දුම්රිය වර්ජනය කියන කාරණය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ඒ තරමටම දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ජනයන්ගේ නිමාවක් නැත. මේ සියලු වර්ජනයන්ගෙන් හෙම්බත් වන්නේ මහජනතාවය. නමුත් ඔවුන්ට ඒ පිළිබඳ වගේ වගක් නැත. මේ දිනවල දුම්රිය එන්ජින් රියදුරන් හා තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනයෙහි තවම නිමාවක් නැත. මේ සම්බන්ධව රජයක් ලෙස ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාදැයි සාකච්ඡා කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා අප 'අද'ට සම්බන්ධ කරගත්තෙමු.
“දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය මීට පෙර පැවතුණේ ඇතුළෙන්ම බඳවා ගැනීමට. එහිදී දුම්රිය සහායකයන් වෙනුවෙන් MT1, MT2 ආදී වශයෙන් තිබුණු පඩි තලයක් පැවතුණා. ඒ පඩි තලයට ඇතුළෙන්ම සුදුසුකම් ඇති දුම්රිය සහායකයන් තෝරා ගනු ලැබුවා. නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබාදී තිබෙනවා NVQ 5වලට සමාන වසර දෙකහමාරේ තාක්ෂණ ඩිප්ලෝමා තිබෙන අය තරග විභාගයකින් බඳවා ගතයුතුයි කියා.
නමුත් දුම්රිය රියදුරෝ කියන්නේ එසේ බඳවා ගන්න එපා කියා. එසේ බඳවා ගතහොත් ඒ අය ඔවුන්ගේ මට්ටමට එන බවත් දුම්රිය රියදුරු සහායකයෝ ඔවුන්ට වඩා පහළින් සිටිය යුතු බවත්, පිටින් බඳවා ගැනීම් සිදු කරන්න එපා කියන ඉල්ලීමත් මේ අය කරන්නේ. නමුත් කිසිවිටකත් අපිට උසාවිය විසින් දුන් තීන්දුවට පිටින් යන්න බැහැ. මන්ද දුම්රිය රියදුරු සහායකයෝ මේ සම්බන්ධව උසාවි ගිහින් ඇති නිසා. අපි මේ සම්බන්ධව මීට පෙරදී සිදු වූ වර්ජනයේදී සිදුකළ සාකච්ඡා අනුව වර්ජනය නැවතුණා.
පසුගිය 8 වැනිදා ජනාධිපති ලේකම්වරයාත්, අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, දුම්රිය සමාන්යාධිකාරීවරයාත් සමග සාකච්ඡා සිදුකළා. ඒ සාකච්ඡාවේදී යම්කිසි එකඟතාවකට පත්වී දුම්රිය වර්ජනය අත්හිටුවන බවට ලියුමක් අත්සන් කළා දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා සහ මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයා. එය ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
ඉන්පසුව වැටුප් හා වැටුප් තල ලබා දෙන ලෙස ඉල්ලා දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ද පසුගියදා සිට වැඩවර්ජනය ආරම්භ කළා. ඒ වැටුප් විෂමතාව සකසන්න නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකතු වෙලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ගිය සතියේ. ඒ අතරතුර දුම්රියට වෙනම අනන්‍ය වූ වෙනම වැටුප් ක්‍රමයක් සෑදිය යුතුයි කියන පදනම මත සිට අප වෙනමම කමිටුවකුත් පත්කළා. ඒ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයාත් සමග සිදුකළ සාකච්ඡාවේදී මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ විට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා සති දෙකක් මෙය කල් දමන්න කියා. මන්ද එය ක්‍රියාත්මක වුණොත් අනිත් සේවාවන්ට, සෞඛ්‍ය සේවය වැනි සමාන්තර සේවාවන්ට විශේෂයෙන් වැටුප් සම්බන්ධව ගැටලුවක් පැන නගිනවා. ඒ නිසා මෙය ක්‍රියාත්මක කරන්න සති 2ක් කල් දමා වැටුප් කොමිසම සහ පරිපාලන සභාවත් සමග සාකච්ඡා කර, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණයට යවා මෙය ක්‍රියාත්මක කරන්න කියා සාකච්ඡා සිදුකළා.
ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ජනාධිපති ලේකම්වරයා කතා කර දුම්රිය සේවකයන්ට බදාදා පැයක පමණ වේලාවක් අරන්දී තිබෙනවා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා තිබෙනවා මේ සම්බන්ධ සාකච්ඡා කරන්න නිලධාරීන් පස්දෙනකු සමග පැමිණෙන්න කියා. එවිට ඔවුන් පවසා තිබෙන්නේ ඒ සඳහා නිලධාරීන් 8දෙනෙකු අවශ්‍යයි කියා. එයට එකඟ වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔවුන්ට ඒ සඳහා වේලාවක් ලබාදී තිබෙනවා.
පසුගිය 08දා සිදුකළ සාකච්ඡාවේදී ඔවුන් ලියුමක් අත්සන් කළා මේ වර්ජනය අත්හිටුවනවා කියා. නමුත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සමග සාකච්ඡාවක් ලබාදී එළියට ආවයින් පසුව නැවත ඔවුන් වර්ජනය කරනවා කියා කියනවා. අපි රජයක් වශයෙන් මේ තරම් නම්‍යශීලි වෙලා මේ දේවල්වලට විසඳුම් ලබාදුන්නත් ඔවුන් වර්ජනය කරනවා යැයි පැවසුවාම අපි රජයක් විදියට කුමක්ද සිදුකරන්නෙ?
ජනතාව අපහසුතාවට පත්වීම වළක්වන්න අවශ්‍ය නිසා අපි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළාම සිදුවන්නේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු වීමක්
අපිට මේ දේ හැමදාම බලාගෙන ඉන්න බැහැ. ජනතාව අපහසුතට පත්වීම වළක්වන්න අවශ්‍ය නිසා අපි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළා. අතවශ්‍ය සේවාවක් බවට පත් කළාම සිදුවන්නේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු වීමක්. මේ වර්ජනය පිටුපස සිටින්නේ දුම්රිය සේවකයන් 2000ක් පමණ. නමුත් 18000ක් පමණ දුම්රිය සේවකයෝ ඉන්නවා. අපි කැමති නැහැ මේ වගේ හේතුවක් නිසා සමස්ත සේවකයන්ගේ නිවාඩු අත්හිටුවන්න. නමුත් මේ විදියට දිගින් දිගට වර්ජනය සිදු කරනවා නම් වෙන කරන්න දෙයක් නැහැ. මෙලෙස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළායින් පසුව වෙන වෙන ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ අයට දැනුම්දීම් කරනවා පැය 24ක් ඇතුළත සේවයට වාර්තා කරන්න කියා. එලෙස වාර්තා කළේ නැත්නම් සේවය හැරගිය අය ලෙස සලකනවා. එවිට තමන්ගේ රැකියාවයි අනතුරේ වැටෙන්නේ. මේ වැඩපිළිවෙළ ඉදිරියේදී දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් සිදුවෙයි.
අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ විකල්ප ප්‍රවාහන පහසුකම් සලසාගන්න කියා. මන්ද ලංකාවේ 49%යි පොදු ප්‍රවාහනය භාවිත කරන්නෙ. එයින් 5෴යි දුම්රියේ ගමන් කරන්නේ. ඒ කියන්නේ ලක්ෂ පහක පමණ පිරිසක් තමයි දුම්රියෙන් ගමන් කරන්නෙ.
මෙහිදී අපි ඉල්ලීමක් සිදුකළා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශපත් (දුම්රිය සීසන්) මගින් මේ දිනවල නොමිලේ ගමන් කළ හැකි අතර පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා සා.පෙළට පෙනී සිටින සිසුන්ට දුම්රිය වාර ප්‍ර‘වේශ පත්‍ර තිබෙනවා නම් එය පෙන්වා ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට. එමෙන්ම බස්වලට යා හැකි දුම්රිය ස්ථානයක් අසලටම බස් රථ යවන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ මහජනතාව මුහුණදී ඇති අපහසුතාව සම්බන්ධ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් හැමදාම මෙලෙස ජනතාව අපහසුතාවයට ලක්කරන්න බැහැ. එනිසා අපි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළා.
ඒ වගේම වර්ජනයේ නිරත වෙලා සිටි වෘත්තීය සමිතියත්, අධීක්ෂණ කළමනාකාර වෘත්තීය සමිතියත් සේවයට වාර්තා කළා. එතැන සේවකයෝ පන්සිය ගණනක් පමණ සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා අනිත් පිරිසත් සේවයට වාර්තා කරයි කියා. එලෙස සේවයට වාර්තා කිරීමෙන් පසු මේ සම්බන්ධව සාකච්ඡා කර ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න පුළුවන්. නමුත් වර්ජනයේ තවදුරටත් ඉන්නවා නම් අපි සාකච්ඡාව කරන්නේ නැහැ.
ඇත්තටම මේ දුම්රිය සේවකයන් ඉල්ලන්නේ කරන්න පුළුවන් දේවල් නෙමේ. දුම්රිය රියදුරු සහායකයන් සඳහා විභාගයක් පැවැත්විය යුතුයි කියා උසාවියෙන් තීන්දුවක් දුන්නම අපට බෑ ඒ නියෝගයට පිටින් යන්න.
ඒ වගේම වැටුප් ගැටලුව ගත්තම දුම්රිය රියදුරෙක් සාමාන්‍යයෙන් ලක්ෂ 2කට වැඩි වැටුපක් ගන්නවා. එක දුම්රිය සේවකයෙක් පැවසුවා ඔහුගේ වැටුප 10,000කින් වැඩි වුණාට පස්සේ මේ අවුරුදු 2ට විසිදෙදහකින් වැටුප වැඩි වුණාලු. ඒ වගේම 2020 වෙද්දී රුපියල් 54,000කින් වැටුප වැඩි වෙනවලු. අතිකාල දීමනා සමග ලක්ෂ 2කට වැඩි මුදලක් ඔවුන් ගන්නවා. විශේෂයෙන් දුම්රිය රියදුරෙක් පැය 8ක් සේවය කළාම පැය 9ක විවේකයක් තිබෙනවා. ඒ විවේක කාලයේදී පැයකට පැය එකහමාර ගාණේ අතිකාල දීමනා ගන්නවා. මාසෙට පැය 600ක්. මෙය සාධාරණද? මේ අසාධාරණ ඉල්ලීම් රජයක් විදිහට අපිට බලාගෙන ඉන්න පුළුවන්ද*?