ආර්ථික සංවර්ධනය කරා රට මෙහෙයවීමට ආණ්ඩුව, 2025 පොහොසත් රටක් ප්‍රතිපත්ති මාලාව එළිදැක්වුණද මේ පිළිබඳ කතාබහ වන්නේ අල්ප වශයෙනි. එමෙන්ම එම ගමන්මග පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුනොවුණි. මේ නිසාම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.
Q ජීඑස්පී ප්ලස් සහනය මෙරටට හිමි වූවා. මේ වනවිට එමගින් ලබාගත් සහන පිළිබඳ සඳහන් කළොත්?
ජීඑස්පී ප්ලස් සහනය අපිට ලැබීම ලොකු ජයග්‍රහණයක්. මේ නිසාම අපේ නිෂ්පාදන බොහොමයක් යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු කරන්න පුළුවන්. නමුත් ජීඑස්පී ප්ලස් ලැබුණා කියලා අපේ ආර්ථිකයට එකවර වාසි ලැබෙන්නේ නැහැ. එය ලබාගන්න අපිත් ක්‍රියාකාරීව කටයුතු කළ යුතුයි. මේ නිසා තරගකාරී ස්වභාවයට මුහුණදිය හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයි.
මත්ස්‍ය ක්ෂේත්රය සහ ඇඟලුම් ක්ෂේත්රය හරහා මෙම ප්රතිලාභ මේ වනවිටත් රටට ලැබී තිබෙන්නේ. අනිකුත් ක්ෂේත්රවලින් ඒ වාසිය ලබාගැනීමට අපි මහන්සි වුණොත් ජනවාරි මාසයේ සිට ජීඑස්පී ප්ලස් සහනය අපේ රටට ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම ජීඑස්පී ප්ලස් සහනය ලැබෙන නිෂ්පාදන අලුතින් ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ආයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරගෙන යනවා. අපේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ එයයි. ඒ සඳහා හිතකර ආර්ථික පදනමක් ඇති කිරීමටත් රජය බලාපොරොත්තු වෙනවා.
Q 2025දී පොහොසත් රටක් ආර්ථික සැලැස්ම පසුගියදා ප්‍රකාශයට පත් කළා. ඒ කරා ළඟා වීමට වාර්ෂිකව කළ යුතු කාර්යයන් පිළිබඳ සැලැස්මක් තිබෙනවාද?
අනිවාර්යයෙන්ම එවැනි සැලැස්මක් තිබෙනවා. මේ හා සමගාමීව මහජන හිතකර ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය දියුණු කිරීම, ජන ජීවිත ශක්තිමත් කිරීම හරහා මෙම ආර්ථික ඉලක්කය වෙත ළඟා වීමයි රජයේ සැලසුම වී තිබෙන්නේ.
අපේ රටේ පිහිටීම සහ මානව සම්පත උපයෝගී කරගෙන ලංකාව වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි අපේ අරමුණ.
අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන තරුණ සේවා සභාව, යොවුන් සේනාංක හරහා තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී අනාගත ලෝකයට ඔවුන්ව සූදානම් කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම තරුණ ව්‍යවසායකයන් වැඩි කිරීමටත් අපි තීරණය කර තිබෙනවා. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාලයක් ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
තරුණ තරුණියන් හැකියාවෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඔබතුමා සඳහන් කළා. නමුත් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතින් තරුණ නියෝජනයට වෙන්කර තිබූ 35% ඉවත් කිරීමෙන් තරුණයන් දේශපාලනයට යොමු වීමේ අවස්ථා අහිමි කරනවා නේද?
තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංක ආරම්භ කිරීමේ අරමුණ වූයේ ගමේ තරුණයන්ව ජාතික මට්ටමට ගෙන ඒම. ගම් තුළ හුදෙකලා වූ තාරුණ්‍යය යොවුන් පාර්ලිමේන්තුව හරහා වැදගත් කාර්යභාරයක් කිරීමට යොමු වී තිබෙනවා. ඒ වගේම ගම් තුළ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ හරහා ගමේ නායකත්වයන් ගොඩනැගීමට අපි කටයුතු කරනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම තරුණ නායකත්වයන්ට දේශපාලක පක්ෂ විසින් අවස්ථාවක් ලබාදීලා ඔවුන්ට දක්ෂ මහජන නියෝජිතයන් වීමට අවස්ථාව උදා කර දේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.
Q 35% කප්පාදුව තුළින් ඔබ ඉහත පැවසූ කරුණු ඉටුකිරීමට නොහැකි වෙනවා නේද?
පක්ෂ තුළ තාරුණ්‍යයට විශාල අවස්ථාවක් ලබාදිය යුතුයි කියන මතය තිබෙනවා. පක්ෂ තුළ තරුණ සංවිධානත් ප්රබලව ගොඩනැගී තිබෙනවා. මේ නිසා එය බාධාවක් වෙන්නෙ නැහැ. 35෴ ආදී ලෙස සීමාවක් දාන්නෙ නැතිව තරුණ තරුණියන්ට හැකි උපරිමයෙන් අවස්ථාව ලබාදීමට අපි දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය වගේ නෙවෙයි, කොට්ඨාස ක්‍රමයට ක්‍රියාත්මක වන මැතිවරණයක් නිසා සෘජුවම මේ ප්‍රමාණය ඇතුළත් කරනවාට වඩා වැඩි අවස්ථාවල් ලබාදීමට ඉඩදෙන ලෙස බොහෝ දෙනා ඉල්ලීම් කර තිබුණා. ඒ නිසයි මේ විදිහට පනත සම්මත කළේ.
Q ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් වගන්ති ඇතුළත් කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
රජයේ මුදල් භාවිත කරමින් ප්‍රදේශයේ ජනතාවට යම් බලපෑමක් කරන්නට ක්ෂේත්‍ර නිලධාරීන්ට අවකාශයක් තිබෙනවා නම් ස්වාධීන මැතිවරණයකට එය බාධාවක්. මේ නිසා ග්‍රාම නිලධාරීවරුන්ට මේ සම්බන්ධ නීති අතීතයේ පටන්ම තිබුණා. තමන්ගේ රාජකාරී ප්‍රදේශයෙන් බැහැරව ක්ෂේත්‍ර නිලධාරීන් ඕනෑම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන්. එයට කිසිම බාධාවක් නැහැ. ජනතාවට බලපෑම් නොකරන ස්වාධීන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ක්‍රමය සකස් කරගැනීම වැදගත් කියන අදහසේ මම ඉන්නවා. මොකද ජනතාවට නිදහසේ ඡන්දය දීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි.
Q පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් මගින් නිසි ප්‍රයෝජන ලැබෙනවා කියා සිතනවාද?
ගම ඉලක්ක කරගනිමින් ගමේ සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් වැඩි කර තිබෙනවා. ඉදිරියේදීත් එම මුදල් ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවක් දී තිබෙනවා. මේ හරහා සාමාජීය සහ ආර්ථික දියුණුව ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා.
Q ඉදිරි වසර තුන තුළ ආණ්ඩුවේ සංවර්ධන ඉලක්ක කෙබඳුද?
රට තුළ සංවර්ධන මට්ටම් කිහිපයක් ඉලක්ක කර තිබෙනවා. ගෝලීය ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු තබාගනිමින් ගෝලීය ආර්ථික පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම මේ කාලය තුළ සිදුවෙනවා.
බලශක්ති ඉල්ලුම කෙරෙහි අවධානය යොමුකර අනාගතයේ අවශ්‍ය වන බලශක්ති ඉල්ලුමට සරිලන නව බලාගාර ඇති කරන්නට සැලසුම් කර තිබෙනවා. ලෝකයේ කාලගුණය වෙනස් වී තිබෙනවා. මේ නිසා බලාපොරොත්තු නොවන ස්වාභාවික විපත් ඇතිවෙනවා. ආපදා කළමනාකරණය සම්බන්ධ නව තාක්ෂණය ඇතුළුව ආපදා කළමනාකරණය දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ජනජීවිත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර වගේම වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙවා. දුෂ්කර ගම්මාන දියුණු කිරීමටත්, දුප්පත්කම තුරන් කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. කොළඹ ඇතුළු ප්‍රධාන නගර සංවර්ධනය කර කලාපීය වශයෙන් දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
Q ජාතික ආණ්ඩුවේ කාලය අවසන් වූවා. එහි ඉදිරිය පිළිබඳ තීරණය කර තිබෙනවාද?
2020 දක්වා ජාතික ආණ්ඩුවේ කිසිම වෙනසක් සිදුනොවන බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. ජාතික ආණ්ඩුව වසර දෙකයි කියා මුලින් පැවසුවත් නායකතුමන්ලා දෙපළ ඒ පිළිබඳව ඉතාම විශ්වාසයකින් සිටිනවා. රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක සුහද එකමුතුවකින් ඉදිරියට යා යුතුයි කියා අවබෝධයකින් සිටිනවා. ජාතික ආණ්ඩුවේ කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. 2020න් ඔබ්බට වුවත් ජාතික ආණ්ඩුව රැගෙන යාමට අපේක්ෂාවෙන් සිටින බවට ඉඟි පළකර තිබෙනවා. කොහොම වුණත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ ජනතා කැමැත්ත මතයි.
Q එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම්ගත වී අමාත්‍ය ධුර වැඩි කර ගනු ලැබුවේ වසර දෙකක් සඳහායි. වසර දෙක අවසන් වීමෙන් පසුව එය ක්‍රියාත්මක වන බවක් පාර්ලිමේන්තුවට දැනුම් දී නැහැ. එහි නීතිමය තත්ත්වය කෙබඳුද?
මේ පිළිබඳ නීතිමය තත්ත්වය මට ප්‍රකාශ කළ නොහැකියි. නමුත් නායකයන් දෙපළම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන නිසාත්, ජාතික ආණ්ඩුව අහෝසියි කියා ප්‍රකාශ කර නොමැති නිසාත් මේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි යැයි මම විශ්වාස කරනවා.
Q නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙතරම් ප්‍රමාද වන්නේ කුමක් නිසාද?
ලංකාව වගේ රටක ව්‍යවස්ථාවක් හදනවා කියන්නේ ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. පසුගිය ව්‍යවස්ථා සියල්ල ඇතිකර තිබෙන්නේ බලෙන් කියලා කිව්වොත් නිවැරදියි. ජනතාව ව්‍යවස්ථාව හරිහැටි තේරුම් නොගෙන තිබුණා. මේ නිසා සියලු දෙනාගේ එකමුතුවෙන් ව්‍යවස්ථාව ගෙන ඒමට අපි තීරණය කළා. මේ වනවිට එක් මට්ටමකට පැමිණ තිබෙනවා. නමුත් ව්‍යවස්ථාව හදිස්සි කළොත් අපිට සියලු පාර්ශ්වයන්ගේ සහයෝග ගන්න බැරි වෙනවා. සියලුදෙනාගේ සහයෝගයෙන් රටට වාසිදායක ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියන මතයේ අප සිටිනවා. එයට වැය වන කාලය සහ මුදල් ඉදිරි ආයෝජනයක් කියා අපි තේරුම් ගෙන දීර්ඝ කාලීන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයි.