ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නැවතත් ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටින තත්ත්වයක් උදා වී තිබේ. ඒ සඳහා පොලීසියේ මහ පුටුවේ සිට පොලිස් පොඩ්ඩන් තෙක්ම පසුගිය කාලයේ ඇති කළ ආන්දෝලනාත්මක සිදුවීම් හේතු සාධක බවට පත්විය. අවම බලය යෙදීම අවම කිරීමේ සිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පහරදීම් හා අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයෑම දක්වා තත්ත්වය දරුණු වී තිබෙන්නේ පොලීසියට සිය සැබෑ කාර්යභාරය අමතක වී තිබෙන නිසා දැයි ජනතාව පොලීසියෙන් ප්‍රශ්න කරති. මේ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නේරංජි විජේවර්ධන මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
'ඕනෑම රටක පොලීසියකින් අපේක්ෂා කරන අරමුණ වෙන්නේ සිවිල් ජන සමාජයේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින්, ඒ සමාජයේ ජීවත්වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම. නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න නම් අනිවාර්යයෙන් ඒ සමාජය තුළ සිදුවන අපරාධවල පාලනයක් සහ නිවාරණයක් තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා පොලීසිය බිහිවුණේ යම්කිසි ආකාරයකින් සමාජයක තිබෙන සංවිධානාත්මක බව වඩාත් විධිමත් ලෙස ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව මතුවීමත් සමගයි. ඒ ආකාරයෙන් සමාජයක් සංවිධානාත්මකව තිබුණොත් තමයි ජනතාවට තම තමන්ගේ දෛනික කටයුතු නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්නේ සහ සමාජයක් ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබෙන්නේ.
අපේ සමාජයේ කාලීන අවශ්‍යතා මත පොලීසියේ මුහුණුවරත් විවිධ කාලවලදී විවිධ වෙනස්කම්වලට භාජනය වුණු බව අපි දන්නවා. උදාහරණයක් විදියට යුද්ධය පැවැති කාලවකවානුවේදී පොලීසියට පැවරුණු ප්‍රධානතම වගකීම වුණේ යුද්ධයෙන් රට බේරාගැනීමට සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි. යහපත් පොලිස් මහජන සබඳතා කියන කාරණය නිරන්තරයෙන්ම පොලිස් සේවයෙන් ඉස්මතු විය යුතු ගුණාංගයක්. නමුත් යුද්ධය පැවැති සමයේදී පොලිස් නිලධාරීන්ට පොලිස් මහජන සබඳතා ගොඩනැගීමට වඩා විශාල අභියෝගාත්මක කරුණක් වුණේ ත්රස්තවාදයට ප්‍රතික්‍රියා දැක්වීමේ කර්තව්‍යය.
ඒ කාලසීමාව තුළදී පොලීසියට නව නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියේ සිට සෑම අංගයක්ම හැඩගැසුණේ යුද්ධය පදනම් කරගනිමින්. ඊට පෙර පොලිස් සේවයට නවකයන් බඳවා ගැනීමේදී පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම ආදිය වගේම ඔවුගේ පරම්පරාවේ තොරතුරු පවා සොයා බැලුණා. ඒ වගේම බඳවාගනු ලබන නිලධාරීන් විශාල රැකියා වගවීමක් සඳහා යොමුකළා. ඒ සමග මානව සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබඳවත් විධිමත් නිසි පුහුණුවකටද ලක් කළා. නමුත් යුද්ධය පැවති කාලසීමාවේදී ඒ තත්ත්වයන් සලකා බැලීමක් සිදුවුණේ නැහැ. එතනදි අධ්‍යාපන සුදුසුකම් පමණක් යම් මට්ටමකට සම්පූර්ණ කළ පිරිස්වලට පොලිස් සේවය වැනි භාරදූර සේවාවකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම මුල සිටම ඔවුගේ පුහුණුව තිබුණේ සංග්රාම මැඬලීමත් සම්බන්ධ කරගනිමින් ඔවුන් නිසි පුහුණුවකට ලක්කරන්න එවකට පැවැති කාලවකවානුවේ ඉඩ අවකාශයක් ලැබුණේ නැහැ. ඒ මානසිකත්වයත් ඔවුන් තුළ ගොඩනැගුණා. ඒ සමග ඔවුන් පොලීසියේ කාර්යභාරය ලෙස මනෝගමනය කරගත්තේ මේ සංග්රාමිකත්වය හා බැඳුණු රාජකාරි රටාවයි.
නමුත් යුද්ධය අවසන් වීමත් එක්ක ලොකු අභියෝගයක් වුණා ත්‍රිවිධ හමුදාවේ යුද මානසිකත්වය ඉවත් කරන ක්‍රියාදාමය සම්බන්ධයෙන්. පොලීසියටත් එය පොදු කාරණයක් බවට පත්වුණා. නැවත හොඳ මහජන සම්බන්ධතාවක් ඔස්සේ සිවිල් සමාජය සාමකාමී කිරීමට නීතිය හා සාමය ආරක්ෂා කරමින් නැවත යුද්ධයක් ඇති වීමට පදනම් වන සාධක හටනොගැනීමට වගබලාගැනීම පොලීසියට යම් මට්ටමකින් අභියෝගාත්මක කාර්යයක් වුණා. නමුත් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඒ තත්ත්වය වටහාගෙන පොලීසිය සහ සිවිල් සමාජය සමීප කරන්න විශාල වැඩ කොටසක් ඉටුකළ බව මතක් කළ යුතුයි. පොලිස් නිලධාරියා මහජන සේවකයෙකු බවට සමාජගත කරන්න ඒ කරපු සේවය අපි අගය කළ යුතුයි.
හැබැයි අපි මෑතකාලීනව දකිනවා ඒ තත්ත්වය ශීඝ්‍රයෙන් දෙදරා යන පසුබිමක්. ඇත්තටම එක පැත්තකින් තමන් රාජකාරියට වගවීමට වඩා වෙනස් පැතිවලට මෙය විතැන් වීමක් දකින්නට ලැබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. ඒකට හුදෙක් පොලීසියටම පමණක් දොස් නැගීමට හැකියාවක් නැහැ. දැන් උද්ඝෝෂණ වැනි දේ ගත්තොත් එක පැත්තකින් පොලීසියත් අසරණභාවයට පත්වන අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් උද්ඝෝෂණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදී රටක ජනතාව සතුවන අයිතියක් වුණත් ඒ සඳහාත් සීමා පවතිනවා. නමුත් අපි දන්නවා උද්ඝෝෂණ කරමින් මිනිසුන්ට පාරට බහින්න සිදුවෙලා තිබෙන්නේ නිකං නෙවෙයි. ඒවාට විවිධ තේමා තියෙනවා. එම තේමා බිහිවීම පසුපස විශාල සමාජ සංස්කෘතික සන්ධර්භයක් පවතිනවා. විශේෂයෙන් දේශපාලන සංස්ථාව ගනු ලබන තීන්දු තීරණ බොහෝ සෙයින් ඊට බලපවත්වනවා. මෑතකාලීනව මේ රටේ සිදුවුණු බහුතරයක් උද්ඝෝෂණ විරෝධතාවලට මේ රටේ දේශපාලන තීරණ හේතු සාධක වුණා. ඒවාට විරුද්ධව අරගල කිරීම මේ රටේ ඉතිහාසයේ පටන්ම අපි දුටු දෙයක්.
මෙවැනි වාතාවරණයක් තුළ පොලීසිය මුහුණදෙන්නෙත් විශාල අභියෝගයකට. එක් පැත්තකින් ඔවුන්ට වගකීමක් තිබෙනවා රජය ආරක්ෂා කරමින් මේ උද්ඝෝෂණ මැඬලීමට. අනෙත් පැත්තෙන් විශාල අර්බුදයක් වෙන්නේ මේ උද්ඝෝෂණ මැඬලීමේදී මූලික මානව අයිතිවාසිකම් අභියෝගයට ලක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම. මේ අන්ත දෙක අතර කුමන සීමාවේ සිටිය යුතුද කියලා පොලීසියට වැටහීමක් නැහැ. ඊට හේතුව එක් පැත්තකින් ඔවුන් රාජකාරිය කළ යුතුයි. අනෙක් පැත්තෙන් රාජකාරිය නොකළොත් ඔවුන්ට විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදුවෙනවා. මේ තත්ත්වය මත ඔවුන් සිදුකරන්නේ කෙසේ හෝ මේවා මර්දනය කිරීම.
පොලීසියට කිසිදු අයිතියක් නැහැ සිවිල් ජනතාවට පහරදීමට. පොලීසිය කියන්නේ දඬුවම් ලබාදෙන ආයතනයක් නෙවෙයි. ඔවුන්ගේ වගකීම වෙන්නේ අපරාධයක් හෝ එවැනි සිදුවීමක් නිසි විමර්ශනයකට භාජනය කරලා වින්දිතයා සහ අපරාධකරු නිවැරදිව හඳුනාගැනීමට ගරු අධිකරණයට සහයෝගය ලබාදීම. පොලීසියට සිවිල් ජනතාව වෙත පහරදීමේ මානසිකත්වයක් තිබෙනවා නම් එතනින් කියවෙන්නේ ඔවුන්ට තම වෘත්තීය කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නැහැ කියන එකයි. එය පොලීසියේ තිබෙන විශාල වරදක්. දරුවෙක් පවුලේ සිටම සමාජානුයෝජනය කරනවා වගේ, පොලීසියට බැඳෙන තැන සිටම නවක නිලධාරීන්ට සංයමය සහ රැකියාවට වගවීම කියන පන්නරය ලබාදිය යුතුයි. නමුත් අද වෙනකොට ඇත්තටම පොලීසිය කියන්නේ විවිධ හාස්‍යජනක සිදුවීම් ඇති කරන තැනක් බවට පත්වෙලා තිබෙනවා.
අද විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොලිස් සේවයට ඇතුළත් වෙනවා. සමහර අය පොලීසියට බැඳීමට තීරණය කරන්නේ වෙනත් රැකියාකට යන්න බැරි වුණාම ඊට විකල්පයක් විදිහටයි. බොහෝමයක් විදෙස් රටවල පොලිස් සේවයට බඳවාගනිද්දි බොහෝ සුදුසුකම් සලකා බලනවා. අවම වශයෙන් මේ ක්ෂේත්රය පිළිබඳ උපාධියක් හෝ ලබා තිබීම අනිවාර්යය වෙනවා. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. රැකියා විරහිත තරුණ තරුණියන්ට පහසුවෙන් ඇතුළත් විය හැකි වෘත්තියක් බවට මෙය පත්ව තිබෙනවා. අවම වශයෙන් මේ පිරිස් බඳවාගැනීමෙන් පසුව හෝ ඔවුන් නිසි මහජන සම්බන්ධතා පුහුණුවකට හෝ නිසි ඒකාග්‍රතාවකට ලක්කිරීමට පොලීසියේ අදාළ අංශවලට වගකීමක් තිබෙනවා. හරියාකාරයෙන් එම ක්‍රියා පටිපාටිය සිදු නොවුණොත් මේ නිලධාරීන් හිතනවා තමන්ට මේ බලතල පැවරී තිබෙන්නේ සිවිල් සමාජය භීතියට, පීඩනයට පත් කරමින් කටයුතු කරන්න කියලා. නමුත් පොලීසියට හෝ වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට එවැනි හැකියාවක් නැහැ. පොලීසිය කියන්නෙත් මහජන සේවකයන් පිරිසක්. ඔවුන්ට ජනතාවට දඬුවම් කරන්න නොහැකියි. ඒ සඳහා තමයි අපරාධ යුක්ති ක්‍රියා පටිපාටියේ අනෙකුත් ආයතන පවතින්නේ. දඬුවම් නියම කිරීමේ බලයක් තිබෙන්නේ අධිකරණයට සහ එය ක්‍රියාත්මක කිරීමේ බලය පවතින්නේ බන්ධනාගාරයට. මේ ම්ලේච්ඡ මානසිකත්වයෙන් පොලීසිය වහාම මිදිය යුතුමයි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මානව හිමිකම් පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් වෙනවා නෛතික ක්‍රියා පටිපාටියකින් වරදකරුවෙක් යැයි ඔප්පු වනතෙක් පුද්ගලයෙක් වැරදිකරුවෙක් ලෙස දක්වන්න බැහැ, ඔහු හුදෙක් සැකකරුවෙක් පමණයි^ කියලා. කිසිවෙකුටත් හැකියාවක් නැහැ ඒ ආකාරයෙන් මානව අයිතිවාසිකම් අභියෝගයට ලක්කරමින් කටයුතු කරන්න. පොලීසිය ඒ ආකාරයට කටයුතු කරනවා නම් එය පොලීසිය නැවතත් වනචාරී යුගයකට ගමන් කරන බව පෙන්නුම් කරනවා සහ නීතිය පිළිබඳ පොලීසියට තිබෙන දැනුම මදිකම පෙන්වනවා.
පොලීසියට තිබිය යුතුයි දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර වූ ස්වාධීනත්වයක්. පොලීසියේ නායකත්වය සහ දේශපාලන තන්ත්රය ඒ පිළිබඳ වගබලාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මෙතනදි ජනතාවත් තේරුම්ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. පැය 24 පුරාම ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් තමයි පොලීසිය කියන්නේ. ඒ වගේම පොලීසියේ ඉන්නෙත් මිනිස්සු. සමහර අවස්ථාවල අපේ සමාජය සුළු සිදුවීමක් මත හෝ මාධ්‍ය මගින් මතයක් මත හෝ පොලීසිය කියන්නේ නරක ආයතනයක්, පොලීසිය සෑම විටම කටයුතු කරන්නේ පක්ෂපාතීව කියලා සිතන්න පෙළඹෙනවා. නමුත් බොහෝ අයගෙන් විමසුවාම ඔබට පොලීසියෙන් සිදුවෙලා තියෙන අසාධාරණය මොකක්ද කියලා ඔවුන්ට පුද්ගලානුබද්ධව එවැන්නක් සිදුවෙලා නැහැ. ඔවුන් සාමාන්‍යකරණය කරගෙන තිබෙන්නේ සමාජයේ ජනප්‍රිය මතය. ඒ නිසා අපි පොදු මතය නැතුව සැබෑ මතයක් ඇති කරගැනීම අවශ්‍යයි. ඒ වගේම පොලීසිය පැත්තෙනුත් ඒ වෙනස ඇතිවන ආකාරයට කටයුතු කරන්න ඕන. මොකද තාමත් මේ රටේ වින්දිතයෙකුට විතරක් නෙවෙයි සාක්ෂිකරුවෙකුටවත් හිත හොඳින් පොලීසියට යන්න පරිසරයක් ගොඩනැගිලා නැහැ.'