ජී 7 සමුළුවේ වත්මන් සභාපති ජපන් අගමැති ෂින්සෝ අබේ මහතාගෙන් ලද විශේෂ ආරාධනයක් මත සිදුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයේදී මෙරටට වැදගත් වන සංවර්ධන ප්රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිව තිබේ.ලෝක ආර්ථික බලවතුන්ගේ සමුළුව ලෙස සැලකෙන ජී 7 රාජ්‍ය කණ්ඩායමේ 42 වැනි සමුළුව පසුගිය 26,27 දිනවල ජපානයේ ඉසේ-ශිමා නගරයේදී පැවැති අතර, ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු එම සමුළුවට එක් වීම සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට සහභාගී විය.
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ප්‍රංශ ජනාධිපති ෆ්රැන්කොයිස් හොලන්ඩ්, ජපන් අගමැති ෂින්සෝ අබේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඇතුළු ජී 7 කණ්ඩායමේ නිත්‍ය සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා විසින් මෙම සමුළුවට ආරධිතයෙකු ලෙස එක් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඇමෙරිකානු ජනාධිපති, කැනඩා අගමැති, බ්‍රිතාන්‍ය අගමැති, ජර්මන් චාන්සලර්වරිය ඇතුළු රාජ්‍ය නායකයෝ මෙරට ජනපතිවරයාට සුභපැතුම් එක්කළහ.
එහිදී එම රාජ්‍ය නායකයන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවයි.
ජී 7 සමුළුවට සමගාමීව ඊට සහභාගි වූ රාජ්‍ය නායකයන් සමග මෙන්ම ජී 7 සමගාමී සමුළුවට සහභාගී වූ රාජ්‍ය නියෝජිතයන් රැසක් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට එහිදී මෙරට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. ඉතා අඩු පොළී අනුපාතයක් යටතේ දීර්ඝකාලීන සහන ගෙවීමේ ක්‍රමයට ශ්‍රී ලංකාවට යෙන් බිලියන 38 ක සංවර්ධන ණය ආධාරයක් ලබාදීමට එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළකිරීම විශේෂත්වයක් විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය පහසුකම් සැපයීම පිළිබඳව ජපානය ධනාත්මකව සලකා බලන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පුළුල් සබඳතාවක් පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටත් ආර්ථික, සංවර්ධන, සමුද්‍රිත ආරක්ෂාව, ජාතික සංහිදියාව හා සාමය ගොඩනැගීම යන ක්ෂේත්රවල ස්ථිර සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී නායකයන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.
කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජපානයේ සහයෝගය සජීවී ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බව මෙහිදී ප්‍රකාශ කළ ජපන් අග්‍රාමාත්‍යවරයා, කොළඹ උතුරු වරායේ සංවර්ධනයට මෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට අවශ්‍ය විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමට සමීක්ෂණ කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳවද මෙහිදී නායකයන්ගේ අවධානය යොමුකෙරුණු අතර, ඓතිහාසික මහනුවර ප්‍රධාන නාගරික සංවර්ධන සැලැස්මට සහාය දැක්වීමට ජපාන අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකළේය. ඒ සඳහා අධ්‍යයන කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර වියට්නාම අග්‍රාමාත්‍ය Ngyuyn Xuan phuk මහතාද ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීය. ශ්‍රී ලංකාව සමග කෘෂිකර්ම, කර්මාන්ත, වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු ක්ෂේත්රවල පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට අතර සමීප සබඳතා ගොඩනගාගැනීමට වියට්නාමය කැමැත්තෙන් සිටින බව එහිදී එරට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති Joko widodo මැතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් විය.
ජපන් විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති හිරෝයුකි ඉෂිගේ මහතා සහ ඔනොමිචි ඩොක්යාර්ඩ් ආයතනයේ සභාපති ටකාෂි නකාබේ යන මහත්වරුද ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි නගෝයා නගරයේ හෝටලය වෙත පැමිණ ජනාධිපතිවරයා හමුවූහ.ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වැඩි වශයෙන් ආයෝජකයන් යොමුකරන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට එකඟතාවය පළකළ ජපන් විදේශ වෙළඳ සංවිධානයේ සභාපතිවරයා, තෙල් සහ ගෑස් කර්මාන්තය සඳහාත් පොල් කර්මාන්තය සහ වෙනත් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
ඔලුවිල් සහ ගාල්ල වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සහාය ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ ඔනොමිචි ඩොක්යාර්ඩ් ආයතනයේ සභාපති ටකාෂි නකාබේ මහතා ආර්ථික සහ වෙළෙඳ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකාව සමග සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද පැවසීය.
මේ අතර ජපානයේ ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයෝද ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණ ජනාධිපතිවරයා හමුවූහ.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ තමන් බොහෝ උනන්දුවෙන් සිටින බව මෙහිදී ප්‍රකාශ කළ එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළකළ අතර, අධිවේගී මාර්ග ඉදිකිරීම් ක්ෂේත්රයේ මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ පැයට කිලෝමීටර් 500 ක් වේගයෙන් ගමන් කරන මොනොරේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්ද කැමැත්ත පළකළහ.
මීට අමතරව අයිචි ප්‍රාන්තයේ ආණ්ඩුකාර Hidaaki Oonurai මහතාද , බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මියද ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.