දේශපාලන වේදිකාව ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින අතර, එකිනෙකාට විරුද්ධව පරස්පර කරුණු කාරණ ඉස්මතු වෙමින් පවතියි. මේ අතර, බොහෝ නිහඬව තම දේශපාලන කටයුතු සිදුකරගෙන යන දේශපාලඥයෝද වෙති. මේ සියල්ල අතර වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අප කතා කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මොහාන් ලාල් ග්‍රේරු මහතා සමගිනි.
Q මේ දිනවල ඔබ නිහඬද?
බොහෝ දේවල්වලදි බොහෝවිට මම ප්‍රසිද්ධියේ හඬක් නගන කෙනෙක් නෙවෙයි. මම පෝස්ටර් අලවන්නෙ නැහැ. මම ලක්ෂ ගණනක් ළමුන්ට අධ්‍යාපන ලබා දී තිබෙනවා. ඒ තුළින් මම ඔවුන්ට ළඟා වී සිටින නිසා විශේෂ හඬක් නගන්න අවශ්‍ය නැහැ. නමුත් මම මගේ සමාජ සේවය ගැන සමාජයට දැනුවත් කරමින් යනවා.
Q ඔබ නියෝජනය කරන්නෙ මෛත්‍රී පිලද? මහින්ද පිලද?
මට පෙනෙන ආකාරයට නම් එලෙස පිල් බෙදීමක් ඇත්තෙම නැහැ. මේ වනවිට සියලුදෙනාම ඉතාම ධෛර්යමත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වෙලා මේ තරගයට යනවා කියලයි මම දකින්නේ. මම විශේෂයෙන් එලෙස පිලක සිටියේ නැහැ. නමුත් මට කාගෙන්වත් බාධාවක් එල්ල වෙලත් නැහැ. එය මවාපෑමක් මිස ඇත්තටම එහෙම දෙයක් දකින්න නැහැ කියලයි මම හිතන්නේ.
කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ඇතැම් පිරිසකට මෙවර සන්ධාන නාමයෝජනා ලැබුණේ නැහැ. ඒ පිළිබඳ ඔබේ අදහස?
යම්කිසි චෝදනාවක් සම්බන්ධයෙන් කෙනෙකු වැරදිකරු වෙනකම් ඔහු වැරදිකරු කියලා අපට තීරණය කරන්න බැහැ. එවැනි චෝදනා ඔප්පු වෙලා නැත්නම්, වැරදිකරු වෙලා නැත්නම් නාමයෝජනා නොදුන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබෙනවා.
Q ඒ වගේම චෝදනා ලැබූවන් පිරිසකට නාමයෝජනා ලැබුණා?
මේකයි, මම නාමයෝජනා කමිටුවේ හිටියෙ නැහැ. ඒ දේවල් අහන්න ඕන නාමයෝජනා කමිටුවෙන්. ඔවුන් තමයි සම්මුඛ පරීක්ෂණ තියලා අපේක්ෂකයන් තෝරාගැනීම සිදුකළේ.
Q මෙවර මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹින් කවරාකාරයේ ජයග්‍රහණයක් ලබාගනීවිද?
කොළඹ දිස්ත්‍රික්කය අපට පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට උදව් උපකාර කරන පුද්ගලයන් වැඩවෙමින් තිබෙනවා. කොහොම වුණත් අපේ ඡන්ද පදනම තව තවත් වර්ධනය වීමක් තමයි මට නම් දකින්න තිබෙන්නේ.
Q ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මනාපයෙන්. දැන් ඔබ මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔබට ඡන්ද පදනමක් තිබෙනවා කියා සිතනවාද?
එය බලන්නට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව. ප්‍රතිඵල වෙනස්වීමක් වෙන්නෙ නැහැ කියලා මම දන්නවා. මොකද දේශපාලන පක්ෂවලට වඩා මේ රටේ අනාගත පරපුර වෙනුවෙනුයි මම පෙනී සිටියේ. ඒක දෙමාපියන් දන්නවා. ඒ නිසා සුදුසුකම් ඇති පුද්ගලයාට ඒ තැන ලැබෙනවා කියන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ.
Q ඇයි ඔබ පිල් මාරු කළේ?
මම දේශපාලනයට පිවිසුණේ කවදාහරි මේ රටේ අධ්‍යාපන ඇමති වෙලා, අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න විසඳලා, මේ රටේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමේ ඉතාම හොඳ චේතනාවකින්. ධනය ලබාගැනීමට හෝ බලය ලබාගැනීමට කිසිම අවශ්‍යතාවක් නැහැ.
නමුත් එ.ජා.ප.ය තුළ රැඳී සිටීම හරහා මගේ ඉලක්කය කරා යන්නට බැරි බව මට තේරුණා. ඒ නිසා තමයි මම පිල් මාරු කළේ. එක්සත් ජාතික පාක්ෂිකයන් වුණත් මට ඡන්දය දුන්නෙ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි මගේ අධ්‍යාපන හැකියාවන් නිසා. ඒ වගේම දූදරුවන් වෙනුවෙන් මම ඒ සේවය කරයි කියලා හිතලා.
පක්ෂ මාරු කිරීමෙන් පසු මගේ ඉලක්කය වෙත මම ළඟා වුණා. මම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා වුණ බව පැහැදිලි කාරණයක්. මගේ ඉලක්කයට යන්න තව එක පියවරයි තිබෙන්නේ.
Q මෙවර මැතිවරණයේදී එ.ජා.ප.ය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මට නම් හිතෙන්නෙ එ.ජා.ප.යේ හිටියා නම් කොහොමත් මම මේ දැන් ඉන්න ස්ථානයට එන්නට බැරිවෙනවා කියන එකයි. කොහොමත් මෙවර ජයගන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.
Q ඔබේ ආසනයෙට එ.ජා.ප.යෙන් තරග වදින අපේක්ෂකයාත් ගුරුවරයෙක්. ඔහු ඔබට තරගයක් නොවේද?
නැහැ. කිසිම තරගයක් නැහැ. ඔහු ගුරුවරයෙකු වීම එක් අතකින් සතුටක්. නමුත් රත්මලානේ මගේ ඡන්ද පදනමට සහ මගේ පැවැත්මට කිසිම අභියෝගයක් නැහැ.
Q දින සියයේ ආණ්ඩුව පිළිබඳ ඔබේ මතය?
ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වූ අසාර්ථක ආණ්ඩුවක් ලෙසයි මම එය දකින්නෙ. චෝදනා ඉදිරිපත් කිරීම පමණයි ඔවුන් කළේ. නමුත් ඒවා ඔප්පු කරගැනීමට පවා ඔවුන්ට නොහැකි වුණා. ඒ අතර ඔවුන්ටත් බොහෝ චෝදනා එල්ල වුණා.
Q බුද්ධිමත් ජනතාවගේ මනාප ඔබට ලැබෙයි කියා ඔබ සිතනවාද?
අනිවාර්යයෙන් මට ලැබෙනවා. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා.
Q මහින්ද රාජපක්ෂ හැරුණාම අගමැති තනතුරට සුදුසු ඕනෑ තරම් පුද්ගලයො ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවා කියා පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔබත් එය විශ්වාස කරනවාද?
පාර්ලිමේන්තුවේ අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාස දිනාගන්නා තැනැත්තා කියලයි අපේ ව්‍යවස්ථාවේ තිබෙන්නෙ.
ඒ අනුව අනාගතයේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා පුද්ගලයා මේ රටේ අගමැති වේවි. ඒක අපට පොඩ්ඩක් බලන් ඉන්නයි තියෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුස්සන් ඉන්න පුළුවන්, නමුත් ඔවුන් විශ්වාසය දිනාගන්නට අවශ්‍යයි.
Q ඔබේ සමාජ මෙහෙවර කෙබඳුද?
ජාත්‍යන්තර පාසල්වල දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳින් ලැබුවත්, අපේ සාමාන්‍ය දරුවන්ට ඒ අවස්ථා අහිමි වෙනවා. ඒ නිසා මම මධ්‍යස්ථාන 92 ක ළමයින් 35,000කට පමණ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වගේම නොමිලයේ පවත්වන වෘත්තීය පාඨමාලා, පෙරපාසල් ගුරු පුහුණු කිරීම්, රැකියා බැංකුවක් ඇති කිරීම ආදී බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ දක්වා නොකඩවා කරගෙන ආ ඒවා දිගටම කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
Q ජනතාවට විශේෂයෙන් කියන්න යමක් තිබෙනවාද?
කුමන පක්ෂයෙකට මනාපය ලබාදුන්නත් ඉතාම බුද්ධිමත්ව පිරිසුදු දේශපාලඥයෙකුට තමුන්ගේ ඡන්දය පාවිච්චි කරලා පිරිසුදු පාර්ලිමේන්තුවක් තෝරාගන්නා ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප ඉසුරු පෙරේරා