Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා දින පෙරවරුවේ ආරම්භ කිරීමට සූදානම්ව තිබුණද, රට තුළ ඇතිව තිබූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කැබිනට් මණ්ඩලයට පෙර අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල මතුව තිබූ තත්ත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
ඉන් පසු ජනාධිපතිවරයා සඳහන් කළේ, අඟහරුවාදා රාත්‍රී 7.00ට යළි කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවයි. උදෑසන සාකච්ඡාවේදී අමාත්‍යවරු රට තුළ ඇතිව ඇති තත්ත්වය පිළිබඳ දීර්ඝව කරුණු දැක්වූහ. ඒ අනුව රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය විය. තීරණය කරගත් පරිදි එදින රාත්‍රී 7.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.
ගොවි ජනතාවට නිසි ආකාරයට පොහොර ලබාදීම පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළමුව අවධානය යොමු විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රී පැවැසුවේ, ‘අපි රසායනික පොහොර භාවිතය තහනම් කළේ ගොවි ජනතාව වකුගඩු රෝගවලින් ආරක්ෂා කර ගැනීමට. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කළේ ජනතාව ගැන හිතලයි. නමුත් මම රාජිත ඇමතිතුමා සමගත් මේ ගැන කතා කළා. ග්ලයිෆොසේට් තහනම ගැනත් කතා කළා. අපට ජනතාවගේ වකුගඩු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුවද, ඔවුන්ට එය අවශ්‍ය නැහැ. ඡන්දයෙන් ඒ බව තේරෙනවා. ඒ නිසා රසායනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කළ යුතුයි කියලයි මම හිතන්නෙ’ යනුවෙනි.
ජනාධිපති මෛත්‍රීගෙන් පසුව අදහස් දැක්වුවේ ඇමති දුමින්ද දිසානායකය. ‘ගොවි සංවිධාන සමග මම මේ ගැන සාකච්ඡා කළා. ගොවි ජනතාවට රසායනික පොහොර අවශ්‍ය බව ගොවි සංගම් ප්‍රකාශ කළා’ යැයි දුමින්ද පවසන විට ඇමති සරත් අමුණුගම පැවසුවේ, ‘එහෙනම් කලින් තිබූ ක්‍රමයටම අපි පොහොර ලබා දෙමු’ කියාය. එදින කැබිනට් මණ්ඩලයට සහභාගි වූ ඇමතිනී අනෝමා ගමගේ පැවසුවේ, අප්‍රේල් මස 01 වැනිදා සිට මැයි මස 15 වැනිදා දක්වා කාලය තුළ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදිය යුතු බවයි.
ගොවීන්ට පොහොර අවශ්‍ය කාලයේදී පොහොර ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වැදගත් බවද අමාත්‍යවරිය කීවාය.
ඇමති රාජිතද අදහස් දක්වමින් පැවසුවේ, ‘පොහොර හිඟයක් රට තුළ පැවතුණා. මුදල් අවශ්‍ය තරම් ලබා දුන්නා. පොහොර ආනයනයේදී ප්‍රසම්පාදන ගැටලු තිබෙනවා නම් පෞද්ගලික අංශය යොමුකර පොහොර ආනයනය කළ යුතුයි. පසුගිය රජයත් කළේ පෞද්ගලික අංශය මගින් පොහොර ආනයනය කරපු එකයි. පළමුව පොහොර අවශ්‍යතාව පෙන්වා දෙනවා. ඉන් පසු සමාගම්වලට බෙදා දී අවම මිලක් යටතේ පොහොර වෙළෙඳ පොළට මුදාහළ යුතුයි. පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවට වවුචර්පත් ක්‍රමයක් හඳුන්වාදිය යුතුයි. එවිට මුදල් අපතේ යෑමක් වෙන්නෙ නැහැ. පොහොර ටිකත් නියමිත පරිදි ගොවි ජනතාවට ලැබෙනවා’ යනුවෙනි.
එවිට ඇමති දුමින්ද දිසානායක පැවසුවේ, ‘ගොවි ජනතාවට පොහොර මිලදී ගැනීම සඳහා අපි ලබා දුන්නේ රුපියල් 2,500ක්. නමුත් පොහොර මිටියක මිල රුපියල් 3,500ක් වුණා. එයත් ගැටලුවක්.’ යනුවෙන්ය.
එයට පිළිතුරු දෙමින් රාජිත පැවසුවේ ‘සමාගම්වලට මිල තීරණය කිරීමට ඉඩ ලබා නොදී අවශ්‍ය මිල රජය විසින් තීරණය කර පොහොර ආනයනයට අවසර ලබාදිය යුතුයි’ කියාය.
පසුව පොහොර ගැටලුව විසඳීම සඳහා තවදුරටත් දීර්ඝව සාකච්ඡා කළ අතර,
මහා භාණ්ඩාගාර ලේකම්වරයාද ජනාධිපති කාර්යාලයට කැඳවමින් ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී.
කසළවලින් විදුලිය නිපදවීම සඳහා සමාගම්වලින් ව්‍යාපෘති වාර්තා 04ක් ලැබී ඇති බව ඇමති චම්පික රණවක කැබිනට් මණ්ඩලයට පැවසීය.
‘දීර්ඝ කාලයක් එය අධ්‍යනය කිරීමෙන් පසු විදුලිය කිලෝවොට් එකක් රුපියල් 32.60කට මිලදී ගැනීමට තීරණය කළා. එම සාමාන්‍ය විදුලිය මිලදී ගැනීමට වැය කරන මුදලට වඩා වැඩියි කියලා භාණ්ඩාගාරය කියනවා. කසළවලින් විදුලිය නිපදවන විට වැඩි වියදමක් යනවා. ව්‍යාපෘතිය ආරම්භයේදී එම මුදලට කැමැති වුණත් ක්‍රියාත්මක කරන විට මහා භාණ්ඩාගාරය කියන්නේ වෙනස් කතාවක්’ යැයි චම්පික රණවක කරුණු පැහැදිලි කරමින් චෝදනා කළේය.
ඊට පිළිතුරු ලබා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේ පසුගිය අයවැය මගින් බදු සහන ලබාදී ඇති බවයි.
එම නිසා නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන්ද අඩු කළ යුතුයි යැයිද ඔහු පැවසීය.
මෙම සකච්ඡාව අවසානයේ ජනාධිපති මෛත්‍රී ප්‍රකාශ කළේ, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලෙකම්වරයා ඒකාබද්ධව සාකච්ඡාවක් පවත්වා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතරතුර ජනාධිපති මෛත්‍රීට ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ මහනුවර ප්‍රදේශයේ යළි ප්රචණ්ඩ ක්‍රියා ඇතිවී ඇති බවයි.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෛත්‍රී ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට උපදෙස් ලබාදීමටද කටයුතු කළේය. ඉන් පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම නිමාවට පත්වූ අතර ජනාධිපති මෛත්‍රී කියා සිටියේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැමති අමාත්‍යවරුන් තම කාර්යාලයට පැමිණෙන ලෙසයි. එම ස්ථානයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන හා පොලිස්පති පූජිත් ජයසුන්දරද පැමිණ සිටියහ. එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, එම දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳ පැයෙන් පැයට වාර්තා ලබා ගනිමින් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද පැවසීය. මෙයට සහභාගි වූ ඇමති රාජිත සේනාරත්න පැවසුවේ ‘සමාජ ජාලා වෙබ් අඩවි, ෆේස්බුක් මගින් ජාතිවාදය අවුස්සනවා. රට විනාශ කරන්න හදනවා. සමාජ ජාලා වෙබ් අඩවිවලට ඒවා පළකිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන්නේ එකම තැනකින්. රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් තමයි දියත් කරන්නෙ. පොහොට්ටුවේ අය මේකට සම්බන්ධයි. රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අය සහ මුදල් යොදවන අයට දඬුවම් ලබාදිය යුතුයි’.
ඊට එකඟත්වය පළකළ ඇමති චම්පික රණවක පැවසුවේ ෆේස්බුක් බ්ලොක් කළ යුතු බවයි. එය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සිදුකළ යුතු බවද චම්පික පැවසීය.
එහිදී අදහස් දැක්වූ මෛත්‍රී කියා සිටියේ, ‘ලංකා ඊ-නිවුස් වෙබ් අඩවිය තහනම් කළ අවස්ථාවේදී මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ පැවැත්වුවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමර්ශන පැවැත්වුවා. එම නිසා නිලධාරීන් මෙම වැඩේට මන්දගාමීව සිටින්නේ. අපි ගෙනැවිත් උපදෙස් ලබා දෙන්නම්’ යනුවෙනි.
ඉන් පසු රැස්වීම අවසන් වූ අතර අමාත්‍යවරු කිහිප දෙනෙක් එක්ව තවදුරටත් සාකච්ඡා පැවැත්වූහ.
එම රැස්වීමට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස එක්ව සිටියහ. ඊට අමතරව ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර, ඔවුහු පවතින තත්ත්වය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය තවත් පියවර සාකච්ඡා කළහ.
රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ පසුගිය අඟහරුවාදා අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිවිසුම අසල සාකච්ඡා කරමින් සිටි අතර, ඇමති සජිත්, රංජිත් මද්දුම බණ්ඩාර, අලුවිහාරේ, පාලිත රංගේ බණ්ඩාර ආදී පිරිසත් ඒ අතර විය.
හදිසියේම අගමැති රනිල් වික්රමසිංහද එතැනට පැමිණි අතර, ‘ආ... මොනවද කට්ටිය කතා කරන්නේ?’ කියා විමසීය.
‘සර් අපි මේ රටේ තත්ත්වෙ ගැන කතා කළා’ යැයි රංගෙ බණ්ඩාර පිළිතුරු දුන් විට, අගමැති රනිල් නැවත රංගෙ බණ්ඩාරගෙන් ඇසුවේ,
‘මේ වගේ වෙලාවට කොහොමද හැසිරෙන්නෙ කියලා පොලිස් පොතේ නම් හොඳට ඇති නේද රංගෙ..’ කියාය.
එයට සිහනවෙමින් පිළිතුරු දුන් රංගෙ බණ්ඩාර පැවසුවේ,
‘සර් නීතිය හා සාමය මට දෙන්න... මම සති දෙකෙන් මේක විසඳන්නම්’ කියාය
එවිට එතැන සිටි සියල්ලෝම සිනහ වුණ අතර, අගමැති රනිල්ද සිනහවෙමින් එතැනින් ඉවත්ව ගියේය.
කෙසේ වෙතත් පසුදින උදෑසනම ඇමති රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය ඇමතිකමේ දිවුරුම් දුන්නේය.
මහනුවර, තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීමත් සමග සඳුදා පස්වරුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. මේ සිදුවීමත් සමග රට පුරා සියලු දෙනාගේ අවධානය මහනුවරට යොමු වෙමින් තිබිණි. මේ තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද හදිසි හමුවක් සූදානම් කර තිබිණි. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබිණි.
‘නැවත වරක් ජාතිවාදී කෝලාහලයක් ඇතිවෙන ප්රවණතාවන් වර්ධනය වෙමින් තියෙනවා. මේ රට අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලත් ඒ අත්දැකීම ඇතැම් පිරිස් විසින් තේරුම් අරගෙන නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදය වපුරන එක කරන්නේ” ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘පහුගිය මැතිවරණය කාලෙ පුරාම පරාජිත කණ්ඩායම ජාතිවාදය වැපිරුවා. ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදී මතයක් ගොඩනැගුවා. ඒ විතරක් නෙවෙයි දියතලාවේ බෝම්බය පදනම් කරගෙන රාජපක්ෂ කණ්ඩායමේ පිරිස් කොටි නැගිටිනවා... කොටි නැගිටිනවා.. කියමින් නැවත ජාතිවාදී ප්‍රවණතාවක් ඇති කරන්න කටයුතු කළා. මොකද ඒ කණ්ඩායමට තියෙන එකම අවිය බවට පත්වෙලා තියෙන්නේ ජාතිවාදය. රටේ ප්රජාතන්ත්රවාදය ගොඩනගනවා කියලවත්, ආර්ථිකය හදනවා කියලවත්, හොඳ විදේශ ප්‍රතිපත්තියක් හදනවා කියලවත් ජනතාව එකතු කරගන්න ඒ කණ්ඩායමට බැහැ. මේක රටට මහ ව්‍යසනයක්. අපි මේ ජාතිවාදී ප්රවණතාවට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනෑ..” අනුර දිසානායක කියා සිටියේය.
‘මේ වගේ ජාතිවාදී ගැටුම් ඇතිවෙන එක ආණ්ඩුවටත් වාසියක්. දැන් හැමෝම කතා කරන්නේ අම්පාරේ වඳ පෙත්ත ගැන. තෙල්දෙණියේ සිදුවීම ගැන. රනිල්ගේ විශ්වාසභංගය, රටේ ආර්ථික කඩාවැටීම, ආණ්ඩුවේ බැරි බැරියාව මේ එකක්වත් අද පත්තරවල ප්රවෘත්ති නෙවෙයි. ඒ නිසාම ආණ්ඩුව මේ වගේ ගැටුම් මර්දනය කරන්න කඩිනම් පියවර ගන්නේ නැහැ. ඇල්මැරුණු ස්වභාවයක් තමයි ආණ්ඩුවෙන් පේන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
‘ආණ්ඩුව හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ ගැටුම් දුරදිග යන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුවක් නැති එක තමයි ප්‍රශ්නේ. අම්පාරේ සිදුවීම ගැන තවමත් ආණ්ඩුව නිල ප්‍රකාශයක් කරලා නැහැ. ඒ නිසා මේ ගැටුම්වලට සෘජුවම ජනාධිපතිත්, අගමැතිත්, කැබිනට් එකත් වගකියන්න ඕනෑ. මේ ආණ්ඩුවට ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න වෙලාවක් නැහැ. ජනාධිපති, අගමැති, ඇමතිලා තම තමන්ගේ පුටු බේරගන්න කල්පනා කරනවා.” බිමල් රත්නායක කියා සිටියේය. ‘මේ ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගන්නවා වගේ ලේසි නැහැ බෝතලය ඇතුළට දාන එක. ඒ නිසා මේ ගැටුම් ඇතිවෙන සැණින් නවත්වන්න ඕනෑ. අපි මේ ගැන කතා කරනකොට අපිට ගහන්න බලාගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. නමුත් අපිට කොතරම් අවාසි වුණත් මේ ජාතිවාදී ප්‍ර වණතාවයට එරෙහිව ගත හැකි සියලු ක්රි්යාමාර්ග ගන්න ඕනෑ. මේකෙදි අපිට විතරක් නෙවෙයි මාධ්‍යක ආයතනවලටත් අත්හැරිය නොහැකි වගකීමක් තියෙනවා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.
මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සහ එම ප්‍රදේශයේ ජනතාව හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අඟහරුවාද එම ප්‍රදේශයට ගියේය. මුලින්ම මල්වතු නාහිමියන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයා කටයුතු කර තිබුණි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයා මල්වතු නාහිමියන් සමග සාකච්ඡාවක නිතර විය.
‘පහුගිය කාලේ යම් යම් අය විසින් ඇති කරපු නරක දේවල්වල ප්‍රතිඵල තමයි අද මේ විදියට අපිට දකින්න සිදුවෙලා තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයෙන් ගලවා ගන්න ඕනෑ. රටේ පාලකයිනුත් මේ තත්ත්වය තේරුම් අරගෙන නිසි ක්‍රියාමාර්ග නිසි කලට ගන්න ඕනෑ. අපිට ඔබතුමාලා ගැන විශ්වාසයක් තියෙනවා. ඔබතුමාලා මේ වගේ ගැටුම් ඇති වීමට විරුද්ධව වැඩ කරනවා කියල අපි තේරුම් අරගෙන තියෙනවා. ඔබතුමාලාගේ වගකීම තමයි ජනතාවට මේ ඇත්ත තත්ත්වය පහදලා දීලා ජනතාව අතර සමගිය ගොඩනගන එක.” මල්වතු නාහිමියෝ කියා සිටියහ. මල්වතු හිමියන් සමග සාකච්ඡාවෙන් අනතුරුව ජවිපෙ නායකයා මාධ්‍ය වෙතද අදහස් පළ කළේය. අනතුරුව ප්‍රදේශවාසීන් හමුවීමට යොදාගෙන තිබුණද, නැවත ඇඳිරි නීතිය පනවා තිබීම නිසා ජවිපෙ නායකයා ජනතාව හමුවීම අවලංගු කළේය. කෙසේ නමුත් ජවිපෙ නායකයා පැමිණි බව දැනගත් පිරිසක් ඔහු හමුවීමට පැමිණ තිබිණි.
‘ඔබතුමා ආපු එක ලොකු දෙයක් අපිට. ඔබතුමාගේ පාර්ලිමේන්තු කතාව අපි ඇහුවා. ඒ විදියට කතා කරන්න පුළුවන් ඔබතුමාලගේ පක්ෂයේ අයට පමණයි. ඔබතුමාලා කියන කතාව මේ මිනිස්සු පිළිගන්නවා නම් මේ වගේ ගැටුම් ඇතිවෙන්නේ නැහැ විතරක් නෙවෙයි හැමෝටම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්.” පැමිණි සිටි පිරිසගෙන් බොහෝ දෙනා තමන්ගේ හිත් වේදනාවන් කියන්නට විය.
48 වැනි උදා ගම්මානය වන නිවාස 22කින් සමන්විත මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, කිතුල්කොටේ ඉදිවුණු ‘හෙළසිහගම’ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් ජනතා අයිතියට පත්කරන ලද්දේ බ්‍රහස්පතින්දා පස්වරුවේදීය.
මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා සහ ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු සම්බන්ධීකරණය කරමින් සජිත්ට බොහෝ උපකාර කර තිබිණි.
1815 උඩරට ගිවිසුමට විරෝධය පළ කරමින් ඌව වෙල්ලස්ස මහ කැරැල්ල දියත් වූයේ 1817-18 කාලයේදීය.
‘ඌව වෙල්ලස්ස මහා කැරැල්ලට වසර 200ක් සපිරීම නිමිත්තෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ නව
උදා ගම්මාන 11ක් ඉදිකිරීමට මම කටයුතු කරනවා’ සජිත් ආනන්ද කුමාරසිරි වෙත දන්වා සිටියේය.
‘බොහොම ස්තුතියි ඇමතිතුමා, ඔබතුමා අපේ පළාතේ ජනතාව මුහුණපා සිටින නිවාස ප්රශ්නය විසඳීමට ගන්න උත්සාහය අපට ලොකු ශක්තියක්’ ආනන්ද කීවේය.
සජිත් ඊළඟට ඇසුවේ, ‘දැන් ගොවිතැන් කටයුතු එහෙම කොහොමද?’ කියාය. ‘පොහොර ප්රශ්නය තමයි’ ලැබුණු පිළිතුර විය. සජිත් කීවේ ‘පොහොර සහනාධාරය කලින් විදියටම ගොවීන්ට ලබා දෙන්න ඕන. මං ඒ අහිංසක ගොවීන් වෙනුවෙන් පසුගිය අවුරුදු තුනේම ලොකු සටනක් කළා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට කලින් දීපු ආකාරයටම ඒ පොහොර සහනාධාරය නැවත ගොවීන්ට ලබාදීමට ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් අනුමැතිය ඇතිව කැබිනට් මණ්ඩලය මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊළඟ යල කන්නයේ ඉඳලා නැවතත් පොහොර සහනාධාරය ගොවීන්ට ලැබෙනවා’ යනුවෙනි.
ආනන්ද කීවේ ‘මේක නම් ගොවීන් ලබපු ලොකුම ජයග්‍රහණයක්. අපි දන්නවා, ඒ සහනය නැවත ලබා දෙන්න සටන් කළේ ඔබතුමා විතරයි’ යනුවෙන්ය.
බදාදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී ස්ථාවර නියෝග සම්මත කිරීමට ගත් අවස්ථාවේදී කථානායක ධුරය සම්බන්ධව කතාබහක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තොගපිටින් නම් කර ඉවත් කිරීමට කථානායකවරයාට බලය ලැබෙන පරිදි නව ස්ථාවර නියෝග සකස් කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කීවේය.
“මේක අනුව මන්ත්‍රීවරුන් තොගයක් නම් කරලා ඒ අය ඉවත් කරලා ඡන්ද විමසීමක් තියන්න පුළුවන්. ලංකාව පිළිබඳ බරපතළ පනතක් ආපු දවසකට අපි කණ්ඩායමක් විරුද්ධ වෙනවා කියල ඔක්කොම තහනම් කරලා ගෙනිච්චට පස්සේ ඡන්දේ තියන්න පුළුවන්’ දිනේෂ් පැවසීය.
එම අවස්ථාවේ නැගී සිටි අජිත් පී. පෙරේරා, “අපි මෙම වගන්තිය වෙනස් කරලා නැහැ. මේ වගන්තිය අවුරුදු තිහකට වැඩිය පාර්ලිමේන්තුවේ පරීක්ෂාවට ලක්වුණා. මේ පාර්ලිමේන්තුවේ ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්න, අර්බුද, කෝලාහල, පහරදීම්, උද්ඝෝෂණ අපි දැකලා තියෙනවා’ යැයි එයට උත්තර දුන් අතර, “මගෙන් ඒක වෙන්නෑ. බය වෙන්න එපා’ මන්ත්‍රීතුමා යැයි කථානායක කරු ජයසූරිය වටපිට බලමින් කීවේය.
මෙම අවස්ථාවේ නැගීසිටි විමල් වීරවංශ “ඔබතුමාගෙන් එහෙම දෙයක් වුණේම නැහැ කියන්න බැහැ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තු එන එක ඔබ තහනම් කළා. ඔබතුමාම නෙවෙයිනේ ඔය පුටුවේ දිගටම ඉන්නේ. අර වගේ බඩ්ඩක් (සරත් ෆොන්සේකා දෙසට අත දිගු කරමින්) ඇවිත් ඔය පුටුවේ වාඩි වුණොත් 225ම දාවි නම් කරලා’ යැයි පැවසූ විට සභාවම සිනහ විය. එහෙත් ෆොන්සේකා සිටියේ කේන්තියෙනි. වීරවංශ දෙසට අත දිගු කරමින් ඔහු මොන මොනවදෝ පැවසුවද, සභාවේ තිබූ සිනහ හඬ මධ්‍යයේ කිසිවෙකුට එය පැහැදිලි වූයේ නැත.
එදිනම පැවැති බලහත්කාරයෙන් අතුරුදන් වීම් වැළැක්වීමේ පනත පිළිබඳ විවාදයට එක්වූ විමල්, ගෝලීය දෙමළ සංසදය සමග ආණ්ඩුව පැවැත්වූ සාකච්ඡාවක් ගැන පැවසීය.
“2013 මැයි සිංගප්පූරුවේදී ගෝලීය දෙමළ ප්‍රධානීන් එක්ක සාකච්ඡාවක් සිදු වුණා. ඒක ටැමිල් නෙට් වෙබ් අඩවියේ තියෙනවා. ඒ සාකච්ඡාවට මංගල සමරවීර, ජයම්පති වික්‍රමරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී තමිල් මාරන් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව වෙනුවෙන් ගියා. ටැමිල් නෙට් වෙබ් අඩවිය කියනවා මංගල සමරවීර හිඟන්නෙක් සේ රාජපක්ෂ රෙජිමය පළවා හරින්න දෙමළ සංසදයෙන් උදවු ඉල්ලා සිටි බව. කොන්දේසි 10කට යටත්ව රාජපක්ෂ රෙජිමය පළවා හරින්න එකඟ වුණ බව එහි සඳහන්’ යැයි විමල් කියාගෙන ගියේය. අනතුරුව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න විමල්ගේ කතාව ඇත්තක් බව පිළිගත්තේය. “විමල් මන්ත්‍රීතුමා මම දෙමළ කණ්ඩායමක් එක්ක සාකච්ඡාවකට සහභාගි වූ බව කිව්වා. ඒක සම්පූර්ණ ඇත්ත. මම කවදාවත් නැහැ කියලා නැහැ. මේ රටේ තියෙන ජනවාර්ගික ගැටලුව එක තනි රටක් තුළ විසඳාගැනීම ගැන තමයි අපි සාකච්ඡා කළේ. ග්ලෝබල් ටැමිල්පෝරම් එකේ ගොඩක් අදහස්වලට මම එකඟ වෙන්නෑ. නමුත් ඔවුන් එක්ක කතා කරන්න ඕන. සාකච්ඡා කරන්නෙ නැතිව මේවා කරන්න බැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද ග්ලෝබල් ටැමිල්පෝරම් එකට සම්බන්ධ වෙලා සිටි ෆාදර් එමානුවෙල් වගේ අය අද ලංකාවට එනවා’ යැයි පිළිතුරු දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු සඳුදා සවස මහින්ද මුණගැසුණේ විජේරාම පෙදෙසේ පිහිටි මහින්දගේ නිල නිවසේ දීය. දිනේෂ්, වාසු, ගම්මන්පිල, ඩලස්, මහින්දානන්ද ඊට එක්ව සිටියහ. මහින්ද ඒකාබද්ධයේ නායකයන් හමුවීමට ආවේ ප්‍රසන්න සහ මහින්ද යාප ද කැටුවය. එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ රනිල්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.
‘ මම මගේ අදහස කියන්නම්’ කියමින් කතාවට මුලපිරුවේ ගම්මන්පිලය.
‘ඒකාබද්ධ විපක්ෂය විදියට අපේ මන්ත්‍රීවරුන් අත්සන් කරලා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ සහයෝගය අරගෙන විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනයන්න’ ගම්මන්පිල පැවසීය.
‘ මගේ මතය නම් ටිකක් වෙනස්. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ විහ්වාසභභංග යෝජනාව සද්භාවයෙන් ගේන එකක්ද එහෙමත් නැත්නම් රනිල්ව බේරගන්න ගහපු ප්ලෑන් එකක්ද කියලා. ඒ හින්දා මම නම් හිතන්නේ විශ්වාසභංගයක් ගේනවා නම් අපි වගේම ආණ්ඩුවෙන් මේකට සහයෝගය දෙන අයත් අත්සන් තැබිය යුතුයි කියලයි’ ප්‍රසන්න පැවසීය.
‘ ඒ කතාව හරි. රනිල්ව අයින් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වගේම අනෙක් ඇමැතිවරුන්ටත් සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඒ අය මේකට අත්සන් කරන්න ඕනේ’ මහින්ද යාපා පැවසීය.
‘ මේ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ ඇමැතිවරුන් සහයෝගය දෙනවා නම් ඒක ජනතාව දැනගත යුතුයි. එහෙම නැතුව අපිව ඉස්සරහට දාලා තමන්ගේ වැඩේ කරගන්න ඒ අයට ඉඩ දෙන්න බැහැ’ අනතුරුව ප්‍රසන්න පැවසීය.
‘ ඒක ඇත්ත. කටින් කියලා වැඩක් නැහැ. සහයෝගය දෙනවා නම් කොළේට අත්සන් තැබිය යුතුයි’ මහින්ද පැවසීය.
‘ අපි දැන් ඉන්නේ ජයග්‍රාහී තත්ත්වයක. මේ වගේ විශ්වාස භංගයකට සහයෝගය දෙන්න ගිහින් ඒක පැරදුණොත් ආණ්ඩුව ජනතාව අතරට ගෙනියන්නේ ඒකාබද්ධය පැරදුණා කියන මතයයි. මැතිවරණ වැලක් ඉදිරියට පැවැත්වීමට නියමිතව තියෙන නිසා ඒ වගේ මතයක් රටට යන එක අපිට පාඩුයි. ඒ නිසා අපි ඒවා ගැනත් හිතන්න ඕනේ’ මහින්ද යාපා කීවේය.
මේ අතර මහින්දට දිලුම් අමුණුගමගෙන් ඇමතුමක් ලැබුණි. ඒ වන විට මහනුවර සිටි දිලුම් මහින්දට දැනුම් දුන්නේ මහනුවර තත්ත්වය අයහපත් වීගෙන එන බවයි. දිගන වැනි ප්‍රදේශවල කලබලකාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවත් දිලුම් මහින්දට කීවේය.
‘ නුවර ඉන්න ආගමික නායකයෝ ටික සේරම මුණගැහිලා මේ තත්ත්වය නතර කරගන්න බලන්න. මේ වගේ දේවල් දුරදිග යන්න දෙන්න නරකයි’ මහින්ද උපදෙස් දුන්නේය.
‘ අපිට පේන්න තියෙන විදියට පොලීසිය හරියට රාජකාරිය කරන්නේ නැහැ. ආණ්ඩුවට මේකට මුහුණ දෙන්න පුළුවන්කමක් නැහැ වගෙයි සර්’ දිලුම් පැවසීය.
‘ ඕක දුරදිග ගියොත් ලොකු විනාශයක් වෙනවා. පුළුවන් ඉක්මනින් මැදිහත් වෙලා අවශ්‍ය දේවල් කරන්න’ දිලුම්ට යළි උපදෙස් දුන් මහින්ද යළිත් දුරකථන ඇමතුමක් ගෙන ලොහාන් රත්වත්තේටද උපදෙස් දුන්නේ සිද්ධියට වහාම මැදිහත්ව අවශ්‍ය කටයුතු කරන ලෙසයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස් වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ වන විට මහනුවර කලබලකාරී තත්ත්වය පාලනය කරනු වස් රජය ඇඳිරි නීතිය පනවා තිබුණි. පාර්ලිමේන්තු කණ්ඩායමේ දී වැඩි අවධානයක් යොමු වූයේ මහනුවර තත්ත්වය ගැනය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පොදු අදහස වූයේ මෙම කලබල පසුපස ප්‍රබල හස්තයක් තිබෙන්නට පුළුවන් බවය. බොහෝ දෙනා කීවේ පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ පරාජයත් අනතුරුව ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් පිළිබඳ කතාබහ වෙනතක යොමු කරන්නට සිතාමතා මෙවැනි ක්‍රියාවත් කළා දැයි සැකසහිත බවය.
‘ දැන් ආණ්ඩුව ලැහැස්ති වෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නයි. මේ කලබල පිටදාලා ජනතා විරෝධය මර්දනය කිරීමේ උත්සාහයකුත් දරන බවක් තමයි ඒකෙන් පේන්න තියෙන්නේ. මොකද හදිසි නීතිය තියෙන කොට උද්ඝෝෂණ, පෙළපාළි මොකක්වත් කරන්න බැහැ. ආණ්ඩුව පිටපොට ගහන්නේ මොකටද කියන එක ගැන අපිට ලොකු සැකයක් තියෙනවා.’ වාසුදේව පෙන්වා දුන්නේය.
‘ සංහිඳියාව බලෙන් මිනිස්සු පිට පටවන්න ගියාම වෙන දේවල් තමයි මේ. මේකෙන් වුණේ මෙච්චර කල් සිංහල මිනිස්සු සහ අනෙක් ජාතීන් අතර තිබුණු ඇයිහොඳයියත් නැති වුණ එකයි’ පවිත්‍රා කීවාය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ බදාදා පැවැත්වීමට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ ජනරැලිය සම්බන්ධයෙනි. පසුගිය මැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේ වහාම මහ මැතිවරණයකට යා යුතු බවට ආණ්ඩුවට බල කරමින් රට පුරා ජනරැලි මාලාවක් පවත්වන්නටය.
එහි ප්‍රථම රැලිය පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩදීය. ඒ මාර්තු මස 07 වැනිදාය. එහෙත් රටේ පැවැති කලබලකාරී තත්ත්වය මත හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක ජනරැලිය පැවැත්වීමේ අවදානම සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීන්දු කළේ පසුදින පැවැත්වීමට නියමිතව තිබූ ජනරැලිය නවතා දැමීමටය.
මහින්ද අනුරාධපුරය බලා පිටත්ව ගියේ එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. අවමඟුලට සහභාගි වීමට පෙරාතුරව මහින්ද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව මහින්ද අටමස්ථානාධිපති හිමියන් බැහැ දුටුවේය.
"මොකක්ද මහින්ද මහත්තයා මේ රටට වෙමින් තියෙන්නේ" අටමස්ථානාධිපති හිමියෝ මහින්දගෙන් ඇසූහ.
"ඒක තමයි හාමුදුරුවනේ අපිත් මේ කතාකරන්නේ. ආණ්ඩුව මේ වගේ දේවල්වලට ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. අපි මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කකුලෙන් අදින්න සූදානම් නැහැ. හැබැයි ප්රශ්නය තියෙන්නේ ආණ්ඩුවට මේ වගේ දේවල් නිසි විදිහට කළමනාකරණය කරගන්න පුළුවන්ද කියන එකයි. දුවන්නන් වාලේ ඔහේ දුවනවා වගේ මේ දේවල් පාලනය කරන්න බැහැ. අපි ත්රස්තවාදීන්ට එරෙහිව යුද්ධයක් කරන ගමනුත් දකුණේ ජාතිවාදී කලකෝලාහ වෙන එක වළක්වගෙන රට පාලනය කළා. මේ අයට යුද්ධයකුත් නැතුව මේ වගේ සුළු දෙයක්වත් පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ" යැයි මහින්ද පැහැදිලි කළේය.
අනතුරුව මහින්ද මිරිසවැටියේ නායක හිමියන්ද මුණගැසුණේය. උන්වහන්සේ මහින්ද සමග කීවේ මේ සිද්ධ වන දේවලින් රටට යහපතක් සිදුනොවන බවය. එය අනුමත කළ මහින්ද කීවේ "මේ ප්රශ්නය මෙච්චර දුරදිග යවන්නේ නැතුව විසඳගන්න ආණ්ඩුවට තිබුණා. හැබැයි ඒ ඒ අවස්ථාවට නියමිත දේවල් නොකර වෙන වෙන දේවල් කරන්න ගිය එකෙන් ආණ්ඩුව වැඩේ වැඩි කරගත්තා" කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd