ප්රජාතන්ත්රවාදී සමාජයක් ශ්‍රී ලංකාව තුළ පවතින බව පැවසුණද සමාජ ප්රගමනයක් මෙතෙක් රට තුළ සිදුව නොමැති බව සමාජ ක්‍රියාකාරීන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑවක් ගත වුවද මෙතෙක් සමාජය තුළ සිදු වූ සිදුවීම් සහ දේශපාලන මැදිහත් වීම් සමාජ ප්රගනයට කෙසේ දායක වී ඇත්ද?, නොඑසේ නම් සිදුවිය යුත්තේ කුමක්ද යන්න සමාජ ක්‍රියාකාරිකයෙකු වන තුෂාර වන්නිඅච්චි මහතා සමග සාකච්ඡා කළෙමු.
Q වත්මන් ශ්‍රී ලංකා සමාජය ඔබ දකින්නේ කෙසේද?
ලංකාවට නිදහස ලැබිලා මේ වනවිට දශක හතක්. නමුත් සුද්දා දීලා ගිය රට මේ දශක ගත ඇතුළත ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණාද කියලා විමර්ශනය කර බැලීම ලංකාවේ පාලකයන්ට හරිම වැදගත්. මේ දශක හත ඇතුළත තිබුණ ප්‍රශ්නවලට අමතරව අපි අලුතින් හදාගත්තු ප්‍රශ්න ගණනාවක්ම තිබෙනවා.
ඉන් එකක් තමයි නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්රශ්නය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වුණේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ. නිදහස් අධ්‍යාපනය මගින් බිහිවෙන දරුවන් තමන්ගේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණා. නමුත් දශක හතකටත් පසු ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලද, විසඳුම් සොයලා තියෙනවද කියලා අපි අවධානය යොමු කරන්න වෙනවා.
සරලම උදාහරණයක් කිව්වොත් පළමු ශ්‍රේණියට ඇතුළත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ ඉතාම සුළු පිරිසක්. ඇතැම් විට ඒ පිරිස 20%ට වඩා අඩුයි. නමුත් ශ්‍රී ලංකාව පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය තිබෙන රටක්. එවැනි රටවල් කිහිපයක් පමණයි ලෝකයේ තිබෙන්නේ.
නමුත් උපාධිය රැගෙන විශ්විද්‍යාලයෙන් පිටවන එම 20%ක පමණ පිරිස විශේෂ වරප්රසාදිත පුද්ගලයෝ. මේ අය විශ්වවිද්‍යාලවලින් පිටතට පැමිණ ආණ්ඩුවලට බලකරනවා රැකියා ලබාදෙන්න කියලා.
තමන් නිදහස් අධ්‍යාපනයෙන් උපාධියක් ලබාගත්තා නම් ඔවුන් කළ යුත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි වූවන්ට රැකියා උත්පාදනය කිරීම. ඒ විදිහට කරනවා වෙනුවට උපාධිධාරීනුත් ඇවිත් රැකියා ඉල්ලනවා. ඒ කියන්නේ රටේ ප්‍රශ්න විසඳන්න උගන්වන ළමයින්ම රටට ප්‍රශ්නයක් වෙනවා.
උපාධිධාරීන් මේ විදිහට උද්ඝෝෂණය කරද්දි උපාධිධාරීන් නොවන පුද්ගලයන් මේ විදිහට බලාගෙන ඉන්න එක පුදුමයක්. මොකද රටේ බදු සල්ලිවලින් ඉගෙනගත්තු ඔවුන් රටේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා වෙනුවට, තවත් බරක් වෙනවා. මේ දේවල් වෙනස් විය යුතුයි.
දෙවැනි කාරණය තමයි අපේ රටේ වෘත්තීය අධ්‍යාපනයට හරිම අඩු නැඹුරුවක් තිබෙන්නේ. ලංකාවේ විශාල සංඛ්‍යාවක් බාහිර උපාධිය හදාරනවා. නමුත් ඒ අතරින් විශාල සංඛ්‍යාවක් කලා උපාධි හදාරන්නේ. නමුත් ලංකාවේ තාක්ෂණික විශ්වවිද්‍යාල මේ වනවිට දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිනවා. මොකද එවැනි ආයතනවල පාඨමාලා හදාරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. රට තුළ තාක්ෂණවේදීන් හෝ නොමැතිකම රටට තිබෙන ප්‍රශ්නයක්.
ඒ වගේම තමයි උසස් පෙළ අධ්‍යාපනය ලබලා පාසලෙන් පිටවන බොහෝදෙනා උසස් අධ්‍යාපනයට යොමුවෙන්නේ නැතිනම් ඔවුන්ට තාක්ෂණ අධ්‍යාපනය ලබාදෙන්න බැහැ.
පාරේ රස්තියාදු වෙන්න, ත්‍රීවිල් පදවන්න වගේ සරල දේවල්වලට ඔවුන් යොමු වෙනවා. ලංකාවෙ වෘත්තීය පාඨමාලාවලට සිසුන් සොයාගන්න බැහැ කියලා තාක්ෂණික විද්‍යාලවල ආචාර්යවරුන් කියනවා. නමුත් තාක්ෂණික ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ පවා විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ ප්‍රශ්නයෙන් රට මුදවන්නට අවශ්‍යයි.
Q ත්‍රිරෝද රථ කර්මාන්තය පිළිබඳ ඔබ සඳහන් කළා. මෙමගින් සමාජයට වන බලපෑම කුමක්ද?
විශේෂයෙන්ම ත්‍රිරෝද රථ කර්මාන්තයෙන් තරුණයන් මුදවාගත යුතුයි. මම දන්න විදිහට වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ සඳහා නීති සකස් කරමින් සිටිනවා. ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරන් ලෙස කටයුතු කළ හැකි වන්නේ වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන්ට පමණයි. ඒ වගේම ත්‍රිරෝද රථවල බදු තවදුරටත් වැඩි විය යුතුයි. මොකද මේ වනවිට ලංකාවේ මිලියන තුනක් මිනිස්සු ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටිනවා. ත්‍රිරෝද රථ ලක්ෂ 11 ක් තිබෙනවා.
මිලියන 23 ක් පමණ ජීවත්වන රටක මිලියන තුනක් කියන්නේ විශාල ප්‍රමාණයක්. බොහෝ විට තරුණයෝ වයස අවුරුදු 18 දී පමණ ත්‍රිරෝද රථ රැකියාවට පැමිණෙනවා. වයස 28 පමණ වනතුරු එහි යෙදී සිටිනවා. ඒ අතර තවත් සමාජ ප්‍රශ්න ඇති කරගන්නවා. සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වෙනවා. එහෙමත් කරලා වයස 28 දී පමණ මේ සියල්ල නවත්වල දමලා ගෙදරට වෙලා ඉන්නවා. එවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා.
ඒ වගේම ත්‍රිරෝද රථ නිසා ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය දියුණු වුණේ නැහැ. මොකද බස් නැතිනම් මිනිස්සු ත්‍රිරෝද රථවල යන්න පුරුදු වෙලා නිසා ප්‍රවාහන කර්මාන්තය දියුණු වෙන්න අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා තවමත් ලංකාවේ පරණ බස්වල මිනිස්සු පුරවාගෙන යනවා. නමුත් ත්‍රිරෝද රථ නැති රටවල ප්‍රවාහන කර්මාන්තය බොහොම හොඳින් දියුණු වී තිබෙනවා. දකුණු ආසියාවේ ප්‍රවාහන කර්මාන්තය දුර්වලම රටවල් වී තිබෙන්නේ ත්‍රිරෝද රථ තිබුණු රටවල්.
බංග්ලාදේශය, ඉන්දියාව, ලංකාව ඒ අතර වෙනවා. බැංකොක් බොහොම ඉක්මනින් ත්‍රිරෝද රථ පාරවල්වලින් ඉවත් කළා. ඒ නිසා ඔවුන් දියුණු වෙමින් යනවා.
ඒ වගේම ලක්ෂ 06 ක් වගේ ත්‍රිරෝද රථ තියෙන්නේ කොළඹ නගරයේ. මේ නිසා මේ කුඩා නගරය තුළ වාහන තදබදය ඉතාම ඉහළයි. මේ තදබදය නිසාත් ප්‍රවාහනය දියුණුවෙන්නේ නැහැ. මිනිස්සු මුදල් විශාල ප්‍රමාණයක් පාරට යොදවනවා.
Q සමාජ ප්රගමනයට ආගමික නායකයන්ට දායක විය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
සමාජ ප්රගමනයට කෙසේ වෙතත් මම හිතන විදිහට ලංකාවේ ආගමික ස්ථානවලින් වැඩි වශයෙන් සමාජ අතවරයක් සිදුවෙනවා. පල්ලි, කෝවිල්, පන්සල් කුමන ස්ථානයකින් වුවත් එය සිදුවෙනවා.
පල්ලියක වුණත්, පන්සලක වුණත් පාන්දර ලවුඩ්ස්පීකරයකින් ආගමික කරුණු ප්‍රචාරය කරනවා නම් එතැන වෙන්නේ සමාජ අතවරයක්. මොකද පාන්දර හතරට, හතර හමාරට විතර ලවුඩ්ස්පීකර් එකක් දැම්මොත් ගෙදර ඉන්න හැමෝටම ඇහැරෙනවා. නමුත් ඒ වෙලාවට කාටවත් ඒ ධර්ම කරුණු අහන්න අවශ්‍යතාවක් නැතිවෙන්න පුළුවන්.
උදේ ළමයි පාඩම් කරනවා. ඇතැම් අය පාන්දර ගෙදර ඇවිත් නිදාගන්න අවශ්‍යයි. තව තවත් ගෙදර කුමන වැඩක් තිබුණත් ඒ සියල්ල පසෙක දමා මේ වෙලාවට නැගිටින්න වෙනවා.
ඉතිං හරි අමාරුවෙන් මේ දේවල් දරාගෙන ඉඳලා මේ අය උදෑසන රැකියාවට ගිය විට රැකියා ස්ථානයේ පීඩනය, අපහසුතා විඳගෙන ඉඳලා ආපසු ගෙදර ආව ගමන් හවසත් ඒ විදිහටම මහ සද්දෙන් ධර්ම කරුණු කියන්න පටන්ගන්නවා. මේක මොන අපරාධයක්ද කියන්න. එතකොට ඒ පූජනීය ස්ථානයේ ඉන්න පූජකතුමාගේ, හාමුදුරුවන්ගේ මතයට අනුව තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
වෙන කිසිදෙයක් කරන්න බැහැ. රෑ නිදාගන්න යන අවස්ථාවේ හැමදාම රෑට පිරිත් ඇහෙනවා නම් මිනිස්සු ගිහි ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද? ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. අන්තිමට පවුල් ප්‍රශ්න ඇති වෙන්නේ මේ වගේ දේවල් නිසා. තමන්ට අවශ්‍ය නැති දෙයක් බලෙන් පටවන්නට අවශ්‍ය නැහැ.
ඒ වගේම ලංකාවේ ශබ්ද විකාශන කරන නිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඩෙසිබල් 12 වඩා වැඩි ශබ්දයක් නිකුත් කරනවා නම් පොලීසියෙන් අවසර පත්‍රයක් ගතයුතු වෙනවා. නමුත් මේ ආගමික ශබ්ද ප්රවාරණයට කිසිම අවසරයක් ගන්නේ නැහැ.
ඒ වගේම ආගම තුළ තිබෙන්නේ වසර ගණනාවක් පැරණි දැනුම. අපි දැන් අලුත් දැනුමටත් ඉඩක් දිය යුතු වෙනවා. අපි ආගම් රැකිය යුතුයි. විනාශ කළ යුතු නැහැ. නමුත් අලුත් ලෝකයේ දැනුමටත් අපි ඉඩදිය යුතු වෙනවා. එහෙම නොකළහොත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
නමුත් මේ දැනුම වෙනස් කරන්න කිසිවෙක් උනන්දු වෙන්නේ නැහැ. අපි අනිකුත් පීඩාවලින් ගැලවෙනවා වගේම වැරදි සහ පැරණි දැනුමෙනුත් ගැලවිය යුතු වෙනවා. මොකද ඕනෑම දෙයක් පැරණි වූ තරමට හරිත් නැහැ, හොඳත් නැහැ.
Q ඔබ පවසන එවැනි තත්ත්වයන් වෙනස්වීමට නම් මිනිසුන් තුළ එවැනි මතයක් ඇති කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද?
ඇත්තටම ආණ්ඩුවත් ලොකු කාර්යයක් කළ යුතුයි. ආණ්ඩුවට නීතිරීති, ප්‍රතිපත්ති ගෙනැවිත් ඒවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ත්‍රිරෝද රථ මගින් සමාජයට සිදුවුණු හානිය විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ඒ වගේම මිලියන 30 ක ජනතාවට වෘත්තීය පුහුණුව ලබාදීම ආණ්ඩුවයි කළ යුත්තේ. දුම්කොළ මද්‍යසාර පනත ආණ්ඩුව ගෙන ඒම තුළින් ලංකාවේ ඒවා භාවිතයේ විශාල වෙනසක් සිදු වී තිබෙනවා.
අද සිගරට් බොන තරුණයෝ රටේ අඩුයි. ඒ සමාගම් අර්බුදයකට ලක්වෙලා. ඒ ඇයි ? ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා. රටේ සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය තිබෙනවා. මේ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්න ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ ආණ්ඩුව එවැනි තත්ත්ව පිළිබඳ සුබවාදීව බලනවා ඇති කියලා මම හිතනවා.
Q මේ වෙනුවෙන් කටයුතු කිරීමේදී සිවිල් සමාජයේ වගකීම කෙබඳුද?
අපේ වගේ රටවල සිවිල් සමාජය ඒ තරම් බලවත් නැහැ. ඒ වගේම සිවිල් කණ්ඩායම් බොහෝමයක් තිබෙනවා. නමුත් ඔවුන්ට වෙන වෙනම න්‍යාය පත්‍ර තිබෙනවා. ඒ නිසා සිවිල් සමාජයේ බොහොමයක් ඔවුන්ගේ න්‍යාය පත්‍ර තුළ තමයි වැඩ කරන්නේ. සිවිල් සමාජය ශක්තිමත් විය යුතුයි. ඒ වගේම පුරවැසියන් දැනුවත් විය යුතුයි. උදාහරණයක් ලෙස මේ වනවිට අපේ රටේ මාස දෙකක් ඇතුළත උද්ඝෝෂණ පණහක් පමණ පවත්වලා තියෙනවා.
මේ තුළිනුත් විශාල වශයෙන් ජනතාව අපහසුතාවට පත්ව තිබෙනවා. කොටුවේ උද්ඝෝෂණ කරනවා කියන්නෙ මිනිස්සු ලක්ෂයක් විතර අපහසුතාවට පත්වෙනවා. සිවිල් මිනිස්සුන්ට සමාජ ප්‍රශ්න විසඳන්න තිබෙන එක් ක්‍රමයක් තමයි උද්ඝෝෂණ. නමුත් එයත් අපේ රටේ වැරදියටයි භාවිත කරන්නේ. ඒ නිසා සිවිල් සමාජය අපි හිතන තරම් ශක්තිමත් නැහැ.
Q එසේ නම් සිදුවිය යුතු යැයි ඔබ අදහස් කරන්නේ‘ කුමක්ද?
සමාජයක පැවැත්ම තිබෙන්නේ එදිනෙදා ක්රියාවලීන්වල ගුණාත්මක බව අනුවයි. ඒ වගේම සමාජයේ පුද්ගලයන් ගුණාත්මක බව පවත්වාගෙන යා යුතු වෙනවා. විධිමත් බවක් නැතිනම් සමාජයක පැවැත්මක් නැහැ. ප්රජාතන්ත්රවාදී වීම පමණක් නොවෙයි, මෙම කරුණු හදාගන්නත් සමාජය ක්‍රියාකළ යුතුයි.