පසුගිය දින කිහිපය තුළ රටේම අවධානය යොමුව තිබුණේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කෙරෙහිය. ඒ සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය සාකච්ඡා වට ගණනාවකින් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිල වශයෙන් ඊයේ (22දා) ප්‍රකාශයට පත්කළේය. එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයට හසුවූ ඇමතිවරුන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් පහතින් දැක්වේ.
රට පුරාම ජනතාවට තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් අමාත්‍යාංශයක්
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක
මේ සංශෝධනයෙන් මට ලැබුණු අලුත් තනතුර ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඉඩම් අමාත්‍යාංශය මේ රටේ ප්‍රබලම නායකයෝ දරපු අමාත්‍යාංශයක්. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ඩබ්ලිව්. දහනායක, සී.පී.ද සිල්වා, දි.මු.ජයරත්න, රාජිත සේනාරත්න, බී.එල් සේනානායක, හෙක්ටර් කොබ්බෑකඩුව, අනුරුද්ධ රත්වත්තේ වැනි දේශපාලඥයෝ දරපු ප්‍රබලම අමාත්‍යාංශයක් මට ලැබුණේ.
රට පුරාම උතුරත්, නැගෙනහිරත්, දකුණෙත් හැමතැනම ජනතාවට තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් අමාත්‍යාංශයක්. අපේ මැතිවරණ ප්රකාශනයේ තියෙනවා ලක්ෂ ගානකට සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩසටහනක් ගැන. අපිට තියෙන ලොකුම ඉලක්කය තමයි එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම. ඒවා කඩිනම් කරලා, ඒවට අදාළ අනපනත් කඩිනමින් ගෙනැල්ලා ඒ වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉතුරු ටික අමාත්‍යාංශයට ගිහින් අධ්‍යයනය කරලා තීරණය කරනවා. පොදු ජනතාවට, සාමාන්‍ය ජනතාවට වැඩකරන්න පුළුවන් රටපුරාම ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් තියෙන ප්‍රබල අමාත්‍යංශයක් ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ අභියෝගය ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මා කෙරෙහි විශ්වාසයෙන් බාර දීලා තිබෙනවා.
මම අවුරුදු දෙකහමාරක් ජනමාධ්‍ය එක්ක බොහොම සුහදව කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒකත් මගේ හොඳ අත්දැකීමක්. අවුරුදු දෙකහමාරක් මම ඒක සතුටින් කළා. හැබැයි ජනමාධ්‍ය ඇමති හැටියට රට පුරාම ගිහින් කරන්න වැඩක් තිබුණේ නැහැ. ඒ විෂයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ඉඩම් අමාත්‍යාංශය. සංවර්ධන කාර්යයට මට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ දැනුයි.
ධීවර විෂයත් එක්ක අලුත් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යන්න පුළුවන්
ධීවර හා ජලජ සම්පත් කැබිනට් අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම තියෙන්නේ මහවැලි බලප්‍රදේශ. ඒ විදියට රටේම සැලකිය යුතු භූමි ප්‍රමාණයක් මහවැලියට අයිතියි. ජනාධිපතිතුමා මහවැලි කැබිනට් අමාත්‍ය ධුරය දරමින් සිටියදී තමයි මම රාජ්‍ය ඇමති විදියට පත් කළේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට තවත් ශක්තියක් වෙන්න අපි මහන්සි වෙනවා.
මෙම අමාත්‍යාංශය යටතට මොරගහකන්ද ඇතුළු ව්‍යපෘති ගණනාවක් තියෙනවා. ඒ ව්‍යපෘති සියල්ලේ කටයුතු විධිමත්ව කරන්න ජනාධිපතිතුමාට සහය වෙනවා. ධීවර විෂයත් එක්ක බාධාවකින් තොරව අලුත් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යන්න පුළුවන්.
මමත් අද තමයි දන්නෙ මෙහෙම විෂයක් මට බාර දෙනවා කියලා
සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක
උඩරට සංවර්ධන අධිකාරිය පසුගිය රජය සමයේදී වසා දැමීම පිළිබඳව මහ නායක හිමිවරුන්ගේ, අනුනායක හිමිවරුන්ගේ තද විරෝධයක් තිබුණා. මෙම කරුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කිව්වා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාටත් කිව්වා. හැබැයි ඒක ඇහුවෙ නැහැ, වහලා දැම්මා. උඩරට සංවර්ධන අධිකාරිය කියන එක හැදුවේ ඊට කලින්. බ්‍රිතාන්‍ය කාලයේදිම නිදහස දුන්නු ගමන් හැදුවා උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම කියලා එකක්.
ඒක හැදුවේ මොකක්වත් නිසා නෙවෙයි, 1818 කැරැල්ලේදී සහ 1848 කැරැල්ලේදී උඩරට අවුරුදු 18ට වැඩි තරුණයෝ දහස් ගණනක් මැරුවා විතරක් නෙවෙයි සේරම වැව් වේලි, ඇලවේලි කැඩුවා. ගෙවල්වල තිබුණු අටුකොටු ගිනි තිබ්බා, ඵල දරන ගස් කැපුවා. උඩරට කැරැල්ල මර්දනය කරන්න බ්‍රිතාන්‍ය හමුදාවට ලබාදුන් උපදෙස් වුණේ 18ට වැඩි තරුණයින් මරන්න, පන්සල්වලට කීයටවත් සිංහලයන්ට යන්න දෙන්න එපා, ඵල දරන ගස් තියෙනව නම් ඒවා කපලා විනාශ කරල දාන්න, කිරි එළදෙනුන් සියලු දෙනා මරන්න, වැව් වේලි කඩන්න, වෙල්යායවල් ගිනි තියන්න, ඇලවේලි කඩන්න කියන ඒවා.
ඒවා තමයි උඩරට කැරැල්ල මර්දනය කරන්න ලබාදුන් උපදෙස්. ඒවා පුනරුත්ථාපනය කරන්න උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම හැදුවා. පස්සේ ඒක උඩරට සංවර්ධන අධිකාරිය වුණා. බැසිල් රාජපක්ෂ ඒක වැහුවා. ඒ නිසා මහ නායක හාමුදුරුගොල්ලන් සහ ජනාධිපතිතුමා පත්කරන්න කැපවෙලා වැඩකරපු එක්සත් ජාතික පක්ෂයට හිතවත් රාජ්‍ය නිලධාරීන් ඒක ඉල්ලුවා.
ඒක මට පවරන්න කියලා ඒ අය මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම ජනාධිපතිතුමාට කියලා තිබුණා. ඒක කෙලින්ම ලිඛිතවම ලියලා තිබුණා. ඒක නිසා තමයි මගේ අමාත්‍යංශයට එම අධිකාරිය පැවරීම සිදුකළේ. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් සභාවෙන් බලාපොරාත්තු වූ සේවය, කඩලා දැම්ම වැව්, ඇලවේලි හැදුවෙ නැහැ. ඉතා සුළු ප්‍රමාණයෙන් හැදුණා.
හැබැයි විනාශ කරලා දාපු වැව්, ඇලවේලි සියයට පනහක් හදල නැහැ. පන්සල්, කෝවිල් වල විශාල ප්‍රශ්න තියෙනවා. ඒ කාලේ ගිනි තියපු, විනාශ කරපු ඒවා තිබෙනවා. ඒවා පුනරුත්ථාපනය කරපු එක තමයි උඩරට සංවර්ධන අධිකාරියෙන් කළේ. ඒක වහල තියෙන නිසා පළමුවෙන්ම බලන්න ඕන ඒ කරගෙන ගිය වැඩ කොතැනින්ද නැවතිලා තියෙන්නෙ කියලා. එතන ඉඳලා පටන් ගන්න ඕන. ඒක තමයි හිතාගෙන ඉන්නෙ. මමත් අද තමයි දන්නෙ මෙහෙම විෂයක් මට බාර දෙනවා කියලා. පසුගිය කාලයේදී මහ නායක හිමිවරුන් ඕක ප්‍රසිද්ධියේ ඉල්ලුවා.
මේ විදිහට ආයතනයක් නිර්මාණය කිරීම එම ප්‍රදේශයට ප්‍රයෝජනවත් දෙයක්
කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න
සබරගමුව පළාතේ සංවර්ධනය භාරව කටයුතු කරන්න මේ විදියට අධිකාරි බලයක් සහිත ආයතනයක් නිර්මාණය කිරීම එම ප්‍රදේශයට විශාල ප්‍රයෝජනවත් දෙයක්. සබරගමුව පළාතේ බොහොමයක් යටිතල පහසුකම් අඩුකම, පොදු අවශ්යතාවයන්වල හිඟය විශාල වශයෙන් තියෙනවා. මේවා ගැන අපිට අදහස් තිබුණත් ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වැඩපිළිවෙළක් අපිට තිබුණේ නැහැ.
ඒ නිසා බොහොම සන්තෝෂ වෙනවා මගේ අමාත්‍යංශයට සම්බන්ධ කරලා සබරගමුව පළාතේ සංවර්ධනය බාර අංශයක් ඇතිකිරීම ගැන. සබරගමුවේ දේශපාලඥයෙකු වශයෙන් මේක මගේ යටතට පැවරීම තුළින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේම සංවර්ධන කටයුතු වඩා විධිමත්ව හා කාර්යක්ෂමව කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. මෙහිදී වෙනම අධිකාරියක් පිහිටුවනවා. ඒක යටතේ වෙනම කටයුතු කරනවා.
හෙට කියන්නම්
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ
මම අද (23දා) උදේ 7.30ට දිවුරුම් දෙනවා. අලුත් අමාත්‍යාංශ යටතේ මොනවද කරන්නේ කියලා ඊට පස්සෙ කියන්නම්.