අප ලබා ඇති නිදහස සහ අප අත්විඳින උරුමය පිළිබඳ කාලීන සංවාද නිරතුරු ඇසේ. මේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය විජේතුංග රණසිංහ මහතා දක්වන අදහස් පෙළගැසීමකි.
'ශ්‍රී ලංකාව සැමරුවේ තවත් නිදහස් දිනයක්ද^ යනුවෙන් අසන පැනයට දිය යුතු පිළිතුර කුමක්ද? නිදහසට වඩා වහල්භාවයටත්, ස්වාධීනත්වයට වඩා පරාධීනත්වයටත් සාමයට වඩා ආක්රමණයටත් ඇලුම් කරන මානසිකත්වයක් ඇති ජනතාවක් වෙනුවෙන් රටක අප සිටින්නේ නම් නිදහස සමරන්නේද?
යටත් විජිතභාවය
1948 පෙබරවාරි 04 වැනිදා එංගලන්ත අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට ලබාදෙන ලද්දේ නිදහසක් නොවේ. රැජිනගේ නියෝජිතයෙකු ආණ්ඩුකාරවරයෙකු වශයෙන් තබා එංගලන්තයේ ප්රිවිකවුන්සිලයේ අවසාන තීන්දුවට සිර කළ 29(2) වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍ය නිෂ්ක්‍රීය විය. එය රැජිනට වගකියන රාජ්‍ය තත්ත්වයක් සහිතව අභ්‍යන්තර පාලන ක්රමයකි. ඒ යටතේ පූර්ණ වශයෙන් ලද නිදහස් දිනයක් සැමරීමට අපට අයිතියක් නැත.
අහිමිව ගිය උරුමය
1818 වෙල්ලස්ස ගිනි තබා, රටේ ජනතාව ඝාතනය කර පරම්පරා ගණනාවක නිෂ්පාදන ශක්තිය සහ ජවය විනාශ කළ අයුරු ඉතිහාසය දක්වයි. ජාතික දේශපාලකයන්ට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේලාට වෙඩි තබා ඝාතනය කළ අතීතය ජනතාව නොදන්නවා නොවේ. එසේම ජාතියේ විරුවන්ගේ රුහිරයෙන් රට තෙත් කළ සුදු ජාතිකයන් 1948 මෙරටින් පිටත්ව ගියේ කිසිදු දෙගිඩියාවකින් තොරවය. ඉන්දියවේ අයිතිය අහිමි වුවත් තව බොහෝ කාලයක් අපට ඇතැයි යන පහන් සිතිවිල්ල ඔවුන්ට නොතිබුණා නොවේ.
ඒ අන් කරුණක් නිසා නොව එදා විදේශිකයන්ට වඩා හොඳින් පරගැති සංස්කෘතියක් අධිරාජ්‍යවාදී ගැතිකමත් සහිතව බටහිර වන්දනාවේ යන නඩයක් පවත්වාගෙන යෑමට ඒ වන විට මෙරට තුළ කටයුතු කර තිබූ හෙයිනි.
අහිමි කළ ආර්ථිකය
තේ, පොල්, රබර් මත පදනම් වූ වැවිලි ආර්ථිකය ලෝක වෙළෙඳ පොළ තුළ අල්ලේ නැටවිය හැකි එකක් බවට පත්විය. එයින් බටහිරට අවශ්‍ය පරිදි නැටවිය හැකි රූකඩ ආර්ථිකයක් නිර්මාණය විය. රටේ කෘෂි සංස්කෘතිය විනාශ කර පිටරටට දත නියවන සමාජයක් බිහි කරවීම තුළින් අදත් අප පිටරටින් ආහාර එන තෙක් බලා සිටින තැනට ලාංකිකයන් අසරණ කළේය.
ගැතිකම
ලබන සතියේ හාල් නැවක් නැතහොත් ලුණු නැවක් හෝ මාළු තොග මෙරටට පැමිණෙනු ඇතැයි පාලකයන් පවසන්නේ කිසිදු විලිලජ්ජාවකින් තොරව බව රහසක් නොවේ. අපි ආර්ථික ස්වාධීනත්වයක් ලැබුවා යැයි අඬහැරපාන රටේ හැමදේම විදෙස් රටවලින් පැමිණෙන තෙක් බලා සිටින්නේ නම් අපි නිදහස තුළ ලබා ඇති ආර්ථික නිදහස කුමක්ද යන්න ජනතාව මෙතෙක් තේරුම් ගෙන නැත. ජාතික දේපොළ විකුණාගෙන කෑම රටක ස්වාධීන ආර්ථිකය නොවේ.
වැව් බැඳි රටක හෝ දසඅත ගලන ගංගා ඇති රටක නැතිනම් සවස එළියට විසි කළ ලීදඬු කැබැල්ල උදේ දලු ලන රටක නැතිනම් හිරු එළියෙන් නැහැවෙන රටකි මේ. කෘෂිකර්මාන්තයට මැති ඇමතිවරුන් දහයක්, දොළහක් ඉන්න රටක පිටරටින් ගෙනැවිත් ආහාර ගැනීමේ තැනට පත්ව ඇත්තේ ලබාගත් නිදහසෙන් වසර හැත්තෑවක් ගතවීද, අදටත් රට ජාතිය වෙනුවෙන් පිළිගත් සැලැස්මක් නැති හෙයිනි. රට ආර්ථික වශයෙන් සංවර්ධනය වී නැත.
අත් නොහළ වහල්කම
නිදහස යනු මෙතෙක් සැබෑ නොවූ, එහෙත් එදා එංගලන්ත සුදු අධිරාජ්‍යයා විසින් ලණුව එරට තබා ශ්‍රී ලාංකිකයන්ට කොඩි කණුව පමණක් මෙරට හිටුවා දුන් නිදහසකි. නිදහසේ තවත් සැමරුමක් පවත්වන්නේ යැයි අප පවසන විට මා හිතන පරිදි අපට දැනෙන්නේ ලජ්ජාවකටත් වැඩි වසම වස ලජ්ජාවකි.
ඒ ඇයි? නිදහස දිනාගත් පසු අප පොදු සම්පත් රැක ගනිමින්, ජාතිය සංවර්ධය කරමින්, පුද්ගල අනන්‍යතාව තහවුරු කළ යුතු වුවද, එය මේ වන විට සිදුවන්නේද හෝ සිදුවී ද යන ප්රශ්නය අප ඉදිරියේ ඇත.
රක්ෂිත වන විනාශය, රජයේ ඉඩම් මංකොල්ලය, පොදු දේපොළ අවභාවිතය වැනි ජාතිය වැනසෙන කරුණු තුළ රට විපතට පත්වන විටෙක අප ලබා ගත් නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ඇත.
අත්නොහළ ගැතිකම
ආඬින් හත්දෙනා මෙන් සරුව පිත්තල කතා සංවර්ධන හැළියට දමා වතුර පමණක් හැඳි ගාන්නා සේ හැඳිගාමින් සිටින යුගයක අපි සිටිමු. එසේ නම්, ඒ කරන්නේ ජාතිය රැවටීමකි. සංවර්ධනය වන රටක ජනතාව සතු පොදු දේපොළ විදේශිකයන්ට පවරා රට සංවර්ධනය කරන්නේ කෙසේද යන ප්රශ්නය ඉගැන්විය යුත්තේද පාලකයෝමය. එහිදී සිදුවන්නේ රට ඉදිරියට යෑම වෙනුවට පසුපසට යෑමකි.
ගිලිහී යන අපේකම තුළ සමීප කර ගන්නා බාහිර දායාද
උදාහරණයක් ලෙස ලංකාව ඉන්දියාව තරමටම දැයි හෝ මේ ඉන්දියාව දැයි යනුවෙන් සිතෙන තැනට කලාව සහ ටෙලිනාට්‍ය නිර්මාණයද විදෙස් ඇබ්බැහි වී ඇත. ටෙලිනාට්‍යයක් වාහනයක් පමණක් නොවේ. ඇස්ප්‍රින් පෙත්තක් හෝ මෙරට තුළ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි තරමට අප පරාධීන ජාතියක් දැයි සිතෙන තරමට ඒ ක්ෂේත්රද විනාශ වී අවසානය.
ළදරුවන් දරුවන් කරමින්, දරුවන් ඉලංදාරීන් බවට පත්කරමින්, ඒ සඳහා පහසුකම් සපයමින් ටැබ් පරිගණක පාසල් මට්ටමෙන් බෙදාදී පාසල් ගේට්ටු අසල කුඩු ජාවාරම කරන තැනට නිදහසක් නිර්මාණය වෙමින් පවතී. මේ තුළ ජනතාව අසන්නේ නිදහස එසේම ක්‍රියාත්මක වන්නේදැයි පැනයකි.
අසහනය
උතුරේත්, දකුණේත් තරුණ අසහනයට පිළියම ලෙස වෙඩි උණ්ඩයත්, අධිපීඩන ජල විදිනයත්, බැටන් පොල්ලත්, බන්ධනාගාරයත්, පොලිස් මර්දනයත් එල්ල විය. වසර තිස්හතළිස් ගණනාවක් ගතවී හෝ ඒවා නිවැරදි කළ අයුරු අප දුටුවේ නැත. ඒ අනුව භීෂණයෙන් ඇලී ගිය රටක දරුවන්ගේ කට මිරිකා ගෙන කැලෑ වැද සිටි යුගයක පැවැත්ම අමතක කළ නොහැකිය. එවැනි දේ ලිවීමට කාලය ඉඩ වෙන් නොකළද, ජනතාව මෙවැනි සිදුවීම් නොදන්නවා නොවේ.
සුද්දාගේ වෙස්ට්මිනිස්ටර් සහතිකය
මේ දේ මා කියන්නේ කෙතරම් අසාර්ථක වුවද, අපට නොගැළපුණද, අපේ නොවුණද, සුද්දා දුන් දේ එපා යැයි නොකියා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පිළිගත් නිසා සිදු වූ විපත් නිසා බව කිව යුතුය.
එය සැබැවින්ම නිදහස් ව්‍යවස්ථාවක් නොවේ. එයට නැවත කිව යුත්තේ ඩොමීනියන් තත්ත්වය යනුවෙනි. රාජ්‍ය සේවයද රැජිනගේ සේවයක් විය. ලංකාවේ නායකයන් සිංහාරූඪ කරනු ලැබුවේද මහ රැජින විසිනි. පාර්ලිමේන්තුවේ ඇයගේ අසුන රාජාසනය විය. ඇයගේ කතාව රාජාසන කතාව විය. නිදහස ලැබුණා යැයි කියන රටේ සියල්ල ක්‍රියාත්මක වූයේ රැජිනගේ නාමයෙනි.
මුද්දරයේ රූපයත් රැජිනගේය. කුඩ මිටේ ලාංඡනය මෙන්ම නිවස තුළ එල්ලා තිබුණේද රැජිනගේ රූපයකි. ත්‍රිකුණාමලය වරාය, කටුනායක ගුවන්තොට ගුවනෙහි ලෙළ දුන්නේත් බ්‍රිතාන්‍ය කිරීටයේ ධජය විය. එසේ බැලූ විට අප නිදහස ලැබුවා යැයි සමරන්නේ කිනම් ඔල්මාදකාරයන් දැයි සිතේ. අදටත් මෙරට නිදහස සැමරීම එංගලන්තයේ රජ පවුල නොමැතිව කළ නොහැකි තරම්ය.
නිදහසේ පවතින දූෂණය
යහපාලනය ආවේ හොරු අල්ලන්න යැයි පැවසුවද, කළේ අලි හොරකම් යැයි චෝදනාවකි. ඇතැම් ඇමතිවරුන්ට ලූනු බිකක් වූ ඒ සොරකම අංජනම් දේවියටවත් අල්ලා ගැනීමට නොහැකි වූ සුළුපටු එකක් නොවන බව ජනාධිපතිවරයා දුටුවේය. ජනාධිපති කොමිසමක් පත්කළේද එහෙයිනි. දැන් කොමිෂන් සභා වාර්තාවේ පිටු අඩු යැයි තවත් කතාවකි.
අදටත් අපට නොදැනෙන නිදහස පවා අදියරයෙන් අදියර ලබාගත් දෙයකි. සේනානායකලාට, කොතලාවලාට නොදැනුණු ඒ නිදහස යම් තරමකින් හෝ දැනුණේ බණ්ඩාරනායක අගමැතිවරයාට බව පෙනේ. කටුනායක සහ ත්‍රිකුණාමලයේ ලෙළ දුන් කුරුස කොඩිය වෙනුවට සිංහ කොඩිය එසවූයේ දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාය.
මෙරට පාර්ලිමේන්තුව වෙනුවෙන් අපට අවශ්‍ය පරිදි නීති සම්පාදනය කරගත නොහැකි විය. හතළිස් අටේ ව්‍යවස්ථාවේ 29(2) ව්‍යවස්ථාවෙන් එය අවුරා තිබුණු බවද සිහිපත් කළ යුතුය. ඒ මගින් නීති සකස් කළ යුතුව තිබිණි.
ලැබූ නිදහස සහ අපේ පසුබෑම
අපේ රටත් සමග එදා නිදහස ලබාගත් රටවල් සංවර්ධන මාවතේ යොදුන් ගණනාවක් ඉදිරියට ගොස් සිටියදී, අපි තවමත් අපේ පාලකයන් ලෙස හොරුන්, දූෂිතයන් පත්කර ගත් ජාතියක් වෙමු. අල්ලසට, දූෂණයට එරෙහි වන අපි එසේ පවසමින් ඔවුන්ට වන්දනාවේ යෑමට තරම් පරාධීනව සිටිමු. මිනීමරු යුද්ධය විසින් අප ගිලගත් බිහිසුණු මාරාන්තික උවදුරක් තුළ නිදහස ගෙවී ගතවූ වසර හතළිහෙන් වැඩි කාලයක් අපි ගත කළෙමු. එය නිදහසෙන් පසු මෙරට පත්වූ බිහිසුණු ඛේදවාචකය විය.
යළිත් අපේ යටගියාවට
එදා ගැමියන් යැයි විදේශිකයන්ට අවලාදයෙන් ගැරහූ පුරාණයේ ජීවත් වූ %බුලතා^ මා හට සිහිපත් වෙයි. බුලතා සොරබොර වැව තනිවම ඉදි කරන විට ඔහුගේ බිරිඳ වැවට යන පාර තැනුවේය. ඒ මතු පරපුරේ යහපත පිණිසය. තමන්ගේ ඵල ප්‍රයෝජනය සඳහා නොවේ. එවැනි දේ ඉදිකර ලොවට ඇසෙන්නට මොර දුන්නේද නැත. එයින් ගසා කෑවේද නැත. කොන්ත්‍රාත්කරුවන් බිහි වූයේද නැත. ආර්ථිකය වළපල්ලට යවා දේශපාලකයන්ගෙන් රට ස්වයංපෝෂණය වන යුගයක රටවැසියාට කවර නිදහසක්ද? තාක්ෂණය සොයා විදේශිකයා ගියේද නැත. අපට උරුම වූ අපේකමත්, අපේ අරුමයත්, අපේ නිදහසත් පිළිබඳ තවත් කිනම් කතාද?
යථාර්ථය දැකීම
එවැනි රටක ජනතාවට භීෂණයෙන් ඇවිළී ගිය තම රට මුදා ගැනීමේ දිනය ලෙස කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් දිනය වන 2009 මැයි 17 වැනිදා නිදහස් දිනය ලෙස නම් කිරීම සුදුසු යැයිද මට සිතේ. එසේම කටුනායක ගුවනේ සහ ත්‍රිකුණාමලය වරායේ එස වූ බ්‍රිතාන්‍ය කොඩි බණ්ඩාරනායක අගමැතිවරයා විසින් ඉවත් කළ දිනය අපේ නිදහස වාඩත් සාක්ෂාත් කළ අවස්ථා ලෙසද මම දකිමි.