන්නලා ඔයා ආපහු එන්න'' කියාය.
කලාකරුවන්, දේශපාලඥයන්, ආගමික නායකයන් වශයෙන් ප්‍රධාන වේදිකාව කොටස් තුනකින් යුක්ත විය. පසුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් පෙනී සිටි සෝමරත්න දිසානායකද කලාකරුවන්ගේ වේදිකාවේ සිටිනු දක්නට ලැබුණි. ගාලුමුවදොර පිටියේ ඉඩ මදිකමින් අවට මාර්ගවල, ගොඩනැගිලිවල, ගස්වල සිට ජනතාව රැලිය නැරඹූහ.
විදේශගතව සිටි එක් මන්ත්‍රීවරයෙකු හැර ඒකාබද්ධ විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැලියට පැමිණ සිටියහ. ප්‍රධාන වේදිකාව ඉදිරිපස ඇලුමිනියම් බාර්වලින් පේලි දෙකක් වන සේ වැටවල් ඉදිකර තිබුණු අතර, සංවිධායකයන්ට මෙපිට සිට එම වැටවල් ආරක්ෂා කිරීමට සිදුවූයේ ජනතාව තෙරපෙමින් ඉදිරියට පැමිණි නිසාය.
රැලිය අවසන් වී බලන විට එම ජනතාවගේ තෙරපීම නිසා එම ඇලුමිනියම් බාර් ඇඹරී තිබුණි. දැඩි අව් රශ්මියක් සහ තෙරපීමක් තිබුණු බැවින් ජනතාව නොයෙක් අපහසුතාවයන්ට ලක්වුණු අතර, ක්ලාන්තව වැටුණු පිරිස් ඔසවාගෙන යන ආකාරය දැකිය හැකි විය. එම රැලියට පැමිණි දෙදෙනෙකු මියගොස් තිබුණේ මේ අතරය.
මහින්ද ඉහළ මාලයේ
ජනතාව ගෝල්ෆේස් පිටියට පැමිණෙන ආකාරය මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ ඉහළම මාලයේ වීදුරුවලින් ආවරණය කළ ස්ථානයක සිට වරින් වර නැරඹීය. ඔහු සමග විමල් වීරවංශ, යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂද සිටියහ. මහින්ද ටාජ් සමුද්‍රාහි ගොඩනැගිල්ලේ සිටින ආකාරය රැලියට පැමිණි ජනතාව දුටු අතර, ඔවුන් මහින්දට අත වැනුවේය. එවිට මහින්දද ඔවුන්ට අත වැනුවේය.
නමුත් නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග පෙළපාළියෙන් රැලිය පැවති ස්ථානයට පැමිණියහ. රතු ටීෂර්ටයකින් සැරසී සිටි නාමල්ට දේශපාලඥයන්ට වෙන්කර තිබුණු වේදිකා කොටසේ අසුනක් නොලැබුණු බැවින් කලාකරුවන් සිටි කොටසේ ඉදිරි පුටුවක වාඩි විය.
ගොවියාට ලකුණු
මේ අතර වේදිකාව ඉදිරිපිට භූමියේ පුටුවක් තබාගෙන අමුඩයකින් සැරසී සිටි ගොවියෙකු සියලු දෙනාගේ අවධානයට ලක්විය. ඔහු අත වී මිටියක් සහ දෑකැත්තක්ද තිබුණි. වරෙක කාන්තාවන් ඔහු සමග ඡායාරූප ගැනීමටද ඉදිරිපත් විය. තවත් අය විවිධ ඉරියව්වලින් ඡායාරූපගත කළේය.
එම ස්ථානයෙන් යමින් සිටි රේණුක පෙරේරාට කතා කළ ගොවියා නාමල් පෙන්වා යමක් කීවේය. එම පණිවුඩය නාමල් වෙත පැවසූ රේණුක නාමල් සමග ගොවියා අසලට පැමිණියේය. එවිට ගොවියා නාමල් සමග ඡායාරූප කිහිපයකට පෙනී සිටි අතර විනාඩි කිහිපයක් තුළ යම් කරුණක් පැහැදිලි කරන ආකාරයද දිස්විය. මහින්ද රාජපක්ෂ කතා කරන අවස්ථාවේදීද එම ගොවියා ගැන සඳහන් කළේය.
නිල්පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී ටාජ් ගොඩනැගිල්ලේ සිටි මහින්ද රැලියට ආවේ සුදු සරමකින් සහ කමිසයකින් සැරසීගෙනය. ටාජ් සමුද්‍රාහි පාරවල් දෙකම ජනතාව නිසා අවහිරව තිබුණු බැවින් වෙනත් මාර්ගයකින් මහින්ද වේදිකාවට එන විට සවස 5.10 පමණ විය.
සමන් ඒකනායක කවි ගායනයක්ද, බන්දුල විජේවීර ගීත ගායනයක්ද මෙහිදී ඉදිරිපත් කළහ. මහින්ද රාජපක්ෂ වේදිකාවට පැමිණි අවස්ථාවේ සිට දකුණු පළාත් සභාවේ සභාපති සම්පත් අතුකෝරළ මහින්දට තරමක් ළඟින් සිටගෙන සිටියේය. ආරක්ෂක නිලධාරීන් මෙන් වටපිට බලමින් මහින්දගේ ආරක්ෂාව පිළිබඳව ඔහු උනන්දු වන බව දක්නට ලැබුණි.
මහින්දගේ කතාව අවසන් වීමෙන් පසුව වාසු, දිනේෂ් ඇතුළු සියලුදෙනා එකිනෙකාව බදා ගනිමින් සුභ පතා ගත්තේය. මහින්ද වාහනයට නගින අවස්ථාවේදී ප්‍රසන්න සිටිනු දැක ''මොකද ස්ටේජ් එකට ආවෙ නැත්තේ'' යැයි මහින්ද විමසීය. ''මම සර් සෙනඟ හැසිරෙව්වා'' යැයි ප්‍රසන්න පැවසීය.
''වැඩේ හොඳට කෙරුණා'' යැයි කියා මහින්ද ගෝල්ෆේස් පිටියෙන් ගියේය.
ලන්සාගෙන් සුබපැතුම්
පාර්ලිමේන්තු ලොබියේදී බදාදා හමුවුණු මහින්ද අමරවීර, නිමල් ලන්සා, සුරේෂ් වඩිවේල්, පියල් නිශාන්ත ගෝල්ෆේස් පිටියේ මැයි රැලිය ගැන කතා කළේය. ලන්සා කතාව අරඹමින්,
''ඉතිහාසයේ දැකපු නැති සෙනඟක්නේ ඇවිත් හිටියෙ.. .මට පුදුමයි කොහෙන් ගෙනාවද කියලා'' යැයි පැවසීය.
එවිට වඩිවේල්,
''මමත් දැකල නෑ මෙච්චර සෙනඟක්... ඇත්තටම රැලිය සාර්ථකයි'' යනුවෙන් පැවසීය.
එහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර කීවේ
''රාජිත මේවට වගකියන්න ඕන. ජෝන් වගේ කට්ටියට බැනලා රාජිත පක්ෂය ඇතුළෙ නැති ප්‍රශ්න හදනවා. හැබැයි සෙනඟ ආවා කියල අපි පැරදුණේ නැහැ'' යැයි කීවේය. එය ඇසූ පියල් කිව්වේ
''සර්ලටත් තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න'' කියාය.
මහින්දානන්දට වටෙන්ම සුබපැතුම්
යළිත් වරක් විවාහ දිවියට පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට මේ දිනවල පාර්ලිමේන්තුවේදී සියලුදෙනාගේම සුබපැතුම් එක්කරන්නට විය.
මේ අතර පාර්ලිමේන්තුවේ කමිටු කාමර 04 හි මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්විණ.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ සිදුවීම පිළිබඳවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයක් පිළිබඳවත් සාකච්ඡා කළ අතර, වැඩවර්ජනයට උපරිමයෙන් සහය දැක්වීමට මෙහිදී ඒකාබද්ධය තීරණය කළේය. එය දැන්වීමට හදිසි මාධ්‍ය හමුවක් පැවැත්වූයේ ඉන්පසුවයි.
මේ අතර මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පාර්ලිමේන්තුමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවැත්වුණු අතර, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු එදින විවාදයට සහභාගී වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එයට සහභාගී විය.
මන්ත්‍රීවරුන්ට ඇති ප්‍රශ්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, බදු මුදල් පිළිබඳ තොරතුරුද එහිදී විමසා දැනගත්තේය. සභාගැබ තුළ බදු සම්බන්ධයෙන් බන්ධුල ගුනවර්ධන කතා කරන විට කබීර් හෂීම් කියන්නට වූයේ,
''ඔබතුමා දැන් බදු ගැන කතා කරනවා. ආර්ථිකයේ වර්ධනය ගැන කතා කරනවා. නමුත් 2011 වනවිට ලක්ෂ 08 ක් වුණ බදු ෆයිල් අවුරුදු දෙකක් තුළ ලක්ෂ 05 ට අඩු වුණේ කොහොමද කියලා කියන්න. එහෙම වුණේ ආර්ථිකය වර්ධනය නිසාද, මිනිස්සුන්ගේ දුප්පත්කම වැඩි වුණ නිසාද, එහෙම නැතිනම් හොරකම් කරපු නිසාද'' කියා අසන්නට විය. එවිට බන්දුල මඳ සිනහවක් පළ කළේය.
එකතුවෙලා ගන්න තීරණ ගැන විවේචන එපා
මැයි රැලියේදී රාජිත සේනාරත්න කියූ කතාවක් මෙවර කැබිනට් හමුවටද ගොස් තිබුණි. මහින්දගේ සෙරප්පු ලෙව කෑවා කියමින් රාජිත ජෝන් සෙනවිරත්නට බැන වැදී තිබූ ආකාරය ජෝන් කැබිනට් හමුවේදී කියන්නට විය.
''ජනාධිපතිතුමා, රාජිත ඇමතිතුමා එහෙම කියන එක වැරදියි. සෙරප්පු ලෙව කෑවා නම් අපි හැමෝම සෙරප්පු ලෙව කෑවා. මොකද අපි හැමෝම මහින්දගේ ආණ්ඩුවේ හිටපු අයනේ'' ජෝන් එසේ කියනා විට ජනාධිපති මෛත්රීද කියා සිටියේ ඒ පිළිබඳව කණගාටු වන බවයි.
''අපි එකතුවෙලා ගන්න තීරණ ගැන කවුරුත් තැන තැන ගිහින් විචේචනය කරන්න නරකයි. මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, එක්සත් ජාතික පක්ෂයවත් රැකගන්න එක නෙවෙයි තියෙන්නේ.. ආණ්ඩුව රැකගන්න එක. මේ හැමෝම ඒ ගැන හිතලා කටයුතු කරනවා නම් හොඳයි''
ඒ කතාව එසේ නිමා වන විට ඇමති ෆයිසර් මුස්තාෆා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් කියන්නට වූයේ
''මට දැන් ඉන්න බැරිවෙන තැනට මිනිස්සු බනිනවා. මේ ඡන්දෙ ඉක්මනට තියන්න වෙනවා... මේ සංශෝධන ටික කරලා ඡන්දෙ තියමු..''
ෆයිසර්ගේ යෝජනාවට සියල්ලන්ම එකඟ වුවද සංශෝධන වලින් සුළු පක්ෂ වෙත අසාධරණයක් වෙනවාද යන්න පිළිබදව සොයා බැලිය යුතු බැවින් අද දිනයේදී එයට එකඟ විය නොහැකි බව ඇමති මනෝ ගනේෂන් කියන්නට විය.
ෆයිසර් එයට එකඟ නොවූ අතර, ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ මෙයට කැබිනට් අනුමැතිය ගැනීමටයි. මනෝගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් පසුව එය සතියකට පමණක් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
අවුරුදු දෙකකට කලින්නේ කියන්න තිබුණේ
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන සතියේ කැබිනට් හමුවෙන් පසුව ඇමතිවරුන් වන දයාසිරි, කබීර්, මලික්, සජිත් අතර කතාබහක් ඇති විය. මේ කතාබහේදී සිදුවූ දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ඇමතිරුවන් වන මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා, ලසන්ත අලගියවන්න යන අයට දයාසිරි කිව්වේ රහසිනි.
''මේ..මේ ඊයෙ නියම වැඩක් වුණා. කැබිනට් එක ඉවරවෙලා මමයි, කබීර් හෂීමුයි, මලිකුයි තුන්දෙනා කතා කර කර යනකොට සජිත් ආවා. එතකොට මම කිව්වා 'මචං උඹ එදා කරපු කතාව මීට අවුරුදු දෙකකට කලින් කළා නම් මම යුඇන්පියෙන් යන්නෙ නැහැනේ' කියලා. අරුන් බඩ අල්ලගෙන හිනා වෙනවා.
සජිත් ඇහුවා මොකද්ද කිව්වෙ කියලා. මම කිව්වා උඔ කිව්වේ දිවි හිමියෙන් පක්ෂෙ රකිනවා. නායකතුමා රකින්න ඕන, ආරක්ෂා කරන්න ඕන කියලා. මම කිව්වා මචං උඹ අවුරුදු දෙකකට කලින් ඕක කිව්ව නම් අපි යන්නේ නැහැනේ කියලා. අරූගෙ මූණ රතු වෙලා'' දයාසිරි මේ කියූ රහස ප්‍රසිද්ධ රහසක් බවට පත් විය.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd