ග්ලයිෆොසේට් තහනම යළිත් වගාකරුවන් සහ පරිසරවේදීන් අතර අර්බුදයක් නිර්මාණය කර තිබේ. රජයේ පාර්ශ්වයන් පවසන්නේ වගා කටයුතු පවත්වා ගෙන යෑම වෙනුවෙන් ග්ලයිෆොසේට් අවශ්‍යතාව යළිත් වරක් ඉඩම් හිමියන් හා බෝග වගාකරුවන් පෙන්වා දෙන බවට පුවතකි.
එහෙත් පරිසරවේදීන් සහ වකුගඩු රෝගයට එරෙහි පාර්ශ්වයන් පවසන්නේ ග්ලයිපෝසේට් යනු ජනතාවගේ ආයුෂ කෙටි කරන, ජනතාව අකාලයේ මරා දමන ව්‍යවසනයක් බවට චෝදනාවකි.
වගාකරුවන්ට ඇත්තේද එවැනිම මැසිවිල්ලකි. තේ වගාව කෙරෙන ප්‍රදේශයන්හි සහ වැවිලි ක්ෂේත්රයන්හි නිරත වැවිලිකරුවන් පවසන්නේ මේ වනවිට තමන් කම්කරුවන් සපයා ගැනීමේ අර්බුදයකට පත්වීමෙන් වගා කටයුතු පවත්වා ගෙන යෑමට නොහැකි අවදානමක් පිළිබඳ අනතුරකි. එසේම මිනිස් ශ්‍රමය යටතේ දැරීමට සිදුවන වියදම් සමග විමසීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යෑමේ අවදානමද ජනතාව පිට පැවරෙන බවට ඔවුහු තර්ක කරති.
එහෙත් වකුගඩු අර්බුදය සම්බන්ධයෙන් මතුවන තර්ක, විතර්ක තුළ රජය විසින් ග්ලයිෆොසේට් තහනම් කළද, එයින් පසුද ඒවා වෙළෙඳ පොළේ රහසිගතව අලෙවි වන බවට ජනතාවගෙන් නැගුණු මැසිවිලි ගණනාවකි.
සියල්ලට සවන් දෙන ජනතාව පවසන්නේ මහින්දගේ අන්තිම අවුරුද්දේ ග්ලයිෆොසේට් කන්ටේනර් 15ක් ගෙනාවේ නම්, ඒවා තවත් අවුරුදු විස්සකට ප්‍රමාණවත් යැයි අතීතය සිහිපත් කරවීමකි. ඒ ග්ලයිෆොසේට් දැන් එළියට එනවා දැයි ජනතාව ප්‍රශ්න කරති.
එහිලා ප්‍රධාන තර්කයක් ලෙස ජනතාව ඇසුවේ, 'තහනම් නම් වෙළෙඳ පොළට කොහෙන්ද?' යන තර්කයකි. පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පෙන්වා දෙන්නේ, තහනම් කළද කූට ව්‍යාපාරිකයන් හොර රහසේ සඟවා ගෙන තිබූ හෝ වෙනත් ආකාරයෙන් ගෙන්වා එවැනි දේ අලෙවි කරන සිද්ධියකි.
ගත වූ කාලය තුළ දඹුල්ල, පතන හා යාපනය වැනි ප්‍රදේශ ගණනාවක තිබී මෙවැනි තහනම් රසායනිකයන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, අධිකරණයේ නඩු පැවරූ බවත් ඔහු අවධාරණය කළේය.
තහනම් නීතිය පැනවීම සමග වෙළෙඳ පොළ තුළ අදාළ රසායනිකයන් සඟවා සහ වැඩි මිලට අලෙවි කිරීමේ කූට වෙළෙඳ මාෆියාවක් පවතින අතර, තහනමේ වාසිය කූට වෙළෙඳුන් අත්පත් කර ගනිමින් අදටත් තහනම් ග්ලයිෆොසේට් වගා බිමට පැමිණීම නතර කළ නොහැකි අර්බුදයක් වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
එසේ නම් විසඳුම කුමක් විය යුතුද? ආසන්නතම සිදුවීම විමසමු.
රට පුරා ඇතිවූ විරෝධතාව රජයේ අවධානයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ නියමයෙන් 2015 ඔක්තෝබර් මස 23 වැනිදා අංක 1937/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ග්ලයිෆොසේට් තහනම් කෙරිණි.
එසේ තිබියදී සහ කලින්කල ඇසුණු තහනම් නියෝග වැටලීම් අධිකරණ තීන්දු නොසලකා ග්ලයිෆොසේට් විකිණූ සිරිපුර ව්‍යාපාරිකයෙකුට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් 2017 ජූලි 20 වැනිදා රුපියල් 50,000ක දඩ මුදලක් නියම කරන ලදී.
1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත 19 වන වගන්තිය උල්ලංඝනය කරමින් විශේෂ ස්ථානයක පළිබෝධනාශක ගබඩා කිරීම හේතුවෙන් මේ පිරිසට විරුද්ධව නඩු පවරා තිබිණි. මෙම භාණ්ඩ තොගය අදාළ පුද්ගලයාගේ නිවසේ නිදන කාමරයක් තුළ සඟවා තිබියදී පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගේ මගපෙන්වීමෙන් එම කාර්යාලයේ නිලධාරීන් හා අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනිණි.
රජයේ නීතිඥ කසුන් ගුණවර්ධන මහතා විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාංශයේ ලසන්ත රණවීර, ආර්.ඒ. ජයන්ත, එම්.එච්. විජයසිරි ගුණවර්ධන හා අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.එම්. සමරසිංහ, පොලිස් සැරයන් එම්.එන්.කේ. මෙන්ඩිස් යන මහත්වරුන් විසින් විමර්ශන කටයුතු කරන ලදී.
ගත වූ කාලයේ කරන ලද වැටලීම්වලදී ලේබල් ගලවා හොර රහසේ අලෙවි කළ බෝතල් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පසුගිය වසරේ මැයි මාසයේදී ඉන්දියාවෙන් ගෙන්වන ලද 'ඩීඒරා' නම් ග්‍රෑම් 100ක පැකට් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත්විය.
රේගුව හරහා මෙවැනි ද්‍රව්‍ය රට තුළට පිවිසෙන්නේ නම් ඒ පිළිබඳ සොයාබැලීම රේගුවේ වගකීමක් බව පරිසර සංවිධාන පෙන්වා දෙයි. එය නිවැරදි විය යුත්තේ රේගු බලාධිකාරිය පැත්තෙනි. පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසන්නේ වැටලීම් සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් දීප ව්‍යාප්තව නොමැති බවට මැසිවිල්ලකි. එවැනි පසුබිමක් තුළ ගල්යිෆොසේට් මර්දනය කළ හැකිද යන්න පාලකයන්ගේ අවධානයට යොමුකළ යුතු කරුණකි.
ඒ අතර වැටලීම්වලට අදාළ නිලධාරීන් පළාත් සභා කෘෂිකර්ම සේවය යටතේ ක්‍රියාත්මක වන හෙයින් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා යටතේ නියාමනය කළ හැකි වැටලීම් කණ්ඩායමක අවශ්‍යතාවද නීති ක්ෂේත්රයේ ඇතැම් පිරිස් පෙන්වා දෙති. ගතවූ කාලයේ එකී හිඩැස තුළ එම වාසිය කූට ව්‍යාපාරිකයන් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී භාණ්ඩ රට තුළ ව්‍යාප්ත වූ බවද බහුතරයකගේ මතය වී තිබේ.
එනිසා අඩුම තරමින් 10 දෙනකුගෙන්වත් සමන්චිත කණ්ඩායමක් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා යටතේද සේවයට යොදවන්නේ නම්, මේ අර්බුදයට යම් ක්ෂණික විසඳුම් ලබාදිය හැකි බවට ඇසෙන යෝජනාව පාලකයන්ටද ඇසිය යුතුය.
නඩු පැවරීමේදී පාරිභෝගික අධිකාරිය පැත්තෙන් ප්‍රතිපාදන නොමැති අතර, පොලීසියටද එහිලා මැදිහත්විය නොහැක්කේ පොලිස් නිලධාරීන්ටද මේ පිළිබඳ පවතින දැනුම අවබෝධය අල්ප හෙයිනි. තහනම් හෝ භාවිත වන රසායනිකයන් පිළිබඳ මෙන්ම ඒවා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳ පොලිස් නිලධාරීන්ට දැනුම නොමැතිවීම විශාල අඩුපාඩුවකි.
එහෙත් මෙයට දෙවසරකට පෙර දකුණ සහ වයඹ ප්‍රදේශයන්හි තෝරාගත් පොලිස් නිලධාරීන් සඳහා පළිබෝධනාශක සම්බන්ධයෙන් පවතින නෛතික අණපනත් පිළිබඳ වැඩමුළු රෙජිස්ට්‍රාර් කාර්යලය විසින් සංවිධානය කළද ඒවා හිටිහැටියේ අත්හිටුවීමේ වාසියද කූට ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන ඇතැයි තතු දන්නා පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
පොලීසියට පළිබෝධනාශක වැටලීමට අදාළ නෛතික ක්‍රියාවලිය පිළිබඳ පවතින නොදැනුවත්කම රජය විසින් සම්පූර්ණ කළ යුතු අඩුපාඩුවකි. ගතවූ කෙටි කාලයක් තුළ දිඹුල පතන පොලිස් වසමේදීද අවස්ථා කිහිපයකදීම මෙවැනි තහනම් ග්ලයිෆොසේට් අත්අඩංගුවට පත් වන්නේ නීතියේ කොතැනින් හෝ රිංගා යෑමට ඔවුන්ට හැකි යැයි කඳුකරයට නීතිවිරෝධී භාණ්ඩ සපයන වෙළෙඳුන් මැනවින් දන්නා හෙයිනි. පොලීසිය දැනුවත් කළ යුත්තේ එහෙයිනි.
ඇතැම් විට විනිසුරුවරුන්ද මෙම අලුත් ක්ෂේත්රය පිළිබඳ දැනුවත් කරන්නේ නම් එයද අධිකරණ ක්‍රියාමාර්ගවලදී එතුමන්ලාට මගපෙන්වීමට අනුබලයක් වනු ඇතැයි ජනතාව වෙනුවෙන් පෙනීසිටින නීතිවේදීන් විසින් පෙන්වා දෙනු ලබන යථාර්ථය කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ඇසිය යුතුය.
ඒ අතර ගතවූ මාස කිහිපයේ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයට ලැබුණු එක් පැමිණිල්ලකින් කියැවුණේ එක් ව්‍යාපාරිකයෙකු සතුව නීතිවිරෝධී ග්ලයිපෝසේට් අලෙවි ව්‍යාපාරයක් පවතින බවට චෝදනාවකි.
ඒ අනුව එම ස්ථානය වැටලීම කළ පසු එවැනි කිසිවක් සොයා ගැනීමට නොහැකිව තිබේ. අනාවරණය වී ඇත්තේ එහි සේවකයෙකු සේවයෙන් ඉවත් කළ පසු වෙළෙඳ සැල හිමියාගෙන් පළිගැනීමේ අරමුණෙන් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සනාථ වී යැයි පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා පවසයි.
මෙහිදී ජනතාවගේ පැත්තෙන්ද වෙළෙඳ පොළේ තිබෙනවා යැයි පැවසීම මෙන්ම අලෙවි කරන ස්ථාන හෝ පුද්ගලයන් පිළිබඳවද නිරවද්‍ය තොරතුරු සපයන්නේ නම් එයද මෙවැනි තහනම් දේ රට පුරා සංසරණය වීම වැළැක්වීමට අනුබලයක් වනු ඇත. මන්ද මෙය අර්බුදයකටත් වඩා ජාතික ඛේදවාචකයක් නම් එයට හැම පුරවැසියෙකුම වගකීමෙන් බැඳිය යුතු හෙයිනි.