එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය මැතිවරණයෙන් මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වුවද ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ අමාත්‍ය ධුරයක් ලබානොදීම සම්බන්ධව විවිධ කතාබහ සමාජය තුළ ඇති විය. එනිසාම ඔහු සමග සංවාදයක නිරතවීමට අපි අදහස් කළෙමු.
Q මහ මැතිවරණ ජයග්‍රහණය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
පැවැති දූෂිත රජයේ ක්‍රියාදාමයන් නිමා කරන්නට මේ රටේ ප්රගතිශීලී ජනතාව දක්වපු දායකත්වය තමයි මහ මැතිවරණ ප්‍රතිඵලය තුළින් පෙන්නුම් කරන්නේ. නමුත් පරාජිත දූෂිතයන්ගේ හා භීෂකයන්ගේ සෙවණැලි තාමත් විටින් විට හොල්මන් කරන බව අපි දැක්කා සමහර ප්‍රතිඵලවලින්. ඉදිරි වසර 03 තුළදී ජාතිවාදී සංවර්ධන ක්‍රියාදාමයන්, ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාමාර්ග, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හා යහපත් සමාජයක් සඳහා වූ අභිලාෂයන් ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙළෙන් පස්සෙ හොල්මන් හා අවතාර මකාදාන්න අපි මුලපුරලා තියෙනවා.
Q නව ජාතික ආණ්ඩුවේ ඇමතිකම් ලබාදීම ගැන සෑහිමට පත්වෙනවද?
ජාතික ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිකම් ලබාදීම ඒ පක්ෂය ගත්තු තීන්දුවක්, එතැන සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවද කියලා මහජන මතයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඒ පක්ෂයේ අභ්‍යන්තර කාරණයක්. ඒ ගැන කතා කිරීම සදාචාරාත්මක නැහැ. අපේ පක්ෂය ගත්තාම පක්ෂය විසින් සාකච්ඡා කරලා තනතුරු ලබාදීලා තිබෙනවා.
Q නමුත් මාතරින් පළමුවැනියා වූ ඔබට කිසිම තනතුරක් නැහැනේ?
තනතුරක් නොලැබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. දින 100 රජය තුළත් තනතුරක් නොතිබුණාය කියලා මගේ වැඩපිළිවෙළේ මගේ භාවිතාවේ කිසිම වෙනසක් වුණේ නැහැ. ඒ වගේම මට තනතුරක් නොලැබීම මා ඉහළින් ඔසවා තබන්න කටයුතු කළ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි තනතුරක් තිබුණා නම් මට මීට වඩා වැඩ කොටසක් පක්ෂය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් කරන්න තිබුණා.
Q ඔබ ඇතුළු පිරිසක් මැතිවරණයෙන් පසු පක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකිරීමට සූදානමක් තිබූ නිසා ඔබේ තනතුරු අහිමි කළා යැයි රාවයක් පවතිනවා ?
ඔය වගේ දෙයක් කියන අයට හා ඔය වගේ දෙයක් හිතන අයට පණපිටින් හෙණ ගහයි. මොකද මම පක්ෂය දාලා යන්නෙ නෑ කියලා ලේ වලින් සහතික දීපු කෙනෙක්. ඒ නිසා ඔය චෝදනා බොරු. මම පැරදුන පාලකයා රකින්න වැඩ කළේ නැහැ. දූෂිත පාලකයන් එක්ක ඩීල් දාපු අය මෙවැනි සාවද්‍ය චෝදනා නගන්නේ තමන්ගෙ පවු සමාකරගන්නයි.
Q සජිත් ප්‍රේමදාස මහතාට සමෘද්ධි අමාත්‍ය ධුරය ලබානොදීමත් එහි අතුරු ප්‍රතිඵලයක්ද?
ඔබ ඒක සජිත් මහත්මාගෙනුයි අහන්න ඕන. එතුමාගේ තනතුරක් පිළිබඳව මං කතා කිරීම සාධාරණ නැහැ.
Q අද පවතින ජාතික ආණ්ඩුව පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
රට පැත්තෙන් බලනකොට මේ අපට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගතයුතුයි කියන එකයි මගේ ස්ථාවරය.
Q හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පසුපෙළ අසුන් ගැනීම සම්බන්ධයෙන් ඔබේ මතය?
පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ ක්‍රමවේදය අනුව හිටපු ජනාධිපතිවරයා හැමවෙලේම වාඩිවෙන්නේ පළමු පේළියේ. ඒ නිසා පසුපෙළ අසුනක් නොව ඉදිරි පෙළ අසුනක් එතුමාට හිමිවෙනවා. නමුත් ලෝක ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් යළිත් මන්ත්‍රීවරයෙකු වෙලා නැහැ. ඒ නිසා එය එතුමාගේ භාවිතාව හා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් විදියටයි මම දකින්නේ.
Q සීපා ගිවිසුම අපේ රටට කෙසේ බලපාවිද?
මේ සම්බන්ධව අගමැතිතුමා පක්ෂයේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. ඉන්දියාවේ ගිහින් එහෙම සාකච්ඡාවක් කළේ නැහැ. එ.ජා.ප.ය කියන්නේ මේ රටට නිදහස දුන්නු පක්ෂය, මේ රටට කෘෂි විප්ලවීය ව්‍යාපාර දියත් කරපු පක්ෂය, පොඩි මිනිහගේ බඩගින්න නිවපු පක්ෂය. ඒ නිසා මම ඔබට සහතිකයක් දෙන්නම් මේ ගිවිසුම නිසා අපේ රටට ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. අපට පිස්සු නැහැ. රටට හෙණගහන වැඩ කරන්න. මං කලිනුත් කිවුවෙ පෙර පාලන කාලයේ අවතාර තමයි යම් යම් වැරදි ප්රතිරූප මවන්න හදන්නේ.
Q ලබන වර්ෂයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙය සමානුපාතික ක්‍රමයටද, කොට්ඨාස ක්‍රමයටද පවත්වන්නේ?
රටට එකඟ වෙන්න පුළුවන් ජාතික ක්‍රමවේදයකුයි හැදෙන්නෙ. ඒ ජාතික ක්‍රමවේදයට ගෙනියනකම් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උචිතම ක්‍රියාමාර්ගයක් ගන්න ජනාධිපතිවරයා, අගමැතිවරයා මැදිහත් වෙයි.
Q දේශපාලන වශයෙන් ඔබ යම් කලකිරීමකින්ද ඉන්නෙ?
අපෝ නැහැ. එහෙම කිසිම කලකිරිමක් නැහැ. ඔබ ඔය ආයේ ඇහුවෙ තනතුරු නොලැබීම ගැන නම්, තනතුරු නැතිව වැඩ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. තනතුරු අභියෝග සේ සලකලා ඒ අභියෝගය වෙනුවෙන් ජනතා විශ්වාසය වැඩි වශයෙන් යොදාගෙන වැඩ කරන්නයි මගේ බලාපොරොත්තුව.
Q පසුගියදා ඔබ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා නේද?
ඔව්, ඒ වෙනම කාරණාවකට, ත්‍රිවිධ හමුදාවේ කෑම කොන්ත්‍රාත්තුව සඳහා 2010 වර්ෂයේදී බිලියන 50 ක් වැයවෙලා තියෙනවා, 2015 දී එය බිලියන 20 දක්වා අඩුවෙලා තිබෙනවා. මෙය බිලියන 16කින් කරන්න පුළුවන් කොන්ත්‍රාත්තුවක්. හැබැයි මේ හරහා විවිධ දුෂණ අක්‍රමිකතා සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මං පෙන්වලා දුන්නා.
නමුත් මෙතන වෙච්ච වංචාව හොයන්නෙ නැතුව මට කොහොමද මේ තොරතුරු ආවෙ, හමුදාවට අපකීර්තියක් කියලා කරන ලද පැමිණිල්ලකට අනුව තමයි මාව කැඳවලා තිබුණෙ. හැබැයි පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ හමුදාපතිවරයා නියෝජනය කරමින් අපි දූෂණ චෝදනා නගන නිලධාරියෙක්. රට පැත්තෙන් හා යහපාලනය පැත්තෙන් බැලූවාම එය ඉතාම ලැජ්ජා සහගත කාරණයක්.