රටට අවශ්‍ය සහල් ටික, එළවළු ටික, පලතුරු ටික ලබාදෙන ගොවිජනතාව මේ දිනවල වැඩිපුරම සිටින්නේ මහපාරට වී විරෝධතාවල නිරත වෙමිනි. වී මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ පොහොර සහනාධාරය පෙර පරිදිම ලබාදෙන ලෙස ඉල්ලමින් ගොවිජනතාව අරගලවල නිරත වී සිටින විට, රට තුළ සහල් අතිරික්තයක් තිබෙන බව පවසමින් වී වගා කරනා හෙක්ටයාර ලක්ෂයක ප්‍රමාණය අතිරේක භෝග වගා කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරමින් සිටී. රට තුළ වී අතිරික්තයක් තිබෙන බවට සඳහන් කළද, අද වන විට ජනතාවට දරාගත නොහැකි ලෙස සහල් මිල ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධාන සිදුකරනා චෝදනාවකි.මේ නිසා 'අද' මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සමග කතාබහක නිරත විය.
Q රට තුළ වී අතිරික්තයක් තියෙනවද?
රට තුළ වී අතිරික්තයක් තියෙනවා කියල වර්තමාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු කිහිපදෙනෙකු සඳහන් කරනවා. වී අතිරික්තයක් තියෙනවා කියන්නෙ සහල් අතිරික්තයකුත් තියෙනවා කියන එකනේ. ඒත් අද වන විට ගොවියාගේ වී අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් තියෙන්නේ ආණ්ඩුවේ අය කියන විදිහට. වී අතිරික්තයක් තිබුණානම් අද වෙනකොට වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් 70ත් 80ත් අතර මුදලක් වුණේ කොහොමද කියන ගැටලුව එනවා.
අනිත් එක තමයි වී වලට නියම කරලා තියෙන සහතික මිල නීතිගත නොකරපු නිසා රජයේ සහතික මිලට පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගන්නෙ නැහැ. ඒ වගේම සහතික මිලට වී මිලදී ගන්න රජයට නිසි වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 19ත් 25ත් අතර මුදලක්. හැබැයි, හාල් මිල 70ට එහා. රුපියල් 25ට වී කිලෝවක් ගන්න නිසා හාල් කිලෝවක් රුපියල් 55කට ආසන්න මුදලකට ලබාදෙන්න පුළුවන්.
Q වී මිල අඩුවී තිබියදී හාල් මිල ඉහළ ගියේ කොහොමද?
ඒක අපටත් තියෙන ප්‍රශ්නයක්. කොහොම උනත් රට තුළ තියෙන මහා මෝල් හිමියන් දෙතුන් දෙනෙකු විශාල ජාවාරමක් ක්‍රියාත්මක කරනවා. මෙම මෝල් තුන හතර අයිතිකරුවන්ට ප්‍රබල දේශපාලන ඥාතීන්ගේ හිතවත්කමක් ඥාතිකමක් තියෙනවා. මේ නිසා සමස්ත ලංකාවෙම වී මිලදී ගැනීමේ කූඨ ජාවාරමත්, සහල් අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරමත් යන ජාවාරම් දෙකම මෙම දෙතුන් දෙනා විසින් සිදුකරනවා. වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ඥාතීන්ට ඥාතීත්වයක් දරන, හිතවත්කමක් දරන මෙම දෙතුන් දෙනා මොනවා කළත් ඒ පිළිබඳව සොයා බලන්නවත් කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. මේ නිසා මෙම දෙතුන් දෙනා විසින් එක් පැත්තකින් ගොවියා සූරාගෙන කනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයා සූරාගෙන කනවා. වී කිලෝවක් රුපියල් 25කට මිලදී ගනිද්දී සහල් කිලෝවක් රුපියල් 80ක් වීම ලෝක වාර්තාවක්.
Q කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගා කිරීමට වර්තමාන ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා නේද?
ඔව්. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රසිද්ධියේම කියා සිටියා මේ රටේ වී අතිරික්තයක් තියෙනවා මේ නිසා කුඹුරු හෙක්ටයාර ලක්ෂයක වෙනත් භෝග වගා කරන්න අවශ්‍ය කටයුතු කරනවා කියලා. කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ වී අතිරික්තයක් තියෙනවා කියල කියන්නේ කුමන පදනමකින්ද කියලා අපිට හිතාගන්න බැහැ. මොකද අද වෙනකොට රට තුළ සමීක්ෂණයක් සිදුකරලා නැහැ රටට කොතරම් සහල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා.
අඩුමතරමින් රටේ කිසිම බලධාරියෙකු දන්නෙ නැහැ රට තුළ කොතරම් කුඹුරු බිම් තියෙනවද, එළවළු වගා කරන බිම් කොතරම් තියෙනවද, පලතුරු ධාන්‍ය වර්ග වගා කරන භූමි කොතරම් තියෙනවද කියලා. ඒ වගේ බලධාරීන් ඉන්න රටක දැන් කියනවා වී අස්වැන්න රටට වැඩියි කියලා. වී අස්වැන්න රටට වැඩි නම් ඒ සඳහා කරන්න හුඟක් වැඩ තියෙනවා. ඒව ගැන කිසිම ඇමති කෙනෙක් හෝ රටේ පාලකයා කතා කරන්නේ නැහැ.
Q මොන වගේ දේවල්ද සිදුකරන්න පුළුවන් වෙන්නේ?
ඇත්ත කතා කළොත් මේ රටේ ජනතාවගෙන් බොහෝදෙනෙකු බඩ පිරෙන්න තුන් වේල කන්නෙ නැහැ. එහෙම නොකන්නේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය නිසා. බඩ පිරෙන්න කන්න හාල් ටිකක් ගන්න වත්කමක් ජනතාවට නැහැ. මේ නිසා රජය මැදිහත්වෙලා ගොවියාගේ වී මිලදී ගෙන පාරිභෝගික ජනතාවට දරාගත හැකි මුදලකට සහල් ලබාදෙන්න ඕන. ජනතාව තුන්වේලට බත් කෑවොත් සමහරවිට රටේ නිෂ්පාදනය වන වී ප්‍රමාණය රටට මදි වේවි. ඒත් රජය වී මිලදී ගෙන සහල් කරලා විකුණන වැඩපිළිවෙළක් නැහැ.
රජය කරන්නේ සහතික මිලට ගන්න වී ටිකත් කුණුකොල්ලයටම මෝල් හිමියන් කිහිප දෙනෙකුට විකුණපු එක. මේවට කියන්නේ ජාවාරම් කියලා. අනිත් එක තමයි අපේ රටේ බොහෝ පිරිසක් තිරිඟු පිටි ආශ්රිත කෙටි කෑම වලට හුරුවෙලා ඉන්නවා. වතුකරයේ ජනතාව ගත්තොත් ඔවුන්ගේ ප්‍රධාන ආහාරවේල තිරිඟු පිටි වලින් සකස් කර ගන්නවා. මේ නිසා හාල්වලින් මේ සඳහා ආදේශක සකස් කිරීමට වැඩපිළිවෙළවල් සකස් කරන්න ඕන.
Q ආදේශක ලෙස හඳුන්වන්නේ කුමක්ද?
මේ රටේ බොහෝ දෙනෙක් පාන් කනවා. අද වන විට රට තුළ පාන් හදන්නේ තිරිඟු පිටි වලින්. මේ නිසා සහල් පිටි පාන් හදන්න රට තුළ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. ඒක මාධ්‍ය සංදර්ශනවලට සීමා කරන්න හොඳ නැහැ. යම් කෙනෙකු හාල්පිටි පාන් හදන්න කටයුතු කරනවා නම් ඔහු දිරිමත් කිරීමට රට තුළ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම සහල් පිටි වලින් පාන් හා කෙටි කෑම සකස් කිරීමේ තාක්ෂණය වගේම සහල් පිටි බවට පත්කිරීමේ තාක්ෂණයක් හඳුන්වා දිය යුතුයි. ජනතාව සහල් පිටි ආශ්රිත නිෂ්පාදන වලට හුරු වුවහොත් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයත් රැකගැනීමට හැකියි. මොකද මේ වන විට සඳහන් වන කාරණයක් තමයි පාන්පිටි නිසා ලෙඩ රෝග ඇති කරනවා කියන කාරණය. මේ නිසා දැනට තිරිඟු පිටි භාවිත කරන සෑම ආහාරයකටම සහල් පිටි ආදේශ කළ යුතුයි.
Q වී අලෙවි කර ගැනීමට අපහසුතා තියෙන නිසා ගොවීන් අතිරේක භෝග වගාවන්ට යොමු කිරීම හොඳ දෙයක් නේද?
ඕනෑම කෙනෙකුට එහෙම අදහසක් එනවා. හැබැයි ප්රශ්නය දිහා ගැඹුරුව බැලුවොත් හෙක්ටයාර ලක්ෂයක් කියන්නේ කුඹුරු අක්කර දෙලක්ෂ පනස් දහසකට ආසන්නයි. මෙතරම් ප්‍රමාණයක් වී වගාවෙන් ඉවත් කළාට පස්සෙ සිදුවන්නේ රටට අවශ්‍ය සහල් ටික පිටරටින් ගෙන්වන්න සිදුවන එක. දැනට වී අතිරික්තයක් තියෙනවා කිව්වත් රටින් සහල් ගෙන්නනවා. ටිකක් ලොකු හෝටල්වලට කියලා ගෙන්වනවා. හෝටල්වලට අවශ්‍ය සහල් ටික අප රට තුළ නිෂ්පාදනය කරගන්න රජය ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ උදව් උපකාර කළා නම් සහල් ගෙන්වීම නිසා පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය රට තුළ ඉතිරිකර ගන්න පුළුවන්.
මම උදාහරණයක් කියන්නම්, අපිට වඩා ගොඩක් පහළින් ඉන්න රටක් තමයි බංග්ලාදේශය. හැබැයි ඒ රටේ ගොවි ජනතාවගේ වී අස්වැන්න අපනයනය කරනවා. අපේ රට තුළත් ධෛර්යවන්ත ගොවි ජනතාවක් ඉන්නවා. මේ අයට අවශ්‍ය තාක්ෂණය ලබාදුන්නොත් ලෝකෙ ඕනෑම රටකට යවන්න පුළුවන් සහල් ටික හදල දේවි.
Q යම් ලෙසකින් මෙම යෝජනාව රට තුළ ක්‍රියාත්මක කළහොත් කුමක් සිදුවෙවිද?
විදේශීය ජාතිකයන් විසින් ඌව වෙල්ලස්සේ වී ගොවිතැන විනාශ කරලා දමන්න එදා වැඩපිළිවෙළක් දියත් කළා. ඒ වැඩපිළිවෙළ නිසා කුඹුරු ලක්ෂයක් පුරන් වුණා. මේ නිසා රට තුළ ආහාර හිඟයක් ඇති වුණා. වෙල් ලක්ෂය පුරන් කරපු විදේශීය ජාතිකයන්ට එරෙහිව මේ රටේ මිනිස්සු සටන් කළා. එදා ඇතිවුණ තත්ත්වය තමයි ඕක. එදා වෙල් ලක්ෂයක් පුරන් කරන්න සුද්දෝ කටයුතු කළා සේම වර්තමාන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිතුමා කුඹුරු බිම් හෙක්ටයාර ලක්ෂයක් පුරන් කරන්න හදනවා. මේ නිසා සුද්දා වෙල් ලක්ෂයක් විනාශ කරලා රටට ආහාර හිඟයක් ඇති කළා සේම වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයා කුඹුරු බිම් හෙක්ටයාර ලක්ෂයක් පුරන් කරලා දාලා රටට ආහාර හිඟයක් ඇති කරාවි.
Q ගොවි ජනතාව එළවළු, පළතුරු, ධාන්‍ය වගාවන්ට යොමු වීම හොඳ දෙයක් නේද?
පැහැදිලිවම ඔව්. අපේ රටට අවශ්‍ය සියලුම දේ අප රට තුළ නිෂ්පාදනය කරගන්න පුළුවන්නම් අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයකට විසඳුම් ලැබෙනවා. හැබැයි දැනට එළවළු, අර්තාපල්, ධාන්‍ය, පලතුරු වගාවන් කරන ගොවි ජනතාවටවත් නිසි පහසුකමක් ලබාදෙන්න බැරි පාලකයන් හිටියා සහ ඉන්න රටේ තව තව පිරිස් මේවාට යොමු වුණා කියල ඒ දේවලින් රට ස්වයංපෝෂිත කරන්න බැහැ.
මම උදාහරණයක් දෙන්නම්. මේ රටේ ගොවියා අර්තාපල් වගා කරනවා. හැබැයි රටේ අවශ්‍යතාවයෙන් සියයට සියක් දෙන්න එයාලට බැහැ. මොකද වෙන්නේ? ගොවියා අර්තාපල් වගා කරලා අස්වැන්න වෙළෙඳපොළට ගෙනාවාම ඒක විකුණගන්න බැහැ. ලූනු ගොවියා, එළවළු ගොවියා, පලතුරු ගොවියාට සිදුවන්නෙත් ඒකම තමයි. දහඩිය මහන්සියෙන් සකස් කරන එළවළු ටික, පලතුරු ටික, ධාන්‍ය ටික විකුණගන්න බැරිනම් මිනිස්සු කොයිතරම් ගොවිතැනට යොමු වුණත් වැඩක් නැහැ.
Q එළවළු, පලතුරු, අර්තාපල් ලොකු ලූනු ගොවියා රැකගන්න තව කුමක්ද සිදුකළ යුතු වන්නේ?
එකක් තමයි අප රටට වාර්ෂිකව කොච්චර ලොකු ලූනු, රතු ලූනු අවශ්‍යද කියලා ගණනය කිරීමක් කරන්න ඕන. ඊට පස්සෙ රට තුළ කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්න සහ ගොවියාගේ අස්වැන්න කුමන කාලවලටද වෙළෙඳපොළට එන්නේ කියල සලකා බලලා තමයි අපනයනය කරන එක කරන්න ඕන. ඒත් මෙම ද්‍රව්‍ය ආනයනය කිරීමේදී හොර ජාවාරම් ක්‍රියා සිදුවෙනවා. මේ නිසා මේ රටේ ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නෙ නැහැ.
අනිත් එක තමයි එළවළු, පලතුරු වගාවන් වලට සහ අර්තාපල් ලූනු වලටත් මෙය පොදු දෙයක්. මොකද ආදාළ ද්‍රව්‍ය වගා නොකරන ප්‍ර‘දේශ සහා වගා නොකරන කාල සලකා බලමින් සමස්ත ලංකාව පුරාම සෑම දිනකම ප්‍රවාහනය කරන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මීට අමතරව එළවළු පලතුරු වැඩි කාලයට එ්වා කල් තබාගෙන හිඟ කාලයට ලබාගත හැකි වැඩපිළිවෙළකුත් රටට අවශ්‍යයි. මෙම කටයුත්තට විශාල ශීතකරණ භාවිත කළ හැකියි.
Q සහනාධාර පොහොර ප්‍රශ්නයට විසඳුම් ලැබිල තිබෙනවාද?
කිසිසේත්ම නැහැ. ගොවියෙකුට රජයෙන් කියලා ලබාදුන්නේ මෙච්චරයි. ඒත් ඒ දේත් මේ වන විට ගොවියාට අහිමි කරලා තියෙන්නේ. මේ සඳහා වර්තමාන ආණ්ඩුව ඉදිරියට දමාගෙන තියෙන්නේ ගොවියා කාබනික ගොවිතැනට යොමු කිරීම සඳහා මෙවැනි දෙයක් කරනවා කියලා. ගොවියා කාබනික ගොවිතැනට හුරු කරන එක හොඳයි. හැබැයි රට තුළ වැඩපිළිවෙළක් දියත් නොකර කටින් විතරක් කාබනික ගොවිතැනක් ගැන කියල වැඩක් නැහැ. අනිත් එක තමයි කාබනික ගොවිතැනට අවශ්‍ය පොහොර ටික මුලින් හදාගන්න ඕන. ඊට පස්සෙ බීජ ටික හදාගන්න ඕන. එහෙම නැතුව පොහොර සහනාධාරය කපා දමලා කාබනික ගොවිතැනකට පලයන් කියල කිව්වට වැඩක් නැහැ. මේ නිසා විධිමත් ලෙස මෙවැනි වැඩපිළිවෙළක් රට තුළ දියත් වනතුරු ගොවි ජනතාවට පෙර පරිදිම සහනාධාර පොහොර ලබාදිය යුතුයි.