සැබෑ දේශපාලනයක් අද මෙරට තිබේද, දේශපාලඥයා යනු කවුද, සැබෑ දේශපාලනයක් මෙරට ඇති කිරීමට මූලිකත්වය ගත යුත්තේ කවුද, මෙවර පුංචි ඡන්දය හමුවේ ජනතාවට කොපමණ බලයක් තිබේද යන කාරණා සම්බන්ධයෙන්
පාඨක ඔබේ අවධානය යොමුකර වීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා මෙලෙස 'අද'ට සම්බන්ධ කර ගතිමු.
නියම දේශපාලඥයෙක් තෝරා ගැනීමට අපි බුද්ධිමත්ද කියන ප්රශ්නය ගැන කතා කරද්දි අපි මුලින්ම සැලකිල්ලට ගන්න ඕන දේ තමයි දේශපාලඥයා කියන්නේ කවුද කියන එක අපි අවබෝධ කරගෙන තිබෙනවාද කියන කාරණය. සරලවම පැහැදිලි කරනවා නම්, අපි වෘත්තියක් ගත්තොත් එහි ස්වභාවය, ඒ වෘත්තියට ඉටු කිරීමට ඇති කාර්යභාරය, එයින් සමාජයට සිදුවන්නේ කුමක්ද කියන කාරණා අපට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දේශපාලඥයා කියන වෘත්තිකයා ජනතාව තවමත් හඳුනා ගෙන නැහැ. ඒ නිසා ජනතාව දේශපාලඥයා කියන්නේ කවුද කියන කාරණය තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ වගේම දේශපාලඥයා සිටින්නේ ජනතාවට වඩා ඉහළ තැනකද, පහළ තැනකද කියන දේත් කල්පනා කර බැලීම වැදගත්.
ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වාම සෑම කෙනෙකුගේම පරම යුතුකම වෙන්නේ ජනතාවට සේවය කිරීමයි. ඒ සෑම කෙනෙකුම ඕනෑම අවස්ථාවක ජනතාවට වගකියන්න බැඳී සිටිය යුතුයි. මේ කාර්යභාරය සිදුකළ හැකි පුද්ගලයා තමයි අපි දේශපාලඥයෙකු කියලා හඳුන්වන්නේ. නමුත් අපට තිබෙන ගැටලුව තමයි මේ කාර්යභාරය ඉටුකළ හැකි එක දේශපාලඥයෙකුවත් දේශපාලන පක්ෂයක්වත් මේ රටේ පවතිනවාද කියන එක. ඒ කියන්නේ සැබෑ දේශපාලඥයෙකු අද රටේ නැහැ. කාලයක් අපට සිටියා එවැනි තමන්ගේ සම්පත් පවා ජනතාව වෙනුවෙන්ම කැප කරපු දේශපාලඥයන්. ඔවුන් සම්පූර්ණයෙන්ම නිරත වුණේ ගෞරවනීය දේශපාලනයක. ඒ නිසා අදටත් ජනතාව ඔවුන් පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා සැබෑ වෙනසක් විය යුත්තේ දේශපාලනය තුළ මිස පාලන තන්ත්රයක නොවෙයි. ඉතිං ඒ වගේ සැබෑ දේශපාලනය නැතිවී ගිය රටක් සහ සමාජයක් තියෙද්දි අපට බැහැ ජනතා නියෝජිතයන් බුද්ධිමත්ව තෝරා ගන්නා බැහැ කියලා කිසිම ආකාරයකින් ජනතාවට චෝදනා කරන්න.
රටේ අහිංසක දුප්පත් මිනිස්සු ටික සමහර වෙලාවට නොකා නොබී බදු ගෙවලා උගන්වලා උගත් බුද්ධිමත් පිරිසක් හදනවා, තමන්ට යන්න බැරි තැනකට ඒ පිරිස යවලා ඒ තැනට ගිහින් තමන්ව නියෝජනය කරන්න කියලා. රටේ ඒ විදියට බිහිවෙන උගත්, බුද්ධිමත් පිරිසගේ යුතුකම තමයි අදාළ ආයතනවලට ගිහින් ඒ යුතුකම ඉටු කරන්න කටයුතු කරන එක. නමුත් ඒ යුතුකම මේ උගත් පිරිස කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැර තියෙනවා. මේ අහිංසක ජනතාවට කොයි තරම් වුවමනාවක් තිබුණත් ඔවුන්ට පුළුවන්කමක් නැහැ අදාළ ආයතනවලට ගිහින් තමන් වෙනුවෙන් හඬ නගන්න. ඒ තරමට අපේ මිනිස්සු අසරණයි. ඒ අසරණකම නිසයි ඔවුන් අපට උගන්වලා මේ තැන්වලට අපව ගෙනැල්ලා තියෙන්නෙ. අද තිබෙන කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ගේ පෞද්ගලික දියුණුවට මිසක් රටේ සහ ජනතාවගේ දියුණුව වෙනුවෙන් ප්‍රතිපත්ති තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මිනිස්සු බලාගෙන ඉන්නවා ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙකු තමන් වෙනුවෙන් කවදාහරි එයි කියලා. එතෙක් ඔවුන් කරන්න දෙයක් නැතිකමට ගිහින් කාටහරි කතිරේ ගහනවා.
අද අපේ රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ යැපුම් සංස්කෘතියක් එක්ක. ජනාධිපතිවරයාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා අගමැති, අගමැතිගේ ඇඟේ එල්ලිලා ඉන්නවා කැබිනට් එක, කැබිනට් එකේ එල්ලිලා ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික. මේ වගේ ලොකු පිරමීඩයක් හදාගෙන ඉන්න යැපුම් සංස්කෘතියක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. මේ රටේ කොයිතරම් ප්‍රතිපත්තිගරුක මිනිස්සු හිටියත් තමන්ගේ දරුපවුල කන්න නැතුව ඉන්නවා නම්, ඔවුන්ට සිදුවෙනවා තමන්ගේ රැකියාව හා ප්‍රතිපත්ති පාවාදීලා දූෂිත දේශපාලනයකට කඩේ යන්න. ඒ තරමට අපේ සමහර මිනිස්සු අසරණයි. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ මේ යැපුම් සංස්කෘතිය නැතිකරලා දාන්න සටන් කරන එකයි. නමුත් කිසිම කෙනෙක් ඒකට උත්සාහ කරන්නේ නැහැ. මේ සටනේ මුල්ම පියවර තියන්න පුළුවන් එළැඹෙන ඡන්දයේදී. නව කොට්ඨාස ඡන්ද ක්‍රමයේදී අපට පුළුවන් ජනතාවට ඍජුවම වගකියන, ඔවුන්ගේ හඬට අනිවාර්යයෙන්ම සවන් දිය යුතු වන දේශපාලඥයෙකු හදාගන්න. නමුත් කලින් පැවැති ඡන්ද ක්‍රමයේදී එවැනි ජනතාවට වගකියන දේශපාලඥයෙක් නිර්මාණය වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට තමන්ට ඕන ඕන විදියට කටයුතු කරන්න පුළුවන් වුණා. එක් ප්‍රදේශයකින් ඡන්දය නොලැබුණොත් අනෙක් ප්‍රදේශයේ ඡන්දවලින් යැපෙන්න ඔවුන්ට පුළුවන් වුණා. නමුත් මේ ඡන්ද ක්‍රමය ජනතාවට තමන්ගේ සැබෑ බලය පෙන්වන්න හොඳ අවස්ථාවක් වෙනවා. සමහර විට මෙවර ඡන්දයේදීත් ඒක කරන්න හැකියාව නොලැබෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ සැබෑ අවශ්‍යතාව හෝ පෙන්වන්න පුළුවන් අවස්ථාවක් බවට අපට මෙය පත්කර ගන්න පුළුවන්. ජනතාව දේශපාලඥයාව බලයට ගෙනැල්ලා ඔහුට හොරකම් කරන්න දීලා ඔහේ බලාගෙන ඉන්නවා නම්, ඔහු දිගටම එය සිදුකරාවි. නමුත් ජනතාව තමන්ගේ බලය පාවිච්චි කරලා කියනවා නම්, ඔබ කළ යුත්තේ මෙය, ඔබට හොරකම් කරන්න බැහැ, අපි ඔබ දිහා බලාගෙන ඉන්නවා කියලා ඔහුට අකැමැත්තෙන් හෝ ජනතාවට යටත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා තවදුරටත් ජනතාව දේශපාලඥයාගේ සේවකයෙකු විය යුතු නැහැ. දේශපාලඥයා ජනතාවගේ සේවකයෙකු විය යුතුයි. එය මෙවර ඡන්දයේදී ඔප්පු කිරීමට හැකි වේවි. ඒ නිසා ජනතාව මේ පිළිබඳ දැනුවත් වෙලා ඊට සූදානම් විය යුතුමයි.
කොයිතරම් ආණ්ඩු පත්වුණත් රට තාමත් එකතැන කියලා ජනතාවට පේනවා. දේශපාලඥයන් අද බලයට එන්නේ තමන්ට හොඳක් කරගන්න විතරයි කියලා දැන් ඉන්න පෙරපාසල් දරුවෙකුට වුණත් තේරෙනවා. නමුත් ඊට විරුද්ධව විකල්ප අරගලයක් සිදු කරන්න පුළුවන් හැකියාවක් මේ අසරණ ජනතාවට නැහැ. නමුත් එසේ අසරණ නැති පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ තමයි බුද්ධිමත් උගත් පිරිස. ඒ අයත් තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් දේශපාලඥයන්ගේ ඇඟේ එල්ලෙනවා. අඩුම තරමේ තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කරගන්න හරි දේශපාලඥයාට නැවෙනවා. එහෙම වෙද්දි මේ රට හදන්න බැහැ. අපට මිනිස්සු උගන්වලා, කන්න දීලා මෙතැනට එවලා තියෙන්නේ ඒකට නොවන බව අපේ උගත් පිරිස තේරුම් ගන්න අවශ්‍යයි. නිදහස් මතධාරීන්, චින්තකයන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව දැන්වත් ජනතාවගේ පැත්තේ ඉඳලා මේ වෙනස ඇති කරන්න ආරම්භය ගත යුතු වෙනවා.
විශ්වවිද්‍යාල ඇතුළෙ ශිෂ්‍ය දේශපාලනය තව කෙනෙකුගේ දේශපාලන අරමුණකට අන්ධයෝ වගේ පාරට බහින්නේ නැතුව ඉස්සර වගේ ජනතාවගේ සැබෑ ගැටලු වෙනුවෙන් කතා කරන්න, අරගල කරන්න උත්සුක වීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඔවුන් තමයි නියම දේශපාලනයට යා යුත්තේ. එසේ නොවීම තමයි දේශපාලඥයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිත කරන්නේ. 1988, 1989 කාලවලදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඇතිවුණු විපත්වලදී ඔවුන්ව බේරාගත්තේ ජනතාව විසින්. නමුත් අද වෙද්දි විශ්වවිද්‍යාල ප්‍රජාව කටයුතු කරන්නේ වෙනත් අයගේ න්‍යාය පත්රවලට නිසා ඔවුන් සමාජයෙන් කොන් කරනවා. ඒක විශාල අපරාධයක් වගේම දූෂිත දේශපාලනයට හොඳ උත්තේජනයක්. ඒ නිසා මම ජනතාවටත්, අපේ උගත් බුද්ධිමත් ප්‍රජාවටත් ආරාධනා කරනවා මේ කරුණු අවධානයට ගෙන මේ යන ක්‍රමය නිවැරදිද කියලා දෙවරක් සිතන ලෙස.