ඥානසාර හිමියන්ගේ මතවාද පිළිබද මේ වන විට රටේ බොහෝ පිරිස් නොයෙක් අදහස් ප්‍රකාශ කරයි. ඒ පිළිබද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් ප්රමුඛ කාරක සංඝ සභාව විසින් මේ පිළිබද රජයට රතු නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා (19දා) ප්‍රකාශ කර සිටියේ ඥානසාර හිමිගේ හැසිරීම් රටාව අනුමත නොකරන නමුත් මතවාද බැහැර නොකරන බවත්ය.
ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලඥයින්ගේ ප්‍රකාශ ගැන කිසිදු පියවරක් නොගෙන ඊට ප්රතිවාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඬ කිරීමට රජය දරන උත්සහය හෙළා දකින බව උන්වහන්සේලා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශයත් සමග විවිධ ක්ෂේත්රයන්හී ස්වාමීන් වහන්සේලා, මහාචාර්යවරැන්, දේශපාලඥයින් ඥානසාර හිමියන්ගේ මතවාද පිළිබද නොයෙක් මත අදහස් ප්‍රකාශ කළ අතර, ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය මයුර සමරකෝන් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් නවීන් දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් කිහිපයකි මේ.
ඥානසාර හිමියන්ගේ වචනවල හඬ පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ - කැලණිය විශ්වවිද්‍යාලය
''අනුමත කිරීම නොකිරීම කුමක් වුවත්, ඥානසාර හිමියන්ගේ මේ අදහසට කන්දිය යුතුයි. ඥානසාර හිමියන් ප්‍රකාශ කරන කරුණුවල සත්‍ය අසත්‍යභාවය නිරීක්ෂණය කළ යුතුයි. නිරීක්ෂණය සහ පරීක්ෂණයකොට වැරදිකරුවන් සිටීදැයි පරික්ෂාකර බලන්න. අවසානයේ එකී චෝදනා ලබන්නා වූ ඥානසාර හිමියන් වැරදිදැයි බලන්න. මේ සියලු කාරණා ප්‍රකාශ කරන්නා වූ ඥානසාර හිමියන්ගේ වචන වල හඬ පිළිබඳ අවධානය යොමු නොකළ යුතුයි. හඬ වැදගත් වන්නේ සංගීත අධ්‍යයනයකදී පමණයි.
ජාතිවාදී හැඟීම් ඇවිස්සීමත්, ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ප්‍රකාශ කිරීමත්, එසේත් නොමැතිනම් ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන අයුරින් කටයුතු කිරීමත් වැරදියි. ඒ නිසා ඥානසාර හිමියන්ගේ සිතේ තිබූ ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන විදිහට කටයුතු කළේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුයි.
ජාතිවාදී හැඟීම් ඥානසාර හිමියන්ගේ සිතේ පැවැතීම වැරැද්දක්ද, එමෙන්ම ඒ හැඟීම් ඇවිස්සෙන අයුරින් කෙනෙකු ක්‍රියා කළේ නම් ඒ වැරදිකරු කවුරුන්ද කියා අප විමසා බැලිය යුතුයි. ඔවුන් දේශපාලනය කරන පුද්ගලයන් හෝ දේශපාලනය නොකරන පුද්ගලයන් විය හැකියි.
මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් විය යුතුයි. ඉදිරියේදී සියලු දෙනාටම ජීවත් විය හැකි හිතකර පරිසරයක් ගොඩනැගිය යුතුයි. ඒ පරිසරය සකස් කිරීමේ එකම බාධකය ඥානසාර හිමියන් නොවේ. එය නිර්මාණය කිරීමේ ප්‍රබලම වරද ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන පරිදි කටයුතු කිරීමයි. ඒ නිසා එවැනි කටයුතු අවම කළ යුතුයි.
කිසියම් කෙනෙක් පුරාවස්තු විනාශ කළොත් වැරදි වෙන්නේ පුරාවස්තු විනාශ කිරීමද, එසේත් නැතිනම් පුරාවස්තු විනාශයෙන් යම් ජාතියක් ආගමක් විනාශ වේවි යැයි ප්‍රකාශ කිරීමද කියන කාරණය මැනවින් තේරුම්ගත යුතුයි.
මේ සිදුවීමත් සිදුව තිබෙන්නේ එලෙසින්. ලාංකීය පුරවැසියෙකු යම් වැරැද්දක් කළ විට එයට දේශපාලඥයාද, දේශපාලය නොකරන පුද්ගලයාද කියා කිසිදු බෙදීමක් නැහැ. දේශපාලනය කළ පමණින් ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන අදහස් ප්‍රකාශ කිරීම කිසිසේත්ම නිවැරදි ක්‍රියාවක් නෙවෙයි.''
ලාංකේය නිතීය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ පවතින වත්පොහොසත්කම්, තරාතිරම අනුවයි
මහාචාර්ය මයුර සමරකෝන් සමාජවිද්‍යා අධ්‍යයන අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
''විශේෂයෙන්ම බොහෝ රටවල ජාතිවාදී හැඟීම් ඇතිවන්නේ සුළු ජාතීන්ට ප්‍රධාන ජාතියට වඩා යම් යම් සුවිශේෂීතාවයක් දක්වනවා යැයි ප්‍රධාන ජාතිය සිතීම මගිනුයි. එමෙන්ම සුළු ජාතිකයන් සිතන්නේ තමන් සුළු ජාතිය නිසාවෙන් තමන්ට බොහෝ දේ නොලැබී කුඩම්මාගේ සැලකිලි ලැබෙන බවයි.
මේ අයුරින් ජාතීන් සියල්ලන්ම සිතීම අපි මානව කේන්ද්‍රවාදය කියලා සමාජ විද්‍යාවේදී හඳුන්වනවා. යම් රාජ්‍යයක් තුළ ගැටලුකාරී තත්ත්වයන් මතුවන්නේ මේ නිසාවෙනුයි. ඥානසාර හාමුදුරුවන් ඇතුළු කණ්ඩායම් නිතීයේ පවතින ප්‍රධාන අසමානතාවය පිළිබඳ පසුගිය කාලයේ අදහස් දැක්වුවා.
අපි දියුණු යැයි සම්මත ලෝකයේ බොහෝ රටවල පවා ජාතිවාදී ලක්ෂණ දක්නට ලැබෙනවා. එංගලන්තය, ප්‍රංශය ආදී රටවල බස් නැවතුම්පළක කලු ජාතිකයෙකු සිටියහොත් බොහෝ අවස්ථාවල සුදු ජාතිකයන් පදවන බස්රථ පවා බස් නැවතුම්පොළේ නතර නොකර යන අවස්ථා දැකගන්න පුළුවන්.
එවැනි තත්ත්වයන් පැවතියත් සාපේක්ෂව හොඳ මට්ටමකින් එම රටවල් ඒවා පවත්වාගෙන යන්නේ නිතීයේ සමානාත්මතාව සමාජයේ සෑම දෙනකුගේම සිත් තුළ කාවද්දා ඇති නිසායි. නමුත් අපේ රටේ නිතීයේ විශාල අසමානතාවයක් පවතිනවා.
ලාංකේය නිතීය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ පවතින වත්පොහොසත්කම්, තරාතිරම අනුවයි. එය මහාමාර්ගය තුළදී මෙන්ම සමාන්‍ය නිතීය ක්‍රියාත්මක කරන අවස්ථාවලදීත් දැකිය හැකියි. මේ හරහා අප රට තුළ ජාතිවාදී කියන දේවලට යම් රුකුලක් ලැබී තිබෙනවා.
මෙම ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ප්‍රකාශ කරන බොහොමයක් පිරිස් පවසන්නේ, තමන්ට වඩා අනිත් පිරිසට නීතියෙන් වැඩි සැලකිල්ලක් දක්වන බවයි. ඒ පිරිසට දඬුවම් නොදුන්නත් තම පිරිසට නීතිය යටතේ දඬුවම් හිමිවන බවයි. මෙමගින් පැහැදිලි වන්නේ සමාජය තුළ නිතීයේ පවතින අසමානතාව නිසා ජාතිවාදී හැඟීම් සමාජය තුළට කාන්දු වී ඇති බවයි.
ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කළේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශයන් බැහැර නොකරන බවයි. මෙයිනුත් පැහැදිලි වන්නේ සමාජය තුළ නිතීයේ අසමානතාවක් පවතින බව තවදුරටත් තහවුරු වීමයි.
ලංකාවේ ඡන්ද ලබාගැනීම සම්පූර්ණයෙන් තීන්දු වී තිබෙන්නේ සුළු ජාතික පක්ෂයන්ගේ ඡන්ද ලබාගැනීම මතයි. ඒ නිසා සුළු ජාතික පක්ෂවලින් සමාජය මෙහෙයවනවා කියන දේ පැහැදිලි සත්‍යයක්. 1978 ජේ.ආර් මහතාගේ රජයේ සිට සෑම අවස්ථාකදීම දේශපාලන රජය ක්‍රියාත්මක වූයේ, සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරුන් පත් කළේ, සෑම අවස්ථාකදීම ආණ්ඩුකරන පාලකයන් වෙනස් කළේ සුළු ජාතික ඡන්ද මතයි.
ඒ නිසා මේ ප්‍රධාන දේශපාලඥයන් නීතිය පිළිබඳ තැකීමක් නොකර සුළු ජාතිකයන් අනවශ්‍ය අයුරින් පිනවන්න යෑමයි ගැටලුව. දැන් දේශපාලනයේ පවතින සත්‍ය කතාවත් එයයි. නමුත් මෙය බලය ලබාගැනීමට භාවිත කළද, දීර්ඝ කාලයක් සමාජය පවත්වාගෙන යාමේදී මෙහි තිබෙන්නා වූ වෙනස්කම් පිළිබඳව, අකටයුතුකම් පිළිබඳව සමාජය දැනුවත් වෙනවා. මේ දැනුවත් වීම දැන් ප්‍රකාශයට පත්වෙලා තිබෙන්නේ මේ අාකාරයටයි.
ඥානසාර හාමුදුරුවන් වරදක් කරලා තිබෙනවා නම් අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතුයි. නමුත් ඥානසාර හාමුදුරුවන් කළා යැයි පවසන වරදට සමාන වරදවල් කර ඇති සියලු පුද්ගලයන් අත්අඩංගුවේ පසුවේද යන්න ගැටලුවක්. එවැනි වරදවල් කර ඇති තවත් පුද්ගලයින් නිදැල්ලේ සිටීද යන්න විමසා බැලිය යුතුයි. ඔවුන්ද මේ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම මගින් නිතීයේ සමානාත්මතාවය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එහෙම සිදුනොකරන්නේ නම් ඥානසාර හිමියන්ටද නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.
අප දශක තුනක් පමණ ජාතිවාදී ගැටලුවලට මුහුණ දුන්න පිරිසක්. ඒ අර්බුධකාරී තත්ත්වයෙන් මිදී මේ සංක්‍රාන්ති කාලයකයි අප සිටින්නේ. නමුත් අදටත් ජාතීන් අතර සැකමුසු තැන් නැතුවාම නෙවෙයි. මෙය තවත් උග්‍ර කරන්නේ දේශපාලඥයන්. දේශපාලඥයන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා සාමාන්‍ය ජනතාව භාවිත කරනවා. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳ මුළුමනින්ම වගකිව යුත්තේ ඔවුන්.''
ජාතිවාදය අවුස්සන, ආගම්වාදය අවුස්සන ප්‍රකාශ කිරීෙම් හැකියාවක් නැහැ
අමාත්‍ය නවීන් දිසානායක - එක්සත් ජාතික පක්ෂය
''ඥානසාර හිමියන් යම් මතයක් දරනවා නම් ඒ මතවාදය කුමක්ද යන්න ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට යම් මතවාදයක් දැරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි විශේෂයෙන්ම ජාතිවාදය අවුස්සන, ආගම්වාදය අවුස්සන ප්‍රකාශ කරන්න ඔවුන්ට කිසිම විටක හැකියාවක් නැහැ.
දිගින් දිගටම උන්වහන්සේගේ මතවාදය ප්‍රකාශ කිරීම මගින් යම් ජාතියකට හෝ ආගමකට හානියක් සිදුවෙනවා නම් ඒ සඳහා ඊට අදාළ නිතීය ක්‍රියාත්මක කළ යුතුයි.''