Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
රට තුළ මතුවෙමින් තිබෙන ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කවරේදැයි ඊයේ (24දා) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවිය. එහිදී පළවූ අදහස් පහතින් දැක්වේ.
ජාතික සංහිඳියාවටත් විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා
ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද,
ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාවන් අපි දැඩි ලෙස හෙළාදකිනවා. එවැනි ක්‍රියාවන් පාලනය කර ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීම තුළින් රට තුළ නීතිය හා එකමුතුකම ඇතිකිරීමේ වගකීම රජයට පැවරී තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ මාණිකමඩු ප්‍රදේශයේ බුදු පිළිමයක් තැබීමේ සිද්ධියක් සමග අපේ රටේ මුස්ලිම් සිද්ධස්ථාන 40කට පමණ පහරදී තිබෙනවා.
පසුගිය සති දෙක තුළ මුස්ලිම් ජාතීන්ට එල්ල වූ ප්‍රහාර දිගින්දිගටම එල්ල වන බව පෙනෙනවා. දකුණේ සිට පැමිණි පිරිසක් ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමළ හා මුස්ලිම් ජාතීන් නිරූපණය කරන සංකේත ඉවත්කර ජාතික කොඩියට සමාන කොඩි කිහිපයක් කිළිනොච්චි නගරයේ ඔසවා ඇති බව දැනගන්නට ලැබෙනවා. මේ ජාතීන් අතර මේ වනවිට ගොඩනගා ඇති සමගියටත්, ජාතික සංහිඳියාවටත් මෙවැනි සිද්ධි විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.
යම් තරමක කලබලකාරී වාතාවරණයක්ද, නොසන්සුන්තාවක්ද ජනතාව අතර උද්ගතවී තිබෙනවා. පසුගිය 19 වැනිදා පාන්දර කිළිනොච්චිය, මුහමලේ කච්චාරේ ප්‍රදේශයේ මුර සංචාරයේ ගමන් කරමින් සිටි පොලිස් භටයන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් ජාතීන් අතර බොහෝ අහිමිවීම් මධ්‍ය‘යේ ඇතිකර ගෙන තිබෙන, ජාතික සමගියට බාධාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් යහපාලන රජය ඉක්මන් තීරණයක් ගත යුතු යැයි මම ඉල්ලා සිටිනවා.
ජාතිවාදය, ආගම්වාදය ඉතා සුළුතර අතළොස්සක් තමන්ගේ විවිධ වුවමනා වෙනුවෙන් උපයෝගී කරගනිමින් තිබෙනවා
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක,
රට පුරා නැවතත් හිස ඔසවමින් යන ජාතිවාදී හා අන්තවාදී ප්රවණතා හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනවා. මේ වනවිට වාර්තා වන විවිධ සිද්ධීන් මගින් රට පුරා අන්තවාදී හා ජාතිවාදී ප්රවණතා නැවත හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා මුස්ලිම් ජනතාවට අතර ජාතිවාදී ගැටුම් ඇවිළීමේ උත්සාහයක් තිබෙන බව හඳුනාගත හැකියි.
ජාතිවාදී හා ආගම්වාදී පදනම මත දේපොළවලට පහරදීම් සහ ගිනි තැබීමේ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල වාර්තා වී තිබෙනවා. ජාතිවාදය කුමන ස්වරූපයෙන් මතුවුවද, කුමන පාර්ශ්වයකින් ඉදිරිපත් වුවද රටේ ජාතික සමගියට සංහිඳියාවට අතිශය හානිකරයි. අවුරුදු 30කට වැඩි කාලයක් ජාතිවාදී යුද්ධයකින් බැටකෑ රටක් ලෙස ඉතා අසීරුවෙන් ගොඩනගා ඇති ජාතික සමගියට මෙවැනි සිදුවිම් බරපතළ හානිකර තත්ත්වයක් ඇතිකරනවා.
මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙද්දී ආණ්ඩුවේ පාර්ශ්වය එම තත්ත්වය නිසි පරිදි හඳුනාගැනීමක් හෝ එවැනි තත්ත්වයන්ට එරෙහි ක්‍රියාත්මක වීමක් දක්නට නැහැ. ආණ්ඩුව මෙවැනි ජාතිවාදී ප්රවණතාවලට ඉඩ සලසන පරිසරයක් නඩත්තු කිරීමද මෙවැනි දේවල් තීව්ර කර තිබෙනවා.
නිදසුනක් ලෙස විල්පත්තුව ප්‍රදේශයේ වන විනාශයට හා එවැනි තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට හෝ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුකිරීම සම්බන්ධව මැදිහත්වීමට හෝ මුස්ලිම් ජනතාවගේ කඩසාප්පුවලට, ආගමික ස්ථානවලට පහරදීම්වලට හෝ ආණ්ඩුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ග අරගෙන නෑ.
රට තුළ නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේදී රජය විසින් ඒ සඳහා අවශ්‍ය කරන ආයතන ගොඩනගා තිබෙනවා. ඒ ආයතන මේ සඳහා සක්‍රීයව මැදිහත්වීමත් සිදුනොවුණහොත් අනිවාර්ය ලෙස අතිවන දෙය තමයි ජනතාව මෙම ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වීම. එය වළක්වන්න බැහැ.
ඒ නිසා ගොඩනගා තිබෙන ආයතනයන් සිදුවීම් පිළිබඳව ඉතා හොඳින් කාර්යක්ෂමව මැදිහත්වීමක් කිරීමට අසමත් වුණොත් සිදුවිය හැකි වන්නේ ජනතාව තමන්ගේ විසඳා ගැනීම සඳහා පොලු, මුගුරු අරගෙන පාරට බහින තත්ත්වයක්. අපේ රටේ කවුරුවත් බෙදුම්වාදී, ජාතිවාදී ගැටුමක් අපේක්ෂා කරන්නෙ නැහැ.
මෙම ප්රවණතාවට සිංහල ජනතාවගේ බහුතරයක් එකඟ නෑ විතරක් නෙමෙයි, මෙම ප්‍රවණතාව පරාද කළ යුතුයි කියලා කල්පනා කරනවා. මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ජාතිවාදී ප්‍රවණතාවක් පැන නගිනවා නම්, මුස්ලිම් ජන සමාජයේ බහුතරයක් එම ජාතිවාදී ප්රවණතාවට එකඟ නොවනවා පමණක් නොවෙයි, එය පරාජයට පත්කළ යුතුයි කියලා හිතනවා. දෙමළ ජාතිවාදය පැත්තෙන් ගත්තත් එහෙමයි. ඒ නිසා ජාතිවාදය, ආගම්වාදය ඉතා සුළුතර අතළොස්සක් තමන්ගේ විවිධ වුවමනා වෙනුවෙන් උපයෝගි කරගනිමින් තිබෙනවා.
මෙම අතළොස්ස මැඩපවත්වමින් ජාතික සමගියත්, සියලු ජනතාවගේ ආරක්ෂාවත් සහතික කිරීම රටේ වගකීමක්. දෙතුන් පැත්තේ සිටින අන්තවාදී සුළු පිරිසකගේ පටු අපේක්ෂා වෙනුවෙන් සිදුකරන මෙවැනි සිදුවීම්වලින් ලාංකේය දේශය ඇතිතරම් බැටකා තිබෙනවා. මේ මහ පොළව ඇතිතරම් ලේවලින් තෙත්වෙලා තිබෙනවා. ජනතාවගේ ඇස්වලින් ඇතිතරම් කඳුළු හෙළා තිබෙනවා. ඒ නිසා තවත් එවැනි ජාතිවාදී ගැටුමක් අවශ්‍යද කියලා අපි අහනවා. එය වර්ධනය වීමට නොදී මැඬපැවැත්වීම ආණ්ඩුවේ කාර්යභාරයක්.
සිදුවෙමින් තිබෙන සිදුවීම්වලට ආණ්ඩුව දක්වා තිබෙන නිද්‍රාශීලී ස්වභාවය මගින් පෙන්නුම් කරන්නේ මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ සලසන බවයි. පසුගිය කාලයේ අලුත්ගම වැනි ප්‍ර‘දේශවල පුපුරා ගියේ මෙවැනි සිදුවීම් බව කිසිවෙකුට අමතක කරන්න බැහැ.
පාර්ලිමේන්තුව හැටියට, රජය හැටියට සුවිශේෂී වගකීමක් තිබෙනවා, මතුවෙමින් පවතින තත්ත්වයන් පාලනය කිරීමට සුවිශේෂී මැදිහත් වීමක් කරන්න. කිසි කෙනෙක් කවර වර්ගයේ ආගමික හෝ ජාතිවාදී ගැටුමක් අපේක්ෂා කරන්නෑ. විවිධ බලවේගත් බලය ලබාගන්න, බලය ආරක්ෂා කරගන්න, රටේ ආර්ථික සමාජ ප්‍රශ්න අමතක කර වෙන ප්‍රශ්නවලට සමාජය ඇදදාන්න පුළුවන් ආකාරයේ ප්රවණතා මේ තුළ පැනනගින්න පුළුවන්.
විල්පත්තුව වන විනාශය සහ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. හැබැයි ආණ්ඩුව විසඳුම් ලබාදෙමින් එය සමථකරණයට ලක්කරන්න තිබුණා. ආණ්ඩුව විසඳිය යුතු ප්‍රශ්නයක් විසඳීමට විවිධ පාර්ශ්ව මැදිහත් වුණා. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවල ප්‍රශ්න මතුවෙලා තිබුණා. ඒ ස්ථාන ආරක්ෂා කරගන්න රජය මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය. එය ආණ්ඩුව කළ යුතු ප්‍රශ්න.
ඒවා කවුරු හෝ සංවිධාන, කවුරු හෝ පුරවැසියන් මැදිහත්ව විසඳිය යුතු ප්‍රශ්න නෙමෙයි. ජාතිවාදී ආගම්වාදී පදනම මත ආගමික ස්ථාන වෙළෙඳසැල් ඇතුළු කොපමණ සංඛ්‍යාවකට පහර දුන්නාද? කවුද අත්අඩංගුවට අරන් තිබෙන්නේ? කුමන ක්‍රියාමාර්ගද ගත්තේ? කාටද කියන්න පුළුවන් ආගමික ස්ථානයකට පහරදුන් පසුව වෙළෙඳසැලකට ගිනි තිබ්බ විට අත්අඩංගුවට ගත්තේ නෑ කියලා.
එයින් පෙන්නුම් කරන්නේ නීතියේ තිබෙන නිද්‍රාශීලීත්වය. ආණ්ඩුව මේ ප්රශ්නය කෙරෙහි දක්වන දායකත්වයේ ස්වභාවය ක්‍රියාකාරකම් ඉක්මවා යන ප්‍රචාරණයක් මතුව තිබෙනවා. එය නැවත නැවත රැල්ලක් ලෙස මතුවෙමින් තිබෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සහ රජය වගකියන්න ඕන
නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,
මේ පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වමින් පවතින නිසා පොලීසියෙන් දින කිහිපයක් ඉල්ලුවා මේ සඳහා පිළිතුරු සපයන්න අවශ්‍ය තොරතුරු ටික මට ලබාදෙන්න කියලා. මම දැන්වුවා දින කිහිපයක් ඇතුළතදී මෙම තත්ත්වය පාලනය වෙන්න ඕන, පරීක්ෂණ කටයුතු අවසන් වෙන්න ඕන, මට සභාව දැනුවත් කරන්න ඕන කියලා.
නිකවැරටියේ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳව අපි හැමෝටම කරදරයක් විදියට තිබෙනවා. මම ඒ පිළිබඳව කනගාටු වෙනවා. පොලීසිය සියලු පරීක්ෂණ අවසන් කර නැතිවුණත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න මම හිතුවා.
අනුර කුමාර දිසානායක මන්ත්රීතුමාත්, ඩග්ලස් දේවානන්ද මන්ත්රීතුමාත් අහන සියලු ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ඇතුළත් නොවෙන්න පුළුවන්. නමුත් පොදුවේ මෙම ප්රශ්නය පිළිබඳව කරුණු දක්වන්නම්. මෙම ප්රශ්නය නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාව පිළිබඳ ප්‍රශ්නයක්. නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සහ රජය වගකියන්න ඕන.
කරුණු අධ්‍යයනය කරලා, විශේලේෂණය කරලා නිසිවෙලාවට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ තත්ත්වය අද ඇතිවෙලා තිබෙනවා. ඒකට අලුත් ප්‍රතිකර්ම දියයුතු නෑ. පොලිස් රාජකාරී මහජන ආරක්ෂාව සහ රජය බලාපොරොත්තු වන ආකාරයෙන් නීතිමය රාමුව තුළ කාර්යක්ෂමව ඉටුකළ යුතුයි. එය තරයේ අදාළ නිලධාරීන්ට මතක් කරලා දීලා තියෙනවා. පොලීසිය නීතිය ක්රියාක්මක කිරීමේදී ජාති, කුලමල, පන්ති, ආගම්, පක්ෂ, පාට, භේද නැහැ.
පොලීසියට මේවා අදාළ වෙන්නෑ. අදාළ කරගත යුත්තෙත් නැහැ. සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ද්වේශ සහගත හැඟීම් උද්දීපනය වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන, අහිතකර සතුරු හැඟීම් වර්ධනය කරන ප්‍රකාශ සහ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන හෝ කිරීමට තැත්කරන අයවලුන්ට නීතිය පැහැදිලි ලෙසම ක්‍රියාත්මක කරනවා.
මේ රටේ සියලු ජාතීන් හා ආගම් අතර සමගිය ආරක්ෂා විය යුතුයි. අපේ රටේ දියුණුව, ජනතාවගේ ආර්ථික දියුණුවට එය අත්‍යවශ්‍යයි. අපි දුක්වින්දා ඇති. අන්තවාදය, ආගම්වාදයක් හෝ ජාතිවාදයක් බවට පත්වෙනවා. එය කෙලවර වෙන්නෙ ත්‍රස්තවාදයෙන්. අපි ඒකෙ දුක අත්විඳලා තිබෙනවා.
දැන් අපේ රට, ජනතාව ඔළුව උස්සන්න පටන් ගත්තා විතරයි. ඊයේ මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග අපට අපේ පැරණි වේදනාකාරී අතීතය මතක් වෙනවා. අපට එතැනට නැවත යන්න බැහැ. සැමදෙනාටම නිදහසේ කටයුතු කරන්න අවස්ථාව සලසන බවට මම සහතික වෙනවා.
ආගම්වාදී, අන්තවාදී කොටස්වලටත්, සමාජ විරෝධී, නීතිවිරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයන්ටත් මතක් කර දෙන්න කැමතියි පොලීසිය කියන්නෙ බලසම්පන්න ආයතනයක්. එය මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම කැපවීමක්ම සිදුකිරීමට සූදානමින් සිටින ආයතනයක්.
අනවසර හා ඒ ප්‍රදේශවල පදිංචි කණ්ඩායම් පිළිබඳ තීරණයක් ගැනීමටත් ඉන් අවස්ථාව ලැබෙනවා.
පරිසර හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,
විල්පත්තුව, මාවිල්ලුව සංරක්ෂක වනාන්තරය හැටියට ප්‍රකාශයට පත්කළ ප්‍රදේශ 2012 හා 2013 වර්ෂවල ජනාධිපති කාර්යසාධක බළකායක් විසින් අවශ්‍ය කමිටුවක් පත්කරලා නැවත පදිංචි කිරීම් හා අනෙකුත් කාරණාවලට හෙක්ටයාර් ගාණක් නිදහස් කර තිබුණා.
ඉන් අනතුරුව එම ප්‍රදේශවල අනවසර පදිංචි වීම්, වනාන්තරයට වන හානි ආදී සියලු කාරණා හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මෙම කොටස තවදුරටත් ආරක්ෂා කිරීමේ අරමුණෙන් 2017.03.02 දින ජනාධිපතිවරයා විසින් රක්ෂිත වනාන්තරයක් හැටියට ප්‍රකාශයට පත්කළා. ඉන් අනතුරුව තමයි අනවසර පදිංචි වුණු කණ්ඩායම් පිළිබඳ ගැටලුව මතුවුණේ, ඒ වෙනුවෙන් 2017. 05.16 වැනිදා ස්වාධීන කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ ප්‍රදේශයේ ඇතිවෙලා තිබෙන තත්ත්වය පිළිබඳව සොයා බලලා ඒ පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන්න කියලා ගැසට් කර රක්ෂිත වනාන්තරයක් හැටියට ප්‍රකාශයට පත්කිරීම තුළ විල්පත්තු වනාන්තරයට වන හානිය අවමකර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අනවසර හා ඒ ප්‍රදේශවල පදිංචි කණ්ඩායම් පිළිබඳ තීරණයක් ගැනීමටත් ඉන් අවස්ථාව ලැබෙනවා. ඒ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් යනවා.
මේ ස්වාධීන කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාගේ අතට ලැබුණු පසුව ඒ ගැටලුව තවදුරටත් පැනනගින එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා.
2009 වනතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයත් සමග ඒ ප්‍රදේශවල සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා ස්ථාන හානියට ලක්වුණා. 2013 සිට 2017 දක්වා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල කෙසේ විනාශ වීම් වුණාද කියලා මට පැවසිය හැකියි. 2013දී අම්පාරේ 17යි. ත්‍රිකුණාමලය 06යි.
මඩකලපුව 03යි, 2014දී අම්පාර 09, ත්‍රිකුණාමලය 13, මඩකලපුව 03 යි, 2015 දී අම්පාර 12යි, ත්‍රිකුණාමලය 03යි, මඩකලපුව දෙකයි, 2016දී අම්පාර 05යි, ත්‍රිකුණාමලය 06යි, මඩකලපුව 06යි, 2017 මැයි දක්වා අම්පාර 04යි, ත්‍රිකුණාමලය දෙකයි, මඩකලපුව තුනයි, මේ විදියට තමයි විනාශයන් කර තිබෙන්නෙ.
අද වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ වනජීවී හා වන සංරක්ෂණ කලාපවල සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කළ යුතු විද්‍යාත්මක ස්ථාන මොනවද කියලා සංගණනය කරලා ඒවා ආරක්ෂා කරන වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. එවැනි ස්ථාන 430ක් හැටියට අම්පාර දිස්ත්‍රික්කයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ 2017 පෙබරවාරි සංගණනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ කටයුතු කරන්නේ කණ්ඩායම් හතරක් එකවර යොදාගෙන. මේ වසර අවසන් වනවිට සංරක්ෂණයන් කළ යුතු සියලු ස්ථාන හඳුනාගෙන අවසන් කරනවා. එසේම නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක සංරක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
2013දී අම්පාරේ පුරාවිද්‍යා ස්ථාන 17ක් හානිකර තිබුණා. 2016 වනවිට එම හානිය 05 දක්වා අඩුවී තිබෙනවා. මෙය සම්පූර්ණයෙන් නිවැරදි කියලා අපි කියන්නෑ. හැබැයි සැහෙන දුරට ඒ ගැටලුව අවම කරන්න හැකියාව ලැබී තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානයක,
විල්පත්තුව පිළිබඳ ප්‍රශ්නෙ සහ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීමේ ප්‍රශ්නෙ මතුවුණාම අණ්ඩුවක් හැටියට වේගවත්ව ක්‍රියාකාරීත්වයෙන් මැදිහත් විය යුතුව තිබුණා. විල්පත්තුව ප්රශ්නය එහි ඉන්න ඇමතිවරයා සහ පරිසරවේදීන් අතර ප්‍රශ්නයක් බවට පත්විය යුතු නැහැ. ආණ්ඩුවක් ලෙස තමන්ගේ ස්ථාවරය හා ගතයුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කළ යුතුව තිබුණා.
නැගෙනහිර පුරාවිද්‍යා නටඹුන් විනාශ වීමේ ප්‍රශ්නේදී වෙන පාර්ශ්වයක් මැදිහත් වෙනවා වෙනුවට රජයක් විදියට ඒවා ආරක්ෂා කිරීම සහතිකය ලබාදිය යුතුව තිබුණා. පල්ලි හා වෙළෙඳ ස්ථානවලට පහරදීමේ තත්ත්වය වුණත් ආණ්ඩුවක් හැටියට මැදිහත් නොවෙනවානම්, අනිවාර්යයෙන්ම සිදුවන්නේ ජනතාව මැදිහත්වීමේ ප්රයත්නයයි.
ඒ නිසා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ආපු තත්ත්වය දැන් බියජනක තත්ත්වයක් හදලා තිබෙනවා. මම දන්නවා විශේෂයෙන් මුස්ලිම් ජනතාව යම් බයකින් ජීවත් වෙනවා අද මොකක් හරි සිදුවීමක් වේවි කියලා හිතලා. මෙම බියජනක තත්ත්වයෙන් ජනතාව මුදාගත යුතුව තිබෙනවා.
ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දාන්න
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්,
පාර්ලිමේන්තුව ඉදිරියේ නියෝජ්‍ය ඇමතිතුමා ලබාදුන්නු කරුණු දඩමීමා කරගෙන ජාතිවාදී ඇවිළිමේ ක්‍රියාදාමයක් කිහිපයක් සිදුවන බැවින් පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව වනජීවී, වන සංරක්ෂණ ප්‍රශ්න පිළිබඳව මෑතකදී අරන් තිබෙන තීරණය ගැන අපට විශාල ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. උතුරු නැගෙනහිර වෙසෙන ජනයා නියෝජනය කරන පක්ෂවලට එම ගැටලුව තිබෙනවා.
මම යෝජනා කරනවා ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දාන්න කියලා. එකේ සාකච්ඡා කරමු. ඒ ගැන පුළුල්ව සාකච්ඡා කරලා මේක සදාකාලයටම වෙනස් කරමු. නැත්තම් මේක හැමදාම ඔඩුදුවන ප්‍රශ්නයක් හැටියට ජනතාව අතරේ විශාල වැරදි හැඟීම් ඇතිවෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 400ක් විනාශ කරලා කියලා අහම්බෙන් එකතු කරපු කතා කියන එක පිළිබඳව අපට විශාල පිළිකුළක් තිබෙනවා.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,
ඊයේ රාත්‍රිය වෙද්දී කිසිම සිදුවීමක් වාර්තාවෙලා නෑ. ඒ නිසා තත්ත්වය පාලනය වී තිබෙනවා. පෙරේදා රෑ කහවත්ත සිදුවීම ගැන මම පැහැදිලි කරන්නම්. කවුරුත් ගැහුවේ නෑ. එතැන එක කඩයක පත්තු කරපු පහනක් නිසා ඒ කඩයේ ගින්නක් ඇතිවෙලා අල්ලපු මුස්ලිම් කඩයේ බිත්තියක තිබුණු දේවල්වලට හානිවුණා. ඒක මේකට අදාළ දෙයක් නෙවෙයි. මේ වගේ ඇති වුණත් හැම දෙයක්ම එකම ගිණුමට තමයි වැටෙන්නේ.
තව ඇල්පිටියේ කුකුළු මස් කඩයක් තිබුණා. එකේ සී.සී.ටී.වී දර්ශන බලනකොට පේන්නේ මේකේ හොරකමක් වෙලා තිබෙන බව, ඒ මනුස්සයා වහලෙන් බැහැලා හොරකම සිදුකරලා යන්න කලින් කඩේ තිබුණු ගිනිපෙට්ටියකින් කඩේම ගිනි තියලා තිබෙනවා. ඒ පුද්ගලයා මීට වසර දෙකකට කලින් කඩුගන්නාවේ කඩ දෙකක් මංකොල්ලකාලා අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවුණු දුර්වලතා නිසා මේ හැම දෙයක්ම එකම ගිණුමට දාන්න පුළුවන්. අපි පරීක්ෂණ කරගෙන යද්දි ඒවායේ සත්‍ය සිදුවීම මතුවෙනවා, හොරකම මොකද්ද, ඉබේවුණු දෙය මොකද්ද, ඇත්තටම ප්‍රචණ්ඩකාරී දෙය මොකක්ද කියලා.
පසුගිය කාලයේ හිටියේ වැඩබලන අය විතරයි. දැන් නැවත ප්‍රතිව්‍යූහගත කරන්න යන්න වෙලා
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
රවුෆ් හකීම් මහතා කිව්වා පුරවිද්‍යා ස්ථාන 430ක් විනාශ වෙලා කියලා. එහෙම එකක්වෙලා නෑ. පුරාවිද්‍යා ස්මාරක ස්ථාන 430ක් හඳුනාගෙන තිබීම තමයි වෙලා තිබෙන්නේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී කටයුතු කරපු ආකාරය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් 80%ක් නෑ. පසුගිය කාලයේ හිටියේ වැඩබලන අය විතරයි. දැන් නැවත ප්‍රතිව්‍යූහගත කරන්න යන්න වෙලා.
2013 අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව පුරාවිද්‍යා විනාශය බැලුවාම මේ වසර දෙකේ අඩුවී තිබෙනවා. දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
නිලධාරීන් සඳහා අවශ්‍ය අරමුදල් මාධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දෙන්න එකඟවෙලා තිබෙනවා. යුද්ධය අවසන් වී වසර ගණනක් ගියත් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගන්නා උත්සාහ ගෙන නෑ. දැනට සිද්ධි ඇතිවී තිබෙන තැන්වලට ප්‍රධාන හේතුව ඒවා හරියට මායිම් කරලා නෑ. නමුත් පුරාවිද්‍යා ස්ථාන ඉතාමත් ශක්තිමත්, එයට හසුවූ විට ඇපත් නෑ.
ගාලු උරුමය ගත්තොත් පසුගිය ආණ්ඩුව කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔක්කොම කරනකම් බලා සිටියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, පසුගිය රජයත් පුරාවිද්‍යා සම්බන්ධයෙන් අනුගමනය කළ පිලිවෙත ඒ නිසා අපි නව අධ්යක්ෂවරයෙක් පත්කර ගෙන පුරාවිද්‍යා 80%ක තනතුරු ටික විධිමත් ක්‍රමවේද ඔස්සේ බඳවා ගන්නවා.
කථානායක කරු ජයසූරිය,
තේරීම්කාරක සභාවක් සම්බන්ධව ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා අපි පියවර ගන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd