අලුත් අවුරුදු සැමරීමෙන් පසුව සියලුමදෙනා අද සිට සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් සිටිති.ආණ්ඩුවේ කටයුතුද එලෙසමය.අලුත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවේ ගමන්මග කෙසේවනු ඇතිද යන්න පිළිබඳවඅපි ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වන ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සමග කළ සාකච්ඡාව පහත පරිදිය.
Q ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් උත්ගතව ඇති තත්වය කෙබදුද?
කැබිනට් මණ්ඩලය තුළදී අපි දරපු ස්ථාවරත්වය තමයි තෙල් ටැංකි 15ක් අපේ කටයුතු සඳහා අවශ්‍යයි කියන එක. මේ සම්බන්ධව මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. බලශක්ති අර්බුදය පිළිබඳ පත්කරනු ලැබූ අනුකමිටුවේ සමසභාපතිවරුන් ලෙස මමත්, රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමාත් නැවත කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කළා. අගමැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අවධානයට ලක්කරලා, සාකච්ඡා කිරීමෙන් පසු අපිට එකඟ කරගන්න පුළුවන් වුණා.
ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලංකා රජයට තෙල් ටැංකි 10ක් පරිභෝජනය සඳහා වෙන්කර ගැනීමට. අගමැතිතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත යුතු රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් සම්බන්ධ වූ කැබිනට පත්‍රිකාවක්. මේ තෙල් ටැංකි සංකීර්ණය ගැන පමණක් නෙවෙයි. රජයන් දෙක සමග ඇති කරගත යුතු සම්බන්ධතාවන් ගැන.
අමාත්‍යවරයා හැටියට මගේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් මම කැබිනට් මණ්ඩලය තුළ පෙනීසිටියා. විෂයභාර අමාත්‍යවරයා හැටියට ඒ සම්බන්ධව කරුණු දක්වන්න මට අයිතියක් තියෙනවා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතා තරකරගැනීම සඳහා අපි කැපවෙලා ඉන්නවා. ඉන්දියානු අගමැතිතුමා ලංකාවට පැමිණීමට නියමිතව තියෙනවා. ඒ කාලයේදී ගිවිසුම අත්සන් කිරීමට තමයි මේ සාකච්ඡා පැවැත් වෙන්නෙ.
ඒ අනුව ඇතිවූ සාකච්ඡා තුළ මෙම තෙල් ටැංකි 10ක් නැවත මෙරට පරිභෝජනය සඳහා ඉන්දියානු රජයෙන් ලබාගැනීමටත්, ඉන්දියාව භාවිත කරන තෙල් ටැංකි 14 බදු ගිවිසුමකින් ඉන්දියාවට ලබාදීමටත්, ඉතිරි ටැංකි 73 ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම හිමිකාරිත්වය දරණ සමාගමක් විසින් සංවර්ධනය කිරීම සඳහා එකී සමහිමිකාරීත්ව දරණ සමාගමට බදු ගිවිසුමක් මගින් පවරා දීමටත් තමයි එකඟතාවට ඇවිත් තියෙන්නෙ.
Q ඛණිජ තෙල් අමාත්‍යාංශයේ වත්මන් තත්ත්වය කෙබඳුද?
මේ වසර දෙක තුළදී අමාත්‍යාංශය ඉතාම සංවිධානාත්මකව විනිවිද පෙනෙන අයුරින් කාර්යක්ෂමව ඉදිරියට ගෙනත් තිබෙනවා. ඛණිජතෙල් සංස්ථාව රුපියල් බිලියන 80ට ආසන්න ලාභයක් කරා මෙහෙයව්වා. ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය බිලියන 02ක ලාභයක් දක්වා රැගෙන ගියා.
ඒවගේම ප්රෙලිට්රෝ සමාගමත් ප්‍රථම වතාවට ආදායමක් උත්පාදනය කරමින් තෙල් අලෙවිකළා. ඛණිජතෙල් ලේඛම් කාර්යාලය මගින් සිදුකරන කටයුතු ඉතාම සාර්ථක මට්ටමට පැමිණ තිබෙනවා.
පසුගිය වසර 20ක පමණ කාලයක් ප්‍රමාදවී තිබුණු නළ පද්ධති එළීම ආරම්භ කළා. එය මේ වන විට බොහෝදුරට අවසන් වෙමින් පවතිනවා. භාවිතයට නොගෙන තිබුණු මුතුරාජවෙල සංකීර්ණය භාවිතයට ගැනීමට කටයුතු කළා.
මේ සියලුම දේ සමග අමාත්‍යාංශයක් ලෙස අපිට විශාල ලෙස ඉදිරියට ඒමට හැකියාව ලැබී තිබෙනවා.
Q බාල තෙල් ලංකාවට ගෙන්වා ඇති බවට වගේම ඒ හරහා සිදුවූ දුෂ්කරතාවන් පිළිබඳවත් කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය ගත් පියවර කෙබඳුද?
මම මේ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා බාල තෙල් ලංකාවට ගෙනැවිත් නැහැ. එය මම වගකීමෙන්ම කියනවා.
ප්‍රශ්න තිබෙන තෙල් නැව් හරවා යවන්න ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබෙනවා.
ඒ වගේම තෙල් පිරිසුදු කිරීමේ ක්‍රමවේදය තවත් කාර්යක්ෂම කරලා ඉදිරියට ගෙනයන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
පසුගිය කාල සීමාව තුළ කිසි දවසක තෙල් හිඟයක් ඇතිවුණේ නැහැ.විශේෂයෙන්ම විදුලි අර්බුදය තුළ නියං කාලයට විදුලිය සපයන්න හැකිවුණේ නැහැ.විදුලිය සපයන්න නොහැකි වූයේ විදුලිබල මණ්ඩලයේ ගැටලුවක් නිසා නොවෙයි අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය ලබා නොදීම නිසා. නමුත් මෙවර කිසිම ආකාරයක බාධාවකින් තොරව තෙල් සපයපු නිසා දවසක්වත් විදුලිය කප්පාදු නොකර විදුලිය අඛණ්ඩව ලබාදීමට හැකිවුණා.එයත් අප අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාවයට එක් සාධකයක්.
Q ලංකාවේ මේ වන විට ඛණිජ තෙල් භාවිතය ඉහළ ගොස් තිබෙන ආකාරය කෙබඳුද?
ලංකාවේ තෙල් භාවිතය අවම 2.5%ක වැඩිවීමක් වසරින් වසර සිදුවෙනවා. ඒ සඳහා ඛණිජ තෙල් වෙනුවට බලශක්ති මිශ්‍රණයට ස්වාභාවික වායුත් එකතු කරන්න රජය තීරණය කළා. ඒ නිසාම බලශක්ති මිශ්‍රණයට අයත් ස්වාභාවික වායු ප්‍රථමයෙන්ම රටට ගෙන ඒමට අපි උත්සාහ කරනවා.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර තිබෙනවා.
ඒ විතරක් නොවෙයි අපේ රට තුළ ස්වාභාවික වායු සොයා ගනිමින් ඒවා භාවිත කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.
Q ලංකවේ ඛණිජ තෙල් කැණීම් සම්බන්ධ වර්තමාන තත්ත්වය කෙබඳුද?
ඒ සම්බන්ධව M2පරිශ්‍රය සඳහා තුන්වන වෙන්දේසිය සැප්තැම්බර් මාසයේදී සිදුකරනවා. ඊට අමතරව M4,M5,M6පරිශ්‍ර සඳහා දෙසැම්බර් මාසය වන විට වෙන්දේසිය සූදානම් කරනවා.
මේ කටයුතු සියල්ල ඉතා ඉක්මනින් අවසන් කරගතහොත් ලංකාව තුළ ස්වාභාවික වායු නිෂ්පාදනය කඩිනම් කිරීමට හැකිවෙයි.
Q හෙජින් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ අතරමග නැවතිලා නේද?
ඒ සම්බන්ධව පරීක්ෂණය සිදුකර එයට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.
එතැනින් එහාට අපිට පරීක්ෂණ කරන්න බැහැ. පොලීසිය විසින් කරන පරීක්ෂණවලට අපි සහයෝගය ලබා දී තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබාදී තිබෙනවා.
තවත් සහයෝගය අවශ්‍ය නම් එය ලබාදෙන්න අපි සූදානම්.
Q අලුත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවෙන් ඇමති මාරුවක් සිදුවේවිද?
ඒ ආකාරයට කට කතා පැතිරෙනවා. නමුත් අපිට භාරදුන් අමාත්‍යාංශයේ කටයුතු සහ අන් දේශපාලන කටයුතු වගකීමෙන් කිරීම සඳහා තමයි අපි අපේ වෙලාව යොදවන්නේ. ඒ නිසා ඔබ කියන මේ කාරණ ගැන සොයා බලන්න වෙලාවක් මට නැහැ.
ඒ වගේම තමයි මේ එක එක්කෙනා තැන තැන කියනවා වගේ ආණ්ඩුවේ අර්බුදයක් නැහැ.අද ප්‍රජාතන්ත්‍රවාදීව අපේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා. පැහැදිලිවම මතවාද දෙකක් තිබෙන පක්ෂ දෙකක්එකතු වෙලයි ආණ්ඩුව ගෙන යන්නේ.
අපේ තිබෙන අදහස් ප්‍රකාශ කරන්න, ඒ පිළිබදව වාද විවාද කරන්න අවස්ථාව උපරිමයෙන් අපිට තිබෙනවා.
Q නව ව්‍යවස්ථාව තවදුරටත් ප්‍රමාද වෙනවා නේද?
අපේ පක්ෂයේ මතය පැහැදිලිවම ප්‍රකාශකර තිබෙනවා.
රටේ ඒකීයභාවය, බුදුදහම ප්‍රමුඛතාවය ආරක්ෂාවන ආකාරයට අනිකුත් ජාතීන්ටද අභිමානවත්ව රටේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන අයුරින් කටයුතු කිරීම, රටතුළ ස්ථාවරභාවයටඅභියෝගයක් නොවන ආකාරයට වන ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා.
මේ සම්බන්ධවඅපේ අදහස් අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තරව සාකච්ඡා කරනවා.
Q එසේනම් ජනමත විචාරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ ඇයි?
මේ මොහොතේ ජනමත විචාරණයක් පවත්වනවානම් එය පැවැත්විය යුත්තේ ව්‍යවස්ථාව පිළිබඳ ජනතාවගේ පැහැදිලි අවබෝධයක් ඇතුවයි. අපේ රටේ ජනතාවට මුලින්ම අවබෝධයක් ලබාදිය යුතුයි ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව.
ඒ විදිහට අවබෝධය ඇතිකරන නම් විශ්වාසය තහවුරු කළ යුතුයි. විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා අපි ජනතාවට කිව්වා 19 වන සංශෝධනයෙන් පසුව 20 වන සංශෝධනය ලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජනමත විචාරයක් අවශ්‍ය නැහැ. ඒ වගේම බලය බෙදීම සම්බන්ධව ජනමත විචාරණයකටනොයා සිදුකළහැකි කටයුතු සිදුකිරීම තුළින් තමයි ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ. ඒ නිසා ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම මුලින්ම කළ යුතුයි කියන එක තමයි අපේ මතය.
ඒ මොකද හැමදේම රැඳී තිබෙන්නේ විශ්වාසය මත.උතුරේ ජනතාවගේ විශ්වාසය පමණක් හෝ දකුණේ ජනතාවගේ විශ්වාසය පමණක් දිනාගෙන මෙරට ඉදිරියට ගෙනයන්න අමාරුයි.
ඒ සඳහා මේ කරන සියලු වෙනස්කම් ඒකමතිකව කළ යුතුයි. එහෙම නැති වුණොත් ඒවා තේරුමක් නැතිවෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් හඳුනාගෙන කටයුතු කළ යුතුයි කියන මතයේ තමයි අපි සිටින්නේ.
පළමුව ඒ දේවල් සිදුකර දෙවැනි පියවර ලෙස රටේ ජනතාව එකඟවන පියවරකට යාම වරදක් නොවේ.
රටේ බහුතර ජනතාව එකතුවන කාරණා පමණයි අපි ක්‍රියාත්මක කළ යුත්තේ.
ජනතාව තමාගේ දේ පිළිබඳ වැරදි වැටහීමක් තිබෙනවා නම් ඒ වැටහීම නිවැරදි කිරීමට කටයුතු කිරීම රජයේ සහ දේශපාලන පක්ෂවල වගකීම.
Q ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයට ලංකා නිදහස් පක්ෂය එකඟ වනවාද?
ජනාධිපතිවරයා තනිව තීන්දු ගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බොහොම ප්රජාතන්ත්රවාදී වාද විවාද කිරීමට අයිතිය තිබෙන පක්ෂයක්.
ජනාධිපතිවරයා ඒ පක්ෂයේ නායකයා හැටියට එම අයිතිය තහවුරු කර තිබෙන්නේ. ඒ නිසා අපි තීන්දුවක් ගන්නේ පක්ෂයක් හැටියට.
Q අවසාන වශයෙන් ජනතාවට පවසන්නේ කුමක්ද?
අපි මේ ගතකරන්නේ රටට අභියෝගාත්මක අවස්ථාවක්. ඒ වගේම ජනතාව කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබාදී නැහැ. ලෝකයේ ආර්ථික අර්බුදයක් තිබෙන බොහෝ රටවල් ඒ අර්බුදයට මැදිහත් වී තිබෙනවා.
අපේ රටත් ණය අර්බුදයක පැටලී සිටින බව සියලුදෙනා පිළිගත යුතුයි. ඒ අර්බුදයෙන්ගොඩ ඒමට එක් පිරිසකට විතරක් පවරලා හෝ තව පිරිසකට පමණක් මඩගහලා කටයුතු කරල බැහැ. අපි හැමෝම යථාර්ථවාදී වෙලා සියලුදෙනා සමග එකතුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.